2017 ජනවාරි 28 වන සෙනසුරාදා

රට රස්සාවට යන අයටත් ඡන්ද අයිතිය!

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

විදෙස්ගත වූවෙන්ගේ ඡන්ද අයිතිය සම්බන්ධයෙන් සිවිල් සමාජය දිගු කලක් තිස්සේ සිදු කරන ලද හඬ නැගීමේ ප‍්‍රතිඵලයක් ලෙස ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනු ලැබීය. ඒ 2016 අපේ‍්‍රල් 06 වැනි දිනයි. එහෙත් ඉන් සය මසක් ගෙවුණද එම කාරක සභාවල එකදු රැස්වීමක් හෝ පැවැත්වීමට අපොහොසත් විය. ඉන් අනතුරුව ඒ පිළිබඳ මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානවල මැදිහත්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස  තලතා අතුකෝරාළ අමාත්‍යවරියගේ ප‍්‍රධානත්වයෙන් තේරීම් කාරක සභාවක් පත් කොට ඇත. එකී කාරක සභාවද මෙතෙක් රැස්ව ඇත්තේ එක් වතාවක් පමණක් බව එම සභාවේ සාමාජිකයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ එක් ප‍්‍රමුඛ තේමා පාඨයක් වන්නේ, කිසිදු ඡන්ද හිමියකු අත්නොහැරෙන මැතිවරණ ක‍්‍රියාවලියක්ය යන්නයි. එහෙත් සෑම මැතිවරණයකදීම අත්හැරෙන විදෙස්ගත ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව මිලියන දෙකකට ආසන්නය. ගෝලීය හා සළකා බැලීමේ දී නව ප‍්‍රවණතාවක් වන්නේ දියුණු රටවල් ඉලක්ක කර ගනිමින් සිදුකරන නිත්‍යනුකූල හා නීති විරෝධි සංක‍්‍රමණයි. මේ නිසාම ඒ  ඒ රටවල, තම මව් රටෙහි සිදුවන සිදුවීම් කෙරෙහි නිරන්තර අවධානයකින් පසුවන ඩයස්පෝරාවක් බිහි වී ඇත. ඔස්ට්‍රේලියාවේ වෙසෙන සිංහල පිරිස් හා කැණඩාවේ වෙසෙන ශ‍්‍රී ලාංකික දෙමළ ජාතිකයන් මීට නිදසුන්ය. මින් බහුතරයක් තාවකාලික බලපත‍්‍රයක් හෝ ද්විත්ත්ව පුරවැසිභාවයක් සහිතව ඒ ඒ රටවල දිවිගෙවන්නෝ වෙති. ඔවුන් දේශපාලනිකව යම් පමණකට ක‍්‍රියාකාරී වුව ද තම මව් රටේ ජනතා නියෝජිතයන් තේරීම සඳහා ඔවුන් හට අවස්ථාවක් නොමැති වීම නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ල කරන අභියෝගයකි. අනෙක් පසින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම යැපීම් මාර්ගය වී ඇත්තේ මැදපෙරදිග කලාපයේ සේවයේ නියුතු කාන්තාවන් හා කොරියාව ජපානය වැනි නැගෙනහිර ආසියාතික කලාපයේ කම්කරුවන් වශයෙන් තම ශ‍්‍රමය වගුරා මව් රටට එවන රන්මසුරන්ය.

විදෙස්ගත වූවන්ගේ සේවය නිසි ලෙස කළමනාකරණය කිරීම රජයේ වගකීමකි. නමුත් විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් නිසිලෙස හඳුනාගනිමින් ඊට අදාළ ක‍්‍රමවත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට අසමත් රටවල් අතරින් ශ‍්‍රී ලංකාව ඉදිරිපෙළේ සිටී. පිලිපීනය වැනි රටක් තම රටවැසියන් රැකියාවක් සඳහා විදෙස්ගත වන මොහොතේ අදාළ රට හා ඇතිකර ගෙන ඇති ඉතා නිරවුල් ද්විපාර්ශවික ගිවිසුමකට යටත් ව එය කළද මෙරටේ ප‍්‍රතිපත්ති සම්පාදකයන් හට තවමත් මෙතෙක් විදෙස්ගත වන ශ‍්‍රී ලාංකිකයන් සම්බන්ධව ප්‍රමිතියක් නැත. 

ශ‍්‍රී ලංකාව තම කැමැත්ත පළ කර ඇති ජාත්‍යන්තර සම්මුතීන් හා එකඟතාවලට අනුව මෙන්ම වසර 2008 දී මෙරටේ හඳුන්වා දුන් සංක‍්‍රමණය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තීන්ගේ එක් ප‍්‍රධාන යෝජනාවක් වන්නේ ඔවුන්ගේ ජන්ද අයිතිය ආරක්‍ෂා කර දීමයි. විදෙස්ගත වූවන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කර ඇති රටවල් එසේ කර ඇත්තේ වසර ගණනාවක අත්හදා බැලීම් වලින් පසුවය. නිදසුනක් ලෙස මෙකී ඡන්ද පහසුකම යම් පමණකට සාර්ථකව අත්හදා බැලූ රටක් ලෙස සැළකිය හැකි පිලිපීනය එකී කාර්යයට අදාළ නීති සම්පාදනය ඇතුළු අනෙකුත් කාර්යයන් අරඹන ලද්දේ වසර 1987 දීය. එය පළමු වරට අත්හදා බලන ලද්දේ වසර 2004 පැවති මහ මැතිවරණයේදී ය.

පාර්ලිමේන්තුව විසින් පිහිටුවූ විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු සම්බන්ධයෙන් එම කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේ ප්‍රකාශ කළේය. විදෙස්ගත වූවන්ගේ ඡන්දය අයිතිය දැනට ලෝකයේ රටවල්වල භාවිත කරන ක්‍රමවේද පිළිබඳව දැනට කමිටුව සොයා බලමින් ඉන්නවා. දැනට ලෝකයේ රටටවල් 61ක විදෙස්ගතවූවන්ට ඡන්ද අයිතිය දීලත් තිබෙනවා. මේ පිළිබඳව අපි බලාපොරොත්තු වෙනවා විදේශකටයුතු අමාත්‍යංශය, ආගමන විගමන දෙපාර්තුමේන්තු හා මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කරන්නග දැනට ගැටලුවක් විදිහට මතුවෙලා තිබෙන්නේ විදෙස්ගතවූවන් සියලු දෙනාටම ඡන්දය අයිතිය ලබා දෙනවද නැතිනම් විදෙස්ගත ශ්‍රමිකයන්ටද විතරක්ද දෙන්නෙ කියලා. නමුත් ඒක බාධාවක් වෙයි කියලා මම හිතන්නෙ නැහැ. ඒත් එක්කම ද්විත්ව පුරවැසිභාවය අරගෙන තිබෙන පිරිස තීරණය කරයි ඡන්දෙ දෙන්නෙ මොන රටටද කියලා. නමුත් අපි කියන්නේ ශ්‍රී ලාංකික සෑම කෙනෙක්ටම ඡන්ද අයිතිය දිය යුතුයි කියලයි

විදෙස්ගත ජනතාව වෙත තම ඡන්දය භාවිත කිරීමේ පහසුකම් සළසාදීමේ දී ජාත්‍යන්තර මට්ටමෙන් අනුගමනය කරනු ලබන ක‍්‍රමවේද කිහිපයක් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා මෙසේ පෙන්වා දුන්නේය.  “පළමුව Return Voting – ආපසු පැමිණ ඡන්දය භාවිත කිරීමේ ක්‍රමය. මෙය සෘජු ලෙස විදෙස්ගතව ඡන්ද භාවිතයට අදාළ වන්නක් නෙවෙයි. එහෙත් මෙහිදී සිදු වන්නේ ප‍්‍රධාන ගුවන් තොටුපොළ හෝ වෙනත් ගොඩබසින ස්ථානයක් ආශ‍්‍රිතව ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවා තමන් රාජකාරි කරන රටෙහි ලියාපදිංචි වූ පුරවැසියන් හට යළිත් මව් රටට පැමිණ ඡන්දය භාවිතකොට එසැණින් ආපසු යාමට පහසුකම් සැලසීමයි. මෙවැනි ක‍්‍රමයක් භාවිත කළ හැක්කේ ධනවත් රටවල ජන්දදායකයන්ට පමණි.” 

දෙවැනි ක්‍රමය In Person Polling Station - අදාළ විදෙස්ගත රටවල්වල තානාපති හෝ කොන්සියුලර් කාර්යාලවලට පරිබාහිරව පිහිටුවන ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් ඡන්දය භාවිත කිරීමට මෙහිදී පහසුකම් සලසා දෙයි. එහෙත් ඒ සඳහා වැය වන මුදල අතිවිශාල එකක් වන අතර වෙනත් රටක ඡන්දයක් සඳහා තම රටෙහි භූමිය එලෙස භාවිත කිරීමට සමහර රටවල් එකඟවේද යන්න සැක සහිතයි. 

තෙවැනි ක්‍රමය Embassy Voting මෙහිදී සිදු වන්නේ එක් එක් රටවල පිහිටුවා ඇති තානාපති හෝ කොන්සියුලර් කාර්යාලය ආශ‍්‍රිතව ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීමයි. මෙය  ඉතා බහුලව භාවිත කරනු ලබන ඉතා සුරක්‍ෂිත ක‍්‍රමවේදයක් වුවද ගැටලුව වන්නේ යම් රටක අදාළ කාර්යාලවලට ඉතා බැහැරින් රාජකාරි කරන ඡන්දදායකයකු එදිනට නිවාඩු රැගෙන විශාල දුරක් ගෙවාගෙන පැමිණේ ද යන්නයි. 

ඊළඟ ක්‍රමය Postal Voting ක්‍රමයයි. තම මව් රටේ ඡන්දයට ලියාපදිංචිව වෙනත් රටක දිවි ගෙවන ඡන්දදායකයන්ට තැපැල් මගින් ඡන්ද පත‍්‍රිකාව ලැබීම හා පෙරළා ගෙන්වා ගැනීම මෙහිදී සිදු කෙරේ. මෙය බොහෝ රටවල අනුගමනය කරනු ලබන ඉතා සුරක්ෂිත හා පහසු ක‍්‍රමවේදයකි. නවීනම ක්‍රමය Internet Voting ක්‍රමයයි. අන්තර්ජාලය හරහා තම ඡන්දය භාවිත කිරීම මින් සිදු වේ. මෙය සුරක්‍ෂිත යැයි හැඟුණ ද මෑත කාලීනව ඇමරිකාව වැනි රටවල අයථා පරිහරණයට ලක්වීමෙන් එයද දෝෂ සහිතය. ඉහත ක‍්‍රමවලට අමතරව ඔස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය වැනි රටවල් දැනට භාවිත කරන පරිදි ෆැක්ස් මගින් ඡන්දය භාවිත කිරීමද සිදු කිරීමේ හැකියාව ද පවතී.

විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් හට තම ඡන්දය භාවිතයට අදාළ පහසුකම් සැළසීම ඉතා මිල අධික ක‍්‍රියාවලියක් බව ඉතා පැහැදිලි කරුණකි. සමහරවිටෙක එය අප රට වැනි ආර්ථික වශයෙන් ඉහළ ප‍්‍රගතියක් මෙතෙක් අත්කරගෙන නොමැති රටකට දැරිය නොහැකි වියදමක් ද විය හැක. එහෙත් රජයේ නාස්තිකාර වියදම් හා විදෙස්ගත පිරිසේ සංඛ්‍යාත්මක විශාලත්වය සැළකීමේ දී කිසිදු රජයකට ඒ පිළිබඳව නිහඬව සිටීමේ හැකියාවක් ද නැත. ඒ නිසා ඉහත කරුණ සළකා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වගකීම විය යුත්තේ අප රටට වඩාත් ගැළපෙන ක‍්‍රමවේදය සොයා ගැනීමයි. එහිලා මැතිවරණ කොමිෂන් සභාව ඉතා සුභවාදී ප‍්‍රවේශයකින් කටයුතු කිරීම පැසසිය යුත්තකි. තවද විදෙස්ගත සියලු ශ්‍රී ලාංකිකයන් හට මෙකී අයිතිවාසිකම එකවර ලබාදීම ගැටලු සහගත වන්නේ නම් කොටස් වශයෙන් එක් එක් ක්ෂේත‍්‍රයන් වෙත මෙකී පහසුකම ලබාදීමට ක්‍රියා කළ හැකිය. අත්හදාබැලීමක් ලෙස පළමුව ඉන්දියාව වැනි රටක්  සිදුකරන පරිදි රාජ්‍යතාන්ත‍්‍රික හා හමුදාමය පිරිස්වලට අවස්ථාව සලසාදීම කළ හැකිය. අනෙක් පසින් ඇති දැවැන්ත අභියෝගය වන්නේ මෙවැනි ක‍්‍රමවේදයක් හඳුන්වාදෙන්නේ නම් ඊට සමගාමීව අදාළ ඡන්දදායකයන් දැනුවත් කිරීමේ දැවැන්ත වැඩසටහනක්ද නිර්මාණය කළයුතු වීමය. එවැනි මූලික අවබෝධයක් විදෙස්ගත ඡන්දදායකයන්ට නොමැති වුවහොත් සිදුවන්නේ ඔවුන්ගේ ඡන්දය අවභාවිත වීමය. 

සමාජජාලා මාධ්‍ය බහුලව පැතිරී ඇති මෙවන් සමයක ජාත්‍යාලය හෝ දේශප්‍රේමීත්වය දල්වා තම ඡන්ද මඩිය තර කර ගැනීමට දේශපාලනඥයන් පසුබට නොවේයැයි කිසිවෙකුටත් සහතික විය නොහැක. මෙරටේ බොහෝ සංවිධාන හා විද්වතුන්ගේ විශ්වාසය වන්නේ මෙවැනි ක‍්‍රමවේදයක් හඳුන්වාදීමට පෙර සිදු කළ යුතු පළමු කාර්යය විය යුත්තේ මෙරටේ විදෙස් සේවය නිර්දේශපාලනීකරණය කිරීම බවයි. නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකගැනීම උදෙසා අප රටේ දේශපාලනඥයන් අවංකව හා පරිත්‍යාගශීලීව කටයුතු කරාවි යැයි සිතීම ඉතා අපහසු කරුණකි. කෙසේ වුවත් මව්බිමේ බර කරට ගත් විදෙස්ගත වූ රටවිරුවන්ට නිරායාසයෙන් ලැබිය යුතු අයිතිය ලබාදීම පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව සතු පරම වගකීම වන අතර එකී කාර්යය සඳහා මෙම කමිටුවේ සාමාජිකයන් පක්ෂ භේදයකින් තොරව එකට එක්ව කටයුතු කරාවිය යන්න අපගේ විශ්වාසයයි.


(විශේෂ ස්තූතිය මංජුල ගජනායක මහතා)

♦ සැකසුම - සකීෆ් සාම් තන්වීරි

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00