2018 මාර්තු 10 වන සෙනසුරාදා

මුස්ලිම් තරුණයෙකුගේ හදවත

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 126

හැම මුස්ලිම් මිනිහම මධ්‍යස්ථ නැති බවත් සෑහෙන පිරිසක් අන්තවාදීව මත ප්‍රකාශ කරන්නන් බවත් පසුගියදා ලැබුණු වට්සප්, ෆේස්බුක් පණිවුඩවලින් දැනගතිමි. එමෙන්ම සිහලුන්ගෙන් වැඩි පිරිසක් ප්‍රචණ්ඩත්වය ප්‍රිය නොකරන අසාධාරණයට සහ වර්ගවාදයට එරෙහි පිරිසක් බව නැවතත් තහවුරු වූයේ හෑදෙණිය සහ අලදෙණිය ප්‍රදේශවල මුසල්මානුවන්ට පහර දීමට පැමිණි ප්‍රකෝපකාරීව හැසිරුණු තරුණයන් පලවා හැරීමට ප්‍රදේශවාසී සිහලුන් කටයුතු කිරීමෙන් පසුවය.

කෙසේ නමුත් මුස්ලිම් ඔබ සිතිය යුතු විශාල පාඩමක් මේ හැම ක්‍රියාවලියක් තුළම ගැබ්ව තිබේ. මේ රටේ බහුතරය සිහලුන් ය. බෞද්ධ සිහලුන් මෙන්ම කිතු සිහලුන් ද සිටිති. එහෙත් මුස්ලිම් සිහලුන් නැත. ඇතැම්විට ඔබේ පියා අරාබිකාරයෙක් විය හැකිය. ඒත් මව සිංහල විය හැක. එහෙව් ඔබට සිංහලකම මෙන්ම මුස්ලිම්කමද අයිතිය. එසේ නොවුණත් විවිධත්වයට හා සමානාත්මතාවයට ගරු කරමින් ජීවත් වන්නේනම්, ආගම් හා ජනවර්ග අනුව නොබෙදී මම ශ්‍රී ලාංකිකයෙක් යන හැඟීම පපුවටම කාවද්දාගෙන ජීවත් වන්නේනම් ජාතිවාදයේ ගිනි පුපුරුවලින් මේ මහ පොළොව ඇවිලී යන්නේ නැත. එමෙන්ම රටේ මහජාතියට ඔවුන්ගේ සංස්කෘතියට ගරු කරන්නට පුරුදු වෙනවානම් අප තුළ නිතැතින්ම ගොඩනැගෙන අන්තර් ගෞරව පූර්ව සහයෝගයක් තිබේ.

ඔබ ඇදහිය යුත්තේ ඉස්ලාම් දහම මිසක අරාබි සංස්කෘතිය නොවන බව සිහියේ තබා ගන්න. ජුබ්බාව බුර්කාව ආදිය අරාබි සංස්කෘතික ඇඳුම් ය. ඒවා ආගමික ඇඳුම් නොවන බව මතකයේ තබා ගන්න. මේ රටට සුදුසු ඇඳුම් ක්‍රමයක් අපට තිබිය යුතුය. නවීනත්වය සමඟ ඇඳුම් පැළදුම් ආදිය වෙනස් වුණාට අරාබි කළු හබායාවට හුරුවනවාට වඩා මැලේසියානු පන්නයේ ආසියාතික මෝස්තරවලට හැඩගැසීම කාලෝචිතය.

වක්තෘ නබිනායකතුමාණන් දේශනා කෙරුවේ මන්දිර මෙන් විශාල දේවස්ථාන තැනීමට නොවේ. නගරය මැද විශාල දේවස්ථාන තනා ලව්ඩ්ස්පීකරයේ දේව මෙහෙයන් සිදුකරන විට ඒවා සහෝදර ආගමිකයන්ට බාධාවක් බව ඔබට තාමත් වැටහුණේ නැද්ද? අහසට උසට මස්ජිද් නිර්මාණය කිරීමට වැය කරන මුදල් පුස්තකාලයක් නිර්මාණය කිරීමට වැය කරනවා නම් මිනිසුන්ට වඩාත් ප්‍රයෝජනයක් අත්වනවා වගේම සහෝදර ආගමිකයන්ගේ වෛරයට පාත්‍ර වන්නේ ද නැත. ඒවගේම දේවස්ථානය මුස්ලිම් ඔබට පමණක් අයත් රහසිගත ස්ථානයක් නොවන බව ද නැවත මතක් කර දිය යුතුය. නබිනායකතුමාගේ ඉතිහාසය පෙරළා බලන්න. මුස්ලිම් දේවස්ථාන මුස්ලිම් නොවන සහෝදර ජනතාවට ද විවෘත ස්ථානයකි. ඔවුහුද එහි ආ ගිය බව ඉතිහාසය කියයි. අද ඔබේ නොදැනුවත්කම නිසාත් මුස්ලිම් දේවස්ථාන විනිවිදභාවයකින් තොරව පවත්වාගෙන යන නිසාත් මුස්ලිම් දේවස්ථාන පිළිබද සැකයක් සහ බියක් සිංහල ජනයා තුළ නිර්මාණය වී ඇත.

අතීත මුස්ලිම් පරම්පරාව ව්‍යාපාරිකයන් ය. අදත් සෑහෙන පිරිසක් ව්‍යාපාරිකයන් ය (වැඩිම පිරිස පේමන්ට් වෙළෙන්දුය). ඒත් ව්‍යාපාරිකයන් වුණත් වත්මන් පරපුරේ බහුතරය පොහොසතුන් නම් නොවේ. ඒත් ධනවතෙකු මෙන් ඔබ ගෙවන ආඩම්බරකාරී ජීවන රටාව සෙසු සහෝදර ආගමිකයන් තුළ ඊර්ෂ්‍යාව හා තරගය නිර්මාණය කර ඇත. දුක් විඳීමට සිදුව තිබෙන්නෙ ගම්වල ජීවත්වන අහිංසක මුස්ලිම් ජනයාට ය.

සිංහල ජනයා සිතා සිටින්නේ ඔබලා පුදුමාකාර එකමුතුවකින් සිටින බවය. ඒත් මෙවන් පහර කෑමකදී එකතුවන ඔබලා සති දෙකක් ගෙවී ගිය පසු සුපුරුදු ගුරුකුලවාදය ආරම්භ කර තර්ක විතර්ක කරමින් ආගමික කරුණු වෙනුවෙන් මරාගන්නෝ ය. ඒ සඳහා කාලය කැප කරමින් කණ්ඩායම් වශයෙන් බෙදී සිටින ඔබ සමාජයට වන ව්‍යසනයන්ට පිළියම් යෙදීමක් වශයෙන් අතීතයේ තිබූ සිංහල මුස්ලිම් මිත්‍රත්වය ගොඩනැගීමට වෙලාව වෙන් නොකරන්නේ  මන්ද!!! කෙසේ නමුත් දිගන සිදුවීමෙන් පසු ජමියතුල් උලෙමා සභාවේ නායකත්වයට අභියෝගයක් එල්ල වී ඇත. ජමියතුල් උලෙමා සභාව මේ සියලු ප්‍රශ්න උත්සන්න වීමට හේතු වූවා යැයි සාමාන්‍ය මුස්ලිම් ජනයා විවේචනය කරන්නට පටන් ගෙන ඇත. ඒනිසා වහාම ජමියතුල් උලෙමා සභාව ප්‍රතිසංවිධානය විය යුතුය. ඔවුන් මීටත් වඩා සමාජ කාරණා සදහා මැදිහත් විය යුතුය.

ඔබලාට අලුත්ගම ගිංතොට අම්පාර දිගන මෙන්ම සිරියාවත් ප්‍රශ්නයකි. ඒත් ඔබලාට රතුපස්වල ප්‍රශ්නයක් නොවීය. මීතොටමුල්ලත් එසේය. පොදු ප්‍රශ්න ගැන කතා කරන්නේ නැත. ඔබලාට ප්‍රශ්නයක් ආ පසු කලබල වන්නෝ ය. නමුත් පසුගිය කාලය තුළ ඇන්ග්ලිකන් කිතුනු දේවස්ථාන පහරදීම්වලට ලක්වූ අවස්ථාවල මුනිවත රැක්කේ ඇයි?.... දමිළ ජනයාට අසාධාරණ සිදුවන විට කිසිවක් නොකීවේ ඇයි?.... ඇතැම් විටෙක සිංහල ජනයාට අසාධාරණයක් සිදු වුණත් ඔබ නිහඬව සිටියි යන්නෙහි සැකයක් නැත. ඔබ කාට අසාධාරණයක් සිදු වුණත් ඊට එරෙහි වීමට පුරුදු වන්න. ඔබට අසාධාරණයක් වනවිට සියල්ලෝම ඔබ සමඟ පෙළ ගැසෙනු ඇත.

පහුගිය වසර පහ තුළ දේශපාලන න්‍යායපත්‍රයේ අංගයක් ලෙස ප්‍රචණ්ඩ මානසිකත්ව ඇති කිරීමේ පණිවුඩ සමාජ ජාලා තුළින් බෙදා හැරුණු බව ඔබ හොඳින් දන්නේය. නමුත් ඒවා සමනය කිරීමට තවම පිළියම් යොදා නැත. විනාශ වූ දේපල සඳහා වන්දි ඉල්ලා සටන් කළ ඔබ තුවාල කර තිබෙන මිනිස් මනසට ප්‍රතිකාර කිරීමටත් සටන් කළ යුතු බව මතකයේ තබා ගන්න.

අප හැමදාම සටන් කළේ වාර්ගික දේශපාලන පක්ෂවලින් ඔබ මුදවා ගන්නටය. ඒත් ඔබ තාමත් රැවටී සිටින්නේ ඔවුන්ටමය. ඒත් ඔබ කුමන වර්ගයකට හෝ අයත් ඔබේම ගමේ නායකයා සමඟ සිටියේ නම් සිද්ධිය මෙතරම් දුරදිග යෑමට ඔවුන් ඉඩ නොතබනු ඇත.

දැන් ඔබ ආරක්ෂක අංශ අපට සහයෝගය දෙන්නෙ නැතැයි කියමින් සිටියි. ඒත් ඔබ ආරක්ෂක අංශ වෙත යෑමට ඔබේ දරුවාට ඉඩ නොදුන්නේ ඇයිදැයි සිතා බලන්න. කවුරුන් කීවත් ඔබ ඔබේ ආරක්ෂාවට යැයි කියමින් කඩු කිනිසි ලෑස්ති නොකරන්න. එය තවත් තුරුම්පුවක් කරමින් ඔබ සන්නද්ධ වී ඇතැයි නැවත ප්‍රහාර එල්ල කිරීමට පවා අවස්ථාව ඇත.

මෙයද හොඳින් මතකයේ තබා ගන්න. ඔබේ ගමේ සිටින ගම්වාසී සිංහල සහෝදරයා ඔබ ආරක්ෂා කිරීමට වෑයම් දරන්නට ඇත. එහෙත් පිටතින් පැමිණි පිරිස පාලනය කිරීමට ඔවුනට නොහැකි වුණා විය හැකිය. ඒනිසා ඔවුන්ගෙන් ඈත් නොවී ඔවුන් සමඟ තිබෙන සම්බන්ධතාවය ඉදිරියේ දී තවත් ශක්තිමත් කරගන්න.

එමෙන්ම මේ සිදුවීම් දාමය පිටුපස ප්‍රබල ව්‍යාපාරික උවමනාවන් හෝ ආර්ථික උවමනාවන් මෙන්ම දේශපාලනික උවමනාවන්ද තිබිය හැකිය. ආණ්ඩුවට එරෙහිව එල්ලවන විරෝධය යටපත් කරන්නට මෙවැනි සිදුවීම් සිදුවීමට ඉඩදී බලා සිටිනවා විය හැකිය. නැත්තම් තම්බියා ඕනෑවට වඩා නටනවා, තම්බියා මට්ටු කිරීමට ප්‍රබල සිංහල නායකයෙකු අවශ්‍යයි කීමට අනෙක් පාර්ශවයකට අවශ්‍ය වෙනවා විය හැකිය. නැත්තම් ඩයස්පෝරාවේ අවශ්‍යතාවයක් වන්නට ද පුළුවන. ජිනීවාවේ පැවැත්වෙන සමුළුවේදී සිංහලයා තාම සුළු ජාතීන්ට ඉන්න දෙන්නෙ නැතැයි තහවුරු කිරීමට සාධක නිර්මාණය කරනවා විය හැකිය. කෙසේ වුවත් මේ සියල්ල අවබෝධාත්මකව තේරැම් ගෙන වෛරී පසුබිම ඉවතලා මම ශ්‍රී ලාංකිකයෙක්මි යන හැඟීමෙන් ජීවත්විය හැකි සමස්ත සමාජයක් ගොඩනැගීම උදෙසා වගකීමෙන් උර දෙන්න.

►සකීෆ් සාම් තන්වීරි 

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00