2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

එදා රෑ සහ අද රෑ

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:31 37

“නපුරු සිහින නිදි කරළියේ රඟදෙන යාමයයි. 

මේ! ලොවේ අඩක් දැන් මරනින්දේ.”

ඒ විළියම් ශේක්ස්පියර් සිය මැක්බත් චරිතය තුළින් රාත්‍රිය දුටු ආකාරයයි.

ලෝක ගෝලයෙන් හරි අඩකට හිරු එළිය නොවැටෙන විට ඒ හිරු එළිය නැති අඩට රාත්‍රිය උදාවී ඇතැයි අපි කියමු. තනි මොහොතක ලෝක ගෝලයේ වෙසෙන ජනකායෙන් අඩක් රාත්‍රිය අත්විඳින අතර අනෙක් අඩ දිවා හෝ සන්ධ්‍යා කාලය අත්විඳී.

කවීන්, සිත්තරැන්, ගීත රචකයින්, සිනමාකාරුවන්, කතාකරුවන් රාත්‍රියට විවිධ අර්ථකථන දී ඇත. ඇතමෙක් රාත්‍රිය සුන්දරව දකිති. ඇතමෙක් අඳුර අද්භූතයක් සේ දකිති. මිනිස් සිතේ ගූඨ අහුමුළු එළි දක්වන්නට බොහෝ කතාකරුවන්, කවීන් උපයෝගී කරගෙන ඇත්තේ රාත්‍රියයි.

අප ජීවිතය අත්දුටු පසුගිය දශක කිහිපයේදී ජනයා රාත්‍රියට මුහුණ දුන් සැටි රාත්‍රියේ ජීවන රටාව, රාත්‍රියේ ක්‍රියාකාරකම් විවිධ ලෙස වෙනස් වී තිබේ. එම වෙනස ගැන මෙනෙහි කරද්දී සිතේ ඇතිවන්නේ අපූර්ව චමත්කාරයකි.

සවස් යාමයේ ඇඳිරි වැටීගෙන එද්දී එළිදල්වා රාත්‍රියට සූදානම් වූ ආකාරය විවිධ ලෙස වෙනස් වූයේය. එම වෙනස ගම්බද හා නගර බද වශයෙන් සිදුවූවා සේම ප්‍රදේශ වශයෙන් ද වෙනස් විය. පහසුකම් අඩු දරිද්‍රතාවයෙන් පෙලුණු පවුල්වල උදවිය ඇඳිරි වැටීගෙන එද්දී රාත්‍රියට සූදානම් වූයේ කුප්පිලාම්පු දල්වලාය. කුඩා බෝතල් කුප්පියක මූඩිය සිදුරුකොට ඒ අතරින් පහන් තිරය රිංගවා සදාගත් කුප්පියට පිරවූයේ භූමි තෙල්ය. පිළිස්සුණු පැරණි විදුලි බල්බවලින් තැනූ කුප්පි ලාම්පු එකල බහුලය. සෑම සිල්ලර කඩයකම පාහේ දැවී ගිය විදුලි බල්බවලින් සෑදු කුප්පි ලාම්පු විකුණන්නට තිබිණි.

“තෝමස් අල්වා එඩිසන් පණදාගෙන මහන්සි වෙලා විදුලි බල්බය හඳුන්වා දුන්නා. අපි ඒ විදුලි බල්බයෙන් කුප්පි ලාම්පුව හැදුවා.” පසුගිය කාලයේ සමාජ වෙබ් අඩවිවල සංසරණය වූ මෙම අදහස විස්කෘත කොට පොතක් කරමි. මේදේ ලිවිය හැක්කේ ඒ තුළ කැටිවුණු බොහෝ කරුණු තිබෙනා බැවිනි. එකල අපේ ගම්බද උදවිය සහ නගර බද උදවිය රාත්‍රිය එළිය කරගත් හැටි ගැන එළිපිට නොනිමෙන සැඟවුණු අර්ථයක් ද එහි ඇත්තේය.

විදුලි ආලෝකය නොතිබුණු බොහෝ ප්‍රදේශවල තරමක ආදායමක් තිබුණු ජනතාව පැට්‍රොමැක්ස් ලාම්පු දල්වා ගත්හ. සමහර උදවියගේ සාලයේ පමණක් පැට්‍රොමැක්ස් ලාම්පුවක් තිබුණි. අනෙක් කාමරවල කුප්පි ලාම්පුය. නාගරීකරණය නොවූ ප්‍රදේශවල ගොම්මන් වේගෙන එද්දී උඩින් බිමට බාගත් පැට්‍රොමැක්ස් ලාම්පුවට හුළං ගසන දර්ශනය බොහෝ නිවෙස්වල දිස්වූයේය. පැට්‍රොමැක්ස් ලාම්පුවේ එළිය ලබාදෙන මැන්ටලය දැන් කඩා වැටෙතැයි සිතෙන තරම් අස්ථිර දෙයකැයි එකල අපට හැඟිණි. 

එහෙත් මේ සියල්ලටම වඩා කලාත්මක බවක් ඇත්තේ ලන්තෑරුමේ යයි හැඟේ. වැඩබිම්වල, කඳවුරුවල, වාඩිවෙලා අනෙක් සියල්ලටම වඩා ජනප්‍රිය වූයේ ලැන්තෑරුමයි. අද පවා හෝටල්වල, නිවෙස්වල කලාත්මක දීප්ත වස්තුවක් ලෙස ලැන්තෑරුම ප්‍රදර්ශනය කෙරේ. “අඳුර විඳින්නට රැයක් දවාලු ලැන්තෑරුම් නිවලා...“ - ප්‍රේමකීර්ති උදෑසන දුටුවේ එසේය.

රාත්‍රිය එළඹෙන විට පායන සඳ තරම් කවීන්ගේ කවිවලට පාත්‍රවුණු තවත් වස්තුවක් නැති තරම්ය. දවස් විසි අටක් පුරා දිනෙන් දින සඳ පොළොවට දිස්වෙන හැටි නිරීක්ෂණ කරන්නට මිනිසා පෙළඹුණේ ශිෂ්ඨාචාරය ආරම්භයටත් පෙර පටන්ය. නේක විදුලි බුබුළු දල්වා එළිය කළ නගරවලට ඉහළින් පායන සඳ ගැනද කවියෝ කවි ලියූහ. කේ. සේකර ලියූ “නිව්යෝර්ක් නගරයට පායන සඳ ඉන් එකකි. නිව්යෝර්ක් නගරයට පෑයු සඳ අපේ ගමට පෑයු සඳට වඩා බොහෙවින් වෙනස් වූයේය. දැන් කොළඹ නගරයට පායන සඳ ද නිව්යෝර්ක් නගරයේ සඳ හා තරමක් සමාන වන්නේ රාත්‍රියට ගොඩනැගිලිවලින් විහිදෙන නොයෙක් එළි නිසාය. ඉදිරියේදී චීනයේ එක් පළාතකට කෘත්‍රීම සඳක් පායවන්නට සැලැසුම් කර තිබෙන්නේ ඒ මගින් එක් රැයකට මෙගා වොට් දසදහස් ගණනක් විදුලිය ඉතිරි කරගත හැකි නිසාය. “ෂැංහැයි නුවර පායන සඳ ලස්සනයිද කියන්න. කියා එදාට අපට අසන්නට සිදුවනු ඇත. 

ඉස්සර කොළඹ නගරය ආලෝකමත් කොට තිබුණේ ගෑස් ලාම්පු එළියෙන් බව කියනු ලැබේ. ඒ කාලයේ ගෑස් ලාම්පු දල්වා තිබූ රාත්‍රියේ බොහෝ සෙයින් නිශාචර චණ්ඩි සැරිසැරූ බවද කියවේ. අපේ තරුණ කාලයේ කොළඹ නගරය දැන් තරම් ආලෝකමත් කොට නොතිබුණි. එය අපේ නිශාචර තරුණ දිවියට එතරම් පාඩුවක් වුණේ නැත. ඉස්සර 9.30 රාත්‍රී චිත්‍රපට දර්ශනය සෑම සිනමාශාලාවකම පාහේ ප්‍රදර්ශනය විය. චිත්‍රපටය බලා ආපසු යනවිට ලංගම බස් රථය වැරදුණේ කලාතුරකිනි. 9.30 දර්ශනය බලා බස් නැතිව පයින් ගෙදර යන්නට සිදුවූ අයද නැතිවා නොවේ. අපේ නිශාචර දිවියට බාධා සිදුවුණේ රටේ කලබල ඇති කාලවලය. අපේ තරුණ ජීවිත කාලයෙන් 75%කට වඩා වැඩි කාලයක් රටේ තිබුණේ හදිසි නීතිය වුවද ඒ අතරේම රාත්‍රිය රස විඳින්නට අපට හැකිවිය.

රාත්‍රියේ අන්තිම බස් රථය පිළිබඳ කතා කොළඹත්, පිට පළාත්වලට නොඅඩුව තිබුණේය. නිශා දිවිය ගතකොට ගෙදර යන්නට ඉතිරි වූයේ අන්තිම බස් රථයයි. “ලාස්ට් බස් එකේ කතාව* නමින් ධනංජය කරුණාරත්න නාට්‍යයක් ද ලියා නිෂ්පාදනය කළේය.

පිටපළාත්වල ප්‍රධාන නගරයක සිට ඈතට ගිය අන්තිම බස් රථය ඇතැම් විට ගමනාන්තයේ නවතා තබා පාන්දර නගරයට ආවේය. කොන්දොස්තර සහ රියදුරා ගමනාන්තය සමීපයේ දන්නා තියෙන තැනක රාත්‍රිය ගත කළෝය.
ඇතැම් විට මහ රෑ ගමනක් ගොස් පිටකොටුවෙන් බැසගත් විටෙක පිටකොටුවේ ඇවිදිමින් පළතුරු කෑම අපේ පුරුද්දක් විය. නොදැනීම කාලය ගෙවී ගොස් උදේ හතරට, හතරහාමාරට පමණ වූ විට පාන්දර බස් රථයෙන් ගෙදර ආ හැකිවිය. රාත්‍රිය කොළඹ අතරමං වූ විට ගෝල්ෆේස් පිට්ටනියේ රැය ගතකිරීමද අතිශය චමත්කාරජනක අත්දැකීමකි. ගෝල් ෆේස් පිට්ටනිය රාත්‍රිය පුරා අවදියෙනි. එහිදී කොත්තු, ආප්ප රසවිඳ ගැනීම තවත් විනෝදාංශයකි. රෑ එළිවෙන තුරු ලංගම බස් රථයකට ගොඩවී එහි ආසන මත නිදා සිටි අපේ මිතුරන් ද හිඟ නැත.

ඉස්සර කොළඹ රාත්‍රියට දැල්වුණු නියොන් එළි දැන් බොහෝමයක් නොපෙනේ. “බටා” කකුල් ඇවිදින නියොන් බට එළිය අප කුඩා කළ බලාසිටියේ ආසාවෙනි. දැන් එල්.ඊ.ඩී. බල්බ එක්කොට තැනූ සංඥා පුවරු ඒවා අභිබවා දැල්වේ.
ඉස්සර රාත්‍රියේ පැවැති සංගීත සංදර්ශන දැන් මෙන් 11.00ට නැවැත්විය යුතු නොවූයේය. නුගේගොඩ, දෙහිවල, වැල්ලවත්ත, ගල්කිස්ස සමීපයේ තිබූ සංගීත සංදර්ශන අතිශය ජනප්‍රිය අංගයකි. රූපවාහිනිය නැති කාලයේ ගායක ගායිකාවන් අප සජීවීව දැකගත්තේ එම සංගීත සංදර්ශනවලිනි. දයානන්ද ගුණවර්ධනයන් සිය “මධුර ජවනිකා” නාට්‍ය නිෂ්පාදනය කළේ මෙම සංගීත සංදර්ශනවල ජනප්‍රිය බව දුටු නිසා යැයි. එහි මුද්‍රිත පිටපතේ සඳහන් වේ.

එකල ගමන් යද්දී විදුලි බලය නැති ප්‍රදේශවල බහුලව භාවිත කළේ විදුලි පන්දමයි. විදුලි පන්දම්වලට යොදන බැටරි වර්ග රාශියක් වෙළෙඳ පොළේ තිබිණි. ලක්ෂපාන, බෙරෙක්, එවරෙඩි ඉන් කිහිපයකි. දැන් බොහෝ විට භාවිත වන්නේ චාර්ජ් කරනු ලැබූ බැටරි ඇති විදුලි පන්දම්ය. විදුලි පන්දමක් නැති නම් පොල් කට්ටක ඉටි පන්දමක් ගසාගෙන යන්නට බොහෝ අය දැන සිටියහ. පොල් කටුවේ ඇතුළත ඉටි පන්දම ගැසූ විට එහි එළිය අපූරුවට ඉදිරියට විහිදේ. පිටසර පළාත්වල රාත්‍රියේ ගමන් දුර ද උපහාසයෙන් හැඳින්වූයේ “ඉටි පන්දම් කීයක දුරද” යනුවෙනි. ජනයා සුලබව රාත්‍රියේ ගමන් බිමන් ගියේ නගර කිහිපයක පමණි. කොළඹට ආසන්න ගම්පහ, මීරිගම වැනි බස්නාහිර පළාතේ නගර ද යම්තමින් ඇඳිරි වැටුණු පසු 1990 ගණන්වල පවා හිස් වූයේය. කොළඹ නුවර පාරේ සහ කොළඹ ගාලු පාරේ තත්ත්වය එසේ නොවුයේය. එම ප්‍රධාන පාරවල නගර බොහෝ රාත්‍රී වනතුරු සිටියේ අවදියෙනි.

රෑ අහසේ සඳ මෙන්ම තරු එළිය ද කවීන්ගේ විෂයට නිතරම පාත්‍ර විය.

 “සඳේ තනියට පුංචි තරුවක් පායනා වාගේ... 

මගේ තනියට ළඟින් ඉන්නා සොඳුර පණ වාගේ...“ ඒ කාලයේ සී.ඩී. ෆොන්සේකා එසේ ගයද්දී තනි තරුවට ගීයක් ලීවේ ප්‍රේම කීර්තිය.

“තනි තරුවේ - ඔබත් ඔහොම ඔතැන ඉන්න

මමත් මෙහෙම මෙතැන ඉන්නවා.” වික්ටර් මෙය ගායනා කරද්දී ඈත තිබෙනා තරුවක් අමතන්නා සේ අපට දැනේ. තරු එළි තරමටම රාත්‍රිය සුන්දරත්වයට පත්කළ කණාමැදිරි එළි දැන් බොහෝ සෙයින් හිඟය. ඉස්සර ගම්බද පැතිවල රාත්‍රි කාලයේ තරු එළි තරමටම කණාමැදිරි එළි පෙනුණේය. කෘෂිරසායන භාවිතය වැඩිවීම නිසා කණාමැදිරියන් බෝවීම අඩු වී ඇති බවට මතයක් ඇත. 

රාත්‍රී සාද බොහෝ ගීත රචකයන් වර්ණනා කරද්දී ඊට ඔමාර් ඛයියාම්ගේ දර්ශනය උපයෝගී කරගනු පෙනිණි. මිය ගිය අතීතය ගැන තැවෙන්නය නොව එළඹෙන අනාගතය ගැන බියවෙන්නට නොව කළයුත්තේ සොඳුරු රාත්‍රියේ ඉන්නා නිමේෂය සතුටින් රසවිඳගැනීම වග රාත්‍රී සාද ගැන කියන බොහෝ ගීතවල කියවිනි.

“හෙට උදයේ - හිරු එළියේ සිහින ලොවේ - සැපත නිවේ.” යනුවෙන් දෙළොවක් අතර චිත්‍රපටයට ලියූ මහගම සේකර “වෙස් ගත්තෝ” චිත්‍රපටයේ රාත්‍රී සාදයට ලීවේ මෙසේය. “රෑ සිහිනෙන් දිව ගෑ සැපතක් මෙන් - හෙට දින එය මිය යයි - මිය යයි.” රාත්‍රියේ හොල්මන් ගැන කතා කියන්නට බොහෝ දෙනා පුරුදු වී සිටියේ අඳුරේ ඇති ගූඨ බව හේතුවෙනි. වරෙක හොල්මන් කතාවෙන් සළිත කරන සිත ඊළඟ මොහොතේ හාස්‍ය උකහා ගනී.

අපේ රටේ රාත්‍රී වැඩමුරය වැඩ කරන්නට ජනයා පෙළඹුණේ හැත්තෑහතේ විවෘත ආර්ථිකයේ අවතීර්ණයත් සමඟයි. රාත්‍රී 10 – 11 වෙද්දී වැඩ ඇරී නිවෙස්වලට යන්නට බස් නැවතුම් පොළවල්වල - ඇඟලුම් කර්මාන්තවල නියැළෙන කාන්තාවන් සිටිනු දක්නට ලැබීම එකල අපට අලුත් දෙයක් විය.

සම්පුදායික ගැමි නාටක හා බද්ධ වුණු දහඅට සන්නිය, ගම්මඩු, දෙවොල් මඩු යන යාතුකර්ම සිදුකරනු ලැබුණේ රාත්‍රියේය. පහතරට බෙරයෙන් වැයෙන සෞන්දර්යයත්, අද්භූත බවත් දැනෙන හඬට රාත්‍රියේ හුළු එළි, පන්දම් එළි සහ දුම්මල පහරවල එළිය එක්වූ විට නැගුණේ අපූරු චමත්කාරයකි. ඒ එළි සාම්ප්‍රදායික රංග ශිල්පියාගේ රංග වස්ත්‍ර, වෙස් මුහුණුවලට දුන් ආලෝකය කෘත්‍රීම විදුලි පහන් එළිවලින් දීම උගහටය.

“ඉන්ද්‍ර දිගේ ඉන්නා යක්ෂණි තොපට - 

තොපට කැමති දොළ සලසා දෙමි සොඳට” එසේ දොළ පිදේනි ගිලින්නට යක්ෂයන්ට ආරාධනා කළේ රාත්‍රියේදීය. එම යාතුකර්මවලදී රාත්‍රියේ ගූඨ බව චමත්කාරයට හැර වූයේය. දිවාකල දාහයෙන් පීඩා විඳිනා අප වැනි නිවර්තන රටක ජනයාට රාත්‍රියේ වැඩ කරන්නට හුරුවීම වඩා යෝග්‍ය වන්නක් සේ පෙනී යයි. දවසේ පැය හයක හෝ අටක කාලයක් නිදාගත යුතු බව සැබෑය. එහෙත් ඇතැම් වෙහෙසකර කටයුතු රාත්‍රියේ කිරීම වඩා පහසුය. ටෝකියෝ වැනි නගර නොනිදන නගර බවට පත්ව ඇත්තේ ද ඒ පහසුව නිසාය.

රටේ විදුලි බලය ව්‍යාප්තව නැති අප කුඩා කාලයේ රටේ වැඩිපුර තිබුණේ හය - හත වනවිට නින්දට යන නගරයන්ය. එකල ගුවන් විදුලියේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශනය වුයේ රාත්‍රී 8.00ය. එම ප්‍රවෘත්ති විකාෂනය රාත්‍රී 9.00 දක්වා පමා කළ පසු එය රටේ උපත් අනුපාතිකය අඩු වීමටද බලපෑ බව ඒ ගැන හැදෑරෑ උගතුන් කියනු අසා ඇත්තෙමි. එදා මෙන්ම නොනැවතී ලෝකය කැරකෙමින් දිවා රෑ එළඹේ. තාක්ෂණයේ දියුණුවත් සමඟ රැය එදාට වඩා අද කාර්යක්ෂමතාවය, රටේ සාමය බිඳ වැටුණු කාලවල රැය අකාර්යක්ෂමය.

♦ සමන් පුෂ්ප ලියනගේ 

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30