2019 ජනවාරි 05 වන සෙනසුරාදා

මාපියන් වගේම දරුවනුත් දැන් වෙනස්

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:31 75

තිබූ තැනක සොර සතුරන් ගත     නොහෙනා
උගතමනා ශිල්පයමයි මතු          රැකෙනා

ඉගෙනීම අනිවාර්යයෙන් කළයුතු බවට සුභාෂිතය අපට ඔවදන් දී ඇත්තේ එසේය. එය එදාටත් සත්‍යයකි. අදටත් සත්‍යයකි. දශක හතර පහකට පෙර මාපියන් අපව යොමු කළේ ඉගෙන ගන්නටමය. අනෙක් සියල්ල අප කළයුතු වූයේ දෙවැනිවයි.

වර්තමාන මාපියන් ද එසේමය. දරුවා අනිවාර්යයෙන් ඉගෙනීමට ප්‍රමුඛතාව දිය යුතු බව ඔවුහු සිතති. එසේ සිතීමේ කිසිදු වරදක් නැත. එසේ වුවද දශක හතර පහකට පෙර අප පාසල් ගිය කාලයේ මාපියන් දරුවන් ඉගෙනීමට යොමුකළ ආකාරයේ වෙනස්කම් රාශියක් ඇත. එදාත් අදත් මාපියන් සමඟ දරුවාගේ අන්තර් ක්‍රියාව සැකසී ඇත්තේ එම අධ්‍යාපනය මූලික කරගෙනයි. අද දවසේ අධ්‍යාපනය මූලික කරගෙන අප දකින මාපිය දරු අන්තර්ක්‍රියාව ඔස්සේ අපේ සිත ඉබේම ළමා කාලය වෙත දිවයයි.

අපේ මාපියන් අප ඉගෙනීමට යොමු කළ කාලයේ මෙතරම් තරගකාරී සමාජයක ඔවුහු ඇලීගැලී නොසිටියහ. ජීවිත අරමුණු එකල මීට වඩා සරලය. ජීවිත අරමුණු ඉටුකරගන්නට මෙලෝ හසරක් නැතිව රුපියල් සත සොයන්නට අපේ මාපියන්ට සිදු නොවූයේය. අපේ මාපියෝ වර්තමාන මාපියන්ට වඩා විවේක බුද්ධියෙන් කටයුතු කළෝය. ඉගෙන ගන්නා අතරතුර අපද විවේකය කෙළිදෙලෙන් ගතකළ යුතු වග අපේ මව්පියෝ සිතුවෝය. පතපොතින් හැරුණු විට එදිනෙදා සමාජය නම් විශ්වවිද්‍යාලයෙන්, ජීවිතය ගැන ඉගෙන ගත යුතු වගද අපේ මාපියෝ දැනසිටියහ.

මේ නිසාම පාසල ඇරී ගෙදර පැමිණි පසු විටෙක මේසන් බාස් කෙනෙකු ගඩොලින් ගඩොල තබා තාප්පයක් බඳින අයුරුත් හැන්දට ගත් බදාම තාප්පයට දමා ගසා එය කපරාරු කරන අයුරුත් බලාසිටින්නට මව්පියෝ අපට ඉඩ දුන්හ. ඇතැම් විටෙක අපි ළඟපාත තැනක කාර් රථයක් අලුත්වැඩියා කරන දෙස විවේකීව බලාගෙන උන්නෙමු. නිවාඩුවට ගමකට ගිය විට හොර රහසේ අපි ගොයම් පාගන්නට ගියේ එම කාර්යයෙන් යම් වින්දනයක් ලැබූ නිසාය. ඒ ඒ තැන්වල විවේකීව ගැවසී ඒ ඒ තැන්වල කතා කරන බස අපි හඳුනාගත්තෙමු. ඔවුන් උපකරණ නම් කරන හැටි කනට හුරු කර ගත්තෙමු. පහේ ශිෂ්‍යත්වයට පාඩම් කරන වර්තමාන දරුවන් පෙදරේරු උපකරණ ලැයිස්තුව, කමත් භාෂවේ වචන ලැයිස්තුව, ජන ගී ලැයිස්තුව පතපොතෙන් පාඩම් කරන විට එම දරුවන් ගැන දැඩි දුකක් අපට දැනෙන බව කිවයුතුද?

ශිෂ්‍යත්වයට කුඩා ළමුන්ට උගන්වන එක් ගුරුවරියකගෙන් පාසල් වෙත යන (වයස 4 – 41/2) වයසේ පසුවන තම දරුවන්ට ඉගැන්විය හැකිදැයි සමහර මව්වරුන් විමසා ඇත. මාපියන් වර්තමාන දරුවා ශිෂ්‍යත්ව විභාගයට සූදානම් කරවන්නේ 4 ශ්‍රේණියට එන්නටත් පෙරයි. පාසල ඇරුණු පසු සෙල්ලම් කරන්නට තබා විවේකීව ගෙදර පරිසරය විඳගන්නටත් දරුවාට අවස්ථාවක් නැත. දරුවා අමතර පන්තිවලට යැවීම එම වයසේ සිට පටන් ගන්නා අතර පාසලෙන් පසු උසස් පෙළ දක්වාම හවස් වරුව ගත කරන්නේ ටියුෂන් පන්තියේ බව නොරහසකි. බාලාංශ පන්තිවල දරුවන්ගේ ඇතැම් ගෙදර වැඩ කරන්නේ අම්මලාය. උදේ පාසල් වෑන් රථය එනතුරු බිම දණගසාගෙන දරුවන් හට පාසලෙන් පැවරූ ගෙදර වැඩ කරන අම්මලා නැතුවා නොවේ. පාසල ඇරෙන විට පාසලෙන් දරුවා ගන්නා අම්මලා ඊළඟට ඔහු කැටුව යන්නේ ශිෂ්‍යත්ව පන්තියටයි. ශිෂ්‍යත්ව පන්තියේ පිටත රැඳීඉන්නා අම්මා දරුවාගේ පන්තිය ඉවර වනතුරු අනෙක් අම්මලා සමඟ බොහෝවිට දොඩවන්නේ පාසල් ගුරුවරියගේ වර්ණනාවයි. වඩා හොඳින් ශිෂ්‍යත්වයට උගන්වන ගුරුවරියගේ පන්තියට තම දරුවා දමාගන්නා අයුරු ඔවුහු කතිකා කරති. හොඳින් උගන්වන ගුරුවරුන්ට තුටු පඬුරු දිය යුතු ආකාරය ගැනද ඔවුන් කතා කරනු මම අසා ඇත්තෙමි. මා දන්නා සමහර අම්මලා 4, 5 ශ්‍රේණිවල දරුවන් ගෙදර එක්කරගෙන ආවේ ඉංග්‍රීසි පන්තියටත් සහභාගී කරගෙන රාත්‍රී 8ට 9ටයි. ළමයා පන්තියෙන් එළියට එනතුරු අනෙක් අම්මලා සමඟ ඕපාදූප දොඩමින් ඉන්නා අම්මලා සා/පෙ උපකාරක පන්ති අසල ද සුලභව දැකිය හැකිය.

සතියේ දවස් හත පුරා පන්ති විෂයන්ගෙන් හිස පුරවා ගන්නා දරුවා කතන්දර පොතක් කියවන්නට කාලය සොයාගන්නේ කෙසේ දැයි නොදනිමි. එහෙත් කෙසේ හෝ කාලය සොයාගෙන ස්මාර්ට් දුරකතනයට ඇඟිල්ලෙන් අනින දරැවන් නම් හිඟ නොවේ.

අප කුඩා අවදියේ කතන්දර පොත් කියවන්නට අපි යොමු වූයේ කාගේවත් බලකිරීම මත නොවේ. 3, 4, 5 ශ්‍රේණිවල නව මඟ (සිංහල) පොත නිසා බාහිර කතන්දර කියවීමේ පුරුද්ද ඉබේටම වාගේ අපට ආවේය. 4 වැනි ශ්‍රේණියේ නවමඟ පොතේ විදෙස් රටවල කතා රාශියක් තිබිණි. 5 වැනි ශ්‍රේණියේ නවමඟ පොතේ මඩොල්දූවේ, කජු කොල්ලය පාඩම තිබුණු නිසා මඩොල් දූව පොතට සොයාගෙන නොකියවා ඉන්නට අපට බැරිවිය. ඊටත් කුඩා පන්තිවලදී “ඈත රටවල ළමයි", “රුචිර කතා", “කුමාර කතා" යන කතන්දර පොත් මාලා අප අතර ජනප්‍රිය වී තිබිණි. මේ හැරුණුකොට චිත්‍රකතා පොත් සහ මාරක කතා පොත් අපි ගුරුවරුන්ට හොරෙන් පාසලේදීම කියවීමු.

නිවසේ සියලුදෙනා එක්ව රාත්‍රී ආහාරය ගැනීමේ පුරුද්ද බොහෝ ගෙවල්වල මෑතක් වනතුරු අගේට කරගෙන ආවේය. හවස් වන තුරු රැකියාවේ නිරත වී සිටි පියා සමඟ එවිට දරුවන්ට සිත්සේ කතාබහ කළහැකි වූයේය. රාත්‍රී ආහාරය පිසින අතුරතුර පවා අම්මා සමඟ තාත්තා නිතර කතාබහේ යෙදුණේය. ඒ අතරතුර වරින්වර මුළුතැන්ගෙට පැමිණෙන දරුවෝ එම කතාබහට හවුල් වූවෝය. රාජකාරී බහුල බව නිසා දැන් ඇතැම් තාත්තලා අම්මලා දරුවන් සමඟ කතා කරන්නට පවා දෛනිකව වෙලාව සොයාගන්නේ අසීරුවෙනි. බොහෝ දරුවෝ දැන් කෑම මේසයේ ආහාර ගන්නේද ස්මාර්ට් ජංගම දුරකථනයට එක් අතක් ඇඟිල්ලකින් තට්ටු කරමිනි. බොහෝ දරුවෝ කෑම පිඟාන කාමරයට ගෙනගොස් කොම්පියුටරය ඉදිරියේ කෑම කති. පොත් කියවීම කෙසේ වෙතත් කොම්පියුටරයේ හෝ ජංගම දුරකතනයේ ඇති ක්‍රීඩා කිරීමට නම් ඔවුන් වේලාව සොයාගන්න බවක් පෙනේ.

එහෙත් අධ්‍යාපනයට අදාළ තොරතුරු හා බාහිර තොරතුරු රැස්කර ගැනීමට පරිගණකය මහඟු සම්පතක් බව අමුතුවෙන් කිවයුතු නැත. යම් තොරතුරක් ගැන සොයාගන්නට අපේ කාලයේ පුස්තකාලයේ දූලි බැඳුණු පොත් දුසිම් ගණනක් පෙරළන්නට සිදුවිය. එහෙත් පරිගණකයේ හෝ ස්මාර්ට් ජංගම දුරකතනයේ “ගූගල් මල්ලී" ගෙන් විමසූ විට එසැණින් තොරතුරු නිශ්චිතවම ලබාදෙයි.

වෙහෙසකර ලෙස අධ්‍යයන කටයුතුවල නිරත කරවීමෙන් දරැවාගේ නිර්මාණාත්මක ලෝකය විනාශ වී ඔහු යන්ත්‍රයක් බවට පත්වන ආකාරය සෝමලතා සුබසිංහ නාට්‍යවේදිනිය කියා දුන්නේ විකෘති නාට්‍යයෙකි. ඒ 1982 තරම් ඈතක බිහිවූ අදට බෙහෙවින් වලංගු නාට්‍යයකි. මේ වනවිට එම නාට්‍ය පාසල් නාට්‍ය හා රංග කලා විෂය මාලාවට ඇතුළත් කර තිබේ. විභාගයේ අනාගතය ගැන එම නාට්‍යයේ එක් ගීයකින් කියන්නේ මෙසේය.

“ගහක් කොළක් ඉරක් හඳක් මනුස්සයෙක් පෙන්න බැහැ
සැප දුක අහන්නෙ නැහැ
විභාගේ
විහිලුවකට හිනාවකට විනෝදෙකට
වෙන වැඩකට - නෑ වෙලාව
විභාගේ - විභාගේ තමයි අපේ අභාගේ"

විෂය නිර්දේශයට නියමිත මෙම නාට්‍ය පවා රඟහලකට ගොස් දරුවාට පෙන්වීම වෙනුවට මව්පියෝ එහි CD තැටිය සොයති.

අප හෝඩියේ පන්තියට ඇතුළත් කළ පසු අම්මා හෝ තාත්තා ගුරුදෙගුරු දිනයකට විනා පාසලට ආවේ කලාතුරකිනි. යන යන තැන අම්මලා පස්සෙන් වැටී අපේ පරම්පරාවේ දරුවන් පාසලට ඇරලුවේ නැත. කුඩා පන්තිවලදී පවා අම්මලා ගෙනැවිත් පාසලට ඇරලවන අපේ සහෝදර ශිෂ්‍යයන්ට “තොත්ත බබාලා" කියා අපි විහිලු කළෙමු. මේ හැරුණු කොට යම් මගෝඩි වැඩක් කොට අසුවුණු ශිෂ්‍යයකුට පසුවදා අම්මා හෝ තාත්තා එක්කර ගෙන එන්නට සිදුවිය. ඒ කාලයේ ගැහැනු දරුවන් පවා පරිස්සම් කරමින් අම්මලා ඔවුන්ගේ පස්සෙන් වැටී ඇරලවන්නට ගියේ නැත. අපේ අක්කලා නංගිලා පවා පාසල් ගොස් ගෙදර ආවේ තනිවමය. ජීවිතයේ ඇතැම් වගකීම් උසුලාගත හැකිවිමේ පෞරැෂයද ඔවුන් තුළ මේ නිසා වැඩුණු බව පෙනීයයි.

සෙල්ලම් කිරීම අපේ දෛනික ජීවිතයේ අංගයක් විය. පාසල් ඇරී ගෙදර ආ පසු හවස් වනවිට මිතුරන් සමඟ සෙල්ලම් කිරීම නිසා පාසලේ වැඩ අතපසු වීමක් සිදුවූයේ නැත. ඇතැම් දිනෙක අප සවස් වරුවේ පාසලේම නැවතී අමතර ක්‍රියාකාරකමකට සහභාගී වූයේ දැඩි උනන්දුවෙකි. මළල ක්‍රීඩාවල දක්ෂතා ඇති නැති සිසුහු සැවොම මලල ක්‍රීඩා උත්සව සමයේ ඒවාට සහභාගී වූවෝය. පාසල් තූර්ය වාදක කණ්ඩායමේදී අපි මහත් වින්දනයක් ලැබුවෙමු. විලියම් ශේක්ස්පියර්ගේ වැනිසියේ වෙළෙන්දා නාට්‍යයේ ෂයිලොක්, ඇන්ටෝනියෝ, බැසානියෝ, පෝරිෂියා යන චරිත අප හඳුනාගන්නේ බාලාංශ පන්තිවලදීමය. එකල වී.ඩී. ද ලැනරෝල්ගේ වැනිසියේ වෙළෙන්දා පොත පාසල් විෂය නිර්දේශයේ තිබූ නිසා හතරේ පහේ පන්තියේ අයියලා එක්ව එය රඟපෑවෝය.

කුඩා කාලයේ පටන්ම පාසල් විෂය කෙරේ ඇලිගැලී විෂයන් සියල්ලටම උපකාර පන්ති ගිය විභාග වෙනුවෙන්ම ජීවිතය කැප කළ ශිෂ්‍යයන් උසස් පෙළ විභාගය අසමත් වනු දකින විට ඔවුන් කෙරේ හටගන්නේ මහත් අනුකම්පාවකි. එක්කෝ ඔවුනට ඉගැන්වූ ආකාරයේ වරදක් තිබිය යුතුය. නැතහොත් ඔවුන් පාඩම් කළ ආකාරය වැරදි වියයුතුය. මේ හේතුවෙන් ඔවුන් විභාගයේදී උත්තර ලියූ ආකාරයේ වරදක් තිබිය යුතුය. මා දන්නා තරමින් උසස් පෙළ විභාගයේදී සිසුන් දෙන පිළිතුර අදාළ කරුණු නිශ්චිතව සඳහන් වන නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමකින් යුතු පිළිතුරක් විය යුතුය. යන්ත්‍රයක් සේ විෂයෙහි ඇලීඉන්නා සිසුවා කරන්නේ එක් තැනක ඇති කරුණු මතකයෙන් තව තැනක ලිවීමය. පිළිතුරක් නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්නට අවශ්‍ය නිර්මාණ ශක්තිය ඔහු තුළ වැඩෙන්නට සිසු ජීවිතය තුළම බුද්ධිමය විවේකයක් ඔහු ලැබීදැයි සැක සහිතය.

අද තරම් ප්‍රබල ලෙස සන්නිවේදන මාධ්‍ය දියුණු නොවූවත් පාසල් ශිෂ්‍ය අවදියේදී පවා අප රටේ දේශපාලනය ගැන මීට වඩා (වර්තමානවල සිසුනට වඩා) සවිඥානික වූයෙමු. 70 සහ 77 කාලයේ දේශපාලන කරුණු පිළිබඳව පාසලේදී අපි එකිනෙකා සමඟ වාද කරගත්තෙමු. මෙතරම් විශාල ඇමති මණ්ඩලයක් නොසිටි නිසා ඕනෑම විෂය භාර ඇමතිවරයකු මතකයෙන් කියන්නට පාසල් සිසුහු දැන සිටියෝය.

1971 අප්‍රේල් කලබල උපරිමයකට ගියේ පාසල් නිවාඩු කාලයේදීය. ඇතැම් දිනවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක විය. ඉන්පසු හවස් වරුවේ පැවති ඇඳිරි නීතිය ලිහිල් කළේ දවසින් දවස ටිකෙන් ටිකය. කොළඹ තදාසන්න ප්‍රදේශයක ජීවත් වූ අපි හවස 5.00 සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවිට 4.45 වනතුරු සෙල්ලම් කළෙමු. සවස 5.30 සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවිට 5.15 වනතුරු සෙල්ලම් කළෙමු. හවස 6.00 සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවිට 5.45 දක්වා සෙල්ලම් කළෙමු. ඇඳිරි නීතිය ඈතින් (ජීප් රථයේ) ළඟ ලයිට් පෙනෙන විට හෙමිහිට ගෙට ආවෙමු.

එක් විශ්වවිද්‍යාල ශිෂ්‍ය අනුශාසකවරයෙක් අප හට පැවසුවේ වර්තමානයේ ඇතැම් ශිෂ්‍යයන් තම ලැප්ටොප් සමඟ හුදෙකලා වීම ඔවුන්ට ද ප්‍රශ්නයක් සේ දැනෙන බවයි. මේ නිසා එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය අනුශාසක කාර්යාලය ඉදිරිපිට මිදුලේ, ශිෂ්‍යයන්ට එකිනෙකා සමඟ කතිකා කරන්නට සාමීචියේ යෙදෙන්නට මේස සහ පුටු අලුතෙන් සවිකර තිබේ. එකී තැනද ශිෂ්‍යයන් තමන්ගේ පාඩුවේ ලැප්ටොප් සමඟ හුදෙකලා වී සිටිනු දක්නට ලැබිණි.

හතරේ පන්තියේ සිට අධ්‍යයන විෂයවලින්ම හිස පුරවා ගෙන විශ්වවිද්‍යාලයට එන්නේ ද තනිවූ ශිෂ්‍යයකු දැයි වරක හැඟීයයි. සමාජ මාධ්‍යවල මිතුරන් වන ඇතැම් තරුණ තරුණියෝ එකිනෙකා මුහුණටම මුහුණ මුණගැසුණු විට කතා කරන්නේ අඩුවෙනි. ඔවුන් සන්නිවේදනය කරගන්නේ සමාජ මාධ්‍ය තුළින් පමණක්දැයි එවිට සිතේ.

අපේ කාලයේ හැම දෙයක්ම නිවැරදියයිද මේ කාලයේ හැම දෙයක්ම වැරදි යයි කීම තරම් වරදක්ද තවත් නැත. එහෙත් හැම දෙයක්ම සියුම් ලෙස වෙනස් වන ආකාරය පිළිබඳ අප අවදියෙන් සිටිය යුතුය. පවතිනා සමාජය වඩාත් හොඳින් අවබෝධ කරගත හැක්කේ එවිටය.

I සමන් පුෂ්ප ලියනගේ 

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30