2019 ජනවාරි 12 වන සෙනසුරාදා

ඔබ රජ කරවන ගජ කේෂරි යෝගය

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 867

මකරය, කුජ ග්‍රහයාගේ උච්ච ක්ෂේත්‍ර රාශියයි. මෙහිදී මේෂය, වෘශ්චිකය, ස්වක්ෂේත්‍ර රාශි දෙක වශයෙන් සඳහන් කළ හැකිය. ජන්ම ලාභියකුගේ කේන්ද්‍රයේ ශුභ ස්ථානගතව කුජ ග්‍රහයා බලවත්ව, තේජවන්තව සිටි විට අනිවාර්යයෙන්ම සුබ ඵල ගෙට ගෙනැවිත් දෙයි. හත, හය, එකොළහ කේන්ද්‍රයක සසඳා බලන විට කුජ ග්‍රහයාට සුබ ස්ථානය එය බව හැඟී යයි. තවදුරටත් කේන්ද්‍රය විග්‍රහාත්මකව විමර්ශනයට ලක් කිරීමේදී පහ, නවය, දහය යන ස්ථානවලද සුබ ඵල උදාකර දෙන බව පෙනී යයි. මේ අනුව විමසිලිමත්ව සලකා බලා පරිපූර්ණ විග්‍රහයක නිරත වීමේදී ජන්මියා මෙලොව එළිය දුටු ලග්නයේ තුන, හය, එකොළහ යන ස්ථානයක් නෑකම් කීමෙහි තේජවන්ත, බලවත් වැජඹීම තුළින් ගජ කේෂරී යෝගය උදාකෙරෙන බව ජ්‍යොතිෂයෙන් සනිටුහන් කර ඔප්පු කළ හැකිය.

ගජ කේෂරී යෝගය ගැන ගැඹුරට සිතා විග්‍රහයක් කර බැලීමේදී මෙය ඉතා සුබ ඵල දෙන රාජ ග්‍රහයෝගයක් බව සනාථ කර ඇත. මෙම සුබ ග්‍රහයෝගයන්ගේ ඇල්ම බැල්ම ආග්‍රහණය වන්නේ ජන්මීන්ට පමණක් නොව වෘක්ෂලතා, ඒ වගේම සත්ත්ව සංහතියටද එක සේම බලපාන බව සඳහන් කළ හැකිය. ඔබ පොකුරැ යෝග උදාකරන බව අසා ඇතිවාට සැකයක් නැත. මේවා බොහෝ දුරට බලපාන්නේ ස්වභාවධර්මයේ දායාදයක් වන ඵල වලටයි. පළතුරු වර්ග, අල වර්ග සිටුවීමට ඔබ අදහස් කරන්නේ නම් ඉන් විපුල ඵල ප්‍රයෝජන ලැබීමට ඉහත කී පොකුරු යෝග ඉවහල් කරගත හැකිය. වෘක්ෂලතාදිය පමණක් නොව, රඹකැන්, කෑමට ගන්නා පොල් වැනි දේ සුබ ග්‍රහයෝග පෙරනිමිති උදාවන කල පොළොවට පතිත කිරීමෙන් පසු ඒවා හැදී වැඩී එන විට, ඵල හටගන්නා විට, උපරිම ඵලදාවක් මෙන්ම සාකල්‍ය වශයෙන්ම හිතට සතුට ගෙන දෙන විදියේ අස්වනු නෙලාගැනීමට ඔබට හැකි වේ. තම ගෘහස්තයේ සතුන් ඇතිකිරීමේදී ඒවාද සුබ මොහොතින් ඇරඹීම උන්ගෙන් ලබාගන්නා ඵල ප්‍රයෝජන උපරිම ලෙස උකහා ගන්නට මාර්ගයක් බව කිව යුතුය. කොයිම කාර්යයක් වුවද නැකතට පටන්ගැනීම ඉතාමත් සුලභ අත්දැකීමකි.

ගජ කේෂරී යෝගයෙන් උත්පත්තිය දායාදකොට ගත්තෝ සැප සම්පතින් ආඪ්‍ය ගණයේ පුද්ගලයෝ වෙති. ඓශ්චර්යයෙන් මෙන්ම ගරැ ගාම්භීරකම අතින් ද ඉහළ ස්ථානයක වැජඹෙති. මොවුන්ට ලැබෙන නොයෙක් අන්දමේ වස්තු අතරට රත්තරන්, රිදී, මිණි මුතු, මැණික්, තඹ වැනි දේද එක්වන්නේ කුණු තියෙන තැනට සියලුම කුණු එකතු වන්නා සේය. ඉහළින්ම ලබන සම්භාවනීයත්වය, සෞභාග්‍යය, වස්තු රාශියකට හිමිකම් කියන මොවුහු ඉතාමත් ආකර්ෂණීය ලෙස සුඛෝපභෝගී ජීවිත ගත කරති. කොටින්ම කියනවා නම් ගජ කේෂර යෝගයෙන් උපත ලැබුවෝ සකලවිධ දේවලට අධිපති වන අතර ලැබීමට රුසියෝය. ශූරයෝය. නැති බැරිකම අගහිඟකම මොවුන් හීනෙන්වත් දැක නැති අතර හඳුනන්නේද නැත. දුක නොතේරේ. ලොවට නෙත් යොමුකර විමර්ශනය කර බලන විට පෙනී යන කරැණක් නම් මැණික්, මිනිරන්, සකලවිධ ලෝහයන්ගෙන් සැදුම්ලත් මහා පරිමාණයේ පතල්කරැවෝ ධන සම්පත්වලින් මිරිකී අහස උසට මාළිගාවල්වල දිවි ගෙවමින් ධන සම්පත් ද, යෝධයන් සේ ගජ කේෂරී යෝගයේ ආනුභාව සම්පන්න ඓශ්චර්ය බලය සාකල්‍ය ලෙසට ලබා උපන්නෝ වෙති.

මෙවන් යෝගයකට භාග්‍යය යම් හෙයකින් දරන්නේ කුජ නොහොත් අඟහරැ ග්‍රහයා නිසාය. පොළොවෙන් ලබන මිල මුදල් වස්තුවලට අධිපතියා කුජ ග්‍රහයාය. අඟහරැගෙන් මෙලොව බබළන ධන කුවේරයන් එඩිතර බවින්, කාර්යශූර බවින්, දැඩි ආනන්දනීය උත්සාහයෙන් පරිපූර්ණය. ඔවුන්ට එඩිතර, කාර්යශූර, අකලංක උත්සාහය වර්ධනය කර ඇත්තේ කුජ හෙවත් අඟහරැ ග්‍රහයා වේ. මේ ගජ කේෂර යෝගයේ අප්‍රතිහත ධෛර්යයේ ස්වභාවයයි.

තවදුරටත් කේෂර යෝගය පිළිබඳ සොයා බැලීමේදී අපට පෙනී යන තවත් උදාහරණ දැක්විය හැකිය. එකොළොස් වැනි ස්ථානය මේෂ රාශියක් නම් ජන්මියා උත්පත්තිය ලද්දේ මිථුන ලග්නයෙනි. මෙම මේෂ රාශියේම එකොළොස් වැන්නේ කුජ ස්වක්ෂේත්‍රව යෙදෙන විට ගජ කේෂර යෝගය ජන්මියාට දායාද කොට දෙයි. කුජ ග්‍රහයා උපරිම බලවත්ව මේෂ රාශියේ තුන්වැන්නේ කුම්භ ලග්නයේ යෙදීමද ගජ කේෂර යෝගයයි.

දේශමාන්‍ය
ජ්‍යොතිෂ්‍ය විද්‍යා විශාරද,
මහාචාර්ය හේමපාල පතිරණ

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00