2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

උපන් හැටියේ මියගිය මාදුරුඔය අලි නිවුන්නු

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 78

නිවුන්නු ලෝකයේ සිත් පිනවන පුවත් මවන පිරිසක් වෙති. ඒ මිනිස් වර්ගයා සම්බන්ධයෙනි. සත්ත්ව ලෝකයේ නිවුන්නු ගැන විශේෂයෙන් සඳහන් වන්නේ කලාතුරකිනි. වරකට පැටවුන් කිහිප දෙනකු බිහිකිරීම නිවුන් සතුන් ගැන කරන කතාබහට තිතක් තබා තිබේ. එසේ වුවද කලාතුරකින් හෝ සත්ත්ව ලෝකයේ නිවුන්නු ද පුවත් මවති. ලංකාවේත් එවැනි සිද්ධියක් පසුගියදා වර්තා වුණේ මාදුරුඔය ජාතික වන උද්‍යානයේ පනිජ්ජා ඔය ප්‍රදේශයෙනි. එය සිත් පිනවන පුවතක් නම් වුණේ නැත. එහි ඇතින්නියක විසින් බිහිකරනු ලැබූ නිවුන් අලි පැටවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වීම එම සිද්ධියට හේතු පාදක විය. වනජීවී නිලධාරීන් සැකපහළ කරන්නේ මෙම අලි පැටව් දෙදෙනා අඩු මාසයේදී බිහිවීම හේතුවෙන් ඒ අවස්ථාවේදීම මිය යන්නට ඇති බවය.

අම්පාර වනජීවී පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවත් වූ අතර වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා අලි පැටවුන්ගේ  සිරුරු කොටස් කොළඹට යැවීමට ද පියවර ගෙන තිබේ.

“තාම මේ සම්බන්ධ අවසන් තීරණය ලැබී නැහැ. නමුත් බොහෝදුරට මේ අලි පැටවුන් දෙදෙනා නිවුන් පැටවුන් බවට විශ්වාස කරන්න පුළුවන්. මේ පැටවුන් දෙදෙනා එකම වයසේ එකම ස්ථානයකදී මැරී වැටී සිටිද්දී තමයි අපිට මුණගැසුණේ... මීට කලින් ලංකාවේ නිවුන් අලි පැටවුන් ඉපදුණ කියලා වාර්තා වී නැහැ. මේ ලැබුණු අලි පැටවු දෙදෙනාත් අඩු මාසයේදී ඉපදිලා ඉපදෙද්දීම මියගොස් සිටි බවට අපි විශ්වාස කරනවා.” යැයි අම්පාර වනජීවී පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර දේශයට පැවසීය.
පනිජ්ජ ඔය ප්‍රදේශයේ වනජීවී අනු කාර්යාලයේ නිලධාරීන්ට දිනක් මෙම නිවුන් අලි පැටවුන්ගේ සිරුරු දැකගන්නට ලැබුණි. ඔවුහු වහා වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතාට දුරකතනයෙන් මේ සම්බන්ධව දැනුම් දුන්හ. ඇතින්නියන් දෙදෙනෙකුගේ පැටව් මෙසේ එකම වයසේ, එකම ප්‍රමාණයේ විය නොහැක. මේ නිසා පවතින ලක්ෂණ හා පරිසරයේ තත්ත්වයන් අනුව මෙම අලි පැටවුන් දෙදෙනා එකම ඇතින්නියකට දාව උපන් නිවුන් අලි පැටව් දෙදෙනෙකු බව ඔවුන්ගේ විශ්වාසය වී තිබේ.

මේ සම්බන්ධව අපි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ  හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය නන්දන අතපත්තු මහතාගෙන් ද විමසීමක් කළෙමු

“මේ අවස්ථාව ඉතා දුර්ලභ අවස්ථාවක්. ඇතින්නියකට නිවුන් පැටව් හමුවීමේ හැකියාව තියෙනවා. නමුත් බොහෝ විට සිදුවන්නේ නැහැ. සිදුවුණේ පැටවකු පමණක් ජීවත් වී අනෙක් පැටවා මිය යාමේ අවස්ථාව බොහෝම වැඩියි. නිවුන් අලි පැටව් දෙදෙනාටම ජීවත් කරන්නට නම් මිනිස් ආශ්‍රයක් ඇතිව මිනිස් උදව් ඇතිව පැටවුන් බලාගැනීම කළ යුතු වෙනවා. එවැනි අවස්ථාවන් ලංකාවේ වාර්තා වී ඇත්තේ එකම අවස්ථාවක් පමණකි. ඒ මහනුවර රාජධානිය තිබෙන අවධියේදීයි. රජ්ජුරුවන්ගේ රාජකීය ඇත් ගාලේ ඇතින්නියක් පැටව් දෙදෙනකු ප්‍රසූතකරලා තියෙනවා. නමුත් ඒ පැටව් දෙදෙනාගෙන් ද එක් පැටවකු ඉපදෙද්දී මියගොස් තිබුණා. අනෙක් පැටවා ද ටික දවසක් ජීවත්ව මියගොස් තිබුණා. එකල අලි පැටවුන් රැකගැනීම සම්බන්ධව අද තරම් විද්‍යාත්මක දැනුමක් තිබිලා නෑ.”

වෛද්‍ය නන්දන අතපත්තු අලි ඇතුන් සම්බන්ධ බොහෝ දැනුම් සම්භාරයක් ඇති නිලධාරියෙකි. ඇතින්නියක පැටවකු බිහි කරනා අපූරු අවස්ථාව සිය දෙඇසින් දැක බලාගැනීමේ දුර්ලභ අවස්ථාවක් ද ඒ මහතාගේ ජීවිතයේ දී උදාවිය. එයද සිදුවූයේ ඔහුගේ වාහනය අනතුරකට ලක්වී යනඑනමන් නැතිව ඉන්නා විට අලි ගැවසෙන කලාපයකදීය. කරකියා ගත නොහැකිව සිටි ඔහුට කළ හැකි වුණේ ගහක් උඩට නැගීම පමණි. ඒ අවස්ථාවේදී මහ වනයේ මහ රැක ඇතින්නියක අලි පැටවකු බිහි කිරීමේ දුර්ලභ අවස්ථාව හඳ එළියෙත් දැක බලාගන්නට ඔහුට හැකි වී තිබිණි. ඔහු සතුව රැට පෙනෙන දුර බලන කණ්ණාඩියක් ද තිබිණි. මේ නිසා ඒ මඟින් වෛද්‍ය නන්දන අතපත්තු මහතාට මේ අපූරු සිදුවීම හොඳ හැටි දැක බලාගැනීමට හැකියාව ලැබුණි.
“ගැබ්ගත් ඇතින්නකට එක් පැටවකු බිහිකිරීම සුලභ සිදුවීමක් වේ. නමුත් ඉතාම දුර්ලභ අවස්ථාවකදී එක ඇතින්නක පැටව් දෙදෙනකු ප්‍රසූත කරන අවස්ථා සිදුනොවිය හැක්කක් නොවේ. නමුත් එය ඉතා විරල අවස්ථාවක්. ඇතින්නියකගේ ගැබ් කාලය ඉපදෙන පැටවුන් අනුව වෙනස් වෙනස් වෙනවා..” යැයි වෛද්‍ය අතපත්තු මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අනුව ඇතින්නියකට ලැබෙන පැටවා පිරිමි පැටවකු වීමත් ගැහැනු පැටවකු වීමත් සහ ඉපදෙන පිරිමි පැටවා දළ ඇතකු වීමේ ලකුණු පැවසෙන්නේද යන කරුණු මහ ඇතින්නගේ ගැබ් කාලය වෙනස් වේ.‍

ඇතින්නියක මාස විස්සක් විසිතුනක් අතර ගැබ් කාලයකින් පසුව පැටවකු ප්‍රසූත කරයි. සාමාන්‍යයෙන් එය අවුරුදු දෙකකට ආසන්න කාලයකි. සාමාන්‍යයෙන් මාස විසිඑකකදී ගැබ මෝරා පැටවා එළියට එන්නේ ගැහැනු අලි පැටවකු වීමෙනි. උපදින පැටවා ගැහැනු පැටවකු වීමේදී ගැබ් කාලය අඩුය. පිරිමි පැටවකු වීමේදී එය ගැබ් කාලය මාස විසිදෙකක් වේ. ඒ පිරිමි සතා දළ ඇති සතෙකුගේ ලක්ෂණ පෙන්වයි නම් ඇතින්නියකගේ ගැබ් කාලය මාස විසිතුනක් පමණ කාලය ගතවේ. එය බොහෝවිට අවුරුදු දෙකකට බොහෝ කිට්ටුය. 

“ඇතින්නියක ගැබ් ගත්තද ඇය ගැබ්ගෙන බව දැනගන්නට ලැබෙන්නේ ප්‍රසූතියේ අවසන් කාලයේදීයි. බොහෝ විට අවසාන මාස තුන තුළදී දැනගත හැකි වෙනවා. ඇතින්නියක ගැබ් ගෙන අවුරුද්දක් ගතවුවත් ඇය ගැබ්ගෙන ඇතිබවක් පිටතින් පෙනෙන්නේ නැහැ.” යැයි වෛද්‍ය නන්දන අතපත්තු මහතා තවදුරටත් විස්තර කළේය.

ඇතින්නගේ ශරීරයේ පවතින විශාලත්වයත් උදර කුහරයේ පවතින විශාලත්වයත් නිසා එය පිටතට නොපෙනේ. වනජීවීන් පිළිබඳ හසල අත්දැකීම් ඇති වෛද්‍ය නන්දන අතපත්තු මහතාට ඇතින්නගේ ගැබ පරීක්ෂා නොකොට ඇතින්න ගැබ්ගෙන අවුරුද්දක් තුළදී ඒ බව දැනගැනීමේ හැකියාව ඇත. ඒ ඇතින්නගේ තන බුරුලු නිරීක්ෂණය කිරීමෙනි. ඇතින්නකුගේ තන බුරුලු පිහිටා ඇත්තේ ඉදිරි පාද දෙක අතර මැදය. එය කාන්තාවකගේ පියයුරු දෙක සේ යුවළ වශයෙන් පිහිටා ඇත.

මෙම තන බුරුලු ඇතින්න ගැබ්ගෙන අවුරුද්දක් පමණ ගතවෙද්දී ඉදිමෙන්නට පටන් ගනී. ගැබ් කාලය වැඩිවද්දී ඇතින්නගේ තන පුඬු ඉදිරියට නෙරා එයි. එම පුඬු කෙලින් අතට නොව දෙපැත්තට හැරී පිහිටයි. වම් තන පුඬුව වම් අත පැත්තටත් දකුණු තන පුඬුව දකුණු අත පැත්තටත් හැරේ. එය ස්වභාව දහමේ ආර්චර්යයකි. ඉපදෙන අලි පැටවාට ඒ ඒ පැත්තෙන් පැමිණ කිරි බීමේ අවස්ථාව එයින් උදාවේ. මාස දහඅටක් ගතවූ විට තන පුඬු ඉදිමීම වැඩිවේ. ඒ කාලයේදී ඇතින්නගේ දරු ගැබ පිටතට නෙරා ඒමට පටන් ගනී.

“මේ තරමට ගැබ්ගත්තු ඇතින්නකගේ ගමන වෙනස් වෙනවා. සාමාන්‍ය කතාවේදී “අලියෙක් ඇත් ගමනින් ගමන් කරයි” යනුවෙන් කියවෙනවා. ගැබ්ගත් ඇතින්නිය ද ඇත් ගමනින් ගමන් කරනවා. නමුත් ඇයගේ ගමන සිදුවන්නේ ටිකක් හෙමින්. ඇය තම ගැබට කරදරයක් නොවී ඇවිදින්නට පරිස්සම් වෙනවා. මේ කාලයේ ගැබ් ගත් ඇතින්නියක් ජීවිතාරක්ෂාවක දී පමණක් දුවනවා. එසේ නැත්නම් ඇතින්නක් දුවන්නේ නෑ. රංචුවේ අනිකුත් අලින් දුවන්නේත් නෑ. මේ කාලයේ දී අලි රංචුව ඉතාම සහජීවනයෙන් කටයුතු කරනවා. 

නායක ඇතින්න ගැබ්ගත් අලි තරුණියගේ ගැබ පිළිබඳව ඉතා විමසිලිමත් වෙනවා. ගැබ් ගත් ඇතින්නගේ ආහාර පරිභෝජනය වැඩිවෙනවා. මේ අවස්ථාවේ වින්දඹු ඇතින්නියෝ දෙදෙනෙකු ද ගැබ්ගත් ඇතින්නගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. ඒ වින්දඹු අම්මලා ළාබාල තරැණ වියේ පැටව් දමා නොමැති ඇතින්නන් වෙන්නත් පුළුවන්. එසේත් නැත්නම් පෙර මුරයක පැටව් දැමූ අම්මා කෙනෙක් වෙන්නත් පුළුවන්.” වෛද්‍ය නන්දන අතපත්තු වැඩිදුරටත් ඒ සොඳුරු මොහොත ගැන විස්තර කළේය.

මෙම වින්දඹු ඇතින්නියන් දෙදෙනා සැමවිටම ගැබ්ගත් ඇතින්නිය දෙපැත්තෙන් ගමන් කරති. එලෙසින් ඔවුහු ගැබ්ගත් ඇතින්නියට ආරක්ෂාව සපයති. මේ අනුව රංචුවේ ද ගමන් විලාසය හා හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වේ.

දරුගැබ හොඳටම මෝරා ප්‍රසූතිය සිදුවන්නේ විශේෂ ස්ථානයක නම් නොවේ. ඇතින්න රංචුව සමඟ යන ගමන් යයි. ගමන් සෙමින් වුවද ඇතින්න රංචුවෙන් ඈත්නොවේ. බොහෝවිට ඇතින්නට පැටවා බිහිවීම වැඩි වශයෙන් සිදුවන්නේ රාත්‍රී කාලයේදීය. ගැබ්බර වැඩි වී ඇතින්නට ප්‍රසූති වේදනාව දැනෙද්දී ඇතින්න ගමන නවත්වා වෙනස් විදිහේ ශබ්දයක් නගයි. එය අලි රංචුවට කරන අපූරු සංඥාවකි. එවිට ඇත් රංචුව කලබල වේ. නායක ඇතින්න අනිත් රංචුවට නතරවන්නට අණදෙයි. ඔවුහු ගැබ්බර ඇතින්න වටකොට තම විශාල ශරීරයෙන් ආවරණය කරති. ඒ අවස්ථාවේදී වින්දඹු ඇතින්නියන් දෙදෙනා ගැබ්බර ඇතින්නිගේ කුස හොඬවැල්වලින් පිරිමදී. ඇතැම්විට ඔවුන් දෙදෙනාගේ හිස කුසට තබා තද කරයි.

මෙහිදී මුලින්ම බිත්තර සුදුමද ස්‍රාවයට සමාන ආවරණ ස්‍රාවයක් ඇතින්නිගේ යෝනියෙන් පහළට වැක්කෙරෙනවා. පැටවා ඒමට ළඟ බවට කරන පළවැනි ඉඟිය එයයි. මේ වෙලාවේ ගැබ්බර ඇතින්න බිම වැතිරෙන්නේ නැහැ. ඇතින්න පැටව් දමන්නේ හිටගෙනයි. නමුත් සිටගෙන සිටියද ඇතින්න පසුපාද දණින් නමා ඈත්කොට ඇඟ පහළට කරනවා. එය පොළවට ළංවෙනවා. ඇය එසේ සිටගෙන කෑගසමින් පැටවා බිහිකිරීමට උත්සාහ ගන්නවා. එසේ කෑගසද්දී ඊටත් වඩා ශබ්දයකින් අලි රංචුව කෑගසනවා.”

එලෙස මුළු රංචුවම කෑගසමින් අම්මාට උදව් කරයි. ටික වෙලාවකින් ඇතින්නගේ යෝනි මාර්ගයෙන් විශාල වතුර මල්ලක් එළියට එයි. එය කිරි පාටය. එය බැලුන් එකක් සේ දිස්වෙයි. එම මල්ල යෝනි මාර්ගයෙන් එළියට පැමිණ ටික වේලාවකින් මල්ල පැලී මල්ල ඇතුළේ ඇති ස්‍රාවය වැගිරීමට පටන් ගනී. එම ස්‍රාවය සුළුපටු නොවේ. ගැලුම් ගණනාවකි. ඒ ස්‍රාවයත් සමඟ එම පැල්ම තුළින් පුංචි හොඬ කොටසක් එළියට පැමිණේ. අලි පැටවකුට ඇත්තේ කුඩා හොඬවැලකි. හොඬ කොටස එළියට එද්දී අලිපැටවාගේ හිස එළියට පැමිණේ. ඉන්පසුව ඉදිරිපස අත්දෙක එළියට පැමිණේ. වරින්වර අම්මා තෙරපීමක් කරමින් කෑගසයි. ඒ අතර එක්වරම පොඩි පැටවා එළියට පැමිණේ. විශාල පීඩනයකින් එළියට පැමිණෙන පැටවා බිමට එක්වරම වැටේ. අලි අම්මා පැටවා දෙසට හැරී හොඬ දිගුකර දිගාවී සිටින අලිපැටවා පිරිමදියි.

මෙලෙස අමාරුවෙන් ඉපදෙන අලිපැටවුන් විනාශ කරලීම කොයි තරම් නම් පාපයක්ද? වසර දෙකකට ආසන්න කාලයක් ගැබ දරාසිටි ඇතින්න අම්මාගේ නිවුන් දරුපැටව් දෙදෙනා අඩු මාසයෙන් ඉපදී මියයාම කොයිතරම් නම් අවාසනාවක්ද?

►දිශානි ජයමාලි කරුණාරත්න

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00