2018 ජුනි 09 වන සෙනසුරාදා

හවසට ගෑනු ළමයි හොයන අරාබිකාරයෝ

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 392

මෙරට ඇති සුන්දරත්වය, ඉතිහාසය, සමාජය ඇතුළු දෑ ලෝකය ඉදිරියේ නිරාවරණය කිරීමේ පෙරමුණේ රාළලා වන්නේ සංචාරක මාර්ගෝපදේශකයන් හෙවත් ගයිඩ් මහත්තුරැය. මේ එම ගයිඩ් මහතුන් කිහිපදෙනකු සමඟ කළ සංවාද සටහන් පෙළක විසිහය වැන්නයි. මෙවර අප හා කතාබහට එක්වන්නේ ජාතික සංචාරක මාර්ගෝපදේශකයකු වන මනෝජ්ය. 2013 වසරේ සිට අරාබි, හීබෘ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් සංචාරක මාර්ගෝපදේශනයේ යෙදෙන ඔහු මෙවර අපගේ කතා නායකයා වන්නේය.

තානාපති සේවයෙන් ගයිඩින්වලට 

2011 දී කටාරය තුළ ඊශ්‍රායල රජයට කළ සේවාව නිමාකර දමමින් ලංකාවට එන මනෝජ් නැවතත් තානාපති සේවා අංශයේ රැකියාවක් පිළිබඳ උනන්දු වෙමින් කාලය ගත කළේය. ඔහුගේ හිතවතකු වන ඉතාලි ගයිඩ්වරයෙක් ඔහුට මුණගැසෙන්නේ මේ අතරවාරයේදීය. 

“අපි එක භාෂාවක් දෙකක් දැනගෙන මේ රස්සාව කරනවා. අයියට භාෂා තුන හතරක් පුළුවන්කම තියලත් ඒකෙ චාන්ස් එක ගන්නෑනෙ” ආ ගිය විස්තර ගැන කතා කරමින් සිටි මොහොතක ඔහු මනෝජ්ට කීවේය. මේ වන විට තමා පිටරටදී උපයාගත් මුදලින් අලුත්ම ටොයොටා කොරොල්ලා මෝටර් රථයක් ද ඔහු මිලදී ගෙන තිබුණි.

පසුව ඔහුගේ මඟපෙන්වීම ද සමඟ සංචාරක මාර්ගෝපදේශනය ගැන සොයන්නට පටන් ගත් මනෝජ් නැවතුණේ සංචාරක මණ්ඩලයේ රියැදුරැ සංචාරක මාර්ගෝපදේශන කථිකාචාර්ය පාඨමාලාවට බැඳීමෙනි. එය සාර්ථකව අවසන් කළ ඔහු කෙටි කලකින්ම ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්ය පාඨමාලාව ද ආරම්භ කළේය. 

ඉංග්‍රීසි, අරාබි, හීබෘ මෙන්ම හින්දි භාෂාවත් හොඳින් කතා කළ හැකි නිසා මනෝජ්ට සංචාරකයන් අතර හොඳ ඉල්ලුමක් ඇති කරගැනීමට වැඩි කලක් නොගියේය. 

අපේ රටේ අරාබි කතා කරන ගයිඩ්ලා ගොඩක් ඉන්නවා. හැබැයි හොඳට කතා කරන්න පුළුවන් අය ඉන්නේ බොහොම ටිකයි. ගොඩක් අයට පුළුවන්, You go, I come කියලා ඉංග්‍රීසි කතා කරනවා වගේ කැඩිච්ච අරාබි කතා කරන්න විතරයි.  

අනෙක් අතට සංචාරක මාර්ගෝපදේශකයා යනු රටක තානාපතිවරයෙක් වැන්න. අදාළ රට පිළිබඳ ඇතැම් විට සමස්ත ප්‍රතිරෑපයම රැඳී ඇත්තේ ගයිඩ් අතේය. මනෝජ් කියන ආකාරයට ඔහු නිතරම උත්සාහ ගන්නේ සංචාරකයන්ට වැඩි යමක් දෙන්නටය. දැනුම මෙන්ම අත්දැකීම ද ඒ අතර පෙරමුණ ගනී. 

“මම ටික කාලෙකට උඩදි පටන් ගත්ත වැඩක් තමයි පාරෙ යන අතරෙදි හොඳ කෙසෙල් කැනක් තෝරගෙන ඇවිත් බස් එකේ එල්ලනවා කැමැති කෙනෙක්ට කඩාගන්න කියලා. අරාබිකාරයෝයි, යුදෙව්වොයි රත් කෙහෙල් කාලා නෑ. ඉතින් රත් කෙහෙල් කැනක් එහෙම තිබ්බොත් ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට ඒක ඉවරයි” 

ලෝගුව ගලවන්න බෑ කියූ බාබා

ඇතැම් වෙලාවට සංචාරකයන්ට ඒ ඒ තැන් නරඹන්නට කැටුව යාම ද ලොකු අභියෝගයකි. මෙරට ඉතිහාසය තුළ බෞද්ධ උරුමය වැඩියෙන් ප්‍රකට වන නිසාම නටබුන් වශයෙන් දක්නට ඇති බහුතරයක් පැරණි වෙහෙර විහාර දාගැබ්ය. අනුරාධපුරයේදී පොළොන්නරුවේදී ඇති තරම් පන්සල් වෙහෙර විහාර කරා යන සංචාරකයන්ට මහනුවරට පැමිණ නැවතත් පන්සල් නරඹන්නට යාම එතරම් රුචිය වඩවන්නක් නොවේ. එහෙත් නැති රැචියක් ඇතිකර අමතක නොවන අත්දැකීමක් ඔවුන්ට ලබාදෙන්නට මනෝජ් සමත්ය. 

“නුවර ගිහිල්ලා ඇම්බැක්කෙයි, ලංකාතිලකෙයි, ගඩලාදෙණියයි යද්දි ගෙස්ට් අහනවා මොන පිස්සුවක් ද මේ පන්සල් ගාණෙම යන්නෙ ඇයි කියලා. හැබැයි ඔය විහාර තුනේ වෙනස කියලා දුන්නම සුද්දෝ ආසාවෙන් ඒවායේ කාලෙ ගත කරනවා. මොකද ඇම්බැක්කේ කියන්නේ ලී වලින් හදපු විහාරයක්. ලංකාතිලකෙ ගඩොල් වලින්. ගඩලාදෙණිය කියන්නේ වහලය පවා ගල් වලින් හදපු ශෛලමය පන්සලක්. ඉතින් එකිනෙකට වෙනස් පන්සල් තුනක්” 

ලංකාවේ සංචාරක ආකර්ෂණ ගැන මනෝජ් දිගු වේලාවක් කතා කළේය. පිටරැටියන් පැමිණ දැනගෙන යන කරැණු බොහෝමයක් මේ රටේ ජීවත් වන ජනතාව මියයන තුරුම නොදැන සිටින බව ඔහු කියූ කාරණා රැසක සැඟවී තිබුණු සත්‍ය විය. 

“ඔය ට්‍රිප් යද්දි අරක්කු බෝතල් විස්ස තිහ බොන්න වියදම් කරන සල්ලි, සයිට් ගයිඩ් (සංචාරක ස්ථානයක කටයුතු කරන මාර්ගෝපදේශකයා) කෙනෙක් වෙනුවෙන් වියදම් කරලා අලුත් යමක් ඉගෙන ගන්න, අලුත් අත්දැකීමක් ලබන්න අපේ කට්ටියට වුවමනාවක් නෑ” 

දවසක් මාර වැඩක් වුණා. ගෙස්ට් කෙනෙක් මට ගහන්න හැදුවනේ...

ඒ මොකෝ ඒ? පුටුවේ හරිබරි ගැසී හොඳින් වාඩිවූ මම ද ඔහුගේ ත්‍රාසජනක අත්දැකීම දැනගන්නට උත්සුක වීමි.

ඒ ආවෙ අරාබි කපල් එකක්. මුලදි කපල් එක විතරක් එනවා කියලා තිබුණට ඒගොල්ලෝ ආවෙ පොඩි දරුවකුත් එක්කයි. අනික ඒ පිරිමි කෙනා ඇඳගෙන හිටියේ දිග අරාබි ඇඳුම. 

“බාබා ඔය ඇඳුම නම් මෙහේට හරියන්නෙ නෑ. ඒක ඔයාගේ ආරක්ෂාවට හොඳ මදි” මනෝජ් කීවේ ඇත්තටමය. 

එහෙත් සංචාරකයා එය කණකටවත් ගත්තේ නැත. ඒ වෙනුවට ඔහු කළේ මනෝජ්ගේ කොලරයෙන් ඇද තමා ළඟට ගැනීමය. 

“එවේලේ මට ටිකක් තරහ ගියත් මම කේන්තිය පාලනය කරගෙන ආපහු එයාට කතා කළා” 

 

“බාබා මේ ඔයාගේ රට නෙමේ. මේක මගේ රට. මෙහේ ඇවිත් අනවශ්‍ය ප්‍රශ්න දාගන්න ඕනෙ නෑනෙ. මම කිව්වේ ඔයාගෙම හොඳටයි”

වහා තමාගේ ක්‍රියාවේ බරපතළකම තේරැම්ගත් සංචාරකයාද මනෝජ්ගේ කොලරය අත්හැරියේය. සිදුවූ දෙයට සමාව ඉල්ලූ ඔහු ඉන් අනතුරැව මනෝජ් සමඟ දැනුදු ඊමේල් හරහා සම්බන්ධකම් පවත්වාගෙන යයි. 

නීතියට පිටින් යන්න හදන සංචාරකයෝ

ලෝකයේ බොහෝ රටවල වාහන පැදවීම සිදුකරන්නේ දකුණෙනි. වම් පැත්තෙන් වාහන ධාවනය සිදුකරන්නේ අපේ රට ඇතුළු තවත් රටවල් කිහිපයක් පමණි. අරාබිකරයේ ද වාහන පදවන්නේ දකුණෙනි. එනිසා වමෙන් වාහනය පැදවීමත් දකුණෙන් වාහන එනු දැකීමත් අරාබි ජාතිකයන්ට එක් කරන්නේ වෙනසකට වඩා ත්‍රාසයකි. 

“දකුණු පැත්තෙන් වාහන එනවා දකිද්දි සමහරැ සීට් උඩට කකුල් ඇදලා ගන්නවා. ඒ තරම් බයයි. ඔය ලේලන්ඩ් බස්වලට එහෙම පණ බයයි!” 

“හැබැයි ඔය අතරේ සමහරැ වාහනේ එලවගෙන යන්නත් ඉල්ලනවා”

අරාබිකාරයන් නාහෙට නාහන ජාතියකි. වාහනය පදවන්නට ඕනෑ යැයි හඬන්නේ පොඩි දරුවන් මෙනි. එවේලේට කුමන කරුණක් හෝ කියා එය නතර කිරීමට මනෝජ්ලාට සිදුවේ. ජාත්‍යන්තර වාහන බලපත්‍රයක් තිබූ පමණින් ලංකාවේ වාහන පැදවිය නොහැකි යැයි කියන මනෝජ්, අනතුරැව කියන්නේ සංචාරකයකු ලංකාවේ වාහන පැදවීමට ගොස් පොලීසියට අසුවුවහොත් ඇප නැතිව දින 15 ක් හිරේ දමන බවය. පොලීසියට බය අරාබි ජාතිකයා ඉන් කරබාගන්නේ පූස් පැටියකු මෙනි. 

අරාබි ජාතිකයන්ට අරාබිකරයේදී කළ නොහැකි දෑ ‍බොහොමයකි. එනිසා තමන් පිටරට සංචාරයකට පැමිණි විගස තහනම් දෑ කිරීමට උත්සාහ ගැනීම ඇතැම් අරාබීන්ගේ පුරුද්දකි. 

මිස්ටර් බැරිවෙයිද මට අද හවසට තරුණ ගෑනු ළමයෙක් හෙම හොයාගන්න. හික්කඩුවට, උණවටුනට යන සංචාරකයා මනෝජ්ලාගෙන් අසන්නේ කිසිදු පැකිලීමකින් තොරවය. එවැනි මොහොතකදී මනෝජ්ලා පිළිතුරු බැඳිය යුත්තේ ද ලොකු පරෙස්සමකිනි. මන්ද සංචාරකයාට දෙහි කැපීමක් හෝ ආරවුලක් ඇති කරගැනීමට යාම ද නුවණට හුරු නැත. 

“හපෝ බාබා මට නම් ඒවා කරන්න බෑ. ඔය පැත්තෙන් අපේ රටේ නීති හරිම තදයි. පොලීසියට අහුවුණොත් අපි දෙන්නම මාස ගාණකට හිරේ...” ලංකාවේ නීතිය තද වැඩිකොට මනෝජ් කියන්නේ කාගේ කාගේත් හොඳටය.  

ගුවනින් ලංකාවට පැමිණෙන සංචාරකයකුට පහතින් දිස්වන්නේ, හරිත පැහැයෙන් දිදුලන මනරම් දූපතකි. දුඹුරු පැහැ වැල්ලෙන් සහ ගැවසීගත් මැදපෙරදිග සිට ලංකාවට එන විදේශිකයන් එම හරිත පැහැයට වශී වන්නේ පිස්සුවකින් මෙනි. 

“අරාබි ජාතිකයන්ට අපේ රටේ ගහකොළවල අගේ හොඳට තේරෙනවා. එහේ ජූනි ජුලි මාසවල උෂ්ණත්වෙ සෙල්සියස් 52 යි. ඒ කියන්නෙ හාෆ් බොයිලිං. තණකොළවලට දවසට හය පාරක් වතුර දානවා. කටාර්වල රටඉඳි ගහක් හදන්න ලංකාවෙ මුදලින් ලක්ෂ හත හමාරක් වියදම් කරනවා. මම කියන්නේ අපේ රටේ හැම මිනිහෙක්වම මැදපෙරදිගට යවලා පෙන්නන්න ඕනෙ. එතකොටවත් අපේ පරිසරය ගැන මීට වඩා වටිනාකමක් ඇතිවේවි.” 

(තවත් කොටසක් ලබන සතියේ) 

 රජිත ජාගොඩ ආරච්චි

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30