2018 අප්‍රේල් 13 වන සිකුරාදා

දකුණේ පිටිසර ගමක අවුරුද්ද

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:01 121

මේ කාලෙකට කලින් සිද්ධ වෙච්ච කතාවක්. ඉස් ඉස්සෙල්ලම මේ කතාව වුණේ කොහේද කියලා කියලා ඉන්නම්කෝ. මේ කොන්ක්‍රීට් වනන්තරේ ඉඳලා කිලෝ මීටර් දෙසීයක් විතර ගියාම මාතර හක්මන කෝංගල කියලා ගමක් තියෙනවා. කෝංගල බටහිර කොටසේ කඳුගැටයක ගෙවල් කීපයක්ම තියෙනවා. හැම ගෙයකම රට උළු හෙවිල්ලලා. මේ ගෙදර හිටිය ගෘහ මූලිකයගේ නම දොන් දාවිත්. ගෙවිලියගේ නම පොඩිහාමි. මේ දොන් දාවිත් කියන කෙනා හක්මන ටවුමේ වෙළඳාම් කරන කාකි කෝට් එකක් සහ සරමක් අඳින වයසක මනුස්සයෙක්. අවුරුද්ද ළංවෙනකොට මේ ගෙදර ගොඩාක් දේවල් වගේම වත්තේ පිටියේ බොහෝ දේවලුත් වෙනස් වෙන්නේ පණ ඇති පණ නැති හැම දෙයක්ම හැමකෙනෙක්ම හරියට කතා කරගෙන වගෙයි. 

 ආ.... අමතක වුණානේ.. මේ දොන් දාවිත්ට ගොඩාක් කට්ටිය කතා කරන්නේ කළු මහත්තයා කියලයි. ගමේ ඉන්න සමහර කෙනෙක්ට ඔහු කළු මාමා වෙද්දී තව කෙනෙක්ට කළු සීයා. තවත් කෙනෙක්ට කළු අයියා. කළු මලයා, කළු බාප්පා. ඉතින් මේ කළු මහත්තයගේ ගෙදර ඉස්සරහම තියෙනවා ලොකු අඹ ගස් දෙක තුනක්. ඊට ටිකක් අහළ පහළම ජම්බු ගස් දෙක තුනක් විතරක් නෙවෙයි කජු ගස් දෙක තුනකුත් තියෙනවා. කජු කිව්වම ඔබට මතක් වෙන්න ඇත්තේ කොළොම්තොටේ හවසට තැන තැන අලෙවි කරන බැදපු කජු වෙන්ටැ. ඒත් මේ කියන්නේ ගස් කජු ගැනයි. ඉතින් මේ කිව්ව නොකිව්ව හැම ගහකම පළතුරුවලින් ගහේ කොළත් නොපෙනන තරමට සරු වෙන්නේ මාර්තු, අප්‍රේල් වෙනකොටයි. අඹ ගස්වල බල්බ් දාලා වගේ ගෙඩි විතරක් පෙනෙද්දී ජම්බු ගස්වල රතට රතේ රතු බල්බ් දාලා වගෙයි. එතකොට කජු ගහේ කජු පුහුලන් කොළ පාටට කජු නාඹරත් එක්ක. ඒත් ටික දවසක් යද්දී මේ කජු පුහුලන් රතු පාට, කහ පාට වෙලා කජු ගෙඩිය කළු පාට වෙනකොට ඔන්න කොහාගේ කුහූ කුහූ නාදයත් රැහැයියන්ගේ හඬත් හතර දිග්බාගෙන්ම ඇහෙනවා. 

ගමේ හැමෝම එකිනෙකාට උදව්පදව් කරගෙන ජීවත් වුණා. කළු මහත්තයා ගෙදරට අවශ්‍ය කරන මුදල් දෙනකොට ඔන්න පොඩි හාමිනේ හාල් දියේ දාලා මෝල් ගහයි වංගෙඩියයි පිහිදලා අරගෙන තමන්ගේ ලේලිලත් එක්ක වැඩ පටන් ගන්නවා. ලාල්පේ අක්කා පිටි කොටද්දී චූටි නංගි පිටි හලනවා. ඒ පිටි අරන් ඒදලා කරලා කොණ්ඩ කැවුම් හදන්නේ නම් පොඩිහාමියි. මොකෝ චිරි චිරි ගාන තෙල් තාච්චියට පිටි ටිකක් දලා අමු ඉරටුවෙන් ගාණට කරකවමින් හැන්දෙන් තෙල් ගානට දමමින් කොණ්ඩ කැවුමේ කොණ්ඩේ ඉහළට හදන ගමන් කැවුමේ රවුම් හැඩයත් හදාගන්න එක ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයිනේ. ඒ විශ්වකර්මේ කරන්න ගමේ හිටියේ කීප පොලක් විතරයි. කළු දොදොල්, කොකිස්, අළුවා, මුං ගෙඩි, ආස්මී හදද්දී ගමේ හැම ගේකින්ම එන්නේ තෙල්වලින් බැදෙන පුසුඹ. ඒ සුවඳ ගැන ලියලා විස්තර කරන්න අමාරුයි. කියන්නම  ඕන දෙයක් තියෙනවා. මේ කාලේ මේ ගමට ටීවීනම් තිබුණෙම එක ගෙදරකට විතරයි. ඒත් ලයිසන් කරපු රේඩියෝනම් හැම ගේකම තිබුණා. 

අවුරුද්ද ළංවෙනකොට ගමම එකම මඟුල් ගෙයක් ගන්න වගේ ලකලෑස්ති වෙනවා. කළු මහත්තයගේ කොළඹ රස්සා කරන දූලා දෙන්නත් ඔන්න අවුරුද්දට දවස දෙක තුනක් තියලා ගමට එනවා. ඒ එන්නේ නිකම් නෙවෙයි ගෙදර හැමෝටම අලුත් ඇඳුම් අරගෙනයි. ඒගොල්ලෝ එනකම් මඟ බලන් ඉන්න රසිකටත්, නදීකටත්, දම්මිටත්, ඒගොල්ලෝ ඇඳුම් විතරක් නෙවෙයි රතිඤ්ඤා පෙට්ටිය ගානෙත් තෑගි හම්බවෙනවනේ. මේ දවස් ටිකේම ගෙදර විතරක් නෙවෙයි ගමේ හැම තැනකින්ම ඇහෙන්නේ හිනා හඬවල්. සතුට දෝරේ ගලනවා.

කජු අහුලගන්න බැරි වුණෝතින් එදා දවසේ කොහොමද වළ කජු ගහන්නේ. කට්ටියත් එක්ක මුළින්ම පොඩි වළක් හාරලා ඊට මෙහායින් ඉරකුත් ගහලා ඔන්න කජු අර වළ ගාවටම හරි වළට හරි සීමා කර ගත තැනක් ඉඳන් දාන්න හදනවා. වළට වැටුණු කෙනා තමයි පළමුවැනියා. දෙවැනියා තුන්වැනියා වෙන්නේ වළ ආසන්නයට කජු ගෙඩිය දැම්ම කෙනයි. ඔන්න ඊට පස්සේ තමයි සෙල්ලම පටන්ගන්නේ. කජු ඔක්කොම ටික වච්ච හෙවත් කට්ටිය විසින් තෝරාගත් සීමා මායිමට ගිහිලා අර වල ගාවට එන්න දාන්න ඕන. ඊට  පස්සේ අනිත් කට්ටිය කියන කජු ගෙඩියට කාදුවෙන් ගහන්න ඕන. ඒකයි සෙල්ලම.

කජුවලින් මේ ගෙදර ඇත්තෝ තව සෙල්ලමක් කරනවා. ඒ තමයි නම වළ පෙරළීම. ඒක කරන්නේ වළවල් නමයක් එක ගාව වෙන්න හාරනවා. ඊට පස්සේ තරගයට ඉන්න හැමෝම ඒ වළකට එක ගාණේ වළවල් නමයටම කජු එක ගානේ දානවා. ඊට පස්සේ දොඹ ගෙඩියක් අරන් වච්චට ගිහින් (සිමා කර ගැනීමට කකුලෙන් අඳිනු ලබන රවුමට) ගිහින් බිම දිගේ පෙරළනවා. දොඹ ගෙඩිය වළකට වැටුණම ඒ වළේ තියෙන කජු ටික ඒ දස්සකම කළ කෙනාට ලැබෙනවා. මැද වළට වැටුණොතින් කජු ඔක්කොම දොඹේ වළට දැම්ම කෙනාටයි. ඊට අමතරව පංච දාන එකත් මේ ගෙදර සිද්ධ වෙනවා.

අවුරුදු නැකැත් ළංවෙනකොටම පොඩිහාමිනේ ඔන්න ගිනි මොලවන නැකතට ලකලෑස්ති වෙනවා ගෙදර බවලතුන් එක්ක. ඒ අත‍රතුරේ කළු මහත්තයා වී, කාසියක්, අඟුරු කෑල්ලක් ඇතුළු දේවල් දමලා පොදි කීපයක් හදනවා. මුලින්ම අලේ පොදියක් අරගෙන පොඩි හාමිනේ වතුර ගන්න ළිඳට ගිහිල්ලා අලේ පොදිය ළිඳට දමලා ළිඳ වසර පුරාම වතුර දෙන හින්දමද මන්දා ළිඳට වැඳ නමස්කාර කරලා වතුරත් අරගෙන ගෙදර ඇවිල්ලා කියලා තියෙන විදියට කිරිබතක් ඒ වතුරෙන් හදාගන්නවා. අනිත් කාරණය තමයි මේ ළිඳෙන් ගන්න වතුර බෝතලයකට දමලා ඒක වසර පුරාම ගෙයි තැනක තියලා තියනවා. ඒක වසරෙන් වස‍ර තමයි අස් කරන්නේ. ඒ අතරතුර ගෙදර වැඩිහිටියන් තමන්ගේ රස්සාවලට අදාළ කාරණාවලට වැඩ ඇල්ලීම සිද්ධ කරනවා. පිරිමි පාර්ශවය නම් කිරි ගහකට කොටලා මොනවා හෝ ගහක අපෑලයක් හිටෝනවා. ළමයි ටික නම් පොතක් පතක් කියවලා ලියලා වැඩ ආරම්භ කරනවා. කළු මහත්තයට මේ ටිකේ වැඩ වැඩියි. ඇයි එයා කෙසෙල් කොළයක් කපාගෙන ඇවිත් ගොටු දෙකක් ගහලා අවුරුදු කුමාරයට, අවුරුදු මේසයට ගන්න හැම ජාතියක්ම ඒ ගොටුවලට දමලා අවුරුදු මේසේ පැත්තකින් තියලා ඒ අසලින්ම තියෙන පහන දල්වලා බුදුන්ට වැඳලා ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව කිරිබත් ඇතුළු රස මසවුළු බෙදාගෙන වැඩ අල්ලන නැකතේදී මුලින්ම පොඩි හාමිනේටත් කවලා පිළිවෙලින් ලොකු පුතාගේ ඉඳලා ගෙදර ඉන්න බාලම කෙනාට යනකම් කවලා සුභ පතනවා. ඒකත් අදාළ දිශාව බලාගෙනයි සිද්ධ කරන්නේ. රේඩියෝ එකෙන් තමයි වෙලාව බලන්නේ. ඊට අමතරව තව එක්කෙනක් දෙන්නෙක් සුභ නැකත කියන්න බලමින් ඉන්නවා ඔරලෝසු දිහා. ඒ අතරේ තව කෙනෙක් රතිඤ්ඤා පත්තු කරන්නත් බලන් ඉන්නවා.

අවුරුදු මේසේ ගෙදර හැම කෙනෙක්ම එකට වාඩි වෙලා කන්න පටන් ගන්න කලින් ගෙදරට ගේ අලෙවි කරන්න ආරධනා කළ කෙනා එනවා. එයා ඇවිත් කැම කාලා ගේ අලේ කරලා හැමෝටම බුලත් කොළේ උඩ කාසියක් දීලා අල්මාරිය වගේ තැන්වලටත් අලේ පොදියකුයි, කාසියකුත් දලා යනවා. ඊට කළින් ගෙදර හැමෝටම තමන්ගේ වැඩිහිටියන්ට බුලත් හුරුල්ලක් දීලා වැඳ ආශිර්වාද ගන්න අතරතුර තෑගි බෝගත් හුවමාරු කර ගන්නවා. මේ ඔක්කොම කටයුතු අවසන් වුණු ගමන් කළු මහත්තයා තමන්ට ආරධනා ලැබුණු ගමේ ගෙවල් දොරවල් අලේ කරන්න අලේ පොඩිත් අරගෙන කාසිත් අරගෙනම ඒ ගෙවල්වලට යන්න පිටත් වෙන්නේ තෑගි බෝගත් අරගෙන. බොහෝ වෙලාවට මේ තෑගි බෝග වෙන්නේ බිස්කට් පැකට්ටුවක් හරි කේක් ගෙඩියක් හරි තමයි.

ගමේ තරහ මරහ තිබුණු අය පවා ගෙවල්වලට ගිහින් ආචාර සමාචාර කරගෙන හිත් අමනාපකම් නැති කරගන්නේ ඉතින් අවුරුද්දට තමයි. ඒ දවස් ටික ගෙවෙන්නේ බලන් ඉද්දිමයි. ඊට පස්සේ එන්නේ හිස තෙල් ගෑමේ මංගල්ලය. එදාට ලිතේ කියලා තියෙන විදිහට නානු හදාගෙන කළු මහත්තයා හිසට ගන්න ඕන ගහකින් කොල අතු කඩා ගෙන පයට ගන්න ඕන කරන ගහකින් ඊට අදළ කොල අතුත් ලෑස්ති කරගෙන ඔන්න බලාගෙන ඉන්නේ හිස තෙල් ගෑමේ මංගල්ලයට අදාළ නැකැත් චාරිත‍්‍රය ඉටු කරන්නයි. එදාට නම්  ඔන්න නුග ගහ හේනේ කළු මහත්තයගේ ගෙදරට ගමේ හැමෝම වගේ එක්කාසු වෙනවා. කළු මහත්තයා ලිතේ කියලා තියෙන වර්ණ සහිත සරමකින් බැනියම්කින් සැරසිලා. ඔහුම ඔසුවලින් හදාගෙන තියෙන නානු පැමිණි අයගේ හිස්වල ගාමින් (මෝල් ගහේ දළුලන තුරු කළු කපුටා සුදු වනතුරු එකසිය විස්සට දෙසිය විස්සක් ආයූ බෝ වේවා!) කියමින් ගමේ ඔහු ගාවට එන හැමෝටම ආශිර්වාද කරනවා. 

ඒත් දැන් ඔය අවුරුදු චාරිත්‍ර රැකෙන ගමම වෙනස් වෙලා. හැමෝම අතේ ජංගම දුරකථන. හැමෝම ඉන්නේ ෆේස් බුක්, ට්විටර්, වට්ස් ඇප්වල, ඉමෝවල. කොහාත් විකිණිලා මේ රටේ වෙළඳ ප්‍රජාවට. ඔවුන් කොහාව පාවිච්චි කරන්නෙත් අලෙවි භාණ්ඩයක් විදියටයි. ළඟදිම දවසක කොහෝවරුන්ගේ සංගමයක් හදාගෙන ඔවුන්ගේ ඉල්ලීම් දිනාගන්න සටන් කරමින් ඔවුනුත් අධිකරණයට යන්න වුණත් ඉඩ තියෙනවා වෙළඳ ප්‍රජාවට විරුද්ධව. ඒ විතරක් නෙවෙයි. එරබදු මල් පොට්ටු පොට්ටු කියන්න දැන් ළමයින්ට එරබදු ගහක් දකින්න ගමකවත් නැහැ එරබදු ගස්. ඒවත් කපලා විනාශ කරලා දමලා. දැන් අපි හරි දියුණුයිනේ. අපි තාක්ෂණය අතින් දියුණු වුණාට ඉස්සර ළිඳත් එක්ක ගනුදෙනු කළ පරිසරයට බද්ධ වෙලා ජීවත් වුණු පරිසරයත් එක්ක බද්ධ වෙලා සැමරුව අලුත් අවුරුද්ද කෝ කියලයි කෙනෙක්ගෙන් අහන්න තියෙන්නේ. 

හිතලා බලන්න. කවදහරි දවසක ඔබේ දරැවාත් ඔබෙන් අසාවි තාත්තේ, අම්මේ, සීයේ, ආත්තම්මේ, නැන්දේ, මාමේ, අයියේ, අක්කේ, සිංහල අලුත් අවුරුද්ද කියන්නේ මොකක්ද කියලා. එදාට ඔබට දෙන්න උත්තරයක් තියෙනවද? නැත්නම් වහාම ගස් කොලන් හිටවමින් ගහ කොලට සතා සිපාවට අදරය කරමින් ඔවුන් රැක ගන්න පුළුවන් දෙයක් කරමින් අපේ පැරැණි චාරිත්‍ර වාරිත්‍ර, සිරිත් විරිත් රැක ගන්න උත්සාහ කරමු නේද?

♦ චන්දන වරාවිටගේ

 

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00