2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

තඩි වලස්සුත් ඇවිත් දොරෙන් එබිකම් කළා...

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:31 62

රජරට ඉස්කෝලෙකට ඉල්ලගෙන මාරුවක් රැගෙන ගොස් ගුරුවරයකු ගුරු උපදේශකවරයකු සහ වැඩ බලන අධ්‍යාපන අධ්‍යක්ෂකවරයකු ලෙස මා හැඟි සේවයක් කළ චන්ද්‍රදාස විජේසුන්දර ඉස්කෝලේ මහත්තයා ගැන ගෙවුණු ඉරිදා අප කී කතා ඔබට අමතක වන්නට හැටියක්ම නැත. ඩී. එස්. සේනානායකයන් මහා රූස්ස වනාන්තර එළි පෙහෙළි කරමින් ගොවි ජනපද ගොඩනැගූ යුගයක කතාන්දර ඒ ඉස්කෝලෙ මහත්තයා ඇසුවේද එහි ගිය සමයේදීමය. ඒ මතක මුලින් සිහිපත් කරමින් ඉස්කෝලේ මහත්තයාගේ ඉස්කෝලේ ජීවිතේ මතක දිගේ දෙවැනියට පියවර තබන්නට මට සිත්වේ

ඔය ජනපදවල ඒ කාලේ පදිංචියට ආපු අය අගමැති ඩී. ඇස්. සේනානායක අමතලා තියෙන්නේ අපේ ඩී. එස් කියලා. මින්නේරිය, ඇලහැර, බකමූණ වගේ ප්‍රදේශවල ඩී. ඇස්. ඇමැතිතුමා ගොඩනගපු ශිෂ්ටාචාරය ලංකා ඉතිහාසයේ අලුත්ම පරිච්ඡේදයක් වුණා. ඒ කාලේ ඒ ජනපදකයින් ඩී. ඇස්ට කියලා තියෙන්නේ මින්නේරිය දෙවියන්ට එතුමා සමානයි කියලා. ඩී. ඇස්ගේ ඇල්ම බැල්ම අදටත් ඒ අයට තියෙනවා කියලා.

ඉංග්‍රීසින් රට කරපු කාලයේ සිංහල ජනී ජනයා කොතෙක් පීඩාවට පත්වූයේද යන වගට ඉතිහාසය අනේක වාරයක් දෙස් දෙයි. ඩී. ඇස්ගේ දර්ශනය වූයේ ජාතියක් ලෙස පිටකොන්දක් ඇතුව නැගී සිටින්නටනම් අපේම වූ ශක්තිමත් ආර්ථිකයක් ඇවැසි බවය. මහා රෑස්ස කැලෑ ජනපද බවට පත්කර නවමු ශිෂ්ටාචාරයක් ඒ ඇසුරේ ගොඩනගන්නට ඔහු අඩිතාලම සකස් කළේ එහෙයිනි.

එදා ඩී. ඇස්. ඇලහැර සිට දිය බෙදුම දක්වා වූ තීරයේ පවුල් පන්දහසක් පමණ පදිංචි කර ඒ අයට මඩින් අක්කර පහයි ගොඩින් අක්කර තුනයි වන පරිදි ඉඩම් ලබාදී පළමු අස්වැන්න නෙළාගන්නට ගතවන මාස හයක කාලයක් පුරා රුපියල් දෙසීයක වියළි සලාකයක් ද ලබා දුන්නේය.

ඒ යුගයේදී ජනපදවාසීන් ලැබූ අත්දැකීම් ගැන අසද්දී වරෙක සිරුරේ රෝමකූප පවා ලොමු ඩැහැ ගැන්වෙන සුළු වේ. හතරවටින් වට වූ මහා ඝන වනාන්තරය තුළින් පෙරී ආ තිත්ත කළුවර මැද දිනක් ජනපදවාසී තරුණ ගැහැනියක් එළියට බැස්සේ දිගේලී වී තිබූ කළුවර ආගන්තුක හැඟීමක් හිතට එක් නොකළ හෙයිනි. මොහොතකින් ඇය හෙමින් සීරැවේ පිළිකන්නේ තිබූ කොටයක් මතට නැගුණේ නිවීහැනහිල්ලේ මඳකට ඇන තියාගන්නටය.

ඒත් තත්ත්පරයක් දෙකක් ගෙවෙද්දී ඒ කොටය හෙමි හෙමින් ඉදිරියට ඇදෙන බව දැනෙද්දී ඇය දෙලෝ රත්ව මරහඬ දී කොටයෙන් බිමට පැන්නාය. ඈ හරිබරි ගැහී වාඩී වී තිබුණේ විසල් පිඹුරකුගේ පිට මතය. මෙවන් අත්දැකීම් කොතෙකුත්ය. වලසුන්, දිවියන්, කුළු හරකුන්, අලින් ඒ ජනපද හැදුණු බිමේ කොතෙක් කරක් ගැසුවත් උන්ගෙන් වූ තිගැස්සීම් මිස විනාශයක් ඔවුන්ට තිබුණේ ද නැත.

ඇතැම් ජනපදිකයන් ඒ ගම්බිම්වලට පැමිණ ඇත්තේ ඔවුන්ගේ අලුත උපන් දරු මල්ලන් ද කිහිලි ගසාගෙනය. ඒ දරුවන් සාරියක් ගසක ගැටගසා හදන රෙදි තොටිල්ලක තබා පිරිමින් දරන මහන්සියට ගැහැනුන් ද හැකි උපරිමයෙන් අත්වැල් ඇල්ලූහ. රාත්‍රියට ගෙයි මිදුලේ ලොකු ගිනි මැලයක් දැල්වීම ඔවුහු සිරිතක් බවට පත්කර ගත්හ. ගෙයි අඳුර නිමුවේ ගෙයි ඇතුළත දැල්වූ පහනකි. ඇතැම් දවස්වල තඩි වලසුන් රෑ තිස්සේ ගෙයි ඇර ඇති දොරකින්, ජනේලයකින් එබිකම් කළහ. ඒ වග වලසුන්ගෙන් දරු පැටවු බේරාගන්නට හැකිවුවත් මැලේරියා වසංගතයෙන් ඒ දරු පැටවුන් බේරාගන්නට සමහර අම්මලා තාත්තලාට හැකිකමක් තිබුණේ නැත. එසේ මැලේරියා වසංගතයෙන් මියයන දරුවන්ව දරුවන්ගේ තාත්තලා ගෙයි ඉඩමේම වලක් කපා වැළලුවේ දරුවන්ගේ අම්මලා මහපොළොවේ හැපි හැපී මරළතෝනි දෙද්දීය. කලිසම්කාර මහත්වරැ පැමිණ ඒ තාත්තලාට උසාවි එන්න යැයි කැඳවීම් ලැබෙනතුරැම ඒ ජනපදිකයන්ට නීතිය, සම්ප්‍රදාය කුමක්දැයි යන්න ගැන නිනව්වක් තිබුණේ නැත.

ගම් මුලෑදෑනියාට නොකියා මිනී වල නොදැමිය යුතු යැයි නඩුකාර හාමුදුරුවන් අවවාද කරන තුරු ඔවුන්ට ඒ ගැන වගේ වගක් තිබුණේ ද නැත. ජනපද බිහි කළ මුල් යුගයේ කුඹුරු හාන්නට හරක් නොසිටියෙන් කුඹුරු වැඩ කරන කාලයේදී හරක් ගෙන එන්නට  සීගිරියට යන්නට ඔවුන්ට සිදුවිය. සීගිරියේ සිට රැගෙන එන හරක් බාන මාසයක පමණ කාලයක් තමන් සන්තකයේ තබා ගන්නට අවසර ලැබුණු අතර ඒ මාසය වෙනුවෙන් රුපියල් දහයක කුලියක් හා කැවුම් පෙට්ටියක් ලබාදිය යුතු විය.
උදැල්ලෙන් බිම් කොටා සැදූ නියරවල් හරකුන් ලවා පාගවා සකස් කර වී ඉස අස්වැන්න නෙළන කාලයට ඇලහැර තිබූ වී ගබඩාවට ගොවීන් විසින් වී ගෙන යනු ලැබුණි. එකල වී බුසලක මිල රුපියල් හතක් විය. හාල් සේරැවක මිල ශත විස්සක් පමණ විය. සාමාන්‍යයෙන් කුඹුරකින් එක කන්නයකට වී බුසල් 600ක පමණ අස්වැන්න ගන්න කුඹුරු තිබුණි. ඇතැම්විට තෙල් පොහොර කිසිවක් නොගසා වගා කරන අක්කර බාගයක කුඹුරකින් වී බුසල් 110 පමණ අස්වැන්නක් නෙලාගත්තේය.
වී විකුණා අහවර වූ පසු ජනපදිකයෝ වන්දනාවේ ගොස් දනක් පිනක් කරගත්හ. සොර සතුරු බියක් ද නොවූ හෙයින් එහෙමටයි කියන්නට වත්පොහොසත්කම් ද නොවූ හෙයින් බියත් සැකක් නැතුව ගෙවල් දොරවල් ඇරදා වුවත් යා හැකි විය.

මේවා මම හැදුවේ මේ රටේ අනාගතය ගැන හිතලා. උඹලා මේවා රැකගන්න ඕනෑ. එහෙම නැත්නම් මගේ මහන්සියෙන් වැඩක් නෑ... වරක් ඩී. ඇස්. සේනානායකයන් ජනතාව අතර ඇවිදිද්දී ජනතාවට එසේ කීවේය.

මේ අඹ ගහේ ගෙඩි ඉස්කෝලෙ ළමයින්ටයි. දිනක් අඹ පැලයක් රෝපණය කරමින් ඩී. ඇස් එසේ කීවේය.

වරක් පයින් ඇවිදගෙන යද්දී රන්වන් කරලින් බබළන කුඹුරැ යායක් දුටු ඩී. එස්. වරක් හිනැහී ඊළඟ වර හැඬුවේය.

ඇයි ඔබතුමා හිනාවෙලා ආයත් ඇඬුවේ?* අයෙක් විමසද්දී ඩී. ඇස්. දුන්නේ මෙවන් උත්තරයකි.

මම හිනාවුණේ මගේ උත්සාහයේ ප්‍රතිඵල දැකලා. මම ඇඬුවේ මම නැති කාලෙක මේවට මොනවා වේවිද කියලා හිතලා ඒ දුකට.

යුග යුග ගෙවී ගියත් ඒ ජනපද ඇසුරේ මතක අදටත් එහි ජීවත්වන්නෝ භක්ත්‍යාදරයෙන් සිහිපත් කරති. ඒ ජනපදිකයන් මුතුන් මිත්තනියන් වූ පසු පරම්පරාවල දරැවන්ට පවා මේ අපූරු ඉස්කෝල මහත්තයා සිප්සාර ඉගැන්වූයේය.

ගුරුවරයෙක්ගේ වගකීම හරි විශාලයි. සුවපත් වූ මනසකින් මනසක් සුවපත් කිරීම තමයි ගුරුවරයකුගේ කාර්යභාරය. ඒ කාර්යභාරය මැනවින් ඉටුකරන්නටනම් ගුරුවරයා දරුවන් හමුවට එන්න ඕනෑ දේවාලයකට ගොඩවෙන භක්තිමත් කපුවෙක් වගේ නිරවුල් භක්තිමත් මනසකින්. දරුවන් දහදෙනෙක් ගත්තොත් ඒ දහදෙනා ඉන්න මානසිකත්වය හා ඒ දරුවන්ගේ හැකියාවන් දරුවෙක්ගෙන් දරැවෙක්ට වෙනස් වෙනවා. ගුරුවරයකුට ඒ හැම දරුවෙක්ගෙම මනස කියවන්න පුළුවන්නම් තමයි ශිල්ප සාරය දරුවකුට ස්නේහයෙන් කිරි පොවන මවක් වගේ දරුවෙක්ට පොවන්න පුළුවන්.

මම සංසාර චක්‍රය විශ්වාස කරනවා. අටලෝ දහමේ යථාර්ථය මම ජීවිතය තුළ අත්විඳිනවා. ඉගෙනගන්න ශිල්පය අනුව උගත්කම ලබාගන්න පුළුවන්. ඒත් මම විශ්වාස කරනවා මිනිස්සුන්ගේ ගුණාත්මක වටිනාකම්, සොඳුරුතාවයන්, සිතුම් පැතුම්, උගත්කමත්, ජාන උරුමයත්, හැදෙන වැඩෙන පරිසරයටත් වඩා ලැබෙන්නේ සංසාර පුරුද්දෙන්, සංසාරයේ පුරුදු කළ ගුණදම් ඇසුරෙන් කියලා.

මට පුතුන් දෙදෙනෙක් ඉන්නවා. එක පුතෙක් වෛද්‍යවරයෙක්. අනිත් පුතා ඉංජිනේරුවෙක්. ඒත් මම කවදාවත් මගේ දරුවන්ට කියලා වැඩිපුර උගන්වලා නෑ. ඒත් දරුවන්ට නිස්කාන්සු සුවයෙන් ඉගෙනගන්න පුළුවන් වාතාවරණයක් මම ඇති කළා.
මම දරුවන්ට උගන්වන ගමන් ඒ දරුවන්ට ලෝකය දකින්නත් ඉගැන්නුවා. වරක් මට මගෙන් ඉගෙනගත්තු ශිෂ්‍යාවක් හමුවුණා. ඇය ඒ වෙද්දී විශේෂඥ වෛද්‍යවරියක්. ඇය සියල්ලන් මැද ඇවිත් මට කතා කරලා කෙනකුට මාව හඳුන්වාදුන්නා මේ සර් තමයි මට ජීවිතය ගැන දැක්මක් ඇති කළේ. මට හිතන්න කියලා දුන්නේ කියලා. තව දරුවෙක් හිටියා. මම ඒ දරුවට කාලයක් තිස්සේ ඉගැන්නුවා, ඒ දරුවාගේ පියා හා මගේ තිබුණු හිතවත්කම නිසා. වරක් සාදයකදී ඒ දරුවා මාව හඳුන්වලා දුන්නේ එයාගේ ගුරුවරයා විදිහට නෙවෙයි. එයාගේ තාත්තාගේ මිතුරෙක් විදිහට.

මගේ ඥාති දරුවෙක් කුඩා කාලයේ එක් කාලයක් මා ළඟ හිටියා. ඒ දරුවත් දැන් වෛද්‍යවරයෙක්. ඒ වගේම කලාවට බොහොම ළැදි සොබාදහමත් එක්ක හරි ළෙන්ගතු හැඟීමකින් ජීවිතය විඳින ඉතා වෙනස් දරුවෙක්. ඒ දරුවා දුප්පත් ගමක දුප්පත්කම් මැද්දේ ඉගෙනගෙන ජීවිතය දිනපු දරුවෙක්. ඒ දරුවා ඒ අතීතය කවදාවත් අමතක කළේ නෑ. ඒ වගේම ඒ දරුවා තුළ මනුෂ්‍යත්වයටත් එහා ගිය දේව ධර්මයක් මම දකිනවා. මම ඒකයි කීවේ අපි ගුණධර්ම ඒ වටිනාකම්, චින්තන ශක්තිය අරගෙන එන්නේ සංසාරයෙන් කියලා. හැම උගතාම, හැම ගුරුවරයාම, හැම වෛද්‍යවරයාම මේ විදිහට කවර ක්ෂේත්‍රයක කෙනෙක් වුවත්, කවර පුද්ගලයකු වුවත් එකම සමාජ පරිසරයක හැදුණත්, එකම ක්ෂේත්‍රයක සිටියත් ගුණාත්මක වටිනාකම්වලින් වෙනස් වෙන්නේ ඒ නිසා.

චන්ද්‍රදාස විජේසුන්දර ඉස්කොලේ මහත්තයා හොඳ රසිකයෙකි. ශ්‍රාවකයෙකි. සුභාවිත ගීතයට දැඩි සේ ඇළුම් කරන්නෙකි. අදටත් කණ්ණාඩි නොපැළඳ ඔහු යෙහෙන් පත පොත කියවයි. ඉතිහාසගත බොහෝ මතක නිරවුල්ව මනසේ දරා සිටියි. සියක් දහසක් දරුවන්ගේ දෑස් පෑදූ සතුට ආත්ම තෘප්තියක් ලෙස අදටත් විඳියි. සීයා කෙනකු වී දරු මුණුපුරු ආදරය සුරතලය විඳිමින් යෙහෙන් කල් ගෙවයි.

 සංජු

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30