2018 ජුලි 07 වන සෙනසුරාදා

කණපිට පෙරළුණු කන්තෝරු ජීවිත

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 108

හැට හැත්තෑ ගණන්වල කාර්යාල කේන්ද්‍ර කරගෙන පැවති වෘත්තීන්ද, එම වෘත්තිකයන්ගේ ජීවිතයද, එම වෘත්තීන් ආශ්‍රයෙන් ගොඩනැගුණු විලාසිතාවන්ද මතක් කරන විට සිතට නැගෙන්නේ චමත්කාරයකි. ඇතැම් වෘත්තීන්හි සුදුසුකම් ලබන්නට උපකාර කරනු පිණිස පැවති උපකාරක පන්තිද දැන් අතීතයට එක්වුණු ඒවාය. එක් එක් වෘත්තීන් පිළිබඳ කියවෙන ගීතද හිඟ නොවීය. එම නිසා එම ගීත ආශ්‍රයෙන් එක් එක් වෘත්තිය ජීවිතයට අදාළ වූ විලාසිතාද, ජීවන පැවැත්මද අපට නැවත මතක් කරගත හැකිවේ.

කාර්යාල ආශ්‍රිත වෘත්තීන්වල ජනතාව සම්බන්ධ කිරීමේ ප්‍රධාන ස්ථානයක් ගත්තේ යතුරුලියන්නියගේ වෘත්තිය ජීවිතයයි. දැන් කාර්යාලවල යතුරුලියන්නාගේ හෝ යතුරුලියන්නියගේ තනතුරක් නැත. මා දන්නා තරමින් මෑත කාලයේ, එම තනතුරට රාජ්‍ය සේවා බඳවාගැනීම් කර නැත. එම කාර්යභාරය දැන් පරිගණක ක්‍රියාකරැවන් වෙත බාරවී තිබේ. යතුරුලියන්නිය ගැන එකල නන්දා මාලිනී ගැයූ ගීය නිතර ගුවන්විදුලියේ ප්‍රචාරය වන ජනප්‍රිය ගීයක් බවට පත්ව තිබිණි.

“ටිකිරි ටිකිරි ටික්, ටික් ටික්, ටිකිරි ටිකිරි ටික්, ටික් ටික්
ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටික් ටික් ටික්
ඇඟිලි තුඩින් ටිකිරි හඬින් යතුරුලියන්නේ 
මමයි අපේ කන්තෝරවෙ යතුරුලියන්නේ”

යතුරුලියන්නියගේ ජීවන රටාවට අනුකූල ඇගෙත්, ඇගේ විලාසිතාවන් පිළිබඳවත් ගීයේ ඊළඟ කොටසින් කියැවේ.
 
“කෑම පැයේ කන්නෙ නැතුව සාප්පු යනවා
රෑ හීනෙන් පෙනෙන අලුත් සාරි හොයනවා
සාප්පුවේ කඩවල් ගිනි ගණන් කියනවා
යතුරුලියන සල්ලිවලින් තරු විසිරෙනවා”

අදාළ අලුත් සාරි විලාසිතා අනුගමනය කිරීම කාර්යාල ජීවිතයේ අත්‍යාවශ්‍ය සාමාජයීය අංගයක් විය. ඒවා ගන්නට ඈ තුළ වූ ආශාවත්, පැවති මිල හා තමාගේ වැටුපෙන් තරග කරන්නට ඇති අසීරුවත් පිළිබඳ කරුණු එම ගීයෙන් චමත්කාර ලෙස කියවිණි.

දැනට රාජ්‍ය සේවයේ කලාතුරකින් ඉතිරිව සිටින යතුරැලියන්නියකගේ වටිනාකම දැනෙන්නේ යම් පරීක්ෂණයක් කරන විටකදීය. පරීක්ෂණයකදී යමකුගේ ප්‍රකාශය එවෙලේම කාබන් පිටපත සමඟ ටයිප් කරගෙන අදාළ අයගේ අත්සන් එම කඩදාසි මත එවෙලේම යොදාගත හැකිය. පරීක්ෂණයේ රහස්‍යභාවයද ඒ සමඟ සුරැකිණි. පරිගණකයෙන් ටයිප් කළේ නම් print out ගන්නට අවශ්‍යය. Photo copy මැෂිමෙන් පිටපත් ගන්නට ඕනෑය. පිටපත් කීයක් පිටවුණිදැයි පරීක්ෂක දන්නේ නැත. ටයිප් කළ දෑ එවෙලේම delete නොකළේ නම් පරීක්ෂණයේ රහස්‍යභාවයද සැක සහිතය.

ලඝුලේඛිකා තනතුරු ඇබෑර්තුද දැන් පුවත්පත්වල පළනොවන තරම්ය. ලඝුලේඛක හෙවත් steno හෙවත් stenographer ගේ කාර්යභාරය වූයේ short hand අකුරෙන් ක්ෂණිකව ලේඛන සටහන් කර ගැනීමයි. අද දින උසාවිවල සාක්ෂි සටහන් කර ගැනීමත්, කාර්ය සටහන් යොදාගැනීමත් මෙම ශිල්පය මගින් කරනු දැක ඇත්තෙමි. වෘත්තියක් වශයෙන් පෙරදා තරම් ලඝුලේඛිකාවන් කාර්යාලවල පෙනෙන්නට නැතත් මෙය නම් ඉතා ප්‍රයෝජනවත් ශිල්පීය ක්‍රමයක් බව පෙනේ. ඉස්සර මහැදුරු සරච්චන්ද්‍රයන් ගැමි නාටක පිළිබඳ පර් යේෂණ කරද්දී ඒවායේ කියවෙන කවි ක්ෂණිකව short hand වලින් පිටපත් කරගෙන ඇත්තේ එවකට ශිෂ්‍ය අවධියේ සිටි තිස්ස කාරියවසම් මහාචාර්යතුමාය. (එතුමා ඒ බව අපට කියා තිබේ) අද පවතින කුඩා රෙකෝඩර හෝ හඬ පටිගත කරගත හැකි දුරකතන හෝ එකල නොතිබීමේ අඩුව පිරිමසා ගත්තේ short hand අත්අකුරු ලිවීමේ ශිල්ප ක්‍රමය භාවිතයෙනි.

යතුරු ලියන ඇබෑර්තුවල ඉස්සර රැකියාවකට සුදුසුකම් ලැබීම සඳහා විනාඩියකට ටයිප් කළ යුතු අවම වචන සංඛ්‍යාව සඳහන් විය. මෙම වේගය වර්ධනය කරගැනීම පන්තියකට නොයා කළ හැකි නොවූයේ ගෙවල්වල ටයිප් රයිටර් නොතිබුණු නිසාය. ලිපිකරුවකු ලෙස රැකියාවක් ලබාගැනීමට පවා ටයිප් කිරීමේ හැකියාව අමතර සුදුසුකමක් විය. එම අමතර සුදුසුකම ලබාගන්නට අතහිත දෙන උපකාරක පන්ති සහිත යතුරුලියනය පුරුදු කරන පන්ති නගරයක් ගාණේ තිබිණි. එම පන්තිවල බොහෝ විට ටයිපින් සමඟ එකට ඉගැන්වූ විෂයකි short hand. අසූව දශකයේ මුල් භාගයේ සෝමලතා සුබසිංහ නාට්‍යවේදිනිය නිර්මාණය කළ ටියුෂන් ගැන විමර්ශනයක යෙදුණු විකෘති (විකුර්ති) නාට්‍යයේ එක්තරා තැනක උපකාරක පන්ති සහිත සංකේතාත්මක පොළක් නිරූපණය කෙරේ. එහිදී එක් වෙළෙන්දියක් “ෂෝර්ට් හෑන්ඩ් ටයිපින් ෂෝට් හෑන්ඩ්” කියමින් එම විෂය විකුණයි. තවත් වෙළෙන්දියක් “බුක් කීපිං, බුක් කීපිං” කියමින් එම විෂය විකුණයි. ඇත්තෙන්ම ටියුෂන් කඩවලට එන්නටත් පෙර එම විෂයන් ඉගැන්වූයේ බහු තාක්ෂණික ආයතන නමින් හැඳින්වූ ආයතනවලයි.

යතුරුලියන්නියන්ගේ තනතුර මෙන්ම කාලයත් සමඟ වියැකී ගිය තවත් එක් තනතුරකි, දුරකතන ක්‍රියාකරුගේ තනතුර. ස්වයංක්‍රිය දුරකතන පහසුකම් නැති ඒ කාලයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල දුරකතන සන්නිවේදන පහසු කරමින් අවශ්‍ය තැනට ඇමතුම් යොමු කළේ දුරකතන ක්‍රියාකරුවන්ය. බොහෝ විට එම තනතුරුවල කටයුතු කළේ කාන්තාවන්ය. හැට හැත්තෑ ගණන්වලදී මෙම කාන්තාවන් හැඳින්වූයේ හලෝ ගර්ල්ස්ලා කියාය. ජනප්‍රිය ගායක එම්.එස්. ප්‍රනාන්දු ඒ අය ගැන ගීතයක් කීමටද අමතක කළේ නැත.

“හලෝ ගර්ල් හලෝ ගර්ල් හලෝ                               කියනවා
නිතරම ටෙලිෆෝන් එකෙන් කතා                               කරනවා
කන්තෝරුව ඇතුළට ගිය හැටියෙ                               ඇහෙනවා
හලෝ ගර්ල් හලෝ කියල කතා කරනවා.... හලෝ          කියනවා”

නිතරම කන්තෝරුවලට දුරකතන ඇමතුම් ආ බැවින් එම ගීය පටන්ගැනුණේ (හලෝ ගර්ල්ස්ලා) කියමින් බහුලභාවය ගැන ඉඟි කරමිනි. එම වෘත්තියේ යෙදුණු කාන්තාවන්ගේ විලාසිතාවන් පිළිබඳව ගීයේ ඊළඟ කොටසින් කියයි.

“පාට පාට සාරියකට හැට්ටය                ඇඳලා
මිනිගවුම් ඇඳල අතේ බෑග්                   එල්ලලා
සෙරෙප්පු නැත්නම් අඩි උඩ සපත්තු       දාලා
සමනළියන් වාගෙ යනව හලෝ            ගර්ල්ලා”

හලෝ ග්ර්ල්ස්ලාගේ විලාසිතා, යතුරුලියන්නියන්ගේ විලාසිතාවලට තරමක් වෙනස් වූ බවට තොරතුරු ඉහත ගී පදවලින් හෙළිවේ.

අද දින කාර්යාලවල සේවය කරන වෘත්තිකයන්ගේ ජීවිතය හැට හැත්තෑ ගණන්වල කාර්යාලවල සේවය කළ වෘත්තිකයන්ගේ ජීවිතවලින් බොහෝ සෙයින් වෙනස් බව පෙනේ. අද දින බහුතර කාර්යාල සේවකයන් පත පොත කියවන හෝ නාට්‍ය නරඹන උදවිය නොවේ. බොහෝ විට ඔවුන් අද කරනුයේ ගෙදර පැමිණ රූපවාහිනී යන්ත්‍රයෙන් ප්‍රවෘත්ති සහ ටෙලිනාට්‍යයත් ඒ අතරට එන වෙළෙඳ දැන්වීම් නැරඹීමත්ය. එහෙත් හැට හැත්තෑ ගණන්වල අලුත එන නවකතා කියවූයේ කාර්යාල සේවකයන්ය. ධම්ම ජාගොඩලාගේ, සුගතපාල ද සිල්වලාගේ, හෙන්රි ජයසේනලාගේ නාට්‍ය නැරඹුවේ බොහෝ සෙයින් කාර්යාලවල සේවය කළ වෘත්තිකයන්ය. එකල නවකතා ඔවුනට පහසුවෙන් මිලදීගත හැකි මිලක් නියමවූ ඒවාය. නාට්‍යවල ටිකට්පත්ද මිලෙන් අඩුය. එම කාර්යාල වෘත්තිකයන්ගේ රසවින්දනය උසස් මට්ටමක පැවතුණි. ඔවුන්ගේ දේශපාලන දැනුමද ඉහළ මට්ටමක තිබිණි.

කරුණු එසේ වුවද කාර්යාල සේවකයන් වගකීමකින් තොරව සැහැල්ලුවෙන් දවස ගෙවා දමන අයිස් ගසන පිරිසක් බවට පොදු මහජන මතයක් පැවතුණි. මා දන්නා තරමින් ඉතා කාර්යශූර කාර්යාල වෘත්තිකයකු වූ ඇන්ටන් ජෝන්ස් ගායනා කළ ගීතයකින්ද කියාපෑවේ කාර්යාල සේවකයන් අලසව හා විනෝදයෙන් සේවා කාලය ගත කළ සේවක පිරිසක් බවයි.

“කන්තෝරුව කන්තෝරුව මම වැඩ     කරන
එතන තමයි මා හට ඇති විනෝද          උයන
ගී ගයමින් නිතරම මා සතුටින්             සිටින
කන්තෝරුව තමයි මාගේ විනෝද        උයන”

තේ බොමින් කාලය නාස්ති කරමින් හිඳ වැඩ කරන්නට හිතෙන අවස්ථාවේ වැඩ අහවර වන වෙලාව පැමිණෙන ආකාරය ගීයේ ඉතිරි කොටසින් කියැවේ.

හෙන්රි ජයසේන ශූරීන්ගේ ජනේලය වේදිකා නාට්‍යයේ එක් තැනක පියුංගේ ඝණකම අපූරුවට කියමිනි.

“මගෙ නම පුටු       පාලයා
තරහ ගියොත්        මාරයා
මෙතන පියුං          කාරයා
මගෙ නම පුටු        පාලයා”

ඕනෑම වෘත්තියක් සඳහා ඉංග්‍රීසි දැනුම වර්ධනය වී තිබීම අනිවාර්යක් වුවද කරුණු ගණනාවක් නිසා විධිමත් පාසල් අධ්‍යාපනයෙන් ඒ කාලයේ ජනයාට ලැබුණු දැනුම ප්‍රමාණවත් නොවූයේය. පාසල් විෂය මාලාවල අඩුපාඩු පමණක් නොව සමාජයීය කාරණාද ඉංග්‍රීසි ඉගෙනීමට පොදුජනයාට බාධා කළේය. වෙන රටවල තමන්ට ආවේණික පරිදි ඉංග්‍රීසි තලා පෙලා සකස් කර ගත්තද ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි නිසි පරිදි උසුරුවා නොගැනීම සිනහවට බඳුන් කරන ලදී. එසේ කරන ලද්දේ ඉංග්‍රීසි දැන උගත් පන්තියක් විසිනි. මේ නිසා හැට හැත්තෑ ගණන්වල මුල් කාලයේ පටන් අමතර ඉගැන්වීම් උදෙසා ඉංග්‍රීසි උපකාරක පන්ති ආරම්භ විය. සමාජයේ දී ඉංග්‍රීසි වරද්ද වරද්දා කතා කරන්නට මැලිවූ අය උපකාරක පන්තිවලදී එසේ කරන්නට උත්සාහ ගත්හ. මුල් කාලයේ ඉංග්‍රීසි උගන්වන ලද්දේ රාත්‍රී කාලයේය. දිවා කාලයේ වැඩට ගොස් රාත්‍රී කාලයේ ඉංග්‍රීසි පන්ති යාම පහසු විය. එකල එසේ රාත්‍රී කාලයේ පන්ති ගිය අයට සරදමට කියන කතාවක් තිබිණි. එනම් ඒ අයට ඉංග්‍රීසි කතා කළ හැක්කේ රාත්‍රියේදී පමණක්ය යන්නය. කෙසේ වුවද තමන්ගේ වෘත්තිය මට්ටම ඉංග්‍රීසි පන්ති යාම මගින් වර්ධනය කරගත්තේ ටික දෙනෙකි. තනියම ඉංග්‍රීසි පතපොත කියවූ අය, ඊට වඩා ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගෙන වෘත්තිය මට්ටමෙන් ඉහළ ගියහ.

වෘත්තිකයන් සඳහා වෙන්වූ රාත්‍රී ඉංග්‍රීසි පන්ති පිළිබඳ උදාහරණයක් ඒ.වී. සුරවීර ශූරීන්ගේ පෑදි දියට බොර දිය කෙටිකතා සංග්‍රහයේ එන පොඩිසිඤ්ඤයියා කෙටිකතාවේ ඇත. එහි ඉන්නා පොඩිසිඤ්ඤයියා රාත්‍රී කාලයේ ඉංග්‍රීසි පන්තියට සහභාගි වේ.

ඒ කාලයේ සුලබ ලෙස උපකාරක පන්ති පැවැත්වෙමින් තරුණයන් පුරුදු පුහුණු කළේ වැඩිපුරම කාර්යාල වෘත්තීන්ටයි. ප්‍රාග් වෘත්තීය අධ්‍යාපනයක් පාසල්වලට හඳුන්වා දුන්නද යම් යම් හේතුන් නිසා එම අධ්‍යාපනය ලබාදීම අඛණ්ඩව සිදුවූයේ නැත. ඒ කාලයේම කාර්යාල වෘත්තීන්ට පුහුණු කරනු වෙනුවට කාර්මික ශිල්පවලට තරුණයන් පුහුණු කිරීමේ සම්ප්‍රදායක් ගොඩනැගුණේ නම් කොයි තරම් දෙයකැයිද කියා දැන් සිතේ. මන්ද යත් හැත්තෑ ගණන්වල අග භාගයේ පටන් දෙස් විදෙස් ඉල්ලුම ජනිත වූයේ පුහුණු ශ්‍රමයටයි. කාර්මික ශිල්ප ඥානය තිබූ අයට මැදපෙරදිග රටවලින් වැඩි වැටුප් ලැබිණි.

පෙර කී ආකාරයට කාර්යාලවල සේවා කටයුතු කළ අය කලාව හා දේශපාලනය පිළිබඳ අවදියෙන් සිටිම හා නිතර ඒ පිළිබඳ සාකච්ඡා කරන පිරිසක් වීමේ ප්‍රතිඵලයක් ලෙස අතිදක්ෂ නිර්මාණකරුවන් කිහිපදෙනෙක්ම ඒ අය අතරින් බිහිවූහ. කාර්යාල සේවාවේ එන ඒකාකාරී බව, දුක් දොම්නස් ආදිය එම නිර්මාණකරුවන්ගේ නිර්මාණවලින් නිරූපණය වූයේය. මුල් කාලයේ කොළඹ කන්තෝරුවක ලිපිකරු වෘත්තියේ යෙදී සිටි හෙන්රි ජයසේන ශූරීන් නිර්මාණය කළ ජනේලය නාට්‍ය ඊට හොඳම උදාහරණයකි.

“මේක තමයි         කන්තෝරුව
වයසට යන           කන්තෝරුව
මට විතරක් නැති            මාරුව
මේක තමයි          කන්තෝරුව”

අලුත් රැකියාවකට යාමට හෝ දැනට කරමින් සිටින රැකියාවෙන් ඉහළට යාමට ඉංග්‍රීසි දැනුම වැඩිකරගැනීම සඳහා පන්තිවලට යාම වර්තමානයේදීද සිදුවේ. ඉස්සර ඒවාට කීවේ spoken English පන්ති කියාය. උපකාරක පන්ති ගුරුවරුන් දැන් ඒවා හඳුන්වන්නේ “ඉංග්‍රීසි කතා කරවන පන්තිය” කියාය. මුහුණුපොතේ හෙවත් face book හි මිතුරකු තම මිතුරන්ට කදිම ආරාධනයක් කර තිබෙනු දුටිමි.

“අද හවස ඉංග්‍රීසි කතා කරවන පන්තිය පැවැත්වේ
කරුණාකර බයිට් සඳහා මුදල් රැගෙන එන්න”

ඇත්තෙන්ම ඔහු ආරාධනා කර තිබුණේ මීවිතක රස බලන්නටය. තරමක් වෙරිමත දැනෙන්නට ගත් විට ඉංග්‍රීසි කතා කිරීමේ ලැදියාව ඇති සමහරුන් මීවිත රස බැලීමෙන් පසු තොරතෝංචියක් නැතිව ඉංග්‍රීසියෙන් කතා කරන්නේය යන්න කවුරුත් පිළිගන්නා ඇත්තකි. ඉංග්‍රීසි පන්තිවලදී ඉංග්‍රීසියෙන් කතා කරනවාට වඩා අගේට මිතුරෝ වෙරිමත දැනෙන විට ඉංග්‍රීසි කතා කළහ.

කාලයත් සමඟ වෙනස් වූ ජන ජීවිතය තුළ කන්තෝරු ජීවිතයද වෙනස් වී ඇත. ඇතැම් කාර්යාලවල වෘත්තීන් කාලීන වෙනස්කම්වලට ගොදුරු වී දැන් නැතිවී ගොසිනි. එම වෘත්තීන් පැවති පසුබිමත් ඒ කාලයේ කන්තෝරුවල ස්වභාවයත් සිහිගන්වන නිර්මාණ පමණක් අපට ඉතිරි වී තිබේ. අතීත මතකය රඳවාගත යුත්තේ ලෝකය අලුතින් ගොඩනගන්නටයි. අතීතයේ ඇලී ගැලී අතීත කාමය විඳින්නට නොවේ. 

♦ සමන් පුෂ්ප ලියනගේ

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30