2018 මැයි 12 වන සෙනසුරාදා

මාසෙකට දහතුන් කෝටියක් ගිලින පුංචි ආණ්ඩු

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 74

පළාත් පාලන, පළාත් සභා සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ආරංචි මාර්ගවලට අනුව පළාත් පාලන ආයතනවලට අලුතින් පත්වූ මන්ත්‍රීවරුන් සහ මඅන්ත්‍රී වරියන් 8689කට මැයි මාසයේ සිට වැටුප් ගෙවීම සඳහා මාසිකව රුපියල් මිලියන 135ක් හෙවත් රුපියල් දහතුන් කෝටි පනස් ලක්ෂයක් පමණ වැය කරන්නට රජයට සිදුව තිබෙන බව අනාවරණය වේ. දිවයිනේ මහා නගර සභා 24ක්. නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 276ක් ඇතුළු සමස්ත ආයතන සංඛ්‍යාව 341ක් වේ.

මෙම ආයතනවලින් මහා නගර සභාවක නගරාධිපතිවරයකුට රුපියල් 30,000ක්, නියෝජ්‍ය නගරාධිපතිවරයකුට රුපියල් 25,000ක් දීමනා වශයෙන් ගෙවන අතර නගර සභාවක සභාපතිවරයකුට රුපියල් 25,000ක් හා උප සභාපතිවරයකුට රුපියල් 20,000ක්ද ගෙවීම් කෙරේ. ප්‍රාදේශීය සභාවක සභාපතිටද නගර සභාවක සභාපතිවරයාට මෙන් රුපියල් 25,000ක් ලැබෙන නමුත්  එහි උප සභාපතිට ලැබෙන්නේ රුපියල් 15,000කි. මේ හැර නාගරික මන්ත්‍රීවරයකුට රුපියල් 20,000 හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට රුපියල් 15,000 බැගින් මාසිකව ලැබේ.

මේ හැර පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් සහ මන්ත්‍රීවරු මාසික දීමනාවට අමතරව ප්‍රවාහන දීමනාවක්ද, දුරකතන හා මුද්දර දීමනාවකට හිමිකම් ලබති. කොළඹ මහා නගර සභාව සඳහා ප්‍රවාහන දීමනාව රුපියල් 6500ක් සහ දුරකතන දීමනාව රුපියල් 6000ක් සමග රුපියල් 1000ක මුද්දර දීමනාවක්ද නියම කර ඇති නමුත් සෙසු පළාත් පාලන ආයතනවලට ඒ සඳහා ගණන් නියමකරගත හැකි වනු ඇත. එයට අමතරව නිල රථයකටද, ඉන්ධනවලටද සභා ප්‍රධානීහු හිමිකම් ලබති.

පළාත් පාලන ආයතනවල මුලින් සිටි මන්ත්‍රී සංඛ්‍යාව 4486ක් වූ අතර නව සංශෝධන අනුව එම සංඛ්‍යාව 8689ක් වී ඇත. අලුත් මැතිවරණ ක්‍රමය අනුව ඡන්දයෙන් පත්වන මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාවට සමානුපාතික ඡන්ද ක්‍රමයට අලුතින් මන්ත්‍රී සංඛ්‍යාවක් එකතුවීම නිසාද, සියයට 25ක කාන්තා නියෝජනය අනිවාර්ය වීම නිසාද මෙලෙස බරපතළ ලෙස මන්ත්‍රීන් ගණන ඉහළ යාමෙන්  ඒ අය නඩත්තු කිරීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇත. නව පනත අනුව මන්ත්‍රීවරුන් පත්වීම ඉතාම අවිධිමත් වන අතර ආයතනවලට නඩත්තු කිරීමට අපහසු තරමට මෙම සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.

උදාහරණ වශයෙන් කිවහොත් කොළඹ මහ නගර සභාවේ මුලින් පැවැති මන්ත්‍රීන් සංඛ්‍යාව 53 සිට 119 දක්වා 66කින් වැඩිවී ඇති අතර මාතර මහ නගර සභාවේ සංඛ්‍යාව එකකට එකක් ඉහළ ගොස් තිබේ. මුලින් පැවැති 15ක් මේ වනවිට 30ක් වී ඇත. තංගල්ල නගර සභාවේ දෙගුණයකටත් වඩා වැඩි වී තිබෙන්නේ මුලින් පැවැති 9 දෙනා 19ක් බවට පත්වෙමිනි. මාතර ප්‍රාදේශීය සභාවේද දෙගුණයකටත් වඩා වැඩිවී තිබේ. වර්තමාන මන්ත්‍රී සංඛ්‍යාව 31ක් වූ නමුත් මුලින් සිටියේ 15 දෙනෙකි. තවත් හාස්‍යය දනවන සිදුවීමක් වී ඇත්තේ සමහර ආයතනවල සේවක සංඛ්‍යාවට වඩා මන්ත්‍රීන් ගණන ඉහළ යාමය. මාලිම්බඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 17 දෙනෙකි. එහෙත් එහි සමස්ත කම්කරුවන් ගණන 8කි. එක මන්ත්‍රීවරයකුට එක කම්කරුවකුවත් නොමැත.

එසේම සභා රැස්වීම් පැවැත්වීමට ඉඩ සකසා දීම සහ යටිතල පහසුකම් සැලසීම ආදිය සඳහා අමතර විශාල මුදලක් වැය කිරීමට පළාත් පාලන ආයතනවලට සිදුව තිබේ. මෙම තත්ත්වය බොහෝ ආයතනවලට කෙසේවත් ඔරොත්තු නොදෙන බව තතුදත් ආරංචි මාර්ග සනාථ කරයි.

බොහෝ ආයතන අකාර්යක්ෂමයි
- මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධාන මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමියන් පවසන්නේ අලුතින් පත්වූ මන්ත්‍රීවරුන් යොදාගෙන පළාත් පාලන ආයතන සංවර්ධනය කිරීමට කටයුතු කළ හැකි නම් එම ආයතන සඳහා විශාල මුදලක් වැය වේ යැයි යන චෝදනාවෙන් ගැලවිය හැකි බවයි.

“ලොව දියුණු රටවල පළාත් පාලන ආයතන අතිශයින් ශක්තිමත්. ඒවාට විශාල ආදායමක් ලැබෙනවා. එම ආයතන මනා ලෙස කළමනාකරණය කර තිබෙනවා. එහෙත් අපේ ආයතන බොහොම දුර්වලයි. බංකොලොත් බවට පත්වෙලා. ආදායම් එකතු කිරීම හරිහැටි කෙරෙන්නේ නැහැ. වරිපනම්, බලපත්‍ර ගාස්තු ආදිය රැස්කිරීම අකාර්යක්ෂමයි. එසේම ජනතාවට ඉටුකරන සේවාද ප්‍රමාණවත් නැහැ. කොළඹ නගර සභාව යම් පමණකට හෝ ඉටුකරතත්, සෙසු පළාත් පාලන ආයතනවල කැළිකසළ එකතු කිරීම ඉතාම දුර්වලයි. කාණු පද්ධති අපවිත්‍රයි. පරිසරය දූෂණයට ලක්වෙනවා. මේ නිසා ජනතාව නිරතුරුව රෝගවලට ගොදුරු වෙනවා.

ඇතැම් ආයතනවල පවිත්‍රතා කටයුතු සහ ඉදිකිරීම් ආදිය පෞද්ගලික ආයතනවලට ලබාදී ඒවාට අනුයුක්ත කළ යුතු සේවකයන් නිකරුණේ සිට වැටුප් ලබාගන්නවා. පදික වේදිකා වෙළෙඳුන් අල්ලාගෙන සිටින නිසා ජනතාව මහපාරේ ගොස් අනතුරුවලට භාජන වෙනවා. ඇතැම් ආයතන දූෂණයෙන් ඉහවහා ගිහින්. යම් ගතමනාවක් නොදී බදු ගෙවන්නන්ට කිසිදු සේවයක් ලබාගත නොහැකියි. ගොඩනැගිලි අයැදුම් පත්‍ර අනුමත කිරීම ආදියට විශාල ලෙස අල්ලස් දිය යුතු වෙනවා. බොහෝ ආයතන ඉතාම අභාග්‍යමත් තත්ත්වයේ තමා තිබෙන්නේ.

මෙම ආයතනවලට මහජන ඡන්දයෙන් පත්වෙන අය හා පනත අනුව පත්කරන අය කිසිදු සුදුසුකමක් ලබා නැහැ. එකම සුදුසුකම දේශපාලනය පමණයි. ඡන්දෙට ඒ අය ගැලපුණත් කාර්යවලට ගැලපෙන්නේ නැහැ. මේ අය තමා අනාගතයේදී පාර්ලිමේන්තුවට යන්නේ. එවිට රටටම අත්වන්නේ අභාග්‍ය සම්පන්න ඉරණමක්. එසේම ඒවායේ රාජකාරි කරන බොහෝ කාර්ය මණ්ඩලවලින්ද ප්‍රමාණවත් සේවයක් ලැබෙන්නේ නැහැ. ඔවුන් කාර්යක්ෂම කර උපරිම ඵලදායිතාව ලබා ගැනීමට වැඩ පිළිවෙළක් නැහැ. මන්ත්‍රීවරු සංඛ්‍යාව වැඩි වුණත් සේවක සංඛ්‍යාව වැඩි වුවත් ඔවුන්ගෙන් සාධාරණ සේවයක් ලබාගන්නවා නම් ගැටලුවක් නැහැ. ගෙවීම් ටිකක් වැඩිවුවත් කම් නැහැ. එහෙත් ඒ දේ සිදු නොවනවා නම් මේ අලුත් සංශෝධනවලින් වැඩක් නොවෙයි.

පළාත් පාලන ආයතන ස්වයංපෝෂිත විය යුතුයි. මධ්‍යම රජය මත යැපීම අවම විය යුතුයි. ආදායම වියදමට එහා යා යුතුයි. ආයතන ඔවුනොවුන් සමග තරගකර කාර්යක්ෂමතාව වැඩිකරගත යුතුයි. අලුත් විවිධ ආයෝජන ඇතිකළ යුතුයි. මෙම ආයතනවලින් රැකියා උත්පාදනය කිරීමට අවශ්‍යයි. නගර පිරිසිදුව තබාගත යුතු අතර අනවසර ඉදිකිරීම් අනවසර වෙළෙඳාම් නැවැත්වීම අවශ්‍යයි. ප්‍රදේශයේ පාසල්, පන්සල් හා පොදු ආයතන සමග සාකච්ඡා කර තම ප්‍රදේශ යහපත්ව පවත්වාගෙන යාමට කටයුතු කිරීම වැදගත්. විදේශවල පළාත් පාලන ආයතන සමග සහයෝගීතාව පවත්වාගෙන යමින් ඒවායින් අවශ්‍ය දායකත්වය ලබාගෙන මෙරට පළාත්පාලන ආයතන සංවර්ධනය කිරීමට කටයුතු කළ හැකියි.

මෙම ආයතන සඳහා කෝටි 15කට සමාන මුදලක් වැයවන බව ප්‍රකාශිත නමුත් එම මුදලට සරිලන සේවයක් ලබා ගැනීමට කටයුතු කිරීම වැදගත්ය. මධ්‍යම ආණ්ඩුව මත යැපෙමින් ඒ අයට ආවඩනවා වෙනුවට ස්වාධීන ලෙස ආදායම් ජනනය කළ යුතුයි. 

අපේක්ෂිත අරමුණු ඉටුවන බවක් පෙනෙන්නේ නැහැ
ඒ.ඩබ්ලිව්. ගුණරත්න, හිටපු නාගරික කොමසාරිස් - ගාල්ල මහා නගර සභාව

නව පළාත් පාලන සංශෝධන පනත බලගැන්වීමෙන් ආණ්ඩුව ප්‍රධාන ප්‍රයෝජන හතරක් අපේක්ෂා කළා. අපේක්ෂකයන්ට අධික වියදම් ඇතිවන මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීම. කොට්ඨාස ක්‍රමය ඇතිකර ජනතාවට වගකියන මන්ත්‍රීවරයකු පත් කිරීම, සියයට 25ක කාන්තා නියෝජනයක් ඇති කිරීම හා මැතිවරණ සඳහා වන අනවශ්‍ය ප්‍රචාරණ වියදම් අවම කිරීම සමග මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවම කිරීම ඒවා වෙනවා.

එසේ වුවත් මෙම මැතිවරණ ක්‍රමය තුළින් පළාත් පාලන විෂයට අදාළව කිසිම ධනාත්මක ප්‍රතිඵලයක් ලැබී නැහැ. ආයතනවලටද අනවශ්‍ය වගකීමක් මිස කිසිම ප්‍රතිලාභයක් ලැබී නැහැ. පත්වූ මන්ත්‍රීවරුන්ට වැටුප් සහ දීමනා ගෙවීමට, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට, අදාළ වෙනත් පහසුකම් සැලසීමට විශාල වැයක් දරන්නට සිදුව තිබෙනවා. කිසිදු ඉෂ්ට ඵලයක් (Out Come) ලැබී නැති අතර බදු ගෙවන ජනතාවට සහ මධ්‍යම රජයට විශාල බරක් පැටවීමක් පමණක් සිදුව තිබෙනවා. බොහෝ ආයතනවල මන්ත්‍රීවරුන්ට රැස්වීමට පවා ඉඩ නැහැ. කාර්යාලවලට ඉඩ නැහැ. අවුරුදු 100කටත් වැඩි පැරැණි කොළඹ මහා නගර සභාවටත් විශාල මුදලක් වැය කරමින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ රැස්වීම් පැවැත්වීමට සිදුව තිබෙනවා. මේ සඳහා අනාගතයේදී විශාල වියදමක් දරමින් ගොඩනැගිලි ඉදිකිරීමට සිදුව තිබෙනවා. මේ සඳහා කරන වියදම් සියල්ල නිෂ්ඵල බවයි මගේ වැටහීම. මන්ත්‍රීවරුන්ට වැටුප් සහ දීමනා මධ්‍යම රජයෙන් ගෙව්වත් ඒ සඳහා වැයවෙන්නේ ජනතාවගේ බදු මුදල්. ඒ අතර යටිතල පහසුකම් සියල්ලටම එම පළාත්පාලන ආයතනවලින් වැයකළ යුතු වෙනවා. ඒවාද ජනතාවගේ මුදල්. අද බොහෝ පළාත් පාලන ආයතනවල යැපීම සඳහා ඔවුන් උපදවන ආදායම ප්‍රමාණවත් නැති අතර ඔවුන් යැපෙන්නේ මධ්‍යම රජයෙන් ලැබෙන මුදල්වලින්. එවැනි පසුබිමක තවත් බර පැටවී තිබීම නිසා විශාල ගැටලු නිර්මාණය වෙනවා. දුප්පත් සභාවලට මෙම තත්ත්වය කෙසේවත් ඔරොත්තු දෙන්නේ නැහැ. ලැබෙන ආදායම මන්ත්‍රීවරුන් සඳහා වැයකළ විට බදු ගෙවන ජනතාවට වැඩ සලසන්නේ කෙසේද?

ආයතනවල අලුතින් සීමා නිර්ණය කිරීමද දේශපාලනීකරණය වුණා. පසුගිය ආණ්ඩුව එය සකස් කළේ තමන්ට වාසි සැලසෙන ලෙසටයි. එහෙත් රටට වූයේ විශාල විනාශයක්. නියෝජිත සංඛ්‍යාව වැඩිවූයේ සියයට 40-60 අනුපාත ක්‍රමයකට තෝරන්න යෑම නිසයි. තවත් සියයට 25ක කාන්තා නියෝජනයකුත් එයට එකතු කිරීම නිසා තත්ත්වය තවත් අයහපත් වුණා. මෙහිදී සිදුවූයේ ආයතනයට දරාගන්න බැරි තරම් බරක් පැටවීමයි. මෙය කොතරම් විෂමකාරී ද කිවහොත් එක කොට්ඨාසයකට නියෝජිතයන් කිහිප දෙනෙක් ලැබිලා තියෙනවා. සමහරුන් තමන් කොයි කොට්ඨාසයේද දන්නේ නැහැ. ජනතාව තමන්ගේ මන්ත්‍රී දන්නෙත් නැහැ. කොට්ඨාසයකට එක මන්ත්‍රීවරයකු සිටින පරිදි පත් කළා නම් සෑහෙනවා. එහෙත් වැඩි සංඛ්‍යාවක් පත්කිරීම නිසා සියල්ල ව්‍යාකූල වී තිබෙනවා. එසේම පැරදුණු මන්ත්‍රීවරුන් යළි පත් කිරීම නිසා මන්ත්‍රී සංඛ්‍යාව වැඩිවීම හැරුණු විට ප්‍රජාතන්ත්‍රවාදය අවතක්සේරුවට ලක්ව තිබෙනවා. මෙලෙස මන්ත්‍රීවරුන් වැඩි සංඛ්‍යාවක් පත් කිරීමෙන් අයහපතක් මිස යහපතක් සිදුවන්නේ නැහැ. තීරණ ගැනීමේ ක්‍රියාවලියද විකෘති වීමට ඉඩ තිබෙනවා. පළාත් පාලන ආයතනවල ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම අපි අත්දැකලා තිබෙන නිසා සංඛ්‍යාව වැඩිවීම නිසා කොතෙක්දුරට සියලු කටයුතු සංකීර්ණ වේද යන්න පිළිබඳ සිතාගන්නට පුළුවන්. මහජන මුදල් අපතේ යාමට මෙන්ම පළාත් පාලන ආයතන කටයුතු ව්‍යාකූල වීමටද අලුත් සංශෝධන හේතු වී ඇති බව කිව යුතුයි.

ලබන පාර යළිත් සභික සංඛ්‍යාව අඩු කළ යුතුයි
කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්

මෙහිදී සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව 60-40 අනුපාතයට සභික සංඛ්‍යාව සකස් කිරීම සහ සියයට 25ක කාන්තා නියෝජනයක් වැඩිපුර ඇතිකිරීම නිසයි මෙම තත්ත්වය ඇතිවූයේ. මෙම පනත සකස් කරන අවස්ථාවේ අපි එයට එරෙහි වුණත් සම්පූර්ණයෙන් දේශපාලන අවශ්‍යතා මතයි මෙලෙස අධික සභික සංඛ්‍යාවක් ඇති කළේ. එය රට ගැන බලලා කළ දෙයක් නොව පටු දේශපාලන වාසි ලබාගැනීමට කළ දෙයක්. මෙහිදී හාර දහසකට අධික සංඛ්‍යාවක් වැඩිවෙලා තිබෙනවා. මේ සංඛ්‍යාව අද රටට බරක් වෙලා.

 

මෙම වරද ගැන දැන්වත් අවබෝධ කරගෙන අනාගතයේදීවත් මෙය වෙනස් කළ යුතුයි. මේ වනවිට පනත අනුව පත්වීම් ලබාගෙන ඇති නිසා දැන් කළයුතු දෙයක් නැහැ. මෙම පනත සංශෝධනය කිරීමට ආරම්භ කළේ 2010 වසරේ ඔක්තෝබර්වලයි. එදා පටන් අරගෙන අවුරුදු 7කට අධික කාලයක් ගියා මෙම වෙනස කරන්න. මෙම පනතේ ඇති දුර්වලතා අවබෝධ කරගෙන එය යළි සංශෝධනය කිරීමට දැන්වත් පටන් ගතහොත් තව වසර 4කින් පළාත් පාලන ආයතන මැතිවරණය යළි ආරම්භ කිරීමට පෙර වෙනස් කිරීම සිදුකළ හැකිවෙනවා. එහෙත් එය ප්‍රමාද කළහොත් ලබන වාරයේත් මෙම සංඛ්‍යාව පත්වේවි. එය කඩිමුඩියේ නොකර දැන් සිට ආරම්භ කර සාකච්ඡාවලට පැමිණ, විවිධ අදහස් හා යෝජනා ලබාගෙන සාර්ථක පළාත් පාලන ව්‍යුහයක් ඇති කළ යුතු වෙනවා. මෙහිදී අනිවාර්යයෙන්ම පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව 2500කින්වත් අඩු කළ යුතු බව මගේ අදහසයි. වැඩි සංඛ්‍යාවක් තේරි පත්වීම නිසා පරිපාලන ගැටලුද ඇතිවෙනවා. තීරණ ගැනීමේදී විවිධ ප්‍රමාද වීම් ඇතිවෙනවා. එය සාර්ථක පාලන ක්‍රමයකට බාධාවක්. ඒ නිසා මගේ අදහස නම් ලබන පළාත් පාලන මැතිවරණයට පෙර මෙම සංඛ්‍යාව 2500 පමණ අඩු කළ යුතුයි.

අනිත් කාරණය වෙන්නේ මේ අයට ගෙවන වැටුප් හා දීමනා ඉහළ යාම පිළිබඳ ගැටලුවයි. එය රටට ඔරොත්තු නොදෙන තරම් අධික බව ඇත්තයි. සභික සංඛ්‍යාව ඉහළ යනවිට මෙම මුදලත් ඉහළ යනවා. එය මුලදී සිතිය යුතුව තිබූ දෙයක්. එහෙත් එය සලකා බලා නැහැ. එහෙත් මේ වනවිට එම දීමනා අනුමත වී ඇති නිසා දැන් කළ හැක්කක් නැහැ. දැන් කළයුතුව ඇත්තේ මේ අයට ගෙවන වැටුපට සරිලන යම් ප්‍රතිලාභයක් එම නියෝජනය කරන ප්‍රදේශවලට ලබාදීමයි.
ගම් මට්ටමින් මේ කණ්ඩායමට නොයෙක් දේවල් කළ හැකියි. ආදායම් ලබා ගැනීමට අලුත් ආයෝජන ක්‍රම ඇති කළ හැකියි. උදාහරණයක් වශයෙන් කිවහොත් දැන් පසුගිය සමයේ නිෂ්පාදන වැඩිවීම හා අලෙවි පහසුකම් නොලැබීම නිසා විශාල වශයෙන් එළවළු අපතේ ගියා. වට්ටක්කා, ගෝවා වැනි එළවළු අධිකව ලැබුණත් නිෂ්පාදන වියදම ආවරණය කරගන්නවත් ආදායමක් ලබාගත හැකිවූයේ නැහැ. මෙවැනි අවස්ථාවලදී පළාත් පාලන ආයතනවල නියෝජිතයන් මාර්ගයෙන් මේවා අලෙවි කිරීමේ නව ක්‍රම හඳුන්වා දිය හැකියි. තම ප්‍රදේශවල පැවතින ගැටලු පිළිබඳ අවබෝධයක් ඇත්තේ එම ප්‍රදේශවලින් පත්වුණු නියෝජිතයන්ටයි. ඉතින් ඒ අයගෙන් යම් සේවයක් තමා පත්වූ ප්‍රදේශයට ලබාගත හැකියි.

එසේ නොකර සාම්ප්‍රදායික ලෙස ආයතනවල සභා රැස්වීම්වලට සහභාගි වී දේශපාලන ප්‍රශ්න ගැන කෑ කෝ ගැසීම නොවෙයි කළ යුතු වන්නේ. තමන් ලබන වැටුපට සමානුපාතික වන ලෙස ජනතාවට යම් මෙහෙවරක් කිරීමයි. ප්‍රදේශයට ආවේණික පහසුකම් යොදාගෙන අලුත් ආදායම් මාර්ග ඇතිකළ හැකියි. මධ්‍යම ආණ්ඩුවට වඩා පළාත් පාලන ආයතන තමා ඒ පිළිබඳව අවබෝධ කරගත යුත්තේ. ඒ නිසා තමා ජනතාවගෙන් ලබාගන්නා වැටුප් සහ දීමනාවලට සරිලන සේ යම් සේවයක් සැකසීමට මෙම ප්‍රාදේශීය මහජන නියෝජිතවරුන් යොමුකළ යුතු වෙනවා. මහජන මුදලින් ලබන වැටුපට ණය නැති වන්නේ අලුත් අත්හදා බැලීම්වලින් යම් සේවයක් කිරීමෙනුයි.

♦ යසවර්ධන රුද්‍රිගු

 

 

 

 

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00