2018 මාර්තු 10 වන සෙනසුරාදා

ලා්‍ෙක යුද්ද්‍ෙ කල්‍ෙ කාපිරි හමුදාවත් එක්ක හරි හරියට වැඩකළ මහකළු සිංහයා

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 143

කාපිරි මහත්තුරුයි මායි එකතුවෙලා හාල් හොරෙන් වික්කා. ත්‍රිකුණාමලයේ ඉඳලා ආමි ලොරිවල හැමදාම එනවා. සේවාමුක්ත ප‍්‍රදේශයේ හිටපු ආමි ලොක්කන්ට වුවමනා බඩු මුට්ටු ගේන්න වගේ ලොක්කෝ එක්ක එන්න, ගිහින් දාන්න. ඒ එනකොට ඒ කාලේ හාල් හිඟයි. රට හාල් තමයි ලංකාවේ කෑවේ. කාපිරි මහත්තුරු මගේ හොඳ යාළුවෝ. ඒ අය හාල් මිටි දෙක තුනක් ආමි ට‍්‍රක්වල දාගෙන එනවා. මම කරන්නේ හාල් මිටි තුනම අරගෙන  ගිහින් කඩේකට දීලා රුපියල් 15 ක් අරගන්නවා. මම දහයක් අරගෙන උන්ට 5 ක් දෙනවා. උන් ඒ සල්ලිවලට රා තමයි බොන්නේ...

දෙවැනි ලෝක යුද සමයේ එවකට යුද සෙබළෙක්ව සිටි පතිරණගේ ඇඩ්මන් ඩේවිට් සිල්වා නම් දරුවන් එකොළොස් දෙනකුගේ පියෙක් වූ යුද සෙබළා මේ තොරතුරු පවසයි.

දෙවැනි ලෝක යුද සමයේ ත්‍රිකුණාමලය සහ හිඟුරක්ගොඩ මූලික කර ගනිමින් බි‍්‍රතාන්‍ය ජාතිකයන් කඳවුරු බැඳ සිට ඇත. කඳවුරු ආසන්නයේ උසස් නිලධාරීන් සහ සොල්දාදුවන්ගේ නවාතැන් ස්ථාන කඳවුරුවල සිට දුරක තැනීමට කටයුතු කර ඇත්තේ ආරක්ෂාව සඳහාය. ඒ අනුව ත්‍රිකුණාමලයේ සහ හිඟුරක්ගොඩ කඳවුරුවල සේවයට පමණක් සීමා කරමින් නිල නිවාස ලෙස පොළොන්නරුවේ වර්තමානයේ හඳුන්වන සේවාගම, සේවාමුක්ත ප‍්‍රදේශය ලෙස හැඳින්වූ බව කියති. මෙම සේවාමුක්ත ගම්මානය කොටස් කීපයකින් සමන්විතව තිබී ඇත. උසස් නිලධාරීන් සඳහා වෙනම නිවාසත්, සාමාන්‍ය සෙබළුන් සඳහා වෙනම නිවාසත් සහිත අංගසම්පූර්ණ නගරයක් තිබූ බව එහි යුද සෙබළකු ලෙස සේවය කළ ඩේවිට් සිල්වා කියයි.

ඩේවිට් සිල්වා ඔහුගේ අත්දැකීම් පවසා සිටියේ මෙලෙසය.

දන්නවද මගේ වයස? මම ඉපදිලා තියෙන්නේ 1914.10.05 කියලා තමයි කියන්නේ. ඉපදුණේ මාතර බෙලිඅත්තේ. මගේ හාමිනේ රාණි පතිරණ. අපි බැඳලා තමයි මෙහෙට ආවේ. මම යුද හමුදාවට බැඳුණා. මගේ ආමි එකේ අංකය තමයි 2257. කොහොම හරි ආමි එකෙන් කිව්වා, උඹලා පොළොන්නරුවට යවනවා කියලා. අපි කට්ටියක් ආවා. එහේ ඉඳන් මෙහේ එන්න පින් ටිකට් (දුම්රියේ ඒමට දෙන අවසර පත‍්‍රය) අපිට දුන්නා යැයි කීය.

කතාව මම නිසොල්මනේ අසා සිටියත් මට ගැටලුවක් වුණේ මේ පින් ටිකට් කියන වචනය පිළිබඳවය. වහාම මම ඔහුගේ කතාවට බාධා කරමින්, මොනවද මේ කියන ටිකට් එක යැයි ඇසුවෙමි.

අහගන්නකෝ. පින් ටිකට් කියලා ඒ කාලේ කිව්වේ කෝච්චියේ එන්න දෙන, දැන් පාස් කියන ඒවාට. අපි කොච්චියෙන් ඇවිත් පොළොන්නරුවෙන් බැස්සා. ඊට පස්සේ කාපිරි හමුදාවේ අයත් සුදු මහත්තුරුත් ආමි වාහනවල දාගෙන සේවාමුක්ත භට නිවාසවලට ගෙනාවා.  මට පැවැරුණු රාජකාරිය තමයි ආහාර ඇතුළු අනිකුත් දේ සප්ලයි කරන්න වගේම නිලධාරීන්ට හිඟුරක්ගොඩ කඳවුරට සහ ත්‍රිකුණාමලයට ගෙනියන්න ගේන්න ගෙවල්වලට අවශ්‍ය දේවල් සප්ලයි කරන්න. මම වාහනේ ගෝලයා තමයි. රියැදුරා කාපිරියෙක්. ඒ වුණාට උන් මගේ හොඳ යාළුවෝ. ත්‍රිකුණාමල‍යේ ඉඳලා එන පාරේ මඟ තිබුණා ගමක්. ඒ ගමේ නම තමයි සාබත්දිව් කියන මුස්ලිම් ගම. ඒ ගමේ රා කඩයක් තිබුණා. ඒකෙන් හොඳට රා බොනවා. කාපිරි මිනිස්සු එක්ක එකතුවෙලා අපි හොරකම් කරනවා රා බොන්න සල්ලි හොයාගන්න. 

ඔහොම ඉන්නකොට මට ළමයි දෙතුන් දෙනෙක් හිටියා. මම ගොවිතැන් කරන්නත් පටන් ගත්තා. ඒ කාලේ කිව්වා මිනී කන කාපිරි කියලා. එහෙම කවුරුවත් හිටියේ නෑ. ඒ බොරු කතා. ලංකාවට බෝම්බ දැම්මා. අපි බය වුණා මෙහෙටත් දාලා වැහුවා. ඒ විතරක් නෙවේ, තිබුණු හැම වැවකටම උඩ ඉඳන් බලපුවාම පිට්ටනි වගේ පේන්න කියලා සුද්දො දැම්මා පාසි වර්ග. එතකොට මුළු වැවම උඩ ඉඳන් බලපුවාම පේන්නේ පිට්ටනි වගේ. එතකොට අහස් යානා ඒකට බානකොට  විනාශ වෙන්න තමයි එහෙම කළේ. ඒවා තමයි අදටත් වැව්වල තියෙන්නේ ඔය ජපන් ජබර සහ සැල්වීනියා කියලා.

කොහොම හරි යුද්දේ ඉවරවෙලා සුද්දෝ ගියා. ඔය කාලේ තමයි 1950 දී ඩී.එස්. සේනානායක අගමැතිතුමා ඉඩම් දුන්නේ. මටත් ඉඩමක් ලැබුණා. ඒකත් කරන ගමන් සෝමාවතී කැලේ ගල්මුල්ල කන්ද කියන හරියෙන් අක්කර 50 ක් අස්වැද්දුවා. ඒ වෙනකොටත් මුස්ලිම් ජාතික අය වෙට්ටකාඩු වේරොඩයාය යන හරියේ කුඹුරු කෙරුවා. ඒවාට මහ රැජන ඔප්පු දීලා තිබුණා. මගේ ළඟ හරක් 120 ක්, එළුවෝ 80 ක්, කුකුල්ලු 150 ක් හිටියා. හැම අවුරුද්දකම මහවැලි ගඟ උතුරනවා. හැබැයි මම හිටපු ගල්මුල්ල කන්ද යටවෙන්නේ නෑ. ඒ කාලේ දවසකට කිරි බෝතල් 75 ක් ගන්නවා. ඒ කාලේ කිරි බෝතලයක් සත 25 යි. වී බුසලක් රුපියල් 10 යි. ට‍්‍රැක්ටර් නෑ. තෙල් පොහොර නෑ. තිබුණ එකම කරදරේ තමයි සත්තුන්ගෙන් බේරාගන්න එක. දවසක් හොඳ වැඩක් වුණා. රැ එළුවන්ගේ කොටුවට කොටියෙක් පැනලා එළුවො 14 දෙනෙක්ව මරලා. කාලා නෑ. පස්සේ කෑගහලා එලවලා දැම්මා 

ඒ කාලේ ඉඩම් ඇමැතිව හිටියේ මෙරිල් ද සිල්වා මහත්තයා. එයා මගේ හේනට ඇවිත් තියෙනවා.

කතාව මඳකට නතර කළ ඩේවිට් සිල්වා ලකලැහැස්ති වුණේ බුලත් විටකින් සප්පායම් වීම සඳහාය. වයස 103ක කෙනකු ලෙසට නොව, හොඳින් බුලත් විටක් කන අයුරැ දුටු මම විශ්මයට පත් වූයෙමි. මක් නිසාදැයි කිවහොත් පුවක් ගෙඩිය සටාස් ගා මුවින් සපා ඉතිරි අඩුම කොඩුම කටට දමාගැනීම නිසාය..

සිනාමුසු මුහුණෙන් මා දෙස බලා කොක් හඬලා සිනාවක් පා මෙසේ කීය.

ඇයි, පුදුම වුණාද? උඹ හිතුවේ මම බුලත් විට කොටලා කනවා කියලද? ඇසුවේය.

කිසිදු පිළිතුරක් දීමට මට නොහැකි වූයේ මටත් කටින් පුවක් ගෙඩියක් හපන්න බැරි නිසාය.

සීයා නැවත හඬ අවදි කළේ ඇස් ලොකු කරමින් මෙලෙස කියමිනි. 

දැන් කාලේ උන් කන්නේ වසනේ. මම ඒ කාලේ උදේ පාන්දර අරළු ගෙඩියක් කටේ දාගත්තාම ඒක  නිදාගන්නකොට තමයි අයින් කරන්නේ. ඒ නිසා තමයි මගේ දත් අදටත් හයිය. මම ඒ කාලේ අරක්කු භාගයයි සිගරැට් 30 යි දවසකට බොනවා. කාපිරි සෙබළු වගේම මමත් ඒ කාලේ හොඳ උස මහත මිනිහා. මම එක වේලකට හාල් හුණ්ඩුවක විතර බත් කනවා. මට හොඳට ගුස්ති අල්ලන්න පුළුවන්. ඒ නිසා කවුරුත් මා ළඟට එන්නේ නෑ. මම අක්කර 50ට අමතරව තවත් අක්කර 30 – 40 ක් වැඩ කළා. ගෝලයෝ කීපදෙනකුත් වැඩට හිටියා. ඒ කාලෙත් මුස්ලිම් සිංහල අපි දෙගොල්ලොම හොඳ සහයෝගයෙන් වැඩ කළා. කිසිම ගැටුමක් තිබුණේ නෑ. අපේ සෝමාවතී චෛත්‍ය ඒ කාලේ මුලින්ම දැකලා තියෙන්නේ මුස්ලිම් කෙනෙක් තමයි. පස්සේ ගොඩාක් අය ගිහිල්ලා සුද්ධ කරලා පාරක් කපලා තමයි කට්ටිය වඳින්න ගියේ. 

ඒ කාලේ ඝන වනාන්තරය ඒ පැත්තේ. ඒ කාලෙත් කිසිම කෙනෙක් සෝමාවතී චෛත්‍ය දිහා බලාගෙන දොට්ටපිළටවත් යන්නේ නෑ. ජාති භේදයකින් තොරව කවුරැත් සෝමාවතී කැලේ කිසිදු අකටයුත්තක් කරන්නේ නෑ. මොකද, එහෙම වැඩ කරපු ගොඩක් අය කැලේ අතරමංවෙලා තියෙනවා. මෑත කාලයේ එල්.ටී.ටී. කාරයෝ සෝමාවතියේ චූඩාමාණික්‍ය ගලවන්න ගිහින් චෛත්‍යයට නැඟපු උන්ගෙ දෙන්නෙක්ව මැරිලා වැටිලා තියෙනවා. පස්සේ උන් බයටම චූඩාමාණික්‍ය දාලා ගිහින් තිබුණා. ඒ කාලේ  කවුරුවත් හිටියේ නෑ. අලි 10 – 15 ක් විතර සෝමාවතිය චෛත්‍ය වටේට රැකවල් දාගෙන ඉඳලා තියෙනවා. අපිත් දැකලා තියෙනවා. වඳින්න එන අයට කිසිම කරදරයක් නෑ. වෙනත් වැඩවලට එන අයට අලින්ගෙන් කිසිම සමාවක් නෑ. කොටි මෙතන කඳවුරක් හදන්න ඇවිත් සුද්ධ කරලා පොඩි පැලක් ගහලා ගිහින් තියෙනවා. රුට අලි ඇවිත් පැල කුඩු කරලා දාලා. ඊට පස්සේ කොටි ඒ අහල පහලවත් නොහිට පල්ලියගොඩැල්ල පැත්තේ ගඟෙන් එහා පැත්තේ කඳවුරු බැඳගෙන ඉඳලා තියෙනවා. දවසක් කොටි කොල්ලෝ දෙන්නෙක් තුන්දෙනෙක් මගේ වාඩියට ආවා. ඇවිත් කිව්වා, රුපියල් පනස්දාහක් ඕනි කියලා. මම කිව්වා දැන් අතේ නෑ. දිනයක් කියපල්ලා ගෙනත් තියන්නම් කියලා. පස්සේ මම කිව්වා  මම බෞද්ධයෙක්. සෝමාවතියට යනවා වඳින්න පුදන්න කියලා. උන් කිව්වා අපි දවස් දෙකකින් එනවා කියලා. උන් ගියා. හැබැයි ආය ආවේ නෑ. ඒ කාලේ කැලේ සත්තු ඕනෑ තරම් හිටියා. අලි, කොටි, වලස්සු, ගොන්නු, මුවෝ, තව ගොඩාක් හිටියා. හැබැයි කිසිකෙනෙක් මැරුවේ නෑ. එතකොටත් වනජීවී එකේ මහත්තුරු හිටියා. දැන් වගේම තමා. එන්නේ මාව හොයාගෙන. මොකද, අපි ගොවියෝ ඔක්කොම ඒ අයට වී හාල් දෙනවා. වනජීවී කාර්යාලයක් තිබුණේ පොළොන්නරුවේ. දවසක් හොඳ වැඩක් කළා වනජීවී එකේ ලොක්කෙක්. මම හිටියේ නෑ, ගමනක් ගිහිල්ලා. වී කඩේට ගිහිල්ලා ඩේවිට් සිල්වා කිව්වා කියලා හාල් මිටි දෙකක් ඉල්ලන් ගිහිල්ලා. පස්සේ දවසක මම කඩේට ගියාට පස්සේ මුදලාලි කිව්වා, අර වනජීවී එකේ ලොක්කා හාල් මිටි දෙකක් ඉල්ලන් ගියා කියලා. මම පුදුම වුණා, මම කියන්නෙත් නැතුව එහෙම දෙයක් වුණ එකට. ඒක මම මුදලාලිට කිව්වේ නෑ. මම සල්ලි දීලා නිකම් හිටියා. එදත් ඒ වගේමයි. ඒ විදියම තමා.
මම දවසක් අරලියගහ මන්දිරයට ගියා තව කීපදෙනකුත් එක්ක. ගිය හේතුව තමයි ළමයි ගෙවල්වල නිකම් ඉන්නේ. මාසයකට ඉරිදා 04, සෙනසුරාදා 04 නිකන්ම ඉන්නේ. මම යෝජනාවක් කළා රජයට මේ දවස් ටිකේ වැඩ කරන්න ඒ ළමයින්ට මුදලක් ගෙවන්න. ඒ මුදල් අවුරුදු 30 වෙනකම් ගන්න බැරිවෙන්න ඒ බැංකුවේ තැන්පත් කරන්න ඕනි කියලා. එතකොට ඒ අයට ලොකු මුදලක් එකතු වෙනවා. ඒක අරගෙන අනාගතය ගොඩනගා ගන්න විදිහට කටයුතු කරන්න නීතියක් ගේන්න කියලා. අපි තුන්දෙනෙක් අරලියගහ මන්දිරය ළඟ උපවාසයක් කළා. අපට ඒක කරන්න පොලීසියෙන් ඉඩ දුන්නෙත් නෑ. කවුරුවත් මුණගැහෙන්න ඉඩ දුන්නෙත් නෑ. අපිව එලවලා දැම්මා. හැබැයි ඒ කාලෙත් පත්තර කන්තෝරුවෙන් ඇවිත් අපිව ෆොටෝ ගහලා දවස පත්තරේම මුල් පිටුවේම පළ කළා.

පස්සේ මේක කරන්න ඉඩ දුන්නේ නැති එකට මට තරහා ගිහිල්ලා හිටියේ. පස්සේ මමත් දේශපාලනය කරන්න පටන් ගත්තා. මම බණ්ඩාරනායක මහත්තයාට වැඩ කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. ඒ කාලේ බණ්ඩාරනායක මහත්තයා සහ අනිකුත් අය කිව්වේ ශ්‍රී ලංකා ඩේවිට් සිල්වා කියලා. පොළොන්නරුවේ ඒ කාලේ දේශපාලනය තිබුණේ දරුණු තත්ත්වයක. අද වගේම ඒ කාලෙත් පොළොන්නරුවේ දේශපාලන මැරයෝ හිටියා. ඒ අතර හිටියා වෙහෙරගල බණ්ඩා කියලා කෙනෙක්. එයාට කියන්නේ වන්ෂොට් කියලා. ලීලාරත්න මහත්තයා, බෞද්ධසාර මහත්තයා. ඒ අය තමා පොළොන්නරුවේ හිටියේ. අපි දවසක් රැස්වීමක් කරන්න හදනකොට වන්ෂොට් ඇවිත් අපට කචල් දැම්මා. වන්ෂොට් කියලා අපි නිකම් හිටියේ නෑ. දිගට හරහට ගැහුවා. අපි උන්ට දුවනකන්ම ගැහුවා. ලීලාරත්න මහත්තයාගේ තාත්තාත් හමුදා සෙබළෙක් ඒ කාලේ. මට මතක විදියට ලීලාරත්න හා  බෞද්ධසාර මහත්තයා තමයි පොළොන්නරුවෙන් පාර්ලිමේන්තුවට ගියේ.

ඔය විදියට තමයි කාලේ ගෙවුණේ. අවසානයේ මට දරුවෝ 11 දෙනකු හිටියා. මේ වෙනකොට එයින් දරුවන් තුන්දෙනෙක් ජීවතුන් අතර නෑ. ඉතුරැ අය හොඳින් ජීවත් වෙනවා. එක පුතෙක් තමයි රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දේශපි‍්‍රය සිල්වා. මගේ දරුවෝ ගුරුවරු, ගොවියෝ, ව්‍යාපාරිකයෝ වශයෙන් හොඳින් ජීවත් වෙනවා. මගේ කාලේ වැඩියෙනුත් එක්ක ගිහිල්ලා තියෙන්නේ. මම කරපු වැඩ ගැන හිතලා සතුටු වෙන්න පුඑවන්. සෑම අවුරුද්දකම සෝමාවතියේ මහා බත් දන්සලට හාල් මිටි තුනක් දෙනවා. 400 ඉස්පිරිතාලෙට ගොඩාක් උදව් කළා. මුස්ලිම්, දෙමළ, සිංහල කියලා නැතුව සියලු දෙනාටම පුඑවන් විදියට උදව් කළා. 

මට තියෙනවා ජනාධිපතිතුමාට යමක් කියන්න. මොකක්ද දන්නවද? අපි වැඩ කරපු කුඹුරු දැන් වනජීවී එකෙන් අරගෙන ඒ අයට නඩු දාලා තියෙනවලු. ඒ ඉඩම්වලට මහ රැජන අතින් දුන්නු ඔප්පු තියෙන්නේ. ඒවා ගත්තට කමක් නෑ. ජනාධිපතිතුමනි, අවුරුදු සීයක් විතර පරම්පරා හතරක් විතර වැඩ කරපු කුඹුරුවලට කොහෙන් හරි ඉඩම් ඒ අයට දෙන්න කියලා තමයි කියන්නේ. ඔය කුඹුරුවල අවුරුද්දට එකපාරයි වැඩ කරන්නේ. හැබැයි ඔය වැඩ කරන වී වර්ගය ලංකාවේ කොහෙවත් වගා කරන්නේ නෑ. තෙල් පොහොර නැතුව වගා කරන කුඹුරු තියෙන්නේ. ඒ වැඩ කරන හාල් කාලා තමයි මේ අවුරුදු සීයත් පැනලා ජීවත් වෙන්නේ. ගරු ජනාධිපතිතුමනි, මේ ජනතාව වෙනුවෙන් කරන්න පුඑවන් දේ කරලා දෙන්න කියලා තමයි මම ඉල්ලා සිටින්නේ යැයි කියා සිටියේ ඉලන්දාරියකු කියන විලාශයක් ඇඟට ආරූඪ කරගනිමින්ය. 

පොළොන්නරුවේ සිට සෝමාවතිය දක්වා ඇති සිංහල මුස්ලිම් ගම්මානවල ජීවත් වන සියලුම වැසියෝ ඩේවිට් සිල්වා නම කියු පමණින් ඔහු ගැන දනිති. විටක චණ්ඩියෙකි. ගොවියෙකි. සමාජ සේවකයෙකි. යෝධයකු බඳු සද්දන්ත පුද්ගලයෙක් සේම දරුවන්ට රජකු බඳු පියෙකි.

දෙවැනි ලෝක මහා යුද්ධයෙදී සටන් කළා පමණක් නොව, මහ පොළොව සමඟත් සටන් කරමින් තම අයිතීන් වෙනුවෙන් නොව, පොදු අයිතීන් වෙනුවෙන් සටන් වැදුණු මහා කළු සිංහලයා වන ඩේවිට් සිල්වා නම් ඔහු දිවිගමනේ තම 103 වැනි වසර පසු කරමින්  සේවාමුක්ත ගම්මානයේ තවමත් නිරෝගීව ජීවත් වෙමින් සිටී. මේ වන විට ඔහු තම වැඩිමහල් දියණියගේ නිවසේ කාලය ගත කරමින් සිටී.

පුදුමය වන්නේ සැම පුවතක්ම කිසිදු බාධාවකින් තොරව තරුණයකු මෙන් හොඳින් කියවීම කරන බැවිනි. මෙවන් යුග පුරුෂයන්ට නිදුක් නීරෝගි සුවෙන් දිගු කලක් ජීවත් වෙන්නට වාසනාව ලැබේවායි එක සිතින් ප‍්‍රර්ථනා කළ යුතුය. මම එසේ ප්‍රාර්ථනා කරමි.

►හිඟුරක්ගොඩ ඩබ්ලිව්.ඒ. පියතිලක

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00