2018 මාර්තු 10 වන සෙනසුරාදා

රාජ්‍ය අායතන හොරුන්ගේ අතට යාම

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 248

රාජ්‍ය හා පෞද්ගලික ව්‍යාපාර පිළිබඳ පාරදෘශ්‍යභාවයක් නෑ
ඇමැතිවරයාට අවශ්‍ය ඕනෑ කෙනෙකු පත්කිරීමේ බලයයි

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පසුගියදා නිකුත් කළ නවතම වාර්තාව අනුව 2017 දූෂණ සංජානන දර්ශකය ප්‍රකාරව ලොව දූෂිත රටවල් අතරින් ශ්‍රී ලංකාව 91 වැනි ස්ථානයට පත්ව ඇති බව පෙන්වා දෙයි. 2016 වසරේදී ශ්‍රී ලංකාව 95 ස්ථානයේ සිට ඇති අතර, 2017 දී 91 වැනි ස්ථානයට පැමිණීමෙන් ස්ථාන 4කින් ඉහළට පැමිණ ඇතද, එම ප්‍රගතිය එතරම් කැපී පෙනෙන වර්ධනයක් නොවේ යැයි එම ආයතනය කියයි. විශේෂයෙන්ම දූෂණ සංජානන දර්ශකයේ 36 ස්ථානයේ සිට 38 දක්වා ලකුණු දෙකකින් පමණක් ඉහළට ගොස් තිබුණද 2014 වසරේද රට තිබුණේ 38 වැනි ස්ථානයේ බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ අශෝක ඔබේසේකර මහතා ප්‍රකාශ කර සිටී. මෙහිදී සිදුව ඇත්තේ ප්‍රගතියක් නොව 2014 වර්ෂයේදී තිබූ ස්ථානයට 2017 දී යළි පත්වීම බව යැයි ඔහු කියයි.

මෙම දූෂණ සංජානන දර්ශකය අනුව අවරෝහණ ක්‍රමයට ගණන් ගන්නා අතර ලකුණු “0” ලැබීම අති දූෂිත රටක් වන අතර ලකුණු 100 ලැබීම උපරිම වශයෙන් දූෂණයෙන් තොර රටක් ලෙස සැලකේ. ඉකුත් 2017 වසරේ එම දර්ශකයේ ලකුණු 90 ඉක්මවීමට ලොව කිසිදු රටක් සමත්ව නොමැති වීම විශේෂයෙන් කැපී පෙනේ. ගෝලීය මට්ටමින් සලකන විට නවසීලන්තය දූෂණ සංජානන දර්ශකය අනුව ලකුණු 89ක් ලබාගෙන පෙරමුණේ සිටින අතර ලකුණු 88ක් හිමිකර ගත් ඩෙන්මාර්කය දෙවැනි ස්ථානයට පත්ව ඇත. සිරියාව, දකුණු සුඩානය, සෝමාලියාව යන රටවල් පිළිවෙළින් 14, 12 හා 9 ස්ථානවලට පැමිණ සිටී.

ආසියා ශාන්තිකර කලාපයේ ලකුණු 67ක් ලබාගත් භූතානය ඉහළට ගොස් ඇති අතර ඉන්දියාව ලකුණු 44ක්, මාලදිවයින 33ක්, පාකිස්ථානය 32ක්, බංගලාදේශය 28ක් ඇෆ්ගනිස්තානය 15ක් ආදී වශයෙන් හිමි කරගෙන සිටී. අපේ අසල්වැසි ඉන්දියාව පවා අපට වඩා ඉදිරියෙන් සිටින බව මේ අනුව පැහැදිලිය.

බටහිර යුරෝපයේ රටවල සාමාන්‍ය ලකුණු මට්ටම 66ක් වන අතර නැගෙනහිර යුරෝපය හා මධ්‍යම ආසියාව 34 බැගින් ලකුණු හිමිකර ගෙන ඇත. අප්‍රිකාවේ උප සහරා රටවල සාමාන්‍ය ලකුණු මට්ටම 32කි. 

රටවල් 180ක් පිළිබඳ කළ සමීක්ෂණයේදී ලකුණු 50ට වඩා අඩුවෙන් ලකුණු ලබාගත් රටවල් සංඛ්‍යාව 2/3කි. එම රටවල මහජන දේපලවල දූෂණ, වංචා බහුල වන අතර රටවල සාමාන්‍ය ලකුණු තත්ත්වය 43 බවද වාර්තාව කියයි. වෙනත් වසර සමඟ සැසඳීමේදී සමහර රටවල සුළු ප්‍රගතියක් පෙන්නුම් කළද විශේෂයෙන් පැවසීමට අලුත් දියුණුවක් නොමැත. 2012 සිට සුළු ප්‍රගතියක් පෙන්වන රටවල් වන්නේ අයිවරිකෝස්ට්, සෙනගල්, එක්සත් රාජධානිය යන ඒවායි. සිරියාව, යේමනය, ඕස්ට්‍රේලියාව ආදි රටවල් වසරින් වසර පහළට ගමන් කරන බව වාර්තා වී තිබේ.

ලකුණු 45ට වඩා පහළ ප්‍රගතියක් පෙන්නුම් කරන රටවල පසුගිය වසර 6 තුළදී ජනමාධ්‍යවේදීන් 10ක ගෙන් නව දෙනෙක්ම ඝාතනය කර ඇති බවට සොයාගෙන ඇතැයි වාර්තාව කියයි.

දැනට පවතින අයහපත් තත්ත්වය නැති කිරීමට ගතයුතු පියවරවල් පිළිබඳව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය නිර්දේශ පහක් ඉදිරිපත් කර ඇත. රාජ්‍ය හා ව්‍යාපාර කටයුතු පිළිබඳ ස්වාධීන මාධ්‍ය හා සිවිල් සංවිධානවල විවෘත වියයුතු අතර ඒ පිළිබඳ ඒ වනවිට අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව දිය යුතුය. මාධ්‍යවලට නිදහසේ කටයුතු කිරීමට හැකිවිය හැකි වාතාවරණයක් රටවල් තුළ ඇතිකළ යුතු අතර මාධ්‍යවේදීන්ට බියෙන් සැකයෙන් තොරව රාජකාරී කිරීමට ඉඩදිය යුතුවේ. සියලු රාජ්‍ය හා පෞද්ගලික ව්‍යාපාර කටයුතු පිළිබඳ පාරදෘශ්‍යභාවයක් ඇති කිරීමට හා ගිණුම් කටයුතු පරීක්ෂාවට අවස්ථාව සැලසීමට කටයුතු කළයුතු අතර ජාත්‍යන්තර නිදහස් ගිවිසුම්වලට එළැඹීමට පියවර ගැනීමේ වැදගත්කමද පෙන්වා දෙයි. එසේම දේශපාලන පක්ෂවල හා දේශපාලනඥයන්ගේ මුදල් තත්ත්වය පිළිබඳ පරීක්ෂා කිරිමට විවෘතව අවස්ථාව සලසාදිය යුතු බවද සඳහන්ය.

අපේ රට අද පත්ව ඇති අවාසනාවන්ත තත්ත්වය පිළිබඳ සලකා බලනවිට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ මෙම සමීක්ෂණ වාර්තාවෙන් ගතහැකි ප්‍රයෝජන ඉමහත්ය. ඔවුන් පෙන්වා දී ඇත්තේ අපේ රට අවම වශයෙන් ඒකක 6කින්වත් වසරක් තුළ ඉදිරියට පැමිණිය යුතු බවයි. එහෙත් සුළු ප්‍රගතියක් සමඟ එකතැන කැරකෙන තත්ත්වයට පත්ව තිබීම කනගාටුදායකයි. මේ පිළිබඳ ආණ්ඩුවේ මෙන්ම සිවිල් සංවිධානවලද පූජ්‍ය පක්ෂයේ නායකයන්ගේද අවධානය යොමුවිය යුතුවෙයි.

මෙහිදී අප විශේෂයෙන් සලකා බැලිය යුත්තේ බරපතළ වංචා දූෂණ සෙවීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාව පසුගියදා ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනු ලැබ ඇති වාර්තාව පිළිබඳවය. එහි සඳහන්ව ඇති ප්‍රධානතම කරුණක් නම් අදාළ විෂය භාර ඇමැතිවරයාට කැමැති ඕනෑම පුද්ගලයකු සිය අභිමතය පරිදි රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ අනෙකුත් වගකිවයුතු ප්‍රධාන තනතුරුවලට පත්කිරීමට හැකියාව ලබාදීම නිසා රාජ්‍ය හා සමාන්තර ආයතනවල දූෂණ ක්‍රියා වැඩිවීමට හේතුවී ඇති බවය.
රාජ්‍ය ආයතනවල තනතුරු සඳහා සුදුසු පුද්ගලයන් පත්කිරීමට හැකිවන සේ අනුගමනය කළයුතු ක්‍රියාවලියක් හඳුන්වා දෙන නීතිමය රාමුවක් ස්ථාපිත කරන ලෙස කොමිසම රජයට යෝජනා කර තිබේ. රාජ්‍ය ආයතන ප්‍රධානින් ඇතුළු වගකිවයුතු තනතුරු සඳහා පුද්ගලයන් පත්කිරීමේ පිළිගත හැකි නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන බව පෙනී ගියේ යැයි කොමිසම කියයි. තනතුරුවලට පත්කරන පුද්ගලයන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ රහසිගතව තොරතුරු රැස්කිරීමට යම් ක්‍රමවේදයක් ඇතිකළ යුතු බවද අභියාචනාධිකරණ විනිසුරු ප්‍රිති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ජනාධිපති කොමිසම යෝජනා කර තිබේ.

කොමිසම ඒ පිළිබඳව යෝජනා කරන්නේ වැරදි හා දූෂණ ක්‍රියා පිළිබඳ විමර්ශන කිරීමට බලතල ඇති ආයතනයක් ස්ථාපිත කරන ලෙසටයි. උසස් තනතුරකට යම් කෙනකු නම් කළ විට ඔහු දූෂණයට සම්බන්ධද, නැති ද යන්න මෙන්ම ඊට ප්‍රවණතාවක් දක්වන්නේ ද යන්න ගැන සොයාබැලීමට නිසි ක්‍රමවේදයක් ඇති කළ යුතුබව කොමිසම පෙන්වාදී තිබේ. ඒ සඳහා පුද්ගලයන්ගේ දත්ත රැස්කිරීම ක්‍රමවේදයක් තිබිය යුතුය යන්න කොමිසමේ අදහස වේ.

රාජ්‍ය ආයතන, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල උසස් තනතුරු සඳහා බඳවා ගැනීමට. උසස් කිරීමට හා ස්ථාන මාරු කිරීමට මෙන්ම සේවයෙන් පහකිරීමට ද විධිමත් ක්‍රමවේදයක් ඇතිකිරීමේ අවශ්‍යතාව විමර්ශනයේ දී පෙනී ගිය බව පවසන කොමිසම ඒ සඳහා වෙනම ස්වාධීන ආයතනයක් ඇතිකිරීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබේ.

ඇත්ත වශයෙන්ම මෙය නිසි පරිදි ක්‍රියාත්මක කළ හැකි නම් වැදගත් ප්‍රතිඵල ලබාගත හැකි බව කිවයුතුය. මෙතෙක් කල් මේ රටේ බලයට පත්වූ කිසිම ආණ්ඩුවක් මේ පිළිබඳ අවධානය යොමුකර නොතිබීම නිසා රාජ්‍ය අංශයේ වංචා දූෂණ හා අවිධිමත් සිදුවීම් බහුල වී තිබේ. රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමතාවට ද ප්‍රධාන හේතුව මෙයයි. ඒ ඒ අමාත්‍යංශවලට අයිති ආයතනවල ප්‍රධාන තනතුරු සහ අධ්‍යක්ෂක මණ්ඩල ආදිය සඳහා පත්කිරීම් කිරීමට අදාළ අමාත්‍යවරුන්ට බලය හිමිව තිබුණි. එය ස්වකීය පරවේනී උරුමයන් සේ සලකන දේශපාලනඥයන් දේශපාලන හිතවත්කම් මත පමණක් සුදුසුකම් නැති පුද්ගලයන් මේ ආයතනවලට පත්කිරීම එදා මෙන්ම අදද සිදුවේ. තම දේශපාලන ආධාරකරුවන්, මිත්‍රයන්, හිතවතුන් හා ඥාතීන් මෙම ඉහළ තනතුරු සඳහා පත් කෙරේ. ඔවුන්ට අධ්‍යාපන සුදුසුකමක් හෝ වෘත්තිය සුදුසුකමක් නොමැත. එකම සුදුසුකම අදාළ දේශපාලනඥයාගේ හෙංචයියකු වීමය. එසේ පත්කළ බොහෝ දෙනා උත්සාහ කරන්නේ ආයතනය දියුණු කිරීමට නොව තමා දියුණු වීමටය. තම මඩිය තරකර ගැනීමටය. ලැබුණු තනතුරු කෙටිකාලයකට පමණක් සීමාවෙන බව දත්ත ඔවුහු එම කාලය තුළ උපරිමයෙන් ආයතනය ශුද්ධ කර තම ගොඩ වැඩිකර ගැනීමට බලති. නීත්‍යානුකූල ලෙස තමාට ලැබෙන වැටුප්, වේතන හා දීමනා, වාහන, ඉන්ධන, දුරකථන පහසුකම් ආදිය උපරිමයෙන් බුක්ති විඳින ඔවුහු නිත්‍යානුකූල නොවන ආකාරයට කොමිස්, අල්ලස්, සොරකම්, ආදියෙන් විශාල ධනයක් උපයති. මෙහි අවසාන ප්‍රතිඵලයවන්නේ ආයතනය විනාශ වීමය. එවැනි සිද්ධි ගණනාවක් අපට උදාහණ ලෙස දීමට පුළුවන.

දැනට රටේ පවතින තත්ත්වය පිළිබඳ කරුණු දක්වන නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා මෙසේ කියයි.

“ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර් නැෂනල් ආයතනයේ දූෂණ සංජානන දශකය තනන්නේ බොහෝ වැදගත් සාධක මුල්කර ගෙනයි. එමඟින් ඕනෑම රටක් සත්‍ය ලෙසම දූෂණ හා වංචා අවම කිරීමට කටයුතු කරනවාද කියලා කියා බලනවා. රටේ නීතිය, නීතිය ක්‍රියාත්මක වීම දූෂණ සිදුවන ක්ෂේත්‍ර, එයට අදාළ පරිසරය දූෂණ වළක්වා ගැනීමට ගන්නා පියවර ආදී සෑම අංශයක් පිළිබඳවම සොයා බලනවා.

2015 දී විධායක ජනාධිපතිවරයා බලයට පත්වීමේදී දුන් ප්‍රධාන පොරොන්දුවක් තමා දූෂණ වංචා මර්දනය කිරීමට පියවර ගන්නවා කියන එක. එහිදී ජනතාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කළේ එම පොරොන්දුව ඉටුකරාවී යන බලාපොරොත්තුවෙන්. එහෙත් එය එලෙසම ප්‍රායෝගිකව මේ වනවිට ඉටුවී තිබෙනවාද යන්න බරපතළ ප්‍රශ්නයක්.

2015 මාර්තු මාසයේ ඒ පිළිබඳ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරලා එය අනුමත කරගත්තා. එක්සත් ජාතීන්ගේ ප්‍රඥ්ප්තිය අනුව ක්‍රියාකිරීමයි එහි අදහස වූයේ. එහෙත් එම කැබිනට් පත්‍රිකාව අනුමත කළාට එය ක්‍රියාත්මක වූයේ නැහැ. එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල්, සම්පත්, ආයතන ආදිය ලබාදුන්නේ නැහැ. යම් පමණකට නීතිමය කටයුතු කළත් නඩු පැවරීම සිදුවූයේ සෙමින්. සොයාගත් කරුණු පිළිබඳ විමර්ශන පැවැත්වූයේ මන්දගාමීවයි. සැකකරුවන්ට ලිස්සා යාමට ඉඩදුන්නා. එවකට ක්‍රියාත්මකව තිබූ දූෂණ විමර්ශන ලේකම් කාර්යාලය අකර්මණ්‍ය කරලා වසා දමන තැනට කටයුතු කළා. එම කාර්යාලය තමා මේ පිළිබඳ වැදගත් වැඩ කොටසක් කළේ. විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරමින් විමර්ශන පැවැත්වවා එය වසා දැමීම දූෂණ වංචා ඉහළ යාමට බලපෑවා එම තත්ත්වය මේ වනවිට අපට හොඳට පෙනෙන්නට තිබෙනවා.

වංචා දූෂණ ඉහළයාම පිළිබඳ යහපාලන ආණ්ඩුවේ ජනාධිපති හා අගමැති යන දෙදෙනාම වගකිව යුතුයි. දේශපාලන බලය ලබාගැනීම සඳහා ඒ දෙදෙනාම තම පාර්ශවවල වංචා දූෂණවලට සම්බන්ධ අය ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කරනවා. තම බලය රැකගැනීමට දූෂිතයන්ගේ සහාය ලබාගැනීමට අවශ්‍ය නිසා ඔවුන්ට එරෙහිව පියවර ගැනීමෙන් වැළකී සිටින බව පැහැදිලියි. දේශපාලනික හා යාන්ත්‍රික යන දෙඅංශයෙන්ම ක්‍රියා කිරීම නැවතිලා තිබෙනවා.

ජාතික විගණන පනත මුලදී ඉතාම ශක්තිමත්ව කෙටුම්පත් කළත් එය ක්‍රමයෙන් දුර්වල කරලා වැඩක් ගතනොහැකි පනතක් බවට පත්කරලා තිබෙනවා. මෙම පනත නිසි ලෙස ක්‍රියාත්මක කළානම් රටේ ඉදිරි වංචා දූෂණ වළක්වා ගැනීමට යොදාගැනීමට ඉඩ තිබුණා. එහෙත් දේශපාලනික වුවමනාකම් මත බලාපොරොත්තු වූ පරමාර්ථ ඉටුවී නැහැ. මෙම වාතාවරණය මත අපේ රටේ වංචා දූෂණ අවම කිරීමට මේ ආණ්ඩුවෙන් සැලකිය යුතු කාර්යභාරයක් සිදුවේ යැයි සිතන්න බැහැ. 

රයිට්ස් නව් (Rights Now) සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ ප්‍රබෝධ රත්නායක:

2015 ආණ්ඩු වෙනසකට බලපෑ ප්‍රධාන හේතු තුනක් තිබුණා. ඒවා නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම, ජාතික සංහිඳියාව ගොඩනැගීම සහ බරපතළ වංචා, දූෂණ පිටුදැකීමයි. මෙයින් ප්‍රධාන තැනක් ගන්නේ බරපතළ වංචා හා දූෂණ පිටුදැකීමයි. එහෙත් ආණ්ඩුව මේ සඳහා ගත් ක්‍රියාමාර්ග පසුගිය සමයේ දේශපාලන බලඅරගල නිසා අතරමඟ ඇනහිටියා. සාර්ථකව අවසානය කරා ළඟාවූයේ නැහැ. අද වනවිට පැහැදිලිවම වංචා දූෂණවල නිරත වූවන්ට දඬුවම් දීලා නැහැ. චෝදනා විශාල ප්‍රමාණයක් තිබෙන අතර ඒවායින් අවසානයට ළඟා වී ඇත්තේ අතලොස්සක් පමණයි.

ඇතැම් දූෂණ වංචා පිළිබඳ සංඛ්‍යා ලේඛන හා චූදිතයන්ගේ නම් ගම් ආදියත් අනාවරණය වී තිබෙනවා. ඒ නිසා විභාග කර දඬුවම් දීමට අපහසු නැහැ. එහෙත් මේවායින් කීයද අධිකරණය දක්වා ගොස් ඇත්තේ එහෙම ගියත් විභාගකර දඬුවම් දී ඇත්තේ කීයකද? එය විශාල සැකයට කරුණක්. රටේ වංචා දූෂණ ඉහළ යාමටත් මෙය හේතුවී තිබෙනවා. බිය නැතුව වංචා දූෂණවල නිරත වෙනවා.

අනිත් අතට ජනතාව අතර සැකයක් ඇතිවී තිබෙනවා ඇතැම්විට මේවා බොරුද ඇත්තද කියලා. එසේම සැකකරුවන්ට ද මේවා බොරු යැයි නිදහසට කරුණු කියන්න හැකිවෙලා තිබෙනවා. ප්‍රමාදවීම ඔවුන්ට නිදොස් වීමට පහසුවක් වෙලා. මෙම චෝදනා ව්‍යාජ නොවන බව බොහෝ දෙනා දන්නවා. එසේ වුවත් නීතියෙන් සනාථ කරගත යුතුවෙනවා. එහෙම තහවුරු නොවුණහොත් දේශපාලන පළිගැනීම් කියලා කියන්න පුළුවන්. 

මහබැංකු බැඳුම්කර සිද්ධිය වගේ දේවල්වලට කොමිසම් පත්කරලා දිගටම විභාග කළේ ජනතා හඬ නිසයි. එම විමර්ශන ස්වාධීනව විවෘතව සිදුවූවා. කාටවත් කියන්න බැහැ. මේක පරීක්ෂණ දේශපාලන බලපෑම්වලට කරනවා කියලා. ඉතින් මෙවැනි කිසියම් විමර්ශන සෙසු මහා පරිමාණ වංචා දූෂණවලටත් අදාළ විය යුතුයි. නමුත් එලෙස සිදුවී නැහැ. එයයි ගැටලුව.

අපි වගේ රටක වංචා දූෂණ පිළිබඳ විමර්ශන පැවැත්විය යුත්තේ පහළ සිට ඉහළට නොවේ. ඉහළ සිට පහළටයි. අපේ රටේ උඩ මට්ටම අන්ත දූෂිතව තිබියදී පහළ මට්ටම මර්දනය කිරීම ප්‍රතිඵල විරහිතයි. අපේ රටේ ආයෝජනවලට විශාල වශයෙන් වංචා දූෂණ බලපානවා. ඇතැම් දේශපාලනඥයන් රටේ ආයෝජනයට එන අයගෙන් කොමිස් මුදල් ඉල්ලීම් නිසා ඒ ආයෝජන අපට නොලැබී ගොස් තිබෙනවා. විදේශ රටවලද අපේ රටේ දූෂණ පිළිබඳ ආරංචි පැතිරෙනවා. මෙය රටේ ආර්ථිකයට අයහපත් වෙනවා. විවිධ ආයතන තිබුණත් ආයෝජන දිරිමත් නොවීමට මෙම තත්ත්වය බලපා තිබෙනවා.

අනිත් අතට ව්‍යාපාරිකයන් අධික ලාභ ලැබීම දූෂණයක් කියලා කියන අයත් ඉන්නවා. එය වැරදි ආකල්පයක්. ලාභ ලබන්නේ නැතුව ආයෝජනය කරන්න කවුරුත් එන්නේ නැහැ. එම ව්‍යාපාරවල ලාභයෙන් රටට බදු ලැබෙන නිසා එය රටට හිතකරයි. ලොව දියුණු රටවල් මේ තරමට දියුණුවී ඇත්තේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරවලට අතදීම නිසයි. ව්‍යාපාර නිසා රටේ ජනතාවගේ ආදායම ද ඉහළ යනවා. ඒ නිසා ආයෝජනවලට නිදහස් වාතාවරණයක් ඇතිකිරීම රටේ වංචා දූෂණ දඬුවමට ද හේතුවෙනවා.


♦ යසවර්ධන රුද්රිගු

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00