2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

මැතිසබය කල්දැමීම

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 140

ගෙවුණු උණුසුම් දේශපාලන සතිය අග්ගිස්සේ අපි ඔබට ලියමු. ඔබට ලියන්නට නම් බොහෝ දෑ තිබේ. එහෙත් මේ සටහන මැතිසබය කල්දැමීම පිළිබඳවය. කොළ කෑල්ලක කතිරය ගසා අප බොහෝ දෙනාව විල මැද මැඳුරට යවා තිබේ. එහෙත් විල මැද මැඳුරේ වැඩකටයුතු සිදුවන ආකාරය පිළිබඳව නම් පොදුජනයා වන අපට මනා වැටහීමක් නොමැත. නව අගමැති පත් කිරීමෙන් අනතුරුව ජනපති නොවැම්බර් 16 දින දක්වා මැතිසබය කල්දමනු ලැබීය. දැන් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බව පාර්ශ්වයක් තර්ක කරයි. තවත් තැනක එය පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනි බව කියවේ.

අප කතාව මුලසිටම අරඹමු.  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිසබයට කල්තැබුවේ ඔක්තෝබර් 27 වැනිදාය. ඒ අති විශේෂ ගැසට් පත්‍රයක් මගිනි. ඒ අනුව කියවුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තියෙන් තමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඔක්තෝබර් 27 වැනි දින දහවල් 12.00 සිට බල පැවත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසන් කරන බවය. එහිදී මීළඟ පාර්ලිමේන්තු වාරය නොවැම්බර් 16 වන දින පෙරවරු 10.00ට ආරම්භ කිරීමට නියමකොට තිබේ. ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ මෙම ගැසට් පත්‍රය නිකුත් වූ දින පටන් අද දක්වා මෙරට දේශපාලන උණුසුමට එය එකසේ බලපානු ලැබීය.

සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තුව කැඳවීමට නියමිතව තිබුණේ නොවැම්බර්  5 වැනිදාය. මේ සිදුවීමත් සමඟ පාර්ලිමේන්තු කැඳවීම  නොවැම්බර් 16 වැනිදා දක්වා දීර්ඝ විය. එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ දේශපාලන ධාරාවේ විරෝධය මැතිසබයට කල්දැමීමට එරෙහිවන්නට වූයේ ජනාධිපතිවරයා ගැසට් නිවේදනය නිකුත්කර ඉතා කෙටි කාලයක් ඇතුළතය. නමුත් ඒ හරහා නිර්මාණය වූ ප්‍රබලතම පුවත් නිර්මාණය වන්නේ කතානායකවරයා ජනාධිපතිවරයා වෙත යොමුකරනු ලැබූ විශේෂ ලිපිය හේතුවෙනි. අපි එම ලිපියේ අවසාන කොටස උපුටා ගමු.

“මෙම තත්ත්වය මත පාර්ලිමේන්තුව නොවැම්බර් 16 දින දක්වා දින විස්සක් අක්‍රීයව පැවතීම නිසා රටට දැඩි අහිතකර වාතාවරණයක් උද්ගත වීමට ඉඩ ඇත. එයට ඉඩ නොතබන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. පාර්ලිමේන්තුව කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අනුව සිදුවිය යුත්තේ කතානායකවරයාගේ අනුදැනුම ඇතිව බව මෙහිලා සඳහන් කිරීම මගේ යුතුකමක් කොට සලකමි.”

කතානායකවරයා පාර්ලිමේන්තු කල් දැමීමට එරෙහිව සෘජු විරෝධයක් ගොනුකර නැතත් එම ලිපිය තුළින් ධ්වනිත වන්නේ එම අදහසයි. මෙහි ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අනුව යන කියමන මෙම සිදුවීමේ ඊළඟ අදියරට මාතෘකාව විය. අභිනව ආණ්ඩුවේ මාධ්‍ය සාකච්ඡාවලදී මෙම ප්‍රකාශය අභියෝගයට ලක්වන්නේ ඒ අනුවයි. ජනාධිපතිවරයා විසින් මෙම කටයුත්ත ව්‍යවස්ථානුකූලව සිදුකර ඇති බව ඒ අනුව කියවිණි.

මේ සියල්ල සිදුවන අතර ඇති වූ බලපෙරළිය විරෝධී ජාතික ජාත්‍යන්තර බලවේග දිගින් දිගටම මැතිසබයට කල්දැමීම ප්‍රජාතන්ත්‍ර විරෝධී යැයි හඬ නැගෙන්නට විය. විපක්ෂනායක ආර්. සම්පන්දන් මහතා කථානායකවරයා වෙත මේ අතර ලිපියක් යොමු කරයි. ඒ අනුව කියවෙන්නේ නීතියේ ආධිපත්‍ය රැකගැනීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසය. මෙහිදී තවදුරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සඳහන් විය. ජනතා විමුක්ති පෙරමුණද පාර්ලිමේන්තු කැඳවන ලෙස ඉල්ලා කථානායකවරයා වෙත ලිපියක් යොමුකර තිබිණි. එක්සත් ජාතික පක්ෂයත් එම ඉල්ලීම් ඉදිරිපත් කර තිබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 126 දෙනෙකු මේ අනුව පාර්ලිමේන්තුව කැඳවීමේ අවශ්‍යතාවය අවධාරණය කරන ලදී. කථානායකවරයා නැවත වරක් පාර්ලිමේන්තු කැඳවීමේ අවශ්‍යතාව පවසා ජනපතිට ලිපියක් ලියන්නේ ඒ අනුවය.

“ජනතා ශුභසිද්ධිය සඳහා රට අර්බුදයකට පත්වීමෙහි ඉඩ නොතබා ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් නොපමාව පාර්ලිමේන්තුව කැඳවා යුක්තිය ඉටුකරනු සඳහා අවකාශ සලසන ලෙස” කතානායකවරයා එම ලිපිය මගින් නැවත වරක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. පසුව කථානායකවරයා හා ජනාධිපතිවරයා අතර හමුවක් සිදුවූයේද මේ සිදුවීමේ දිගුවක් ලෙසය.

අභිනව ආණ්ඩුවට එල්ලවන චෝදනාව ප්‍රබල ලෙස එම පාර්ශ්වයෙන් පිළිතුරු ලැබෙන්නට පටන් ගත්තේ ඉහත කරුණු පදනම් කර ගනිමිනි. ඔක්තෝබර් 30 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මෛත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මේ සම්බන්ධ ලබා දුන් පිළිතුරු අපි උපුටා ගනිමු.

&05 වෙනිදාට තිබ්බ පාර්ලිමේන්තු රැස්වීම 16 වෙනිදට කල් තිබ්බා, දවස් 11ක් විතරයි. වික්‍රමසිංහ මහත්තයට පේන එක හරි. නමුත් මේ බටහිර රටවල්, ඇයි රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ ගැන මෙතරම් උනන්දු. වසර දෙකහමාරක් පළාත් සභා මැතිවරණය කල්දාලා තිබ්බා. මේ රාජ්‍ය දෙපාර්තමේන්තු හෝ සංගම්වලින් ඒ ගැන අහලා එක ලියුමක් එව්වේ නැහැ. බටහිර රටවල් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන එයාලා සහතික දෙන්න හදන්නේ ඇයි?”

ඔක්තෝබර් 31 වන දින මුදල් අමාත්‍යාංශයේ වැඩ භාරගත් අභිනව අග්‍රාමාත්‍යවරයාද පළමු වතාවට පාර්ලිමේන්තු කල්තැබීම පිළිබඳව අදහස් දක්වනු ලැබීය. පසුගිය ආණ්ඩුව මැතිවරණ කල් දැමූ බව එහිදීද සඳහන් විය. පාර්ලිමේන්තු කල්දැමීම අලුත් දෙයක් නොව සෑම ජනපතිවරයකුම සිදුකරනු ලැබූ ක්‍රියාවක් බව එහිදී පැවසූ අතර එය ව්‍යවස්ථානුකූල බව සඳහන් විය.

ගලා ආ කතාවේ දේශපාලන පැතිකඩ දෙසට මඳක් යොමුවෙමු. මැතිසබයට කල් දැමීමේ සැබෑ අරමුණ කුමක්ද? එය ඉතා සරලය. නමුත් එය ප්‍රසිද්ධියේ සංවාදයට ලක්කිරීමට දේශපාලකයෝ මැලිවූහ. නව ආණ්ඩුවට අවශ්‍ය පාර්ලිමේන්තු සංයුතිය සකසා ගැනීම ඒ පසුපස වූ අරමුණයි. බල දේශපාලන ස්වභාව මත රාජ්‍ය බලය විතැන් වන තැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරය ගොනුවෙති. මෙම ආණ්ඩුව නොවැම්බර් 16 වැනිදා දක්වා ඉදිරියට ඇදගෙන ගියහොත් එජාපය පාර්ශ්වයෙන් තවත් බොහෝ දෙනා පක්ෂ මාරු කිරීමට එ්මට ඉඩකඩ තිබේ. මෙහිදී දෙපාර්ශවය උත්සාහ කරන්නේ කාලයේ වාසිය ලබා ගැනීමටයි. බොහෝ විට ව්‍යවස්ථා තර්ක ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව තර්ක සියල්ලම පාහේ තම බල දේශපාලන අරමුණ වෙනුවෙන් සැකසෙන සැරසිලිවෙයි.

විදේශීය බලපෑම්ද පාර්ලිමේන්තු කැඳවීම වෙනුවෙන් එල්ලවන්නට වූයේ මේ අතරය. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, යුරෝපා සංගමය, කැනඩාව, බ්‍රිතාන්‍ය වැනි ප්‍රභල රටවල් අවස්ථා ගණනාවක දී බලපෑම් එල්ල කරනු ලැබීය. ඒ සියල්ල ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් එල්ලවූ බලපෑම් විය. ඒ අනුව ජාත්‍යන්තර සහාය වඩා වැඩියෙන් හිමිවූයේ හිටපු අග්‍රාමාත්‍යවරයා වෙතය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා මතය වූයේ පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවයි. මේ අතර විදේශ සාමසාධක හමුදාවක් මෙරටට ගෙන්වා ගැනීමේ උත්සාහයක් පිළිබඳවද පුවත් පලවිය.

මැතිසබයට කල්දැමීමේ කතාවේ තවත් සංධිස්ථානයක් වූයේ එක්සත් ජාතික පක්ෂය විසින් කොල්ලුපිටියේදී පවත්වනු ලැබූ විරෝධයයි. මෙම විරෝධතාවයේ මූලික සටන් පාඨය වූයේ (පාර්ලිමේන්තුව කැඳවනු) යන්නයි. මෙහිදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ විරෝධතාකරුවන් අමතමින් පැවසූවේ පවතින දේශපාලන අර්බුදය විසඳාගැනීමට හැක්කේ, පාර්ලිමේන්තුව කැඳවීම මගින් පමණක් බවයි. සමස්ත විරෝධතාවයේදී පාර්ලිමේන්තු කැඳවීම හා ප්‍රජාතන්ත්‍රවාදය තේමා වූ අතර විරෝධතා පුවරුවලින් මෙන්ම විරෝධතාව ඇමතූ බොහෝ දෙනාගෙන්ද ප්‍රකාශ වූයේ එයයි.

පාර්ලිමේන්තුව කල්දැමීමේ නෛතික කාරණා පිළිබඳව මීළඟ අවධානය යොමුකරමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තියට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමේ බලය හිමිව තිබේ. ව්‍යවස්ථාදායක කාර්ය පටිපාටි හා බලතල යටතේ (70.1) ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම, පාර්ලිමේන්තු විසිරුවා හැරීම කළ හැක්කේය.

මේ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට 19 සංශෝධනය අනුව යම් සීමා මායිම් තිබූණද වාර අවසාන කිරීමට එවන් ව්‍යවස්ථානුකූල බාධාවක් නොමැත.  එහෙත් පසුගියදාක නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා පාර්ලිමේන්තුව කල්තැබීමේ විශේෂ ගැසට් පත්‍රයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. නීතිමය පැතිකඩ හා දේශපාලන ධාරාවේ කතාබහ එසේ වෙද්දී සමාජ ජාල මාධ්‍යයේ බල පෙරළියට විරෝධය දැක්වූ පිරිස් පාර්ලිමේන්තුව රැස් කරන ලෙස බලකරමින් තම ගිණුම්වල ප්‍රධාන ඡායාරූප මාරුකර තිබුණි. එමෙන්ම විශාල සංවාදයන්ද මුහුණු පොතේ මේ පිළිබඳව විය.

ජාතික ජාත්‍යන්තර පීඩන එන්න එන්නට වැඩිවුවත් නව ආණ්ඩුව පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳව කටයුතු කරන බවක් නොපෙනුණි. නමුත් කථානායකවරයා හා ජනාධිපතිවරයා  අතර වූ සාකච්ජාවේ යම් සාධනීය බවක් තිබෙන බවට ලකුණු පහළ විය. නොවැම්බර් පළමු වෙනිදා වනවිට මෙහි ප්‍රතිඵල මාධ්‍ය අනාවරණය කර තිබිණි. ඒ අනුව නැවත පාර්ලිමේන්තුව කැඳවීම නොවැම්බර් 5 වන දින එනම් එළඹෙන සඳුදා සිදුවන බව හෙළිකර තිබුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

ඒ අනුව මැතිසබයට කල්දැමීම අවුල මේ වනවිට විසඳී ඇත. එළඹෙන සතිය දේශපාලනිකව තවත් උණුසුම් වීමට නියමිත බව අප දනිමු. දැන් රැස්වන මැතිසබය කරන කියන දෑ පිළිබඳව අප හැම බලා සිටිමු.

♦ චමිඳු නිසල් ද සිල්වා

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30