2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

පුංචි ඡන්දයට අංචි ඇදිල්ල

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 115

I මැතිවරණ ප්‍රතිඵල ගැන තවම ජනමත සමීක්ෂණ වාර්තාවක් නෑ
I 25%ක කාන්තා නියෝජනය අනිවාර්යයි

පිච් එක ලැහැස්ති වූ සැණින් මැච් එක පටන් ගන්න හැදුවා පමණි, මැකොට එල්ල වූ ට්‍රයල් පන්දුවම යෝකරයකි. එයින් දැඩි සේ කලකිරීමකට පත්වූ මැකො මාධ්‍යයට කීවේ “කියන්නට කිසිවක් නැත, කලකිරීමක් පමණක් ඇත” යනුවෙනි. කොමිසමේ සභාපතිවරයා එසේ කීවේ තෙවසරකට ආසන්න කාලයක් ප්‍රමාද වී තිබෙන පළාත් පාලන ආයතන මැතිවරණය අධිකරණ නියෝගයක් නිසා තවදුරටත් කල්යෑම හේතුවෙනි. දැනට කල්දමා තිබෙන පළාත් පාලන ඡන්දය මුලින්ම පැවැත්වීමට නියමිත වූයේ 2013 ජනවාරි මාසයේදීය. ඒ මඩකලපුව දිස්ත්‍රික්කයේ ආයතන 09කට අදාළ ඡන්දයි. නමුත් ඒ වනවිටත් 2012 අංක 22 දරන පනත සම්මත වී තිබූ බැවින් කොට්ඨාස ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්විය යුතුවිය. පනත සම්මත වී තිබුණද මැතිවරණය පැවැත්වීමට සීමා නීර්ණය සිදුකර නොතිබුණි. එනිසා ඡන්දය පැවැත්වීමේ හැකියාවක් කොමිසමට නොවීය. මේ වනවිට එම ආයතන 9 ඡන්දය නොපවත්වා අවුරැදු 5 ක් ගතවී ඇත.

කොට්ඨාස ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට අත්‍යවශ්‍ය සීමා නීර්ණය කටයුතු සඳහා 2013 නොවැම්බර් මස ජයලත් රවි දිසානායක කමිටුව පත් කෙරිණි. කමිටු කාලය අතරවාරයේ වවුනියාව, යාපනය ඇතුළු පළාත් පාලන ආයතන ගණනාවක කාලය අවසන් වෙමින් තිබුණි. එහෙත් කලින් ආණ්ඩුවේ බලය අහිමි වනතුරු ජයලත්-රවි කමිටු වාර්තාව සභාගත වූයේ නැත. පසුව ජයලත්-රවි කමිටු සීමා නීර්ණය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා නිසා වර්තමාන පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා නැවතත් සීමා නීර්ණය කිරීම සඳහා අශෝක පීරිස් කමිටුව පත්කළේ 2015 නොවැම්බර් මසය. 2015 අවසානයේ පළාත් පාලන ආයතන දෙසීයයකට වැඩි ගණනක කාලය අවසන් වූ අතර ආයතන කිහිපයක පමණක් කාලය දීර්ඝ කෙරුණි. 

ඒ අතර 2016 අංක 01 දරන නව පනතක් සම්මත වී 25% කාන්තා නියෝජනය අනිවාර්ය කෙරිණි. එහෙත් එය කළ යුතු වූයේ දැනට සිටින සභික සංඛ්‍යාව අඩු නොකරය. එලෙස සංශෝධනය වන සභික සංඛ්‍යාව විෂය භාර අමාත්‍යවරයා විසින් අප්‍රේල් මස දක්වා ප්‍රමාද කර ගැසට් කළත් එය බලාත්මක කළේ ජූලි මසය. නමුත් ජූනි මස 29 වැනිදා නැවත ගැසට් නිවේදනයක් නිකුත් කරන විෂය භාර මුස්තාපා අමාත්‍යවරයා එය බලාත්මක වන්නේ ඔක්තෝම්බර් පළමුවැනිදා සිට බව සඳහන් කළේය. 

2015 නොවැම්බර් මස පත්කළ අශෝක පීරිස් කමිටුවේ සීමා නීර්ණය මාස තුනකින් අවසන් කළ හැකි යැයි කීව ද එහි කටයුතු අවසන් වූයේ 2017 ජනවාරි මාසයේය. කමිටුවේ කටයුතු අවසන් වුවත් අමාත්‍යවරයා එම ගැසට් නිවේදනය නිකුත් කිරීම පෙබරවාරි 17 දක්වා ප්‍රමාද කළේය. ඒ අතරම සම්මත වී තිබූ මැතිවරණ පනතේ දෝෂ ඇති බවත් ඒවා නිවැරදි විය යුතු යැයි 2013 වසරේ සිටම මැතිවරණ කොමිසම විසින් අවස්ථා ගණනක දී ලිඛිතව පෙන්වා දී තිබුණි. සීමා නීර්ණය අවසන් වීමෙන් අනතුරුව 2013 සිට මැතිවරණ කොමිසම පෙන්වා දුන් තාක්ෂණික දෝෂ නිවැරැදි කිරීමේ කාර්යයට අත තබන පළාත් පාලන අමාත්‍යංශය තවත් මාස තුනක් ගත කර 2017 අගෝස්තු දක්වා මැතිවරණය ප්‍රමාද කළේය. දේශපාලකයන්ගේ කඹ ඇදිල්ල නිසා ප්‍රමාද වූ මැතිවරණයේ අවසාන බාධාව වශයෙන් ප්‍රාදේශීය සභා, නගර සහා හා මහනගර සභා ආඥාපනත් තුනම සියලු පක්ෂවල සහයෝගය ඇතුව සංශෝධනය කෙරුණි. අනතුරුව සභික සංඛ්‍යාව සහිත ගැසට් පතට අමාත්‍යවරයා අත්සන් තැබුවේ 2017 ඔක්තෝබර් මස අවසානයේය.

2016 දෙසැම්බර් 31 සිට කිසිදු පළාත් පාලන සභාවක් ක්‍රියාත්මක නොවන අතර ඒවා නිලධාරී පාලනය යටතේ පවතී. පළාත් පාලන අමාත්‍යංශයට භාරවූ තාක්ෂණික, නෛතික හා ප්‍රතිපත්තිමය කාරණා සියල්ල අවසන් වූ පසු ඉදිරි කාර්යයන් මැතිවරණ කොමිසමට භාරවිය. මැතිවරණය ප්‍රකාශ කර ඊළඟ ජනවාරි අග ඡන්දය පැවැත්වීමට අදාළ කාර්යයන් කොමිසම සූදානම් කළේය. නමුත් සීමා නීර්ණ ගැසට් පත්‍රයට අභියාචනා අධිකරණය විසින් දෙසැම්බර් 04තෙක් වාරණ නියෝගයක් නිකුත් කළේ ඒ අතරවාරයේය. ඒ ප්‍රදේශ කිහිපයක ඡන්දදායකයන් විසින් ඉදිරිපත් කළ පෙත්සම් හයක් හේතුවෙනි. පසුව අනාවරණය වූයේ එම පෙත්සම්කරුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිලේ හිතවතුන් බවත් මැතිවරණය කල්දැමීමේ වුවමනාවෙන් කරන ලද උපක්‍රමයක් බවත්ය. එම පෙත්සම් සම්බන්ධයෙන් ඇති වූ ප්‍රතිවිරෝධතා සමඟ පෙත්සම් ඉල්ලා අස්කරවා ගැනීමේ තැනකට පසුබැසීමට ඡන්ද කල්දමන්නන්ට සිදුව තිබේ.‍ 

අධිකරණ වාරණය අතරතුර නීතීමය බාධාවක් නැති ආයතන 93ක පමණක් නාම යෝජනා කැඳවා ඡන්දය පැවැත්වීමට කොමිසම කටයුතු කරමින් සිටියි. එමෙන්ම තවත් ආයතන 40ක ගැසට් පත්‍රයේ ඇති මුද්‍රණ දෝෂ නිවැරදි කළ පසු ඡන්දය පැවැත්විය හැකි බව ද කොමිසම පවසයි.

මහජනතාව, මාධ්‍යය හා විපක්ෂයෙන් එල්ල වූ පීඩනය හේතුවෙන් මැතිවරණය කල්දැමීමේ වැඩසටහන නවතා දැමීමට ආණ්ඩුවට සිදුවී තිබේ. එබැවින් සියලු පළාත් පාලන ආයතනවල මැතිවරණ එකවර 2018 ජනවාරි අවසානයේ හෝ පෙබරවාරි මුල පැවැත්වීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි. ප්‍රථමවරට මිශ්‍ර කොට්ඨාස ක්‍රමයට පවත්වන පළාත් පාලන ආයතන මැතිවරණයේ 25%ක කාන්තා නියෝජනය අනිවාර්ය කර ඇත. මහනගර සභා 24ක්, නගර සභා 41ක් හා ප්‍රාදේශීය සභා 276ක් ඇතුළුව ආයතන 341කට සභිකයන් 8356ක් තෝරාගැනීමට මෙවර ඡන්දය පවත්වනු ලැබේ. දේශපාලන පක්ෂ වශයෙන් හෝ ස්වාධීන කණ්ඩායම් ලෙස තරග කිරීමේ අවස්ථාවද හිමිවන අතර කොට්ඨාසයක් ජගයග්‍රහණය කරන පක්ෂය හෝ කණ්ඩායමට ධූරයක් හිමි වේ. එමෙන්ම එම කණ්ඩායම හෝ පක්ෂය ලබා ගන්නා ඡන්ද ප්‍රතිශතයට අනුව ලැයිස්තු ධූර හිමි වෙයි. වැඩි විශ්වාසයක් ලබාගන්නා පක්ෂය හෝ කණ්ඩායමට ආයතනයේ බලය සතුවෙයි.

2015ට පෙර සෑම වසරක කිසියම් හෝ මැතිවරණයක් පැවතිණි. 2015 මහ මැතිවරණයෙන් වසර තුනකට පසුව පැවැත්වීමට සූදානම් වන මේ මැතිවරණය 2011 සිට හත් වසරකට පසුව පවත්වන ප්‍රථම පළාත් පාලන ආයතන මැතිවරණයයි. අවසන් වරට 2011දී පැවැත්වූ පළාත් පාලන ආයතන 235ක් සඳහා වූ මැතිවරණයෙන් ආයතන ආයතන 205 බලය එක්සත් ජනතා නිදහස් සන්ධානය ද ආයතන 9ක බලය එක්සත් ජාතික පක්ෂය ද දෙමළ ජාතික සන්ධානය ආයතන 12ක බලය හා ආයතන 4ක බලය මුස්ලිම් කොංග්‍රසයත් හිමිකරගනිද්දී ජනතා කොංග්‍රසය, කඳුරට ජනතා පෙරමුණ හා ස්වාධීන කණ්ඩායම් අතර ආයතන හතරක බලය බෙදී ගියේය. නමුත් මෙවර මැතිවරණය වෙනස් මුහුණුවරක් ගනු ඇත්තේ මැතිවරණය නව මිශ්‍ර ක්‍රමයට පැවැත්වෙන නිසාත් සිදුව තිබෙන දේශපාලන පරිවර්තනය නිසාත්ය.

මෙවර පළාත් පාලන ආයතන මැතිවරණයේ ප්‍රබල සටනක් එක්සත් ජාතික පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ අතර දැකිය හැකිය. උතුරේ වැඩි බලතල දෙමළ ජාතික සන්ධානයට හිමිවන බැවින් ද එම සන්ධානය උතුරු නැගෙනහිරෙන් පිට පළාත්වල තරග නොකරන බැවින් ද සැලකිය යුතු උණුසුම් තත්වයක් එහි ඇති නොවනු ඇතැයි සිතිය හැකිය. නමුත් උතුරු මැද, වයඹ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ හා ඌව පළාත්වල බලයේ සිටින පක්ෂ දෙක මෙන්ම විපක්ෂයේ අසුන්ගෙන සිටින ඒකාබද්ධය හා ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂ අතර තියුණු තරගයක් දැකිය හැකිය. ඒ හැර වෙනත් පක්ෂයක් මෙම පළාත්වල තරග කිරීමේ සූදානමක් මේ වනතුරුත් පෙනෙන්නට නැත.

මෙවර මැතිවරණ ප්‍රතිඵලය කෙසේ වනු ඇත්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් ජනමත සමීක්ෂණ වාර්තාවක් නිකුත්වී නැත. නමුත් ජාතික දේශපාලන තත්ත්වය බලනවිට පෙනී යන්නේ අලියා ලකුණින් තරග කරන එක්සත් ජාතික පෙරමුණ හා පොහොට්ටුව ලකුණින් තරග කරන පොදුජන පෙරමුණ අතර ප්‍රබල සටනක් තිබිය හැකි බව පෙනෙන්නට තිබේ. අත ලකුණින් තරග කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබී තිබෙන බලයට සාපේක්ෂව විශාල වශයෙන් පසුබැසීමක් ගෙනදීමට ඉඩ ඇති අතර සීනුව ලකුණින් තරග කරන ජනතා විමුක්ති පෙරමුණ නොසිතූ ජයග්‍රහණයක් අත්කරගැනීමේ වැඩි ඉඩක් ඇත. තව සති දෙකකින් පමණ කරළියට ඒමට නියමිත පුංචි ඡන්ද වේදිකාව කවරදාකටවත් වඩා වැඩි උණුසුම්කාරී තත්ත්වයක් මෙවර ගනු ඇත්තේ මේ පසුබිම හේතුවෙනි. ඒ සඳහා පක්ෂ අතර තිබෙන කරට කර තරගකාරීත්වය මෙන්ම පක්ෂ විපක්ෂ අතර වාද විවාද, චෝදනා විවේචන එල්ලවීම සඳහා විවිධ මාතෘකා තිබීමත් බලපානු ඇත. එමෙන්ම ඒ ඒ පක්ෂ කළ කී දෑ කියමින් සමත්කම් අසමත්කම් ඔප්පු කිරීමට උත්සාහ කරනු ඇත.‍

 

I සටහන - සකීෆ් සාම් තන්වීරි

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00