2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

ඩිජිටල් පරපුරට සිංහල අරහං

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 55

මහාචාර්ය ජේ.බී. දිසානායක

මහාචාර්ය ජේ.බී. දිසානායක සිංහල භාෂාවේ වෙනස්වීම් ගැන නිරන්තර අවධානයෙන් සිටින විද්වතෙකි. ඔහු ව්‍යාකරණ පොදු ජනතාව අතරට ගෙනයාමට විශාල මෙහෙයක් ඉටුකළේය. සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසියෙන් ද ලේඛනයේ නිරත මහාචාර්ය ජේ.බී. තම කෘති සහ භාෂාව ගැන අප සමඟ අදහස් දැක්වූයේ මෙලෙසිනි.

ඔබේ නවතම කෘතිය ගැන අපට පැවසුවහොත්?

මම මුලින්ම ලිව්වේ නූතන සිංහල ලේඛන ව්‍යාකරණය - අක්ෂර විචාරය කියන පොත 1970 දශකයේදී. දැන් ලියාගෙන යනවා එහි දෙවැනි කාණ්ඩය නූතන සිංහල ලේඛන ව්‍යාකරණය - පද විචාරය කියලා.

මේ කෘතියේ අන්තර්ගතය කිව්වොත්?

පද හැදෙන ආකාරය ගැන තමයි මෙහි මූලික වශයෙන් විස්තර වන්නේ. නමුත් පද සමඟ වාක්‍යත් කියලා දීමට මට අවශ්‍ය වී තිබෙනවා. හුඟදෙනෙක් දන්නෙ නැහැ මිනිස්සු, මිනිසුන්, මිනිසෙක් වගේ පද හරියට යොදන්නෙ කොහොමද කියලා. වික්‍රමසිංහ, සරච්චන්ද්‍ර වගේ අපගේ විශිෂ්ටයන්ගේ පොත්පත් ඇසුරු කරමින් උදාහරණ අරගෙන මේ පොත ලියනවා.

ව්‍යාකරණ සරලව හැඳින්වූවොත්?

ව්‍යාකරණ කියල කියන්නේ භාෂාවක් පරිහරණය කිරීමේදී අපි අනුගමනය කරන රටාව. දැන් අපි මේ කතා කරන්නෙත් ව්‍යාකරණානුකූලවයි. නැත්නම් අපි කතා කරන දේ තව කෙනෙකුට තේරෙන්නෙ නෑ. ඇඟේ හුස්ම තියනවා වගේ භාෂාවේ ව්‍යාකරණ තියනවා. නමුත් සිංහලයේ කතා කිරීමට එක් ව්‍යාකරණයකුත් ලිවීමට එක් ව්‍යාකරණයකුත් තිබෙනවා. ප්‍රශ්න ඇති වන්නේ අන්න එතැනින්. හැබැයි ලියන එකේ තියෙන්නෙ තරමක් අමාරු කෘත්‍රිම ව්‍යාකරණයක්. ඒක හරියට ඉගෙනගත්තෙ නැත්නම් වරද්දනවා.

දැන් ව්‍යාකරණ වැරැද්දීම මෝස්තරයක් වෙලා වගේ පේනවා නේද?

ඔව්. නිතරම රෑපවාහිනියේ, පත්තරවල, අලුත් දැන්වීම්වල තියන වාක්‍ය වැරදියි. “දරුවන් උගනියි”, “ලේඛකයන් කියයි”, “දේශපාලනඥයන් කියයි” වගේ වැරදි ශීර්ෂපාඨ බහුලයි. ඒකට හේතුව ඒවා ලියන අය මේ සරල ව්‍යාකරණ පවා ඉගෙනගෙන නෑ. ඇත්තටම පහේ පන්තියට එනකම් තියන ව්‍යාකරණ රටාව හරියට ඉගෙනගත්තා නම් හයේ පන්තියෙන් පස්සේ එතරම් ඉගෙනගන්න දෙයක් නෑ.

ඔබ ව්‍යාකරණ ග්‍රන්ථවලට අමතරව සාමාන්‍ය ජනතාව අතරට භාෂා රටා හඳුන්වාදීමටත්, සංස්කෘතිකාංග හඳුන්වාදීමටත් කෘති කිහිපයක් ලියා තිබෙනවා නේද?

ඔව්. මම මුලින්ම “බසක මහිම” කියලා පොත් කාණ්ඩ 11 ක් ලිව්වා. ඒ සමඟම අපේ රටේ තියන වටිනාම සිද්ධස්ථාන ගැන “රටක මහිම” කියලා පොත් පෙළක් ලිව්වා. රිදී විහාරය, මුල්කිරිගල, කැලණි විහාරය, දෙගල්දොරුව, තන්තිරිමලේ, දළදා මාලිගාව වගේ කෘති රාශියක් ලියා තිබෙනවා. බසක මහිම පොත් පෙළ වෙනුවට මම ළඟදි “සිංහල රීතිය” කියලා පොත් 9ක් පළකර තිබෙනවා. රටක මහිම පොත් පෙළත් මේ දිනවල අලුතින් සංස්කරණය කර පළකරමින් සිටිනවා. අලුතින් ඉසුරුමුණිය ගැනත් පොතක් මේ පොත් පෙළට එකතු කළා.

රටක මහිම පොත්වල යොදාගෙන තිබෙන්නෙ කතා කරන භාෂාව නේද?

ඔව්. බසක මහිම ලියන්නේ ලියන සිංහලෙන් වුවත් රටක මහිම පොත් ලියා තිබෙන්නේ වන්දනාකරුවන් ඉලක්ක කරගෙන. ඒ නිසා ඔවුන්ට තේරෙන විදිහට සරලව කතා කරන සිංහලෙන් ලිව්වා. පොත කියවන පාඨකයාට තමා වන්දනා නඩයේ ඉන්න ගමන් සිද්ධස්ථානය වැඳපුදා ගන්නා බව හැඟෙනවා. ඒ වගේම පුංචි ළමයින් වෙනුවෙන් ගායනා කරමින් පද ඉගෙන ගැනීමට අකුරු මිහිර පොත් පෙළ ලිව්වා. හුඟදෙනෙක් සිංහල හෝඩියේ අකාරාදි පිළිවෙළ දන්නෙ නෑ. ඒ ගැනත් අවබෝධයක් ලබාදීමට මම ඉන් උත්සාහ කළා. මම නිතරම ලියන විට පාඨකයන් ගැන හිතලා ඔවුන්ට ගැලපෙන ලෙස භාෂාවත් වෙනස් කරනවා. වස්තු විෂයත් වෙනස් කරනවා.

ඔබ සිංහල භාෂාව අනවශ්‍ය විදිහට සරල කරන බවට සමහරු විවේචන එල්ල කරනවා නේද?

සාර්ථක සන්නිවේදකයන් වෙන්න නම් අපි කියන දෙය අහන කියවන අයට පහසුවෙන් තේරුම්ගත හැකිවිය යුතුයි. මම හොඳ සිංහලෙන් කියන දේ බලුබල්ලෙකුටවත් තේරෙන්නෙ නැත්නම් වැඩක් නෑනේ. පණ්ඩිතයන් කිව්වට නොතේරෙන සිංහල භාවිතය වෙනුවට සාර්ථක සන්නිවේදනයක් කිරීම තමයි, අවශ්‍ය.

අද තරුණ පරපුර නිවැරදි සිංහල භාෂා අධ්‍යයනයට උනන්දුවක් නැති බවක් පේනවා නේද?

අලුතින් හැදෙන ඩිජිටල් පරම්පරාවේ දරුවෝ කලින් පරම්පරාවේ දරැවන්ට වඩා වෙනස්. ඔවුන් අලුතින් පාවිච්චි කරන ටැබ්ලට්, ලැප්ටොප් වගේ උපකරණවලින් 90%ක් වැඩ ගන්න වෙන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ නිසා ඉංග්‍රීසි භාෂාව ගැන දැනුමක් ලබාගැනීමටයි ඔවුන් කැමති. ඒ හින්දා ඔවුන් ඉංග්‍රීසි ගැන වැඩි අවධානයක් යොමුකරන්නේ ඒකෙන් වැඩිපුර වැඩක් ගතහැකි නිසයි. සිංහල නරක නිසා නොවෙයි. ඒ අතරම සිංහල ඉගෙනගත්තත් ඒකෙන් තමන්ට වැඩක් ගත නොහැකි බවයි ඔවුන්ගේ හැඟීම. ඒ නිසා මධ්‍යම පන්තික නාගරික දරුවෝ අද වැඩිපුරම ඉගෙනගන්නේ ඉංග්‍රීසි. ඒක වළක්වන්න බෑ.

මේකට හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද?

ඇත්තටම සමහර දරුවන් සිංහල ඉගෙනගන්න අකමැති වීම දෙමාපියන්ටත් ප්‍රශ්නයක් වෙලා. බොහෝවිට දරුවන්ට ප්‍රායෝගිකව භාවිතවන සිංහල ඉගැන්විය යුතුයි. උගන්වන බොහෝ සිංහල සමාජයේ භාවිත වන්නේ නැහැ. සිංහල පන්තියේදී තවමත් උගන්වන්නේ ඇටුවම් බැහැපු පරණ සිංහල. තෝ, තොපි, තී, තොපි, කියන මධ්‍යම පුරුෂ නාමපද තවමත් උගන්වනවා. මේවා උගන්වන්නේ ඇයි? කවුද පාවිච්චි කරන්නේ? මම කියන්නේ “ඔබ” කියන එක උගන්වන්න කියලා. නමුත් ඒක පාසල් පොත්වල නෑ. මම කියන්නේ ව්‍යාකරණ නාමයෙන් යල්පැනගිය නිසරු දේවල් උගන්වන්න එපා කියලයි.

අද විද්‍යුත් මාධ්‍යවල භාෂාව භාවිතය ඔබ දකින්නේ කෙසේද?

රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකාවල මුලින්ම ප්‍රවෘත්ති විකාශය කළේ ලියන භාෂාවෙන්. පසුව ඒක කතා කරන භාෂාවට මාරුවුණා. අද නම් ලියන භාෂාවයි කතා කරන භාෂාවයි දෙකම පැටලිලා බව පේනවා. ඒ වගේම ප්‍රචාරණ දැන්වීම්වලින් විශාල භාෂා හානියක් වෙනවා. ඔවුන් හොඳ අදහස් ඉදිරිපත් කරනවා. නමුත් දැන්වීම්කරුවන්ගේ බස ගැන දැනුම අඩු නිසා බොහෝ වාක්‍ය වැරදියි.

ජනමාධ්‍ය පාඨමාලා රාශියක් අද විශ්වවිද්‍යාලවල පැවැත්වෙනවා? 

ඔව්. ඒවායේදී භාෂා භාවිතය උගන්වනවා. සිසුන් විභාගයේදී නම් හරියට ලියනවා. නමුත් එළියට ගිහින් භාවිත කරද්දී වැරදියට ලියනවා. 

 කුසුම්සිරි
   සේයාරුව : සුමුදු හේවාපතිරණ

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00