2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

රෙද්ද අස්සෙ මහත්තයා - මිනිගවුම් නෝනා

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 209

මිනිස් සිරුරේ හැඩතලවල කලාත්මක බව මිනිසා දුටුවේ ඈත අතීතයේදීමය. පිරිමි සහ ගැහැනු ශරීරවල පියවි කලාත්මක බව මතුකර පෙන්වන මූර්ති ග්‍රීක යුගයටත් පෙර නිර්මාණය වූ බවට සාක්ෂි ඇත. කලාත්මක වූ පියවි මිනිස් සිරුරේ හැඩතල හඳුනාගෙන එය ඇඳුම් ආයිත්තම් වලින් සැරසීමද තවත් කලාවකි. අලංකාර ඇඳුමින් සැරසීම තමන්ට මෙන්ම අනුන්ටද සතුට ගෙන දෙන්නකි. කලින් කලට ඇඳුම් මෝස්තර එළිදකින්නේ සමාජ, දේශපාලන, මානව ක්‍රියාකාරකම් හා සංස්කෘතික සාධක පදනම් කරගෙනයි. මේ සියල්ල අනුව මෝස්තර නිර්මාණ ශිල්පීන් විසින් හඳුන්වාදෙන අලුත් මෝස්තර ජනයාගේ රුචිකත්වය හා ප්‍රයෝජනය යන කාරණා මුල්කරගෙන සමාජයක් තුළ ස්ථාපනය වීම හෝ නොවීම සිදුවේ.

අප අත්දුටු පසුගිය දශක 4ක පමණ කාලය තුළ ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යවල දියුණුවත් සමඟ ඇඳුම් මෝස්තර එක් රටකින් තවත් රටකට වේගයෙන් සංක්‍රමණය විය. දශක හතරක පහක කාලයක් යනු මානව ශිෂ්ටාචාරය හා සැසඳූවිට ඉතා කෙටි කාලයකි. මෙම කෙටි කාලය තුළ කලිසම්, කමිස, ගවුම් ආදියේ මෝස්තර වෙනස් වීමටද සංස්කෘතික හා සමාජයීය කාරණා බෙහෙවින් බලපෑම් කරනු ලැබිණි.

අප කුඩා කාලයේ පුවත්පත්වල පළවූ මංගල යෝජනාවල “යුරෝපීය ඇඳුම් අඳින” යනුවෙන් මනාලයා හඳුන්වන වැකියක් බොහෝවිට දක්නට ලැබිණි. යුරෝපීය ඇඳුම් අඳින යනුවෙන් ඒවායේ හැඳින්වූයේ කලිසම්, කමිස අඳින මනාලයන් ගැනයි. ඒ වන විට විලාසිතාවක් ලෙස රෙද්ද සහ කෝට් එක අඳින යුගය නිමාවී තිබුණි. (ජාතික ඇඳුම ඇන්දේ මෝස්තරයක් ලෙස නොව දේශීයත්වයට ගරුකිරීමක් ලෙසයි.)

අලුත් තාලයේ කලිසම් අඳින මනාලයන් හට මනාලියන් කැමති වීමම මනාලයා යුරෝපීය ඇඳුම් අඳින බව කීමට හේතුවක් වන්නට ඇත. අපේ ළමා කාලය වන විට බහුතරයක් පිරිමි ඉහත කී යුරෝපීය ඇඳුම් අඳින්නට හුරුවී සිටියහ. ග්‍රාමීය තරුණයන් කලිසමට හුරුවන්නට ඊට වඩා මඳක් කල් ගත විය. කලිසම සහ කමිසය පාසල් ඇඳුම බවට පත්වී තිබුණේද අප පාසල් ගිය කාලයට වසර 50කට පමණ පෙරය. අලුත් පරපුරේ සෑම නාගරිකයකුම ඇන්දේ කලිසම්ය. ගැහැනු නම් එක්කෝ ගවුම සාය හැට්ටය හෝ සාරියයි. ඉන්පසු එළඹි කාලය තුළ විවිධ විලාසිතා නිර්මාණය වූයේ මෙම ඇඳුම් තුන් වර්ගය මූලික කරගෙනයි.

අසුපිට නැඟ යාමේ පහසුව තකා කලිසම මුලින්ම අඳින්නට පටන් ගැනුණු බව ඒ පිළිබඳ ඉතිහාසය විමසා බැලීමේදී පෙනී යයි. එක් එක් දේශ දේශාන්තරවලට ගැලපෙන අයුරින් කාලයෙන් කාලයට ඒ ඒ රටවලට සංක්‍රමණය වූ කලිසම අපේ රටට පැමිණ තිබුණේ යුරෝපීයයන් නිසාය. ඉහත කී මංගල දැන්වීම්වල යුරෝපීය ඇඳුම් අඳින යනුවෙන් මනාලයන් ගැන සඳහන් වූයේ ඒ නිසාය.

පසුගිය වසර 70ක පමණ කාලය තුළ කලින් කලට අප රටේ කලිසම විවිධාකාරයෙන් වෙනස්වීම්වලට භාජනය වී ඇති ආකාරය ඒ ඒ වර්ෂවලට අදාළ ඡායාරූප පරීක්ෂා කර බැලීමේදී මනාව පැහැදිලි වේ.

ඇතැම් පැරැණි ලාංකීය ඡායාරෑපවල කලිසම් අඳින මහත්තුරු කලිසමට උඩින් ඉන වටා රෙද්දක් ඇඳගෙන ඉන්නා බව පෙනේ. ගැමියන් එසේ ඇඳ ඉන්නා තැනැත්තන් හැඳින්වූයේ “රෙද්ද අස්සෙ මහත්තයා” කියාය. නවසිය පණස් ගණන්වල සමූහ ඡායාරූපවලට පෙනී සිටින අය ඇඳගෙන ඉන්නේ විශාල කකුල් සහිත කලිසම්ය. ඒවායේ යටම කෙළවර පිටතට නැමූ අඟලක් පමණ පුළුල් නැම්මකින් සමන්විතය. කළුපාට කලිසම් බොහෝමයක් ටුවිට් රෙද්දෙන් මැසූ ඒවා බව පෙනේ. සුදුපාට කලිසම් කැඳ දැමූ ගොරෝසු රෙද්දෙන් සමන්විත බව ඡායාරූපවලින් පෙනේ.

කුඩා කාලයේ අප දුටු තරුණ උදවිය ඇඳි කලිසම්වලට අප කීවේ බම්බු කලිසම් කියාය. ඒවායේ කකුල් සිහින්ය. ඒවා අඳින්නට දෙකකුලේ ග්‍රීස් තවරාගත යුතු යැයි ඇතැම්හු කීහ. එවකට එය අලුත් විලාසිතාවක් වූයේය. සමහර තරුණයන් ඒ කාලයේ කළුපාට කලිසම්වලට ඇන්දේ සුදුපාට නයිලෝන් කමිසයි. බැනියම් නොඇඳ ඒවා ඇඳ සිටින අයගේ උපන්ලප පවා පිටතට පෙනුණේය.

ඒ වන විට සිහින් කකුල් සහිත කලිසම්වලට තරුණයන් මාරුවූයේ Beatles සහ Rolling stones යන සංගීත කණ්ඩායම්වල ඇඳුම් මෝස්තර ප්‍රචලිත වූ නිසා බව පෙනී යයි. හැට ගණන් මැද වන විට අනෙක් සංගීත කණ්ඩායම් අභිබවා බීට්ල්ස් (Beatles) ලෝ පුරා ජනප්‍රිය වූයේය. බීට්ල්ස්ලාගේ ගීත පමණක් නොව ඔවුන්ගේ ඡායාරූප හා චිත්‍රපට නිසා ඔවුන්ගේ ඇඳුම් මෝස්තරද ලෝ පුරා ප්‍රදර්ශනය විය. බටහිර තරුණයන් එවකට අනුකරණය කළේ එම මෝස්තරයි. එකල මෙරට තරුණයන්ගේ ඇඳුම් මෝස්තරවලට ආවේද එම ආභාසයයි. ඒ වන විට පරණ (බාංචු කලිසම්) ලොකු කකුල් සහිත කලිසම භාවිතයෙන් බොහෝදුරට ඉවත් වී තිබුණේය. කලින් ඒවා ඇඳි මැදිවියේ අය සහ වයසක උදවිය පමණක් ලොකු කකුල් සහිත කලිසම් ඇන්ඳෝය.

ඒ කාලයේ (60 ගණන්වල) බයිසිකල් පාවිච්චි කළ අය කලිසම් කකුල් කෙණ්ඩාවලට සිරකොට තබාගනු පිණිස (ක්ලිප්) විශේෂයක් භාවිත කළහ. ලෝහවලින් තනා මළ නොබැඳෙන ආවරණයකින් සකස් කොට තිබුණු ඒවා, කලිසම් කකුල බයිසිකලයේ චේන් එකේ දැවටීමෙන් වළක්වනු ලැබූයේය. චේන් ආවරණයක් නැතිව බයිසිකලය අඳින විට කලිසම් කකුල චේන් එකේ පැටලී මජං තැවරෙයි. ඉහත කී රවුම් ක්ලිප් එකෙන් වැළැක්වූයේ එම අපහසුවයි. හැත්තෑ ගණන් එළඹෙද්දී එම ක්ලිප් පැළඳ බයිසිකල් පදින අය පාරේ දක්නට සිටියේ කලාතුරකිනි.

කාන්තා ඇඳුම් අතරින් හැට ගණන්වල මහත් ආන්දෝලනයට හා කතාබහට ලක්වූයේ මිනිගවුමයි. ඒ වනතුරු මඟතොට යන කාන්තාවන් ඇඳගෙන ගියේ දෙදණ වැසෙන සේ පහතට එල්ලෙන ගවුම් හෝ සායයි. (නැතහොත් සාරියයි) දෙදණින් ඉහළ කාන්තා සිරුර දුටු ඇතැමුන් තුළ ඇතිවූයේ සංස්කෘතික තිගැස්මකි. (Cultural shock) යෞවනයන්ට එය මහත් ආස්ලාදයක් වූ බවට සැකයක් නැත. කාටුන් ශිල්පීන්ට, උපහාසාත්මක පුවත්පත් විශේෂාංගවලට (උදාහරණ - චන්ද්‍රා අනගිරත්නගේ, සුරලොව ඇල්මන්ගේ නරලොව හොල්මන්) මිනිගවුම අනගි මූලාශ්‍රයක් වූයේය. ඇන්ටන් ජෝන්ස්ගේ (මිනිගවුම) ගීතය වඩාත් ජනප්‍රියත්වයට පත් විය. එය එවකට ගුවන්විදුලියේ වෙළෙඳ සේවයේ නිතර ප්‍රචාරය වූයේ ගීතය පමණක් නොව මිනිගවුමද ජනප්‍රිය වූ නිසාය.

“සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න
අල්ලි දෙකක්වත් දුර බෑ අඩිය තියන්න
ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න
අඳින්න මිනි ගවුම අඳින්න

අනේ මගේ නෝනා - එයා මෙහෙම කියන්නේ
සාරි ඇඳන් මම කොහොමද මහ මඟ යන්නේ
මටත් ගවුමක් ඕනා - මිනි ගවුමක් ඕනා”

ගවුම් මෝස්තරවල ඡායාරූප පෙන්වූ එකල ඉංග්‍රීසි පත්තරයකට මිනිගවුම මහත් සම්පතක් විය.

මිනිගවුම නිසා ඇතිවුණු සංස්කෘතික තිගැස්ම ටික කලක් යද්දී කෙමෙන් සමනය විය. යම් ආකර්ෂණයක් දැනුණද කාන්තාවගේ කළවාද ශරීරයේම කොටසක් බව, ඒ දෙස වපර ඇසින් බැලූ අය සහ යම් තිගැස්මකින් බැලූ අය අවබෝධ කර ගත්තෝය. සොඳුරු බව දකින්නෝ ඒ තුළ ඇති සෞන්දර්ය දුටහ. දඟකාර ලස්සන දකින අය ඒ ඇසෙන් මිනිගවුම දෙස බලන්නට හුරුවූහ.

හැත්තෑ ගණන් ළංවෙද්දී ලෝ පුරා පැතිරුණු (හිපි) සංස්කෘතියේ ආභාෂය අඩු වැඩි වශයෙන් මෙරටටද ගලා ආවේය. සංගීතයත් සමඟ තද බැඳීමක් හිපි සංස්කෘතිය තුළ තිබුණු නිසා ඇතැම් සංගීත කණ්ඩායම්වල ශිල්පීන් ඇඟලූ ඇඳුම්වලට සමාන ඇඳුම් නාගරික තරුණයාද අඳින්නට ගත්තේය. සෝදා පිරිසුදු කොට ස්තිරික්කයෙන් මැදගෙන අඳිනු වෙනුවට එකම ඩෙනිම අඳින ප්‍රවණතාව පටන් ගත්තේ මෙම සංස්කෘතියෙනි.

සම්මතයට අභියෝග කරන දර්ශනයක් සහිත විරෝධාකල්පයන් හිපි සංස්කෘතියට පදනම සැපයුවද වඩාත් ප්‍රචලිත වූයේ එහි හරය නොව ආටෝපයයි. එම ආටෝපය ඔපවත් ආටෝපයක් නොව පිටතට අපිළිවෙළක් අපිරිසුදු බවක් පෙන්වනු ලැබූ ආටෝපයකි. මහගම සේකර ලියූ එක් කවක කොටසක් එකල තරුණයාට වඩාත් අදාළ වූයේය.

“ඇඟ පුරාම සාක්කු ඇති - එහෙත් අතේ සතයක් නැති තරුණයා”

හිපි සංස්කෘතිය නෑකම් කී ඇඳුම් සහ කොණ්ඩා මෝස්තර හැත්තෑ ගණන් අග වන විට ජනප්‍රියත්වයට පත්වූ ඇමරිකානු ගායක ජෝන් ට්‍රැවොල්ටාගේ (දැන් 64 වියේ පසුවන ඔහු ගායකයකු මෙන්ම නළුවෙකි) ඇඳුම් මෝස්තර නිසා යම් ශික්ෂණයකට නතු වූයේය. තරුණ ජෝන් ට්‍රැවොල්ටා හොඳින් කොණ්ඩය පීරා පිළිවෙළට ඇඳුම් ඇඳ ප්‍රසංග ඉදිරිපත් කළේය. ට්‍රැවොල්ටා අනුකරණය කිරීමෙන් අනතුරුව මයිකල් ජැක්සන්ගේ කලිසම් සහ සපත්තු මෝස්තරයද මෙරට තරුණයන් අතර අසූ ගණන්වලදී ජනප්‍රිය වූයේය.

හැත්තෑ හතර අවුරුද්ද වෙද්දී මහත් ජනප්‍රියත්වයට පත්වූ බෙල්බොටම් කලිසමේ ඉතිහාසය 1813 දක්වා දිව යන්නකි. එම වසරේදී ඇමරිකානු එක්සත් ජනපදයේ නාවික හමුදා නිල ඇඳුමට බෙල්බොටම් කලිසම හඳුන්වාදෙනු ලැබීය. ඇමරිකානු නාවික හමුදා නිල ඇඳුමට බෙල්බොටම් ආවේ හේතු කිහිපයක් නිසාය. පළමු හේතුව ලෙස දක්වා ඇත්තේ බූට් එක තිබියදී ගලවාගැනීමේ පහසුවයි. නාවික භටයන්ට වතුරේ ඇවිදින විටක කලිසම ඉහළට නවාගැනීමේ පහසුව තිබීම දෙවැනි කාරණයයි. පාවෙන ඇඳුම් කට්ටලයට පහසුවෙන් මාරුවීමේ හැකියාව බෙල්බොටම් කලිසම නිසා ලැබුණු බවද කියවේ.

(ඉතිරි කොටස ලබන සතියේ)

♦ සමන් පුෂ්ප ලියනගේ

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31