2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

හිටිගමන් උඩ පනින බදු සහ බඩුමිල

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 81

ජීවන වියදම වර්තමාන ආණ්ඩුව බලයට පත්කරන්නට බලපෑ එක හේතුවකි. යුද බිය නැති කළ පැවැති ආණ්ඩුව සාම වකවානුව තුළ අසාර්ථක වූ අතර යුද වියදම් නැති රටට බඩු මිල අඩු කරන පියවර ගත නොහැකි ඇයි දැයි ජනතාව ප‍්‍රශ්න කළහ. බඩු මිල අඩු කළ නොහැකි නම් වැටුප් වැඩි කරන සේ පැවැති ආණ්ඩුවට බල කළහ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පාලනය කර වැඩකරන ජනතාවගේ ජීවන වියදමට විසඳුමක් වශයෙන් රුපියල් දස දහසකින් වැටුප් වැඩිකරන බව එදා විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩුවේ පාර්ශව පොරොන්දු දුන්හ. තෙල් මිල වහා අඩු කරන අතර නාස්තිය නැති කර දූෂණය තුරන් කරන බව එක හෙලා කියා සිටියේය. 

වත්මන් පාලනයේ අවුරුදු තුනක ශේෂ පත‍්‍රය ජනතාව හමුවේ දිග හැරී තිබේ. ජීවන වියදම ඉහළ නැගීම ගැන ජනතාව තුළ විශාල කුකුසක් තිබේ. ආහාර පාන මිල දිනෙන් දින වැඩිවෙයි. ප‍්‍රවාහන ගාස්තු වැඩි වී ඇත. වැට් බදු වැඩි කිරීම පදනම් කරගෙන වෙළඳපොළ අලෙවි කරන සියලු භාණ්ඩ හා සේවා මිල වෙනස් වෙමින් තිබේ. මිල වැඩි කරන විට අලෙවිය අඩු වන බව දන්නා නිෂ්පාදකයෝ ඇසුරැමේ අඩංගු කරන ප‍්‍රමාණය සීමා කර තිබේ. ග‍්‍ර‍්‍රෑම් ප‍්‍රමාණය අඩු වන විට කලින් මිලට භාණ්ඩ ලැබෙන බව හිතන පාරිභෝගිකයෝ සෑහීමකට පත්වන බව නිරීක්ෂණය කළ හැකිය.

2015 ජනවාරි විප්ලවයට පසු වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වන අතර එයින් මාසයකට පසු මෙරට උද්ධමනය ආපසු හැරේ. පෙබරවාරි මාසයේ උද්ධමනය එයට කලින් මාසයට වඩා ඍන 1.8 කි. බඩු මිල වැඩිවීමේ වේගය ආපසු හැරී තිබේ. මාර්තු මාසයේ උද්ධමනය ඍණ 0.4 ක් වූ අතර අප්‍රේල් මාසයේදී සුළු වැඩිවීමක් එනම් 0.1 ක වර්ධනයක් බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තා පෙන්වයි. 2015 අගෝස්තු මාසයේ මහ මැතිවරණය පැවැත්වෙන අවස්ථාවේ හා ඉන් පසු තත්ත්වය ද එයට නොවෙනස්ය. අගොස්තු උද්ධමනය ඍණ 0.3 කි. සැප්තැම්බර් ඍණ 0.1 ක් වූ අතර ඔක්තෝම්බර් මාසයේ දී සුළු එනම් 0.4 ක උද්ධමන වර්ධනයක් වාර්තා කරයි. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ මෙම ඉලක්කම් මෙරට ඡන්ද දායකයන්ට මාස තුනකට වඩා සහන අනවශ්‍ය බව ආණ්ඩුව තීරණය කර ඇති බව පෙනේ. මෙය වත්මන් ආණ්ඩුවේ ප‍්‍රශ්නයක් නොවේ. ඕනෑම ආණ්ඩුවක් බලයට පත්වෙන්නේ ඉහළ බලාපොරොත්තු ඇති කරමින්ය. බඩු මිල අඩු කර, ආදායම වැඩිකරන සහ රැකියා සුලබ සමාජයක් ඇති කරන බවය. ඒවා සුන්දර වචන පමණකි. රාජ්‍ය අයවැය පියවන විට ජනතාව මත බර පැටවේ. රට ආර්ථික වශයෙන් දියුණු කරන තෙක් පටි තද කරගෙන ඉවසන ලෙස ප‍්‍රකාශ වන අතර ආණ්ඩුව හදන්නට නොහැකි වීමේ පළමු හේතුව කලින් තිබුණ ආණ්ඩුවේ බරපතළ වැරදි හා දූෂණ බව අවධාරණය කෙරේ. වත්මන් ආණ්ඩුව ද ගමන් කරන්නේ එම පීල්ලේ බව සඳහන් කරන්නට අවශ්‍යය. ජනතාව ජීවත් කරන සැලසුමක් වෙනුවෙන් පියවර ගැනීමට ආණ්ඩුව අසමත්ය.

ආණ්ඩුව බලයට පත් වූ වහා ඉදිරිපත් කළ 2016 අය වැය අර්තාපල් සහ ලොකු ලූනු විශේෂ බද්ද රුපියල් 25 බැගින් අඩු කළේය. කිරිපිටි 400 පැකැට්ටුවට මිල රු. 295.00 ක් ලෙස නියම කරන ලද අතර ළදරු කිරි පිටි රු. 100 කින් අඩු කරන ලද බව සිහිපත් කළ යුතුය. ටින් මාළු රු. 125.00, හාල් මැස්සන් රු. 410.00, කට්ටා රු.1100.00 සාලයා රු. 425.00 වශයෙන් මිල නියම වෙයි. මයිසූර් පරිප්පු රු.169.00 ක් වන සේ එයට අය කරන ලද බද්ද සම්පූර්ණයෙන් ඉවත් කරන අය වැය යෝජනා කඩල කිලෝව රු. 169.00 ක් බව ප‍්‍රකාශයට පත් කළේය. ගෑස් මිල රු. 150.00 කින් හා භූමිතෙල් මිල රු. 10.00 අඩු වෙයි. මෙම සහන වෙනුවෙන් රු. බිලියන 30 ක පිරිවැයක් දරන්නට සිදුවෙන බව මුදල් ඇමැතිවරයා සඳහන් කළේ උද්දාමයෙන්ය. අදියර තුනකින් රුපියල් දස දහසක වැටුප් වැඩි කරන පසුබිම තුළ රජයේ සේවකයෝ සතුටින් පසු වූහ.

අවුරුදු තුනක පාලන කාලය අවසන් වන වර්තමානයේ ජීවන වියදම දැනෙන්නේ කෙසේද? පසුගිය ජූනි මාසයේ උද්ධමනය වැඩිවීම එයට කලින් මාසයට වඩා සියයට 4.4 කි. එම උද්ධමනයට වඩා ජූලි මාසයේ උද්ධමනය සියයට 5.4 කින් ද අගෝස්තු මාසයේ සියයට 5.9 කින් ද ඉහළ ගොස් ඇත. මෙම ඉලක්කම් නරක බව බලයේ ඉන්නා දේශපාලනඥයන්ට දැනෙන්නේ නැත. නොදැනෙනවා නොවේ. ජීවත්වීම අමාරු බව දන්නා දේශපාලනඥයෝ තමන්ගේ වැටුප් දීමනා වැඩි කරගනිති. නිලධාරීහු ද තමන්ගේ පහසුකම් නංවා ගන්නා අතර ඒවාට අවශ්‍ය පිරිවැය වෙනුවෙන් ජනතාව මත බදු පැනවෙයි.

ජනාධිපතිවරයා මෙරට බඩු මිල වැඩි බව තේරුම් ගෙන ඇත. 2016 ජූලි මාසයේ දී ජනාධිපතිවරයා අදාළ ස්වභාවය ගැන තදින් කතා කළේ ආණ්ඩුවක් තියෙනවාදැයි මහජනතාව ප‍්‍රශ්න කරන බව කියමින්ය. එම ප‍්‍රකාශයට පසුව දා එවකට සිටි මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා භාණ්ඩ වර්ග 16කට ස්ථාවර මිලක් ප‍්‍රකාශයට පත් කරන ලද අතර සතොස එම මිලට බඩු විකුණන බව සහතික කළේය. සීනි, මයිසූර් පරිප්පු, අර්තාපල්, ලූනු, මිරිස්, සැමන්, මුං ඇට, කවුපි, සුදු ලූනු, උඳු, කොත්තමල්ලි, සූදුරු, මාදුරු, කඩල, සෝයා, ෆාම් ඔයිල්, කරවල, හාල් මැස්සන්, උම්බලකඩ, සහ කහ යන භාණ්ඩ ස්ථාවර මිලකට යටත් කරන බව දැක්වීය. එතැන් සිට අද දක්වා මෙම භාණ්ඩවලින් ස්ථාවර මිලකට මිලදී ගත හැකි දේ මොනවාද කියා දන්නේ පාරිභෝගිකයන්ය. ආණ්ඩුව බලවට පත් වී සහන වශයෙන් අඩු කරන ලද බඩු වල මිල ගණන්වලට අත්පත් වී ඇති ඉරණම ගැන පශ්චාත්තාපයට පත්ව ඇත්තේ අසරණ පාරිභෝගිකයන්ය. මිල පාලනය ගැන කිසිම ප‍්‍රතිකර්මයක් නැත. සාධාරණ වෙළඳ කොමිසම නිහඬය. පාරිභෝගික අයිතීන් ආරක්ෂා කරන නීති රීතිවලින් පලක් වී නැත. ආර්ථික සභාව මුනිවත රකින අතර වෙළඳපොළ අකාර්යක්ෂමතාව, පනවන ලද අධික බදු සහ අසංවිධිත මූල්‍ය ප‍්‍රතිපත්ති මෙරට වෙළඳපොළ භාණ්ඩ හා සේවා මිල ගණන් තීරණය කරන එකම බලවේගය බවට පත්ව තිබේ. 

වෙළඳපොළ අකාර්යක්ෂමතාව යනු කුමක්ද? ගොවියෝ තක්කාලි විකුණා ගත නොහැකිව සිටියදී එයට සැතපුම් හැටක් හැත්තෑවක් එපිටින් සිටින පාරිභෝගිකයෝ තක්කාලි කිලෝවකට ගෙවන මිල රුපියල් සියයකි. එළවළු, පලතුරු හා ධාන්‍යවල ද තත්ත්වය එයට නොවෙනස්ය. නිසි ආදායමක් නැති හෙයින් ගොවියෝ ගොවිතැන අත්හරිති. 1977 දී මෙරට ආර්ථිකයෙන් සියයට 31 ක කොටසක් කෘෂි අංශයට අයත්ව තිබුණි. 2017 දී කෘෂි අංශය ආර්ථිකයට දක්වන දායකත්වය සියයට 7 ක් දක්වා අඩු වී තිබේ. ගෙවුණ වසර හතළිහ තුළ පැවැති සෑම ආණ්ඩුවක්ම කෘෂිකර්මයට විශාල අවධානයක් දැක්වීය. ගොවිතැන නගා සිටුවන්නට විවිධ යෝජනා ක‍්‍රියාත්මක කළේය. පොහොර සහනාධාර, විවිධ බෝග වෙනුවෙන් ණය යෝජනා ක‍්‍රම, ජල සම්පාදනය හා බදු සහන ඒ අතර තිබුණ බව සිහිපත් කළ යුතුය. නමුත් කෘෂි අංශයේ පිරිහීම වළක්වන්නට නොහැකි වී තිබේ. එයට හේතුව මෙම වෙළඳපොළ තත්ත්වය බව සඳහන් කළ යුතුය.

අසංවිධිත ආනයන අපනයන බදු කොපමණ පීඩාවක්ද? සමාගම්වලට පනවන බදු ගෙවන්නේ පාරිභෝගිකයන්ය. මෙරට දුරකථන සමාගම්වලට කුළුණුවලට පවා අලුතින් බදු ගෙවයි. එහි ප‍්‍රතිඵලය රී ලෝඩ් එකක් දමන පාරිභෝගිකයාගේ කතා කාලය අඩුවීමය. සෑම පාරිභෝගිකයෙකුම රුපියලකින් ශත හතළිස් නමයකට වඩා ආණ්ඩුවට බදු ගෙවයි. ටෙලිකොම් කුළුණු බද්දෙන් එකතු කරගන්නට අපේක්ෂා කරන මුදල රුපියල් බිලියන තුනකි. මේවා එකක් පමණකි. වැට්, ආදායම් බදු, පිරිවැටුම්, ජාතිය ගොඩනැගීම, පාරිභෝගිකයන්ගේ භාණ්ඩ හා සේවාවලට මේවා එකතු වන බව සඳහන් කිරීම අවශ්‍යය. 

අනෙක මූල්‍ය ප‍්‍රතිපත්ති බව දැක්වීම ද අවශ්‍යය. රජයේ ආදායම පිරිහී ඇති අතර එයට ප‍්‍රතිකර්මයක් වශයෙන් ගන්නා දෙස් විදෙස් ණය ප‍්‍රමාණයේ බලපෑමෙන් පොලී අනුපාත ඉහළ නගී. විනිමය අනුපාතිකය පාලනය කරගත නොහැකි වෙයි. කෘෂි නිෂ්පාදනයට, ප‍්‍රවාහනයට හෝ අලෙවියට බලපාන සාධක සියල්ල වෙනුවෙන් බැංකු පොලිය තීරණාත්මකය. පොලිය වැඩිවන විට ඒවා ගෙවන ව්‍යාපාරිකයෝ අය කරන්නේ පාරිභෝගිකයන්ගෙන්ය. තෙල් මිල වැඩි වන විට, පොලිය නංවන අවස්ථාවක ප‍්‍රවාහන කුලිය අඩු කළ හැකිද? වාහනයක පටවා කොළඹට එවන එක අර්තාපල් කිලෝවකට රුපියල් තිහ හතළිහක් මඟදී එකතු වීම සාමාන්‍යයකි. අද වන විට විනිමය අනුපාතිකය බරපතළය. එය විශේෂ අවධානයට ලක් විය යුතු කරුණකි.

2018 අය වැය යෝජනා අනුව පසුගියදා නිකුත් කරන ලද ගැසට් නිවේදනය, මෙතෙක් අය නොකරන ලද භාණ්ඩ හා සේවා අංශ දෙසීයකට වඩා ප‍්‍රමාණයක් වැට් බද්දට යටත් කළේය. වැට් බදු ගෙවීමට ලියා පදිංචි විය යුතු ආදායම් රාමුව වෙනස් කළේය. එයින් මෙතෙක් වැට් නොගෙවූ තොග හා සිල්ලර වෙළඳුන් විශාල ප‍්‍රමාණයක් එයට යටත් විය. සියයට 11 ක ප‍්‍රතිශතයක පැවැති වැට් බදු ප‍්‍රතිශතය සියයට 15 දක්වා නැංවීය. එය 2016 අයවැය මගින් කරන ලද යෝජනාවක් බව සඳහන් කළ යුතුය. 2018 අය වැය යෝජනාවලදී පනවන ලද අලූත් බදු වලින් රුපියල් මිලියන එක් ලක්ෂ පහලොස් දහසක ආදායමක් අලුතින් එකතු කර ගත හැකි වෙතැයි සැලකේ.

වැට් බදු වැඩි කර එය අයකරන භාණ්ඩ හා සේවා ප‍්‍රමාණය පුළුල් කිරීමෙන් අඩුම වශයෙන් රුපියල් මිලියන විසි පන්දහසක් අපේක්ෂා කරයි. 2002 වසරේදී වැට් බද්ද පනවන අතර එවකට එහි ප‍්‍රතිශතය සියයට 11 කි. වැට් බදු ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතු වාර්ෂිකව රුපියල් මිලියන 100 ඉක්මවන ව්‍යාපාර සහ සේවා පමණකි. නමුත් නව සංශෝධනය අනුව එය අවුරුද්දකට රුපියල් මිලියන 12 දක්වා අඩු කර තිබේ. 2016 අය වැය යෝජනා අනුව වැට් බද්ද අය කරන ලද ප‍්‍රතිශතය සියයට හතරකින් නංවන ලදී.

2015 මැයි මාසයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 133.60 කි. පසුගිය බදාදා එය රුපියල් 163.05 කි. අවුරුදු තුනක් තුළ රුපියල් තිහකට ආසන්න ගණනකින් වැඩි වී තිබේ. එය සලකන විට ආනයනික ද්‍රව්‍ය එනම් සීනි, පරිප්පු, සිමෙන්ති, පොහොර ඇතුළු සෑම දෙයක්ම මේතරම් අඩු මිලට ලැබීම පුදුමයකි. හේතුව ලෝක වෙළඳපොළේ මෙම ද්‍රව්‍ය තරගකාරීව මිල අඩුවී තිබේ. මෙරට මිල වැඩිය.

2018 සැප්තැම්බර් පිටි කිලෝවක මිල රුපියල් පහකින් සංශෝධනය කළේය. එය බදුවල ප‍්‍රතිඵලයකි. පිටි වැඩිකරන විට බේකරි නිෂ්පාදන මිල නැංවීය. ග‍්‍රෑම් 450 ක් තිබිය යුතු පාන් මිල රුපියල් පහකින් නංවන ලද අතර මාළු පාන් ගෙඩියක් හදන්නට පිටි ග‍්‍රෑම් දහයක්වත් වැය නොවේ. එය ද රුපියල් පහකින් වැඩි කර ඇත.

මෙම වසරේ මැයි මාසයේ බස් ගාස්තුව සියයට 12.5 කින් වැඩි කරන ලද අතර අවම ගාස්තුව රුපියල් දහයකි. දුම්රිය ගාස්තු නැංවීම ගැන සාකච්ඡා පවත්වයි.

2018 මැයි මාසයේ මිල සූත‍්‍රය අනුව ඛණිජ තෙල් මිල සංශෝධනය කෙරිණි. දෙවතාවක් මිල සංශෝධනය කරන ලද අතර එය දෙවන වර නංවන්නේ ජූලි 05 වැනිදාය. ඩීසල් රුපියල් විසි එකකින් පෙට‍්‍රල් රුපියල් විසි අටකින් වැඩි වී තිබේ. සෑම මාස දෙකකටම  වතාවක් සූත‍්‍රය අනුගමනය කරන බවට කැබිනට් තීරණයක් ඇත.

2018 අගෝස්තු මාසයේ වාහන ආනයන බදු සංශෝධනය කරන ලද අතර සී.සී 1000 අඩු සැහැල්ලු වාහනවලට රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ හතර දක්වා පරාසයකින් බදු වැඩිකරන ලද අතර එය මෙරට ආනයන දුර්වල කිරීමේ අභිලාෂයෙන් ගත් තීරණයකි.

ආනයනික අර්තාපල් බද්ද කිලෝවකට රුපියල් දහයක සිට රුපියල් විසි පහ දක්වා නැංවේ. එයට හේතුව දේශීය ගොවියා ආරක්ෂා කිරීම බව පැවසේ.

♦ ගාමිණී සරත් ගොඩකන්ද

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30