2018 අප්‍රේල් 13 වන සිකුරාදා

වික්‍රමසිංහ හා ජයතිලක එදා අවුරුදු කෑහැටි

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:01 200

සිංහල අලුත් අවුරුද්ද චිත්‍රපට, ටෙලිනාට්‍ය, නාට්‍ය ආදී කලා නිර්මාණවල මෙන්ම සාහිත්‍ය කෘති තුළද අඩුවැඩි වශයෙන් නිරූපණය කෙරේ. වාණිජකරණය වූ අදට වඩා එදා අවුරුද්ද සරලය. සිරියාවන්තය. කොග්ගල මහා ප්‍රාඥයා වූ මාර්ටින් වික්‍රමසිංහ 1900 මුල් භාගයේ අවුරුද්ද සාහිත්‍යය කෘති ඔස්සේ නිරූපණය කළ අන්දම සහ කේ. ජයතිලක සාහිත්‍යවේදියා 1960 දශකයේ අවුරුද්ද නවකතාවල නිරූපණය කළ ආකාරය මින් විමසා බැලේ. “ සිංහල අවුරුද්ද නිමිත්තෙන් අවුරුද්දකට දෙතුන් දවසකට කලින් කුඹල්කාරයන් ගමේ ප්‍රධාන පවුල් තුන හතරකට අලුත් වළන් කඳ බැගින් ගෙනැවිත්දීම පෙර සිට පැවත එන සිරිතකි. වළන් කත් ගෙනෙන කුඹල්කාරයෝ බතින් ද අනතුරුව රස කැවිලියෙන් ද සංග්‍රහ ලබති. වළන් කත් වෙනුවට ඔවුන් ලබන්නේ සහල්, පොල්, මිරිස්, ලුණු, කැවුම්, අතිරස යන ආදියයි.”

මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ගම්පෙරළිය නවකතාවේ අවුරුද්ද දකින්නේ එලෙසයි. දකුණු පළාතේ කොග්ගල කයිසාරුවත්තේ පවුල කේන්ද්‍ර කරගත් මේ නවකතාවේ මුල් පරිච්ඡේදයේම  ගමට සිංහල අවුරුද්ද ලබන ආකාරය ගැන විස්තරයක් කෙරේ. පුරාණ ගැමි අවුරුදු සිරිත් වියැකී ගොසින් පවතින අද අපට වර්ෂ 1904 දී දකුණේ ගමක අවුරුදු සතුට භුක්ති විඳින ආකාරය ස්මරණය කිරීමට ද මෙම නවකතාවෙන් පිටුවහලක් ලැබේ.

“ආහාර අනුභවයෙන් පසු මවුපියන් හැර අනිත් සියල්ලෝම දෙපිලකට බෙදී පංච කෙළින්නට වූහ. පොරයකට එක සත දහය බැගින් දමා කරන ඒ කෙළිය අවුරුද්ද ළංවත්ම ගමේ ගෙයක් පාසා දක්නට ලැබෙන්නකි.”(15 පිටුව)

එදා අවුරුද්ද කාලයට දකින්න ලැබුණු පංච දැමීම, පොර පොල් ගැසීම, ඔළිඳ කෙලිය, ඔංචිලි පැදීම, කතුරු ඔංචිල්ලා ආදී ක්‍රීඩාවන්ද සමාජයෙන් බොහෝදුරට සමුගෙන අවසානය.

“අවුරුද්ද ගිහිල්ලා දැන් මාසයක් යනකලුත් කතිරිනා පංචි දැමීම නවත්වන්නේ නැහැ” යි අනුලා කීවාය.

“ඒ ගෑනි පංචි කෙළිය පටන් ගන්නෙත් අවුරුද්ද ලබන්න මාසෙකට විතර කලින්” යි කියමින් සෝමදාස සිනාසුණේය.

“ගිය අවුරුද්දේ ඒ ගෑනි ගෙදර වත්තේ පොල් ගසුත් උකස් තියා සල්ලි අරගෙන පැරැද්දුවා” යි පියල් කීය.(ගම්පෙරළිය)

මාර්ටින් වික්‍රමසිංහ අවුරුද්දේදී සරල කෙලි සෙල්ලම්වලින් වැඩිහිටි ගැමියන් පවා ලබන අසීමිත සතුට ගම්පෙරළිය ඔස්සේ සජීවී ලෙස මේ තරගය කරයි. ඒ අතරම ඔහු එහි ප්‍රධාන චරිත වන නන්දා සහ පියල්ගේ බැඳීම ආරම්භ වන අවස්ථාවද අවුරුද්ද සතුට හා මුසු කරයි. පියල්, නන්දා කෙරෙහි උනන්දුවන බව පාඨක අපට ඉඟි කරන්නේ පංචි ගසා නන්දා පරදවා පියල් ලබාගත් සල්ලි ඇයට නැවත ඔහු ලබා දීමට උත්සාහ කරන සිද්ධියකි.

මාර්ටින් වික්‍රමසිංහ ගැමි ජීවිතය හා සංස්කෘතිය මහත් ඉහළින් සැලකූ ගමේ මුල් තබා සිටි ලේඛකයෙකි. මේ නිසා ඔහුගේ තවත් සාහිත්‍ය නිර්මාණවලද අවුරුද්ද අපට හමුවේ. වික්‍රමසිංහ ඉතා අව්‍යාජ අයුරින් මේ සංස්කෘතිකාංගය තම නිර්මාණ තුළට යොදා ඇති බව පෙනේ. ඔහුගේ මඩොල්දූව යොවුන් නව කතාවේ උපාලි ගිනිවැල්ලේට අවුරුද්ද අත්විදීමට සිදුවන්නේ ධර්මසිංහ ඉස්කෝලෙ මහතාගේ නිවසේ නතරව සිටියදීය.

“අලුත් අවුරුද්ද වෙනුවෙන් ධර්මසිංහ මහතාගේ ගේ අලෙවි කළේ වෙළෙන්දෙකි. එය “අලුත් අවුරුද්දට ගනුදෙනු කිරීම” යන නමින් හැඳින්වෙන සිරිතකි. පැරැණි සිරිත් අනුව අලුත් අවුරුද්ද සිහිකරන ධර්මසිංහ මහතා ඇතුළු අප කවුරුත් අලුත් අවුරුදු බත කෑවේ අතුරන ලද පැදුරුවල වාඩිවී කෙසෙල් කොළවලය. අප සුබ මොහොතින් බත කා ටික වේලාවක් ගිය පසු ගනුදෙනු කරන වෙළෙන්දා පැමිණියේය. කිරිබත් පිඟානක් සහ කැවිලි පිඟන් ද සහිත මේසය ළඟ වූ පුටුවෙහි හිඳගත් ඔහු කිරිබත් පිඩක් ගුලිකොට දැල්වෙන තිරයක් ඇති පොල්තෙල් පහනෙහි දමා ඒ බත්ගුලිය ළඟ සතයක් ද තැබීය. අනතුරැව ඔහු බුලත් කොළයෙහි දවටන ලද රිදී කාසියක් සහිත තඹ කාසිය බැගින් අප සියලු දෙනාටම දුන්නේය” (මඩොල්දූව, 42 පිට)
අදටත් වඩා එදා සරල සමාජයේ ජීවත් වූ දරුවෝ අවුරුද්ද බලාපොරොත්තු වූහ. අවුරුද්දට සොබාදහමේ සිදුවන වෙනස්කම් ඔවුහු අත්වින්දහ. “සල්ලි ඔට්ටුකොට සෙල්ලම් කිරීමට අපට ඉඩදෙන ලද්දේ අවුරුද්ද දවසේ පමණි. අනික් දවසක සල්ලි ඔට්ටු කෙරෙන සෙල්ලමක් අප කළහොත් ධර්මසිංහ මහතා අපට තලන බව අපි දැන සිටියෙමු. අවුරුද්ද දවසෙහි අප හා සෙල්ලම් කරනු පිණිස අපගේ පන්තියේ ළමයින් කිහිපදෙනෙක් ද පැමිණියේය... අපි ඒ ළමයි හා එක්ව ගඩොල් මැන්නෙමු. මා දිනතත් සෝමලතා පරදයි.” (මඩොල්දූව, 43 පිට)

වික්‍රමසිංහ තම නිර්මාණ කෘතිවලට එදා අලුත් අවුරුද්ද යථාර්ථවාදී ලෙස නිරූපණය කිරීමට ඔහුට අත්පොත තැබුණේ කොග්ගල ගෙදර වාසය කරන කාලයේදීය. ඔහු හදවතින්ම අවුරුද්ද වැළඳගත් දරුවකුව සිටි බව “උපන්දා සිට” නම් චරිතාපදානය හෙළිකරයි.

“සියලුම ගැමියන්ගෙන් අවුරුදු තෑගි ලැබූ දෙදෙනෙකුගෙන් අපේ තාත්තා ද එකෙකි. අනිකා උපාලිස්හාමි වෙදාය. අලුත් අවුරුද්දට දෙදවසකට පෙර තෑගි ගෙන එන්නෝ පෙරහරක් මෙන් පැමිණෙති. බොහෝ දෙනෙකුගේ අවුරුදු තෑග්ග කැවිලි බන්දේසියකි. ගමේ වෙළෙන්දෝ තුන් හතර දෙනා හාල්, සිල්ලර බඩු, රෙදිපිළි හා කැවිලි බන්දේසිය ද බැගින් ගෙනෙති. හාල් ගෝනියක් හා ලූනු, මිරිස්, සීනි, උම්බලකඩ ආදිය බර බාගයක පටවාගෙන අවුරුද්දට දවසකට පෙර තාත්තා දකින්නට ආ ලොකු වෙළෙදන්දෙක් ද විය. මසුන් අල්ලන්නන් ලොකු බලයකු දෙන්නකු ගෙනෙති. එළවළු ගුරුන්නාන්සේගේ තෑග්ග එළවළු පෙට්ටියකි. ඒ පෙට්ටියෙහි වූ කැකිරි ගෙඩිය මගේත් සිත් ගන්නක් පමණක් නොව අප තුළ සන්තෝෂයක් හා ආශාවක් ද දැනවූවකි.” (උපන්දා සිට, 19 පිට)

ශූර සාහිත්‍යවේදියකු වන වික්‍රමසිංහ සුහද ගැමි අත්දැකීම් තම නිර්මාණ අතරට පිවිසවීමට හපන්කම් දැක්වූවෙකි. ඔහුගේ නිර්මාණ අතර සැරිසරන විට අපට ද සිතින් ඒවා වෙත ළංවීමට අවස්ථාව සැලසේ. “අවුරුදු තෑගි පිළිගැනීමෙන් ලත් සන්තෝෂයට නොඅඩු සන්තෝෂයක් අම්මා ඒ තෑගි ගෙන එන්නන්ට සංග්‍රහ කිරීමෙන් ලැබුවාය. උදය වරුවේ සූදානම් කරන තේ මේසය අස්කරන්නේ දවල් කෑම කන වෙලාවට මඳක් කලිනි. අනතුරුව යළිත් කැවුම්, කොකිස්, මුංගෙඩි, අතිරස හා කෙසෙල් ගෙඩි ඇතිව සූදානම් කෙරෙන තේ මේසය රෑ බත් කන වෙලාව ළංවන තෙක් අස්නොකර ලදී.” (උපන්දා සිට 21 පිට)

අපේ තවත් විශිෂ්ට ලේඛකයෙක් වූ රදාවානේ උපන් කේ. ජයතිලක හඳුන්වන්නේ කන් නිමහර ප්‍රාඥයා යනුවෙනි. ඔහුගේ ප්‍රකට නවකතාවක් වූ “චරිත තුනක්” හිද අපට අවුරුද්ද හමුවේ. වික්‍රමසිංහ අවුරුද්ද දකින්නේ සංතෝෂය, නැවුම්බව හා සුබවාදී ප්‍රාර්ථනා ද සහිතවය. එහෙත් ජයතිලක අවුරුද්ද දකින්නේ ඊට වෙනස් අයුරිනි. එතුළ අපට යම්කිසි ශෝකී රසයක් හා උපේක්ෂා සහගත බවක් දිස්වෙයි. චරිත තුනක්හි ඉසාගේ සහෝදරයෙක් වන සනා අවුරැද්දට කලින් දින කඩුල්ල පැන ඉසාගේ ගෙදරට එයි.

“අම්මා හිටියානම් මොනතරම් බැරි අමාරුකම් තිබුණත් අවුරුද්ද නම් අතඅරින්නේ නැහැ.”

“අනේ ඒක නේන්නම්! උන්දැගෙ අගේ දැන් තමයි වැඩියෙන් තේරෙන්නේ.”

“හෙට අවුරුද්දට එනවනේ එහෙ. අවුරුද්දට කෑම ටිකක් කාරිය කාලා එන්න බැරියැයි.”

පසුදින මම වත්තෙන් එළවළු හා පලතුරු රැසක් කඩා මල්ලකට පුරවා ගතිමි. ඉන්පසු මුහුණ කට සෝදා අලුත් ඇඳුමක් ඇද මල්ලක් රැගෙන සනාගේ ගෙදර දෙසට ගියෙමි. අඟලෙන් දෙකෙන් එකිනෙකාට උස් මිටි ළමයි රැළ මා එනු දැක වහා ගෙට දුවගොස් යළි ඉස්තෝප්පුවට වුන් අමුත්තකු ගෙදරට එන කල්හි මෙන් නිසල බලා සිටිති. මම මා ගෙන ගිය මල්ල ජිනදාස අතට දී අනික් ළමයින් දෙතුන් දෙනෙකුගේම හිස අත ගා කතා කළෙමි.

“කොහොමද අවුරුදු හොඳද?” (චරිත තුනක් - 169 පිට)

කේ. ජයතිලක තම නිර්මාණ සඳහා අවුරුද්ද එතරම් පාදක කරගෙන නැත. ඔහු ඉන් වික්‍රමසිංහ තරම් අසිරියක් නොදැක්කාද යන පැනය අප තුළ මතුවේ.

මෙම ලේඛකයන් දෙපල මතු නොව තවත් බොහෝ නවකතාකරුවන් ද අවුරැද්ද තම නිර්මාණවලට යොදාගෙන ඇති බව සාහිත්‍ය ලෝකය පිරික්සන විට පෙනේ.

►කුසුම්සිරි විජයවර්ධන

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00