2018 ජනවාරි 13 වන සෙනසුරාදා

යාල කැලේ සෆාරි යුද්දේ

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 21

වනජීවියේ සැලසුමක් නැති වැඩ නිසා ගැටලු රැසක් - හෝටල් හිමියෝ සහ ජීප්රථ හිමියෝ

කැලේ තියෙන්නේ සතුන්ට. සංචාරකයන්ට නොවේවනජීවී නියාමක සංගම් සභාපති

ශ්‍රී ලංකාවේ ප්‍රකටම වනෝද්‍යානයක් වන යාල මුලින්ම පැවතියේ සුද්දන්ගේ දඩබිමක් වශයෙනි. කොටස් 5කට බෙදා ඇති යාල ජාතික උද්‍යානය විශාලත්වයෙන් හෙක්ටර්යාර් 126786කි. එහි කලාප අංක 1 හා 5 සංචාරකයන්ට වන සතුන් නැරඹීම සඳහා විවෘතය. එය ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කළේ 1938දීය. එහිදී වන සතුන්ගේ ආරක්ෂාව මූලිකව සළකා බැලිණි. ශ්‍රී ලාංකිකයෝ මෙන්ම විදේශිකයන් ද වැඩිපුරම වන සතුන් නැරඹීමට යන්නේ යාලට හෙවත් එහි කලාප අංක 1ටය. මේ නිසා සංචාරක තදබදය වැඩි වී වන සතුන්ට තම නිදහස අහිමි වී ප්‍රදර්ශන භාණ්ඩ බවට පත්වීමට සිදුව තිබේ. ඔවුන්ගේ දෛනික චර්යාව බිඳ වැටීමට පටන්ගෙන ඇත. යාල පලටුපාන ප්‍රදේශයෙන් පමණක් සති අන්ත දිනවල ලබන ආදායම දිනකට රු. ලක්ෂ 30ක් පමණ වේ.

පසුගිය ඔක්තොම්බර් මාසයේදී තිරසාර සංවර්ධන සහ වනජීවී අමාත්‍යංශයෙන් තීරණය කරනු ලැබූවේ යාලට දිනකට ඇතුළුවන සෆාරි රථ සංඛ්‍යාව 300ක් විය යුතු බවය. එම වාහන උදේ වරුවට 150ක් සහ සවස් වරුවට 150ක් වශයෙන් බෙදාගෙන ඇතුළු කරන ලෙස ද උපදෙස් දුන්න ද ජීප් රථ හිමියන් එලෙස ක්‍රියාකළ බව වාර්තා නොවේ. යාලට දිනකට ජීප් රථ 450ක් පමණ ඇතුළු වේ. සමහර දිනවල ඒ සංඛ්‍යාව තවත් ඉහළ යයි. වර්ෂ 2009ට පෙර තිස්සමහාරාම හා කතරගම අවට ක්‍රියාත්මක වුණේ ජීප් රථ 125ක් පමණි. නමුත් අද වනවිට සෆාරි ජීප් රථ 700ක් පමණ ඒ අවට ක්‍රියාත්මක වේ. සමහර ජීප් රථ හිමියන්ට රථ 100ක් පමණ තිබේ.

ජීප් රථ සංඛ්‍යාව සීමා කිරීමත් සමඟ බොහෝ රථවලට වනෝද්‍යානයට ඇතුළුවීමට තහංචි වැටිණි. මේ නිසා රුකියාව අහිමිවීමෙන් රථ හිමියෝ වර්ජනයක් ආරම්භ කළහ. වාහන ඇතුළු කිරීමේ ගැටලුව පසුගිය කාලයේ යාල රත් කරන අවුලක් වී තිබුණි. වනජීවී කටයුතු භාර අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා දැඩිව පැවසුවේ සෆාරි ජීප් රථ සංඛ්‍යාව 300ක් විය යුතු බවයි. ප්‍රදේශය නියෝජනය කරන සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඉල්ලා තිබුණේ ජීප් රථ සංඛ්‍යාව 500ක් දක්වා ඉහළ නැංවිය යුතු බවය. “දවසකට ජීප් රථ 300ක් යාල කලාප අංක 1ට සුදුසු. වනාන්තරය දීර්ඝකාලීනව ආරක්ෂා විය යුතුයි. අගමැතිතුමාත් ඉන්නේ දැඩි ලෙස ඒ ස්ථානයේ. නැත්නම් ගහකොළ, සතා, පරිසරය ඔක්කොම විනාශ වෙනවා. යන වාහන සංඛ්‍යාව වැඩි වුණොත් එක සතෙක් නැරඹීම පිණිස පොරකමින් යන තත්ත්වයක් ඇති වේවි. ”අමාත්‍යවරයා බීබීසී ගුවන් විදුලියට පවසා තිබුණි.

නමුත් පසුගියදා දෛනිකව ඇතුළු කරන රථ සංඛ්‍යාව 600 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ. ඒ ජනාධිපතිවරයා ප්‍රමුඛව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා යන මහත්වරු ද එක්ව පැවැත්වූ සාකච්ඡාවකදීය.

මේ ගැන නවතම පසුබිම දැනගැනීමට අප කතා කළේ තිස්සමහාරාම ස්වාධීන සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ ලේකම් තිළිණ අකලංකටය. ඔහු පවසන පරිදි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියා කලාපය නිසා යාල නැරඹීමට පැමිණෙන සංචාරකයෝ විශාල අපහසුවකට පත්ව සිටිති.

“ජීප් රථ ඇතුළු කිරීමට ඉඩ දීම වගේම තවත් සකස් වියයුතු තැන් රාශියක් තිබෙනවා. සංචාරකයන්ට අපහසුවක් නොවන පරිදි වැඩපිළිවෙළක් සකස් කළ හැකිනම් හොඳයි”

“සංචාරකයන්ට ටිකට්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන් වැරදියි. මුලින්ම අපි පාන්දර 5.00ට පමණ ජීප් රථයේ සංචාරකයන් ද සමඟ ගොස් පලටුපාන ටිකට් කවුන්ටරයෙන් ටෝකන් එකක් ගත යුතුයි. ටිකට් කවුන්ටරය විවෘත කරන්නේ 5.45ටයි. ඒ වනතෙක් සංචාරකයන් ද සමඟ එතැන රස්තියාදු විය යුතුයි. මේ නිසා විදේශ සංචාරකයන් ද කරදරයට පත් වෙනවා.”

සංචාරක සෆාරි කිහිපයක් යාල ක්‍රියාත්මකය. ප්‍රධාන වශයෙන් උදේ 6.00 සිට 10.00 දක්වා, 6.00 සිට 12.00 දක්වා සහ සම්පූර්ණ  දිනය වශයෙන් එම සංචාරක පැකේජ් ක්‍රියාත්මක කෙරේ. සෆාරි රථවලින් නරඹන්නන්ට කැමති පැකේජයක් තෝරා ගැනීමට පුළුවන. මෙම සංචාරකයන් සහිතව උදේ වරුවේ ජීප් 350 – 400ක් පමණ තැන් තැන්වල නවත්වා ටෝකන් ගැනීමට පෙළ ගැසේ. පසුව ටිකට් ගැනීමට වෙනම පෝලිමක් ද පෙළ ගැසේ. සංචාරකයන්ට තම ශරීර අවශ්‍යතා සඳහා එතැන ඇත්තේ එක් වැසිකිළියක් පමණි.

“වනජීවී එකෙන් එතැන ආපන ශාලාවක් කරනවා. රු. 75 – 80 වතුර බෝතලය එතැන විකුණන්නේ ඉතා වැඩි මිලකට. ඒ වගේ තැනක හරිනම් අඩුවෙන් දියයුතුයි. අපි යෝජනා කරන්නේ එන ජීප්වලට ඇතුළුවනවිට ටෝකන් එකක් දී ආපසු එනවිට ප්‍රවේශපත්වලට මුදල් ලබා දීමයි. අපි මේ ගැන කීපවරක්ම ඉල්ලීම් කළත් විසඳුමක් නෑ.”

“වැසිකිලි වගේ පහසුකම් 2009ට කලින් නම් ප්‍රමාණවත්. නමුත් දැන් සංචාරකයෝ වැඩිවෙලා නිසා ඒ පහසුකම් ප්‍රමාණවත් නෑ.” තිළිණ වැඩි දුරටත් කීවේය.

සංචාරක හෝටල් හිමියන් මෙන්ම ජීප් රථ හිමියන් ද ඇඟිල්ල දිගු කරන්නේ වනජීවී නිලධාරීන්ට සහ බලධාරීන්ටය. ඔවුන්ගේ සැලසුමක් නැති වැඩපිළිවෙළ ගැනය. ඒ නිසා අපි වනජීවි නියාමකයන්ගේ සංගමයේ සභාපති වසන්ත පීරිස් ඇමතුවේ එම චෝදනාවලට ලබාදෙන පිළිතුර කුමක්දැයි දැන ගැනීමටයි.

“රටේ ජාතික උද්‍යාන ගැසට් කරලා ඒවා ස්ථාපිත කර තිබෙන්නේ වන ජීවීන්ගේ තිරසාර පැවැත්ම උදෙසායි. සංචාරක කර්මාන්තය කියන්නේ ඒවායේ අතුරු ඵලයක් පමණයි. සංචාරකයන්ට ඉහළට පහසුකම් අවශ්‍යනම් ඉතින් හෝටල්වල සිටිය හැකියිනේ. සතුන්ට නිදහසේ ජීවත් වීම මේවායේ ප්‍රධාන අරමුණයි. මිනිසුන්ට සතුන් නැරඹීමට ඇත්තේ පුංචි ඉඩකඩක්. ඒකත් වනජීවී අධක්ෂ ජනරාල්වරයාට සීමා කිරීමට බලය තිබෙනවා. සංචාරකයන්ට ඇතුළුවීමට බලපත්‍රයක් දීමේ බලය තිබෙන්නේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට. කොටියා, වලහා සහ අලියා පහසුවෙන් දැක ගැනීමට හැකි වනාන්තරයක් නිසා යාලට දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් ද විශාල වශයෙන් එන බව ඇත්ත.

ජීප් රථ සීමා කිරීමටත් හේතු වුණේ වන සතුන්ගේ ආරක්ෂාවටයි. කොටියා ගහකට නැග සිටිනවිට ගහ වටේටම ජීප් රථ නවත්වනවා. ඌට ගහෙන් බැහැලා වතුර ටිකක් බොන්න යන්න විදිහක් නෑ. වන සතුන් අන්ත අසරණ වෙනවා. උන්ගේ පැවැත්ම අනතුරේ. මේ නිසයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඒවා කළමනාකරණය කිරීමට සිදු වුණේ. ජීප් රථ හිමියන්ගේ රැකියාව සෆාරි යාම තමයි. නමුත් අවාසනාවකට ඔවුන්ට මේ නිසා සිදුවන විනාශය පේන්නේ නැහැ.” ඔහු විස්තර ක‍ළේය.

සමහර ජීප් රථ රියදුරන්ගේ අධික වේගය, නොසැලකිලිමත් ධාවනය නිසා කොටි ඇතුළු වන සතුන් පවා මියගිය බව පසුගිය කාලයේ වාර්තා වුණි. සතුන් හැපී මියයාම වැළැක්වීම සඳහා බම්පර් දැමූ අතර එමගින් වාහන නැවැත්වීමේදී නිකුත් වන දුම අධික වීම නිසා විශාල පරිසර හානියක් සිදුවන බවට ද ඔප්පු වී තිබේ. වනජීවී සංරක්ෂණ අමාත්‍යවරයාගේ තීරණය පසුබා ගොස් වෙනත් දේශපාලන හස්ත ක්‍රියාත්මක වෙමින් ජීප් රථ සංඛ්‍යාව ඉහළ නංවා තිබේ.

“පසුගිය කාලයේ දෙසැම්බර් මාසෙට පමණක් ජීප් රථ 500 බැගින් ඇතුළු කිරීමට තීරණය වුණා. අපි ඒකට එකඟයි. කලින් දින වෙන් කරගත් සංචාරකයන් එහෙමත් සිටින නිසා. නමුත් ඊට පසු ජනාධිපතිවරයාගේ නිර්දේශ මත ජීප් රථ සංඛ්‍යාව 600 දක්වා වැඩි කරලා. සංචාරකයන් අපහසුවට පත්වීම නිසා එම තීරණය ගත් බවයි පැවසුණේ. දරාගත හැකි සීමාවක් තිබෙනවා. ගරු ජනාධිපතිතුමා ගත් තීන්දුව නිසා යාල වනෝද්‍යානයට හානියක් වන බවයි අපේ හැඟීම. අපි ලිඛිතව කඩිනම් සාකච්ඡාවක් දෙන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන කරුණු දැක්වීමට. අපි හිතනවා පරිසරයට ආදරය කරන ජනාධිපතිවරයෙක් විදිහට එතුමා සාකච්ඡාවට අවස්ථාවක් දේවි කියලා.” වසන්ත පීරිස් කීවේය.

රටේ සංචාරක කර්මාන්තය වැඩි දියුණු විය යුතු බවද සැබෑය. ඒ අතරට වන සතුන් ද ආරක්ෂා විය යුතුය. මේ නිසා අපට මේ පෙනෙන්නේ යාල ජාතික වනෝද්‍යානය ගැන පමණක්ම ප්‍රචාරණය නොකර එයට යාබදව පවතින එම සතුන්ව නැරඹිය හැකි යාල කලාප අංක 5, වෙහෙරගල සහ ලුණුගම්වෙහෙර වැනි ප්‍රදේශවල ද සංචාරය කිරීමට දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් ද පොළඹවන වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතු බවයි. ඒ සඳහා බලධාරීන් විසින් පෞද්ගලික අංශය ද ඒකාබද්ධ කරගෙන සැලසුම් සහගත වැඩසටහනක්  ක්‍රියාත්මක කළ යුතු වේ. එවිට යාල ජීප් රථ තදබදය අඩු වීමද සිදුවේ. ඒ අතර සංචාරකයන්ට අවශ්‍ය අවම පහසුකම් සැපයීම ද ප්‍රවේශපත් නිකුත් කිරීමේ ක්‍රමවත් වැඩසටහනක් ඉදිරිපත් කිරීමට ද අවශ්‍ය වේ.

♦ කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ - රුක්මන් රත්නායක

 

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00