2018 මාර්තු 10 වන සෙනසුරාදා

ඉස්කුරුප්පු නියනෙන් අලි රෑනක් එළෙව්වා

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 90

මෙරට ඇති සුන්දරත්වය, ඉතිහාසය, සමාජය ඇතුළු දෑ ලෝකයට ඉදිරියේ නිරාවරණය කිරීමේ පෙරමුණේ රාළලා වන්නේ සංචාරක මාර්ගෝපදේශකයන් හෙවත් ගයිඩ් මහත්තුරුය. මේ එම ගයිඩ් මහතුන් කිහිපදෙනකු සමඟ කළ සංවාද සටහන් පෙළක දහතුන් වැන්නයි. මෙවර ද අපේ කථානායකයා වන්නේ බ්‍රැන්ඩි ගම්පොළ මහතාය. ඔහු ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ගේ සංගමයේ සභාපතිවරයාය. සංචාරක මාර්ගෝපදේශනයේ වසර 27ක  අත්දැකීම් සපිරි ඔහු ඉතාලි සහ ඉංග්‍රීසි යන භාෂාවලින් කටයුතු කරන්නෙකි. 

බ්‍රැන්ඩි සමඟ මෙදා අපි කතාකරන්නේ අලි ගැනය. පුරා පිටුවක් පුරා කතාකරන්නට තරම් අලි කතන්දර ඔහු සතුය. 

අලියා යනු මිහිපිට වෙසෙන විශාලම සත්ත්වයායි. අපිට අලියා යනු සුපුරුදු ආගන්තුක නොවන සතෙක් වූවත් යුරෝපීයයන්ට අලියා යනු අපූරු සතෙකි. යුරෝපයේ අලි නැති නිසා අලි බලන්නට නම් එක්කෝ ආසියාවට නැත්නම් අප්‍රිකාවට යන්න ඔවුන්ට සිදුවේ. ඒ අතරිනුත් ආසියානු අලියා විශේෂ වන්නේ ඌට උරුම කෙළිලොල් ස්වභාවයත් මිනිසුන්ට මිතුරුව කල්ගෙවීමත් නිසාය. 

එහෙත් අලියා තමන්ගේ සුන්දරත්වය රිසි සේ විඳින්නට ඉඩ හැරියද පණ්ඩිත සංචාරකයන් නිසා මුළු ගමනම කඩාකප්පල් වෙන අවස්ථා ඕනෑ තරම් බ්‍රැන්ඩිලාට මුණගැසී තිබේ. 

“අපි එදා හිටියේ Eco Park එකේ. ඒ කියන්නේ හබරණට චුට්ටක් එහා. මින්නේරියේයි කවුඩුල්ලෙයි දෙකේම අලි නැති කාලෙට අලි බලන්න වෙන්නේ මෙතැනදි තමා”. 

බ්‍රැන්ඩිලාගේ මුළු අවධානයම යොමුවී තිබුණේ ජීප් රියට ඉදිරියෙන් සිටි අලි රෑනක් දෙසය. එහෙත් මේ අතරේ එක් සංචාරකයෙක් බ්‍රැන්ඩිට හොරා ජීප් රියෙන් බැස ඊට පිටුපසින් හිටි අලියෙකුගේ ඡායාරෑප ගනිමින් සිටියේය. 

“මම නිකමට පස්ස හැරිලා බලද්දි තමා මේ මනුස්සයා ජීප් එකෙන් බැහැලා ඉන්නවා දැක්කෙ. මිනිහාව දැක්ක ගමන් අලියත් චාජ් වුණා. මම කරපු වැඩේ අර මිනිහව බෙල්ලෙන් අල්ලලා ජීප් එකේ දමාගෙන එතැනින් පිටත් වුණා. හැබැයි අලියා වැඩේ අත ඇරියෙම නෑ. කිලෝමීටර පහක් විතර පුළුවන් තරම් වේගෙන් ගිහින් තමා අපි බේරුණේ”.

අලියෙක්ට පුළුවන්ද ජීප් එකක් එක්ක වේගෙන් දුවන්න? 

“අපොයි පුළුවන්. ඌට පුළුවන් අඩියට දෙකට අපි ඉන්න තැනට එන්න. ඒත් ඌ එහෙම කරන්නෙ කලාතුරකින්. ඌට ඕනෙ බයකරලා අපිව පන්නගන්න විතරයි. ඔය සමහර අලි චාජ් කරගෙන අපි ඉස්සරහට එද්දි ජීප් කාරයත් කරන්නේ අලියාගේ ඉස්සරහට යන එක. අපිට බය හිතුණට අන්තිමට කැලේ පෙරළගෙන අලියා දුවනවා පස්සවත් නොබලා”. 

මගේ තියෙනවා දඹුල්ලේ පොඩි රෙස්ට් එකක්. බ්‍රැන්ඩි හරිබරි ගැසී අලුත් කතාවක් කියන්නට පටන්ගත්තේය. 

ගයිඩ් කෙනකු ලෙස වසර ගණනාවක් සේවය කර එකතු කරගත් මුදල් ආයෝජනය කර ඔහු තනාගත් මේ ස්ථානය ඔහුත් ඔහුගේ පවුලේ අය මෙන්ම මිතුරනුත් විවේකයෙන් කාලය ගත කිරීමට ඇදෙන තැනකි. වරක් ඔහු තම මිතුරන් පිරිසක් ද සමඟ ඒ අවට වනාන්තරයේ ඇවිදින්නට ගියේ අලි බැලීමේ අදහසනි. මේ ගමනේ සහායට අවට ගමකින් හොඳ පුරුදුකාරයකු ද එකතු කරගත්තේ කෝකටත් කියාය. 

ගැමියා ගමනට සැරසුණේ අමුතු තාලයකටය. ඔහු ගමනට එකතු කරගත් ආයුධය වූයේ ඉස්කුරුප්පු නියනකි. කැත්තක් පිහියක් වෙනුවට ඉස්කුරුප්පු නියනක් සමඟ කැලෑ වදින්නට යන මේ මිනිහාගේ ක්‍රියාකාරකම් බ්‍රැන්ඩිට කුතුහලයක් වූ නමුත් ඔවුහු ගමන පිටත් වූහ. 

හෝරාවකට ආසන්න කාලයක් කැලය තුළ ගත කළ ද අලියකුගේ සලකුණකුදු දකින්නට නොවිණි. 

“කෝ බං බ්‍රැන්ඩි උඹ අලි පෙන්නන්න කියලා අපිව එක්කන් ආවට අලි බෙට්ටක්වත් නෑනෙ බං” මිතුරන් පිරිස මහ හඬින් විසුළු කරන්නට වූහ. 

වැඩි වේලාවක් ගියේ නැත. අවට වනාන්තරය දෙසින් එකදිගට කොළ අතු පොඩිවන ශබ්දයක් ඇසෙන්නට විය. 

ගැමියා ඉස්සර විය. 

“මහත්තයෝ පේන හැටියට අලි රූනක්. අපි අර පැත්තට දුවමු” 

හරියටම හරිය. එතැන උන්නේ ලොකු කුඩා වයස් මට්ටම්වලට අයත් අලි රෑනකි. තමන්ගේ වාස භූමියට කඩාවැදුණු මිනිසුන් දෙස ඔවුන් බැලුවේ මිතුරු ලීලාවකින් නොවේ. 

“එකපාරටම අලි ටික කඩාගෙන බිඳගෙන දුවගෙන එන්න ගත්තා. අපිත් එතකොට දුවන්න පටන් අරන් තිබුණේ. කොහොම හරි ඒ ළඟම ලොකු වලක් වගේ බිම පහත් තැනක් තිබ්බා. අර ගමේ මනුස්සයා අපිවත් එක්ක එතැනට බැස්සා” 
කොයිතරම් චණ්ඩියකු වුවද අලියා වළකට බසින්නේ නැත. වළක් හෝ පහත් තැනකට ගමන්කරන්නට පෙර අලියා දෙතුන් වතාවක්ම සැළකිලිමත් වෙයි. මුලින්ම ඉදිරි පාදා දෙක තබා බලන්නේ පස බුරැල් ද යන්න ය. ඉන්පසුව හෙමින් හෙමින් පසුපස ගාත් ද පහළට ගෙනෙයි. 

කෙසේ වෙතත් බ්‍රැන්ඩිලා කොටුවී හමාරය. අලි රෑනම වළ පාමුල සිට මහ හඬින් කුංචනාද කරන්නේ ඇඟ කිළිපොලා යවමිනි. අලියා බය කරන්නට හෝ කටින් වචනයක් පිටවෙන්නේ නැත.  ඒ තරමට උගුර කට වියළී ගොසිනි. 

“අපි කාටවත් කතාකරන්න හයියක් තිබ්බෙ නෑ. එදා නම් මම හිතුවේ අපි ඉවරයි කියලා” 

ගැමියා තම ආයුධය එළියට ගත්තේ ඒ මොහොතේදීය. කොළයකින් ඔතා තිබුණු ඉස්කුරුප්පු නියන එළියට ගත් ඔහු එය අලින් දෙසට දිගු කළේය. අලි මන්තර නොව පැහැදිලි සිංහලෙන් අලින්ට තර්ජනය කළේය. 

“උඹලා අපිට ගහන්නද? වරෙන් පුළුවන් නම් ළඟට. ඉතින් වරෙව්” 

ගතවූයේ තත්පර කිහිපයකි. රෑනේ උන් සද්දන්ත අලි එකා එකා පෙරළාගෙන කැලේ කඩාගෙන දුවන්නට වූහ. ඇතැම්හු අන්ධ අලි සේ ගස් වැල්වල හැපෙමින් දිව්වේ බ්‍රැන්ඩිලා පුදුමයෙන් කට ඇරගෙන සිටිද්දීය. මහ අලි පණ එපා කියමින් දුවද්දී මොහොතක් තුෂ්ණිම්භූතව සිටි පොඩි අලි ද ඔවුන් පසුපස දුවන්නට වූහ. 

ගැමියා සිනාසෙමින් සියල්ල විස්තර කළේය. 

“මේ ඉස්කුරුප්පු නියනේ වෙඩි බෙහෙත් ගාලා තියෙන්නෙ” 

ඒත් තාමත් කතාව තේරෙන්නේ නැත. 

“මේකනේ මහත්තයෝ. ඕන කැලේක ඉන්න ලොකු අලින්ගෙන් සීයට අනූවක් විතරම වෙඩි කාපු එවුන්. උන් ඒකෙ වේදනාව දන්නවා. ඉතින් වෙඩි බෙහෙත් ගඳ යාන්තමට දැනුණත් ඇති උන් ලෝකෙ පෙරළං දුවනවා”

වරක් පින්නවලදී අතිශය කණගාටුදායක සිදුවීමට මුහුණ පෑමට ද බ්‍රැන්ඩිට සිදුවිය. එය දැනුදු ඔහුගේ හිතේ හොල්මන් කරන ශෝකජනක අත්දැකීමකි. 

ඔහු බ්‍රිතාන්‍ය තරුණ ජෝඩු තුනක් සමඟ පින්නවලට ගොස් සිටි අතරේදී ජෝඩු දෙකක් ඔහු සමඟ ඉන්දැද්දී එක් යුවලක් අලි නාන තැන බලන්නට ගියහ. බ්‍රැන්ඩිලා උන්නේ දවල් ආහාරය ගනිමිනි. එක්වරම ඔය හරහා අලියෙක් කෑගසාගෙන දිවයන හඬ ඇසීමෙන් බ්‍රැන්ඩිලා ද එතැනට පැමිණ බලනවිට ඔයට වැටී වේදනාවෙන් කෑගසමින් උන්නේ තමා සමඟ පැමිණි අනෙක් ජෝඩුවේ තරුණියයි. 

“මොකක්ද දන්නවද වෙලා තියෙන්නෙ. එතැනින් අලින්ට දෙන්න කියලා කෙසෙල් පාර්සලයක් අරන් එයා ගල්පොත්තක් උඩට නැගලා. ඒත් අලියට කෑම දෙන්න ඕනෙ හොඬේට කියලා එයා දන්නෑ. ඉතින් අලියගේ හොඬේ මඟ ඇරලා කටට කෑම දාන්න යද්දි අලියට කේන්ති ගිහින් බිමට වට්ටලා, යටිබඩට හොඬේ තියලා තදකරලා. ඔය වෙලේ ඇත්ගොව්වා අලියගෙ හොඬේට හෙණ්ඩුවෙන් ඇනලා. ඒකෙ වේදනාවට තමා අලියා ඔය හරහා දුවලා තිබුණේ”. 

ඔයට වැටී සිටි තරුණියගේ තත්ත්වය ඉතා ඛේදජනක විය. ඇයව වහාම රෝහල්ගත කෙරුවද දොස්තරගේ වැරදි රෝග විනිශ්චයක් හරහා ලබාදුන් ප්‍රතිකාර නිසා ඇගේ අස්ථි බිඳුම තවත් වැඩිවිය. අවසානයේ පින්නවල සිට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කරනවිට ඇගේ තත්ත්වය වඩාත් බරපතළය. අවසානයේ ඇයව ලියර් ජෙට් ගිලන් රථයකින් ඉන්දියාවට ගෙන ගොස් හදිසි ශල්‍ය කර්මයක් සිදුකළ ද ඇගේ ගර්භාෂය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට සිදුව තිබුණි. 

එම කතාවේ තවත් ශෝකජනක අවසානයක් වූයේ එදා පින්නවලදී තමාගේ හොඬයට හෙණ්ඩුවෙන් ඇන තුවාල කළ ඇත්ගොව්වාව එම අලියා විසින්ම ඊට පසුදා මරාදමනු ලැබීමය. 

සංචාරක මාර්ගෝපදේශකයකුගේ ජීවිතය තුළ සතුට, වින්දනය මෙන්ම ශෝකජනක අත්දැකීම් පවා ගැබ්විය හැකි බව බ්‍රැන්ඩි අපට විස්තර කළේ එලෙසිනි. 

(තවත් කොටසක් සමඟින් ලබන සතියේ නැවත හමුවෙමු) 

► රජිත ජාගොඩ ආරච්චි 

 

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00