2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

අද නොදකින එදා මඟුල් ගෙවල්

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 215

සේයාරුව - අන්තර්ජාලයෙන්

යුවළක් විවාහ වී දරුවන් බිහිකිරීම යනු ඒ දෙදෙනාගේ පෞද්ගලික කාර්යයක්ම නොවේ. පවුලක් ලෙස ඔවුන් ගොඩනගන්නේ සමාජයේ කුඩාම ඒකකයයි. එබැවින් එය සමාජ කාර්යයක් වේ. විවාහය චාරිත්‍රානුකූලව සභාවක් මැද පවත්වන උත්සවයක් බවට සම්ප්‍රදායිකව පත්කොට ඇත්තේ සමාජයේ කුඩාම ඒකකය ගොඩනැගීමේදී නව යුවළට ඇති වගකීම අවබෝධ කරදීම පිණිස විය යුතුය.

විවාහ උත්සවය සම්ප්‍රදායානුකූලව පවත්වන්නක් වුවද, ප්‍රායෝගිකව මෙම උත්සව පවත්වන ආකාරය අපේ රට තුළ වඩාත්ම නාගරීකරණයට භාජනය වූ පසුගිය දශක 4 – 5 තුළ නිරන්තරයෙන්ම වෙනස් වී තිබේ. අද කොළඹ ඉහළ පෙළේ හෝටලයක විවාහ උත්සවයකට සහභාගි වී ඛාද්‍ය, භෝද්‍ය ආදියෙන් දිව පිනවාගෙන, නෑ හිතමිතුරන් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදී, රිද්මයානුකූල සංගීතයට සවන්දෙන අපට පැරැණි (මඟුල් ගෙවල්) නැතහොත් ගමේ භාෂාවෙන් කියන (ඇස්ටෝම්) ගෙවල් මතක් වනවිට සිතට නැගෙන්නේ අපූරු චමත්කාරයකි.

At home යන ඉංග්‍රීසි වචනය තලා පෙලා, ගැමියා තමාට ඕනෑ පරිදි සකස් කරගෙන එය (ඇස්ටෝම්) බවට පත් කරගත්තේය. At home යනුවෙන් (ගෙදර පැවැත්වෙන සාදය) යන්න අදහස් කෙරෙන බැවින් ගෙවල්වල පැවැත්වෙන, විවාහ මංගල උත්සව, කොටහලු මඟුල් හා වෙනත් ප්‍රීත්‍යුත්සවවලට ගැමියා, ඇස්ටෝම් ගෙවල් යැයි කීම වරදක් නොවේ. දිවා කාලයේ සමීප නෑ හිතමිතුරන් මැද මංගල උත්සවය හෝ කැන්දාගෙන පැමිණීමේ උත්සවය පැවැත්වීමෙන් අනතුරුව ගමේ අය උදෙසා පවත්වන භෝජන සංග්‍රහයට පමණක් ඇතැම් ගම්වල (ඇස්ටෝම්) යැයි කියනු ලැබුවේය.
ඉස්සර ගමේ හෝ නගරාසන්නයේ නිවසක මංගල උත්සවයක් පවත්වන්නට නියමිතව ඇතිවිට සමීප නෑසියන් ගෙදරට එන්නේ සතියකට පමණ කලිනි. ඔවුහු මඟුල් මේසයට යවන අච්චාරුව සාදන්නට රතුලූනු සුද්ද කිරීමෙන් සිය දායකත්වය අරඹති. ඉන්පසු කැවිලි- කැවුම්, කොකිස්, ආස්මි සාදන්නට හවුල් වෙති. මඟුල් දිනය ළංවන විට පිරිමි සැරසිලිවලට සූදානම් වෙති. පෝරුව හදන්නට ගන්නේද ඒ සමඟය. පෝරැව තනන්නට දක්ෂ ශිල්පීහු ගම්වලම සිටියහ. ඇතැම්විට ගොක්කොළ, පොල්කොළ, අරලිය කොළ හා ප්ලාස්ටර් ඔෆ් පැරිස් බදාමය උපයෝගී කරගෙන පෝරුව නිර්මාණය කරන ආකාරය වටපිට පොඩි ළමෝ ඇතුළුව සියලුදෙනා ආසාවෙන් බලා සිටියහ. තැනූ පෝරැව දවස් දෙකක් පමණ තියාගන්නට අවශ්‍ය වූයේ නම් පොල්කොළ, ගොක්කොළ ආදියේ පොල්තෙල් තවරනු ලැබීය.

හැට හැත්තෑ ගණන්වල පවා ගමක මඟුල් ගෙයක් තිබුණුවිට (ලවුස් කීපර් ගස්) බැන්දෝය. (loud speaker වලට ගමේ භාෂාවෙන් කීවේ ලවුස් කීපර් කියාය.) ගමටම ඇහෙන්නට මොහිදීන් බෙග්ගේ, ජෝතිපාලගේ ගීත එයින් වාදනය කෙරිණි. ලවුස්කීපරය හැරුණුවිට එක් එක් ආකාරයේ කොඩිද පාර හරහා එල්ලනු ලැබුවේය. ජාතික කොඩි, සිංහ කොඩි හා එක් එක් හැඩයේ පාට කොඩිද ඒ අතර විය. 

හැට ගණන්වල ගම්වල මඟුල් ගෙදරක සිරියාව මතක් වන්නේ චමත්කාර රූපයක් හිතේ මවමිනි. ටුවිඩ් කෝට් සහ ටුවිඩ් රෙදි හැඳගත් පිරිමි නිවෙසේ ඉස්තෝප්පුවේ හිඳගෙන හෝ මිඳුලේ තැන් තැන්වල සිටියදී ලස්සන සාරි ඔසරි හැඳගත් ගැහැනු ගෙතුළට වී නිමක් නැති සල්ලාපයේ යෙදෙති. වෙනදාට වඩා දිලිසෙන ගවුම් හැඳගත් දැරිවියෝද, ජේත්තුවට සහ නුහුරට හැඳගත් පිරිමි දරුවෝද වැඩිහිටි අය අතරින් දඟකරමින් දිවයති. පැත්තක හෝ යාබද ගෙයක සූදානම්කොට ඇති මත්පැන් කාමරයකින් රහසේ විතක් පානය කොට එන පිරිමි උඩුරැවුල පිසදාගනිති. ඒ කාලයේ මඟුල් ගෙදරක (ලවුස් කීපර් ගස් බඳින්නට කලින්) ග්‍රැමෆෝනය වරදින්නේ නැත. ඒවා කරකවා වයින් දමන්නටත්, ඒවාට බල්ලා මාර්ක් (His master voice) තැටි දමන්නටත් බොහෝවිට කුඩා ළමෝ පොරකෑවෝය. නවසිය හැත්තෑ ගණන්වලදී රත්තරන් පාට මලක් මෙන් වූ ස්පීකරය ග්‍රැමෆෝනයෙන් ඉවත් වී ඒවාට පෙට්ටි ස්පීකර යාවුණේය.

ග්‍රැමෆෝන් තැටි වාදනය වූ මඟුල් ගෙදරක අපූරු රූප පෙළක් මහගමසේකර අධ්‍යක්ෂණය කළ තුම්මංහන්දිය චිත්‍රපටයේ ඇත. එහි ග්‍රැමෆෝනයෙන් පැරැණි ගීයක් වාදනය වන අතර තැටිය ප්‍රතිවාදනය වෙයි.

“අනේ පිඬුසිටාණෝ... අනේ, අනේ, අනේ, අනේ”

“අනේ අනේ තමයි ඕක නිවලා දාපන්” යැයි වැඩිහිටියකු කී විට සියල්ලෝ සිනාසෙති.

කොළඹ සමීපව විසූ අපේ මව්පියන්ගේත්, අපේ යහළුවන් කිහිපදෙනකුගේත් මඟුල් ෆොටෝවල එකම ජනේලයක් පසුබිමේ තිබෙනු නිරීක්ෂණය කරගන්නට හැකිවූයේය. පසුව අනාවරණය වූයේ කොළඹ සමීපයේ සිටි බොහෝදෙනා මංගල ඡායාරූපයක් ගන්නට එකල ප්‍රසිද්ධ වූ මරදානේ පිහිටි ස්ටුඩියෝවකට ගිය බවකි.

මනාලියගේ ගෙදර පැවැත්වෙන පෝරුවේ චාරිත්‍ර සහිත මංගල උත්සවයට බොහෝවිට ආරාධනා ලැබුණේ සමීප ඥාති හිතමිත්‍රාදීන්ට පමණකි. එසේ ආරාධනා ලැබෙන අයගේ සංඛ්‍යාව ගෙයි ඉඩ පහසුකම් හා මිදුලේ ඉඩ අනුව වෙනස් වූයේය. නැකැතට පෝරුවේ චාරිත්‍ර ඉටුකිරීම, ජයමංගල ගාථා ගායනය, අෂ්ඨක කීම ආදිය ඉටුකිරීමෙන් පසු මනාලියගේ නිවස තුළදීම ඥාති හිතමිත්‍රාදීන් එක්වී සාමීචියේ යෙදී, විනෝද වී භෝජනය භුක්ති විඳීම තුළ දැඩි සුහදතාවක් අව්‍යාජ බවක් ගැබ්වී තිබුණේය.

ඇස්ටෝම් මඩුව සෑදීමද නෑ හිතමිතුරන්ගේ අව්‍යාජ සාමූහික ප්‍රයත්නයකි. GI පයිප්පවලින් සැදි සැකිල්ලත්, ටකරං කිහිපයත් හැත්තෑ ගණන් වනවිට කුලියට ගන්නට තිබුණේය. ඒ ඒ අවස්ථාවේ හැටියට ඇස්ටෝම් මඩුවේ ආවරණ නිර්මාණාත්මකව සකස් කෙරිණි. වරෙක ඇස්ටෝම් මඩුවේ පහත වට ආවරණය සකස් වූයේ සුදුහුණු ගෑ හණ ගෝනිවලින්ය. ඇතැම්විට ඊට පොල්කොළ උපයෝගී කර ගැනුණේය. කැටයම් දන්නා හෝ ගොක්කොළ රටා දන්නා හිතවතකු වී නම් නිර්මාණාත්මකව මඩුවේ සැරසිල්ලට ඒවාද එකතු වේ. පාට පාට බැලුන් බෝලත්, පැද්දෙන ක්‍රේප් කොළත් ගේ ඇතුළේත්, ඇස්ටෝම් මඩුවේත් වැරදුණේ නැත. වැනෙන ක්‍රේප් කොළ දිගේ දිවෙන තරංගය දෙස කුඩා අප බලාසිටියේ මහත් ආසාවෙනි.

බොහෝවිට රසවත් සිදුවීම් සිදුවුණේ කැන්දාගෙන ආවායින් පසු මනාලයාගේ නිවෙසේ පවත්වන උත්සවයේදීය. ඒ වනවිට විධිමත් විවාහ චාරිත්‍ර ඉටුකොට හමාර බැවින් බොහෝ ඥාති මිත්‍රාදීන් සිටියේ ආතතිය නිමාකොට සැබෑ සතුටකිනි. Home coming දිනයේ මනාල යුවළ මනමාලයාගේ නිවසට සැපත් වන අවස්ථාවේ පිළිගැනීමේ ගීතයක් ගායනා කිරීම 80 ගණන් දක්වාම සිදුවිය. යුවළ සමඟ එන මනාලියගේ පිරිස ගේ ඉදිරිපිට දොරකඩ නතරකරවා ගැයෙන මෙම පිළිගැනීමේ ගීතය ගායනා කළේ කුඩා දැරිවියන් විසිනි. ගමේ මාස්ටර් කෙනකු හෝ ළඟම පාසලේ සංගීත ගුරුවරයෙක් එම ගීතය ගායනා කරන්නට ළමුන් පුහුණු කළේය. ඉඳහිට පිළිගැනීමේ නැටුම්ද තිබිණි. බෙර තාලයත් සමඟ වයන පදට පා තබා පුංචි දැරිවියෝ “පිළිගනිමු, පිළිගනිමු, පිළිගනිමු” කියනා ගීපද බොහෝවිට එම නැටුම් සමඟ එකතු වූයේය.

මෙම උත්සවවලදීද මත්පැන් පානය ප්‍රියකළ වුනට ඒවා සූදානම් කෙරැණේ විවෘත මේසවල නොවේ. බොහෝවිට ඒ සඳහා සූදානම් කළ කාමරයක ඔවුහු (සෙට්) වූහ. මුලින් මුනු මුනුවලින් පටන්ගන්නා ඔවුන්ගේ සල්ලාප බෝතල්වල මත්පැන් හිස්වෙද්දී ටිකෙන් ටික මතුව හඬින් ඇසෙන්නට ගනී. ගීත ගායනා ඇරඹුණේ එම කාමරය තුළිනි. ග්‍රැමෆෝනයේ හෝ මෑතදී ආ බෆල්වල ගී හඬ යටපත් කරගෙන එම කාමරයෙන් නැගෙන ගී හඬ මතුව ආවේය. කාමරය ඉඩ මදිවූ විට සාලයට එම ගායනා ඇදී එන්නේ නිතැතිණි. බොහෝවිට ඒ කාලයේ සංගීත භාණ්ඩ සූදානම්කොට නොතිබුණු නිසා ගෙයි දොරකඩ හෝ අතට හසුවන බේසමකට හෝ බෙර ගසන්නට ලජ්ජාවන්නට හේතුවක් එකල නොතිබුණේය. ඇතැම්විට ජීවිතයට ගුවන්විදුලියෙන් හෝ වෙනත් විදියකින් අසා නොතිබුණු ගායනා පවා එම සාදවලදී ගායනා කෙරිණි. ගෙදරදී සින්දු කියාගන්නට බැරිවූ වැඩිහිටියෝ තරුණ කාලයේ ගැයූ ගීත ඒවායේදී නොපැකිල ගායනා කළෝය. මේ ඊට උදාහරණයකි. 

“ජේන් මගේ රන් තැඹිලිය - ජේන් මගේ ගොන් තැඹිලිය
තැඹිලි මලට කපුටා වහලා කාක් කාක් ගානා
තැඹිලි මලේ කුරුමිණියා කුරු කුරු ගානා
වටේට කුරු කුරු ගානා”

මනාලයාට ඇනෙන්නට ගයන මෙවැනි ගීතවලින් කිසි කෙනෙක් තරහ නොගත්තෝය.

එහෙත් යාන්තමින් හෝ ඉරිසියාවක්, කුහක බවක් හිතේ කොණක සඟවාගෙන සිටි නෑයෙක් වී නම් මෙවැනි අවස්ථාවල පොඩි (කොක්කක් දෙකක්) යෑමද සිදුනොවූ අවස්ථා නැත්තේ නොවේ. කලාතුරකින් ඇතැම් නෑයෙක් තරහ වී යන්නට යයි. වඩාත් නාට්‍යානුරූපී වූ රසවත් සිද්ධි සිදුවූයේ සවස් වරුවේ මනාලයාගේ නිවෙසේ මිදුලේ නවත්වන මංගල සභාවේදීය. මනාලයාගේ නෑයන්ට මනමාලිය බාරදී මනමාලිගේ පාර්ශ්වය පිටත්වීමට පෙර පැවැත්වූ කුඩා රැස්වීම හැඳින්වූයේ මංගල සභාව ලෙසයි. දෙපාර්ශ්වය නියෝජනය කරන නෑයන් තරගයට මෙන් තමාගේ එකා හෝ එකිය තරගෙට වර්ණනා කරමින් කතා පැවැත්වීම මෙහිදී සිදුවූයේය. දෙපැත්තේම මීවිත පානය කළ නෑයෝ මේ වනවිට සිටියේ තරමක් මඳ පවනට වැනෙන පදමේය. ඒවායේ කතා පවත්වන්නටම පුරුදු පුහුණු වූ අය සිටියෝය. ගමේ මරණයකදී අවමඟුල් සභාව අමතා පුරුදු වූ අයකුට මෙහිදී “අවමංගල සභාවෙන් අවසරයි” කියැවුණේ වෙරිමතටත් වඩා පුරුද්ද නිසාය. එවැනි එක මංගල සභාවක නවසිය හැත්තෑ හයේ කළ කතාවක කොටසක් තවමත් සිහියට නැගේ. ඔහුගේ කතාවේ පුනරුක්තිය කතාවට හොඳ නාට්‍යානුරූපී බවක් ගෙන දුන්නේය.

“අපි හැදුවා (ඔහුට ඉක්කාවක් යයි)
අපි හැදුවා මැණිකක්,
අපි හැදුවා මැණිකක් අපි ඒක ඔපමට්ටං කළා
අපි හැදුවා මැණිකක් අපි ඒක ඔපමට්ටං කරලා ඔබතුමාලට දුන්නා.
අපි නිකං නෙවෙයි දුන්නෙ. ඔපමට්ටං කරලයි දුන්නේ” ඔහු සිය කතාව නැවත අපි හැදුවා කියූ තැන පටන් කියන්නට ගත්තේය. ඔහු මේ කීවේ තමාගේ පාර්ශ්වයේ මනමාලයා ගැනයි.

නිතරම පාහේ මංගල සභාවල කියවෙන තවත් කතාවක් තිබුණි. “විවාහය කියන්නේ අමු අඹයක් වගේ එකක්. ඒක කන එක්කෙනා කට හද හද කනවා. ඉතින් අර බලං ඉන්න අය හිතනවා මේක රස ඇති කියල. ඉතින් දැන් ඒ අයත් මේ වගේ අඹයක් හොයනවා කන්න. කන කෙනා තමයි දන්නෙ අඹේ කොයි තරම් ඇඹුල්ද කියල. විවාහයත් ඔන්න ඔය වගේ.”
මේ කතාව මංගල සභාවක කියද්දී පසෙක සිටි පදමට වැදුණු අයෙක් මෙසේ කීවේය.

“අපි ප්‍රාර්ථනා කරමු විවාහෙ ඇඹුල් අඹයක් නොවී එකපාරට කටේ දාගන්න පුළුවන් ලෙලි ඇරපු කෙසෙල් ගෙඩියක් වේවා කියල.”

උත්සව සඳහා ගෙදර ඉඩ මදිවී, වැඩි නෑ පිරිසකට ආරාධනා කිරීමේ සමාජ අවශ්‍යතාවක් මතුවූ හැත්තෑ ගණන්වලදීම කිට්ටුව ඇති ශාලාවක් උත්සවය සඳහා කුලියට ගැනීම පටන් ගැනුණේය. නගරාසන්න YMBA ශාලා, ප්‍රජා ශාලා බොහෝවිට විවාහ උත්සව සඳහා යොදාගැනුණේය. ආහාරපානාදිය සපයන කේටරින් සේවා එකල නොවූ නිසා භෝජන ගෙදර හෝ වෙනත් තැනක සකස්කොට ශාලාවට ගෙන යාම සිදුවිය.

කොළඹ විවාහ උත්සව වැඩිපුරම පැවැත්වූ හෝටල් ශාලාවක් එවකට කොල්ලුපිටියේ තිබිණි. එවැනි වූ විවිධ හෝටල් ශාලාවල විවාහ උත්සව සංවිධානය කෙරුණේ පසු කාලයේය. මේ වනවිට කොළඹ ප්‍රමුඛ පෙළේ හෝටලයක මංගල උත්සවයක් ගනිද්දී එක් අයකුට, එක් වේලකට රුපියල් 15000/- දක්වා අයකෙරෙන මට්ටමට ළංවී ඇතිබව පෙනේ. අභාග්‍ය වන්නේ එවැනි අධික වියදමක් දැරිය නොහැකි උදවිය පවා ඉඩම් විකුණා ඒවා සංවිධානය කරගන්නට උත්සාහ දැරීමයි. සහභාගිවන්නන් ආයාසයෙන් අසා ඉන්නාවූත්, ආයාසයෙන් බලා ඉන්නාවූත් වියදම්කාරී ජවනිකා ඒවායේ බොහෝය. අවශ්‍යතා ධූරාවලිය පසෙක තබා කරන්නන් වාලේ රැල්ලට කරන වියපැහැදම් බොහෝ වග වර්තමාන මංගල උත්සවවල පෙනේ.

සම්ප්‍රදායික චාරිත්‍ර විවාහ උත්සවවල පවා ස්වරූපය වෙනස් වන්නේ වෙනස්වන සමාජ ආර්ථික වටපිටාව අනුවයි. අනෙක්වා සේම විවාහ උත්සවවලද ස්වරූපය වෙනස්වීම අරැමයක් නොවේ.

I සමන් පුෂ්ප ලියනගේ

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30