2018 අප්‍රේල් 13 වන සිකුරාදා

සීසීකඩ ගිය මීතොටමුල්ලේ අවුරුද්ද

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:01 138

කුණු කන්දේ ඛේදවාචකයට වසරයි

එක් මොහොතකින් සියල්ල සිදුවී හමාරය. පසුගිය සිංහල හින්දු අලුත් අවුරුද්දේ කිරිබත්වල රස බැලූ මීතොටමුල්ල ගම්වාසීහු එක් නිමේෂයකින් හිස ලූ ලූ අත දිව ගියෝය. අහස උඩට නැගී කළු පාට කුණු කන්ද අදද මුළු පරිසරයක්ම වෙලාගෙන සිටී. අවුරුද්දක් ගතවුවද අදටත් ඒ මූසල පරිසරයම මොකද්දෝ කියාගන්න නොතේරෙන අඳුරකින් වෙළී පවතී.

වසර ගණනාවක් තිස්සේ කොළොන්නාව මීතොටමුල්ල රාහුල විදුහල දෙසින් ඇසුණු පාසල් දරු දැරියන්ගේ ඝෝෂාව අද ඇසෙන්නේ නැත. ඉබි අඟුළු දා ඇති රාහුල විදු පියස ද අද පාළුවට ගොසිණි.

2009 වසරේ කොළඹ නගර සභාවට අයත් බ්ලූමැන්ඩල් කුණු කන්දේ ගැටලුව  දරුණු වීමෙන් පසුව මීතොටමුල්ල කුණු කන්ද ගොඩගැසුණි. පවුල් අටදහසක් පමණ ජීවත් වූ කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ගම්වාසීන් වසාගෙන එතැන් පටන් මීතොටමුල්ල කුණු කන්ද දිගටම ගොඩ ගැසුණේය. අක්කර දෙකක පමණ භූමි ප්‍රදේශයකට පමණක් සීමා වන්නට යෙදුණු කුණු කන්ද ටිකින් ටික විශාල වී අක්කර දහඅටක් දක්වා ව්‍යාප්ත විය.

මීතොටමුල්ල ගම්වාසීන් තරම් අවාසනාවන්ත වූ ගම් පියසක් පසුගිය කාලය තුළදී නැතිතරම්ය. වරක් ඔවුහු ඉතා දරුණු ගංවතුරක් හේතුවෙන් පීඩාවට පත්වූහ. එදා වේල හම්බ කරගනිමින් ජීවිතය ගැටගසාගත් අසරණ කොළොන්නාව වැසියන් මේ ගංවතුරෙන් ඇති පදමට බැට කෑවෝය. ගංවතුරෙන් හානි සිදු වූ ගම්වාසීන්ට නොසෙල්වී සිටිනා අර කුණු කන්ද ඇති පදමට වද දුන්නේය. බොහෝ චර්ම රෝග ගම්වාසීන් අතරේ ක්ෂණිකයෙන් පැතිර ගියේය. කුඩා දරුවන්ට චර්ම රෝග, ඩෙංගු වැනි දරුණු රෝග වැළඳීම ඉහළ ගියේය.

උයාගත් බත්පත කාගන්නට බැරි ඉතා දරුණු දුර්ගන්ධයකින් මුළු මීතොටමුල්ලම වෙලී ගියේය. මීතොටමුල්ල අසරණ ගම්වාසීන්ට ඒ දුර්ගන්ධය තේරුණ ද අදාළ කිසිදු බලධරයකු කුණු කන්දේ දුක වෙනුවෙන් කටක් හෙල්ලුවේ නැත. 
“ඔය කුණු කන්ද අයින් කරගන්න අපි නොකළ දෙයක් නෑ. කියන්න පුළුවන් හැමතැනටම හැම බලධාරියකුටම අපි කිව්වා. අපිට බැරිම තැන අපි උද්ඝෝෂණ පවා කළා. ඒවාවලින් අපිට එලෝ එලෝ පහර දුන්නා. බලධාරීන්ට අපේ දුක හරියට විහිළුවක් වගේ. කුණු කන්ද වෙනුවෙන් ආණ්ඩු දෙකෙන්ම අපිට ගැහුවා. පොලීසිය දම්මලා ගැහුවා. ජල ප්‍රහාර කළා. ඒ හැම දේකින්ම අපි මොනතරම් දුක් වින්දද? මමත් මේ කුණු කන්ද වෙනුවෙන් ඔළුවට ගහලා තුවාල වුණා. කකුල තුවාල වුණා...”

මීතොටමුල්ල කුණු කන්ද වෙනුවෙන් හඬ නැගූ හේමපාල මහතා ඒ අඳුරු වූ අතීතය ගැන තම අදහස පළ කළේය.
මෙම මීතොටමුල්ල කුණු කන්ද වෙනුවෙන් ප්‍රදේශවාසීන් සාකච්ඡා කිරීමට නොගිය තැනක් නැති තරම්ය. නමුත් ඒ සෑම කතාබහක්ම නිශ්ඵල විය. බලාපොරොත්තු හිතේ ගොන්නක් තියාගෙන ඒ ගිය සෑම සාකච්ඡාවක්ම අවසානයේදී මීතොටමුල්ල ගම්වාසීන් නැවත ගෙවල්වලට ගොඩ වැදුණේ හිස් බවකිනි.

කොළොන්නාවේ මීතොටමුල්ල කුණු කන්දට ආසන්නව පවතින සෑම නිවසකම නිතර ආගිය පිරිසක් සිටියහ. ඒ දහවල් කාලයේදී මැස්සන්, කපුටන් වැනි සතුන්ය. රාත්‍රී කාලයේදී මදුරුවන්ගෙන් ද ඔවුන්ට අඩුවක් නොතිබිණි. නමුත් මේ කිසිවක් වගකිව යුතු නිලධාරීන් දුටුවේ නැත. සැබැවින්ම සිදුවූයේ ඔවුන් නුදුටුවාක් සේ සිටීමය. ගමේ ගම්වැසියන්ගේ ජීවිතවල වටිනාකමට වඩා මාසය අවසානයට අත මිට මෙළවෙන නෝට්ටු මිටියේ රහ වැටීම ඊට හේතුව වන්නට ඇත.
2017 සිංහල අලුත් අවුරුද්දත් වෙනදා මෙන්ම මීතොටමුල්ල වැසියන්ට ද උදාවිය. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය විය. හැම සිංහල නිවසකම හරි අපූරුවට කිරි ඉතිරුණේය. මුළුතැන්ගෙයි ළිප මත වෙනදාට වඩා විශේෂ කෑම බීම පිළියෙල විය. සුපුරුදු පරිදි මීතොටමුල්ල ගම්වාසීහු සිංහල අලුත් අවුරුද්ද රස විඳීම ඇරඹූහ. ළඟ තියෙන නිවෙස්වල පුංචි දරු පැටව් එකතු වී මහ පාරේ ඔට්ටු දිව්වෝය. හැංඟිමුත්තන් සෙල්ලම් කළහ. මේ හැංඟිමුත්තම දෙස අර මහ කුණු කන්ද බලා සිටින්නට ඇත. හිත් පිත් නැති මේ කුණු කන්ද මොහොතකින් ගිනි කන්දක් සේ පිපිරී ගියේය. ඒ ගිය වසරේ සිංහල අලුත් අවුරුදු දා දහවල් දෙකයි හතළිස් පහක් ලෙස වේලාව සටහන්ව තිබියදීය.

“එදා සිංහල අලුත් අවුරුද්දට අපි හැමදෙයක්ම ලෑස්ති කරලයි තිබුණේ. වෙන අවුරුදුවල වගේම නැකැත් කළා. උදේ බලද්දී අපේ පිටිපස්සේ කාමරේ බිත්තියේ ඉරි තැලීගෙන ගිහින් තිබුණා. අපි එළියට ගිහින් බලපුවහම අපේ පිටිපස්සේ තට්ටු දෙකේ ගෙදර ඊට සති දෙකකට කලින් උඩ ගිහින් ඇලවෙලයි තිබුණේ.. ඒ ඇලවෙලා තිබුණෙත් අපේ ගේ පැත්තටයි. අලුත් අවුරුදු දවසේ මේ ගේ අපේ ගේ ළඟටම ඇවිත් හොඳටම හිරවෙලා තද වෙන්නයි තිබුණේ.”

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් ජීවිත බොහෝමයක් අහිමි කරමින් අසරණ වූ කීර්තිරත්න මහතා ඒ මූසල දිනය ආවර්ජනය කළේය. මේ විපත කීර්තිරත්නට තම බිරිඳ, දුව, මිණිබිරිය, බෑණා යන සාමාජිකයන් සිව්දෙනකු අහිමි කළේය.

කීර්තිරත්න තම දෙමහල් නිවස ඉතා ශක්තිමත්ව ගොඩනගා තිබුණි. නිවසේ කණු දහනමයක් තිබුණි. වෙළට කිට්ටු වූ නිවසක් හේතුවෙන් කීර්තිරත්න තම නිවස ගොඩනගද්දී ශක්තිමත් බව පිළිබඳව වැඩි සැළකිල්ලක් දැක්වූවේය. ඒ නිසාම තම නිවස පිළිබඳව ඔහුට ලොකු විශ්වාසයක් තිබුණි.

කීර්තිරත්නගේ නිවසේ බට මාර්ගයට හානි සිදුවී තිබුණි. ඒ නිසා ඔහු සිංහල අලුත් අවුරුද්ද පසෙකලා එය අලුත්වැඩියා කරමින් සිටියේය. මොකද්දෝ වෙනසක් දැනී තිබුණු නිසාම කීර්තිරත්නගේ දියණිය කාමරයේ අල්මාරියේ ඇතුළු බිත්ති ආසන්නයේ ඇති බඩු භාණ්ඩ එහා මෙහා කරමින් සිටියාය.

ජීවිතේ කීර්තිරත්න නොසිතූ දෙයක් ඒ වෙනකොටත් සිදුවෙමින් තිබුණි. කීර්තිරත්නගේ නිවසේ ඉදිරියේ පහළට උඩින් ඇති නිවෙස්වල සිටි පිරිස මේ විපත්තිය මුලින්ම දැක තිබිණි.

“කීර්ති අයියා... ඔන්න පඩිපෙළ පුපුරණවා.. ඉක්මනට ත්‍රීවිලරය ගන්න” කියලා කවුදෝ කියනවා මට ඇහුණා. මමයි බෑණයි ගෙයින් එළියට දුවගෙන ඇවිත් පඩිපෙළ ළඟ තිබුණු ත්‍රීවිලරය අරගෙන පාරට දාගන්න ගියා. මම ඉක්මනට ගේ ඇතුළේ ඉන්න අයට එළියට බහින්න කිව්වා. ඒ වෙලාවේ මගේ නෝනා තනි ගවුමක් ඇඳන් හිටියේ. අනේ.. එයා “මෙහෙම යන්න බෑ” කියලා ඇතුළට ගිහින් යට ඇඳුමක් ද ඇඳගෙන එළියට ආවා. ඒත් ගෙයින් එළියට එන්න බැරි වුණා.”

අද ජීවතුන් අතර ඉන්නේ ඔහුත් පුංචි මුණුපුරාත් පමණි. කිසිම දෙයක් නොගෙන ගෙයින් එළියට ආ කීර්තිරත්නට අද ඇස මානයෙන් ගිලිහී නොයන රූප රාමුවක් පවතී. කීර්තිරත්නගේ දියණිය ඔවුන්ගේ නිවසේ තාප්පයට අත තිබ්බාය. විශ්වාස කළ නොහැකි වුවත් ඒ අත තැබූ සැණින් තාප්පය පෙරළී ගියේය. වෙන්නට යන දේ ඉවෙන් මෙන් ඇයට වැටහිණි. ඇය වසර ගණනාවක් ජීවත් වූ තම නිවස දෙස බැලුවාය. ඒ ඇස් දෙක බියෙන් වෙව්ලිණි. කම්මුල් දෙකට අත් දෙක තබා ඇය කීර්තිරත්න දෙස අසරණව බැලුවාය. අදටත් තම දියණියගේ ඒ අසරණ වුණු බැල්ම කීර්තිරත්නගේ හදවත රිදවන සදා නොමැකෙන චිත්‍රයක්ම විය. ඒත් සමඟම පාර ඉරි තැලුණේය. ඈතින් තිබූ ගෙවල් කාඩ්බෝඩ් සෙල්ලම් බඩු මෙන් අඩි තිහ හතළිහ උඩ ගියේය. තප්පර ගාණකින් මුළු පරිසරයම ඝන දුමකින් වෙළී ගියේය.
සිංහල අලුත් අවුරුද්ද උදාවෙමින් තිබියදී ජීවිත දහස් ගණනක් බිලිගනිමින් මීතොටමුල්ල කුණු කන්ද පුපුරා ගියේය. කිරිබත්වල රහ බලපු පුංචි පැටව් දෑස් පියාගත්තෝය. ඔට්ටුවට සෙල්ලම් කරපු පුංචි පැටව් තනි වූහ. මහ කුණු කන්ද විසින් ඔවුන්ගේ මව්පියන් උදුරාගෙන තිබුණි. ඒ මොන සාපයකටදැයි කියන්නට අදද නොතේරේ.

මුළු පළාතම වෙළී තිබූ ඒ දුම පහව ගියේය. කීර්තිරත්නගේ නිවස සොයාගන්නට නොහැකි විය. අඩි හතළිහක පමණ උඩට ගොස් ඒ නිවාස වෙනත් තැනකට ඇද වැටී තිබුණි. බිත්ති සුන්බුන් අතර කීර්තිරත්නගේ නිවසේ අසල්වැසි කාන්තාවක් කෑගැසුවාය.

“අනේ අංකල් මාව ගන්න....” කියමින් මහ හයියෙන් ඇය හඬා වැටුණාය. ඇගේ කන්වලින් කටින් රුධිරය ගලා ගියාය. ඒ වෙද්දී කිසිදු කෙනකු ඇය එළියට ගන්න පුළුවන් දුරක සිටියේ නැත.

“දුව හෙමීට බහින්න. වැටුණොත් අපි අල්ලගන්නම්” කියා අසල්වැසියන් කියද්දී “අනේ මගේ දරු දෙන්නයි අම්මයි මේ බිත්තිවලට යටවෙලා..” 

ඒ වෙද්දිත් ඔවුන් ජීවිතය හැරගොස් හමාරය. කුණු කන්ද එසේ ජීවිත ගණනාවක් පසුගිය සිංහල අවුරුද්දකදී බිලිගත්තේය.

කීර්තිරත්නගේ පුංචි මුණුපුරා දිව ඒමෙන් කීර්තිරත්න තවත් කලබල විය. ඒ වෙනකොට කීර්තිරත්න සිතා සිටියේ ඒ සැවොම ආරක්ෂා ඇතිව සිටින බවය. නමුත් කීර්තිරත්නගේ බලාපොරොත්තු බිඳ වැටුණේය. කෙඳිරිලි හඬින් තම බිරිඳගේ කටහඬ හඳුනාගත්තත් කිරීතිරත්නට දැකගත හැකි වූයේ කඩා වැටුණු බිත්ති ගොඩකට යටවී ජීවිතයත් මරණයත් අතර ලොකු සටනක නිරතවෙන තම ආදරණීය බිරිඳය.

“අනේ... මාව ගන්න. මට මේවා බර වැඩියි..” කියමින් බිරිඳ හඬා වැටුණාය. බිරිඳගේ ඉණෙන් පහළ කොටසට කොන්ක්‍රීට් එකක් වැටී තිබුණි. ආච්චි අම්මාගේ පපුවේ පුංචි මිණිපිරියගේ අතක් ද වැටී තිබුණි. ඒ වෙනකොටත් තම මිණිපිරිය කෙඳිරි ගාන සද්දය කීර්තිරත්නට දරාගත නොහැකි විය. 

මේ මතකයන් ඔස්සේ අදත් කීර්තිරත්න ඇතුළු ඒ පුද්ගලයෝ මැරි මැරී ජීවත් වෙති. බැකෝ යන්ත්‍රවලින් එළියට ගෙන රාත්‍රියේදී ඔවුන් රෝහල්ගත කළද රෝහලේදී කීර්තිරත්නගේ බිරිඳ දෑස් පියාගත්තේය. දින හතරකට පසුව සුන්බුන් අතර හිරවී තිබූ කීර්තිරත්නගේ දියණියගේ හිස නැති කඳ මතු විය.

එදා සිට සිංහල අලුත් අවුරුද්ද කීර්තිරත්නට සදාකාලික මූසල දවසක්ම විය. අද ඔහු ජීවත්වෙන්නේ ඔහුගේ එකම මුණුපුරා නිසාමය. අම්මා, තාත්තා, නංගී නැති පුංචි මුණුපුරා අද තම සීයා සමඟ තනිවම ජීවත් වෙයි. මේ සිංහල අලුත් අවුරුද්ද ඒ අම්මා, තාත්තා නැති දරුවන්ට සැමරිය හැකිද?

මීතොටමුල්ල පාමුල බොහෝ නිවෙස්ද තිබුණි. ඇතැමුන් ස්ථිර පදිංචිකරුවන් වන අතර ඇතැමුන් කුලී වැසියන්ය. මේ අතරේ තවත් පවුල් කිහිපයක් අනවසරයෙන් ඉදිකිරීම් කර නිවෙස් තනාගත් වැසියෝ වූහ.

තම මෑණියන් දුන් කැවිලි පිඟාන ගෙන තම පුංචි මිතුරකුගේ නිවෙසකට යාම නිසා ජීවිතය බේරාගත් පුංචි පුතෙක් ද අද මව්පියන් නොමැතිව අසරණව සිටී. අම්මා දුන් කෑම පිඟාන මිතුරාගේ අම්මාට දී මිතුරා සමඟ ටික වේලාවක් සෙල්ලම් කරමින් ඉන්නා අතරතුර ඇසුණු විශාල ශබ්දයට දුවගෙන ආ පුංචි පුතාට දැකගත හැකිවූයේ ඉමක් කොනක් නොපෙනෙන සුන්බුන් ගොඩක් පමණි. අයියලා දෙන්නා, අම්මාත්, තාත්තාත් දකින්නට නොසිටියහ.

මේ මීතොටමුල්ල කුණු කන්ද අදද නිසොල්මනේ පවතී. තවමත් කිඳා බැසුණු ගෙවල් තවත් තැනකින් තවත් තැනකට පාවී ගිය ගෙවල් ආකාරයටම ඒ පරිසරයේ දැකගන්නට අපට හැකි විය. කුණු කන්ද පාමුල නිවෙස්වල සාමාජිකයන් අද නිවෙස් අතහැර ගොස්ය. රාහුල විදුහල අද පාළුවට ගොසිණි. බිත්තිවලට පමණක් සීමා වූ ඇතැම් නිවෙස්වල වහළවල්, දොර ජනෙල් දැකගන්නට නොලැබුණි. ඇතැම් නිවෙස්වල අයිතිකරුවන් ඒවා ගලවාගෙන ගොස් තිබූ අතර රාත්‍රී කාලයේදී ඒ පාළු නිවෙස්වල දොර ජනෙල් කඩා වටිනා දේ පමණක් නොව නොවටිනා දේද සොරා ගන්නා කුඩුකාරයන්ට ඉතිරි කොටස් බිලි වී තිබේ. 

විනාශයට පෙර අවුරුද්ද එකට සැමරූ කොළොන්නාවේ මීතොටමුල්ල ගම්වාසීන් අද සීසීකඩය. දුකේදීත් සැපේදීත් එකට හිඳිමින් කෑම පිඟාන පවා බෙදා හදාගත් ඒ මිනිසුන් අද ළඟ පාතක නැත. එක නිමේෂයකින් මුළු පරිසරයම අඳුරු කළ ඒ දිනය ගෙවී වසරක් ගතවෙද්දී අදටත් ඒ පාළුව මීතොටමුල්ලේ මිනිසුන්ට දැනේ..

 

♦ දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ

මීතොටමුල්ල ප්‍රශ්නයට අදටත් විසඳුමක් නැහැ
පාර්ලිමේන්තු මන්ත්‍රී: එස්.එම්. මරික්කාර්

මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටිලා මේ අප්‍රේල් මස 14 වැනිදාට අවුරුද්දක් සම්පූර්ණ වෙනවා. නමුත් මේ දක්වාත් එයට විසඳුමක් ලබා දී නැහැ. මේක පසුගිය රජයෙත් මේ රජයෙත් අකර්යක්ෂමතාවය නිසා තමයි සිදුවුණේ. මේක සිදුවුණු කාලයේ ගොඩක් දෙනා ඇවිල්ලා කිඹුල් කඳුළු හෙලුවා. නමුත් අවසානයේදී මේකට පළාතේ මන්ත්‍රී හැටියට තනිව සටනක් දෙන්න වුණේ මට. මෙම විපත සිදුවෙලා සතියක් ගතවෙන්නට මත්තෙන් අපි ඒ ජනතාවට ගෙවල් ලබාදුන්නා. ඒ වගේම ඒ විපතට පත්වුණු අයගේ ගෙවල් සඳහා රුපියල් 50000 ගාණේ කුලිය ලබාදුන්නා මාස හතරක් සඳහා. අද (10), තවත් මාස 06 ක් සඳහා කුලිය ලබාදෙනවා. ඒ විනාශ වූ නිවාසවලට ලක්ෂ දෙකහමාරක ගෘහ භාණ්ඩ වන්දියක් ලබාදුන්නා. ජනතාව ආවේගයට එක එක දේවල් කියනවා, කරනවා. නමුත් මේ කොළොන්නාවෙන් ඡන්දෙ ඉල්ලුවේ මම විතරක් නෙවෙයි. ඒ වුණාට දැනට මම විතරයි මේ අයට උදව් කරන්න ඉන්නෙ. මේකට වැරදිකරු කියලා කොළඹ හිටපු නාගරික කොමසාරිස්තුමාගේ වැඩ තහනම් කළා. නමුත් ඔහු විතරක් නෙවෙයි, තව පුද්ගලයන් ඉන්නවා. වහාම ඒ අය කවුද කියලා හොයලා බලලා මේකට සම්බන්ධ වූ අයට දඬුවම් දෙන්න ඕන.  

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00