2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

මාරයි.. බහින්න ඕනෑ තෙල් මිල නග්ගලා

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 172

මෙන්න IOC කෙරුවාව...

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සිය ඉන්ධන අලෙවි මිල ගණන් වැඩි කරන බව නොබෝදා ප‍්‍රකාශයට පත් කළේය. එය අනතුරු ඇඟවීමකි. එයට හේතුවක් ඇත. ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිල ගණන් තාවකාලිකව ඉහළ යමින් තිබේ. එය සැලකිල්ලට ගත් ඉන්දීය සමාගම තෙල් මිල වැඩි කළ යුතු බව දක්වන බව පැහැදිලිය. වසර පහළොවකට කලින් මෙරට ඛනිජ තෙල් වෙළඳාම ආරම්භ කළ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ජාත්‍යන්තර ඉන්ධන වෙළඳ පොළ හැසිරීම අනුව තීන්දු ගනිමින් සිටී. බොර තෙල් මිල වැඩි වන අතර මෙරට මෙහෙයුම් වල දී ව්‍යාපාරය අවාසිදායක තැනට පත් වනවිට මිල වැඩි කරනු හැර අන් මගක් නැත. ලෝක වෙළෙඳ පොළේ මිල වැඩිවීම සහ ආණ්ඩුවට ගෙවිය යුතු බදු මිල නැංවීමේ තීරණයට පසුබිම් වී ඇත.

ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාව මෙරට තෙල් අලෙවියේ වැඩිම බලපෑමක් හිමිය. ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ගැන සංස්ථාව නිහඬය. එයට හේතුව කුමක්ද? ලංකා තෙල් සංස්ථාවට වෙළෙඳ පොළ මිල අනුව තෙල් අලෙවි කරන තීරණ ගැනීමේ හැකියාවක් නැත. එය තීරණය කරන්නේ ආණ්ඩුවයි. දේශපාලන ප‍්‍රතිපත්ති එයට පදනම් වන අතර පවතින තෙල් මිල ගණන් තව දුරටත් නොවෙනස්ව පවත්වාගෙන යාමට ආණ්ඩුව තීරණය කරනු නිසැකය. එම තීරණය ගැනෙන්නේ පාරිභෝගිකයන්ට සහන සැලසීම අරමුණු කරගෙන බව ප‍්‍රකාශ කරන්නට ද ඉඩ තිබේ.

තෙල් මිල වැඩි නොකරන තීරණයෙන් තාවකාලිකව නමුත් තෙල් සංස්ථාව පාඩු ලබන්නට ඉඩ තිබේ. ජනතාවගේ මනාපය හැර රාජ්‍ය ව්‍යවසාය වල පැවැත්ම නොසලකන ආණ්ඩුවට එය ප‍්‍රශ්නයක් නොවේ. මෑත කාලය තුළ ඛනිජ තෙල් සංස්ථාව සම්බන්ධයන් අනාවරණය වූ කරුණු මතුකරන අන්දමට මෙම ක්ෂේත‍්‍රය ඉතාම නාස්තිකාර, ඵලදායීතාවයෙන් තොර තැනකි. දූෂණය ද බරපතළය. විදුලිය බල මණ්ඩලයට පමණක් නොව වෙනත් ආයතන  වලට ද ණයට නිකුත් කළ ඉන්ධන වල මුදල් අය කරගත නොහැකිව සිටින අතර දිගින් දිගටම පවතින ණය අයිරාවලට ගෙවන පොලිය අති විශාලය. රට තුළ අලෙවිකරන ඉන්ධන වලට මෙම පිරිවැය ද ඇතුළත් බව සඳහන් කරන්නට අවශ්‍යය.

වත්මන් ආණ්ඩුවට ඉදිරි මාස තුන හතර ඉතාමත් තීරණාත්මකය. ජීවන වියදම පාලනය සඳහා උපරිම උත්සාහයක යෙදෙනු නිසැකය. ගෑස් සමාගම්වල ඉල්ලීම අනුව ගෑස් මිල වැඩි කරන්නට අවසර දුන් නමුත් තෙල් සමාගම්වල ඉල්ලීම අනුව තෙල් මිල වැඩි කළහොත් දැන් පවතින ජීවන වියදම පාලනය කළ නොහැකි වේගයකින් ඉහළ යා හැකිය. එය ලබන වසරේ මුල පවත්වන්නට නියමිත පළාත් පාලන මැතිවරණයට අහිතකර එකකි. පළාත් සභා ඡන්දය පැවැත්වුවහොත් එහි ප‍්‍රතිඵලය අයහපත් කරන්නට ජීවන වියදම බලපාන්නට ඉඩ තිබේ. අනෙක මීළඟ ජනාධිපතිවරණයට කලින් ප‍්‍රකාශයට පත් කරන්නට ඉතිරි වී ඇති එකම අවස්ථාව වන ඉදිරි නොවැම්බර් අයවැය ලේඛනයයි. එයින් ජනතා සහන ප‍්‍රකාශයට පත් කිරීමට තෙල් මිල බරපතළ බාධා කරනු ඇත. ඛනිජ තෙල් සංස්ථාවේ මිල එසේම පවත්වාගෙන යන සේ නියම කරන්නට ඉඩ ඇති ආණ්ඩුව ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට ද මිල නොවෙනස්ව පවත්වාගෙන යනු සඳහා නියම කරන්නට ඉඩ තිබේ. අවශ්‍ය නම් රජයෙන් ආධාර කරන තීරණයක් ගන්නට ද බැරි නැත. එසේ නැතිනම් තෙල් වෙළෙඳාමේ  දී දැනට අය කරන බදු අඩු කරන්නට ඉඩ තිබේ.

මෑත කාලය තුළ මෙම සමාගම් දෙකම යහමින් ලාභ ලැබීය. ඛනිජ තෙල් සංස්ථාව හා ලංකා ඉන්දියන් ඔයිල් සමාගම වැඩි ලාභ ලබන වාතාවරණයට හේතු වූයේ ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිල අඩුවීමේ වාසියයි. එහි කොටසක් වත්මන් ආණ්ඩුවද අත් පත් කරගත්තේය. ආනයනයේ දී අය කරන බදු ඉහළ දැමීමෙන් එම අවස්ථාව ලබා ගත් ආණ්ඩුව සිය අය වැය සමබර කරගත්තේ තෙල් වෙළෙඳාමන්ය. ආනයනික ඉන්ධන මිල අඩු වූ අවස්ථාවේදී එහි වාසිය පාරිභෝගිකයන්ට නුදුන් වත්මන් ආණ්ඩුව ඒවාට බදු පැනවීය. පසුගිය වසරේ දී ජූලි හා අගෝස්තු මාසවලදී මෙරට ඩීසල් වලින් අය කරන බදු අවස්ථා දෙවතාවක දී වැඩි කළේය. මුලින් රුපියල් හයකින් වැඩි කරන ලද ආණ්ඩුව ඉන් පසු ඩීසල් බදු තවත් රුපියල් දහයකින් වැඩි කරන ලද අතර ඒවා ආනයනයේ දී විනා අලෙවියේ දී නොවන බැවින් පාරිභෝගිකයන්ට බලපාන පරිදි අලෙවි මිල ඉහළ යන්නට හේතු වූයේ නැත. ඇත්ත වශයෙන්ම ඉන්ධන මිල අඩු කර ජනතාවට එහි වාසිය ලබාදිය හැකිව තිබුණි. නමුත් එසේ කළේ නැත. එහෙයින් ඡන්දය කෙසේ වෙතත් ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිල වැඩි වන මෙම අවස්ථාවේ දී ඛනිජ තෙල් මිල ගණන් වැඩි කරන තීරණ ගැනීමේ කිසිම අයිතියක් ආණ්ඩුවට නැත.

බදු වැඩි කිරීමෙන් පසු ඩීසල් ලීටරයකින් රුපියල් තිස් දෙකක බදු ආදායමක් රජයට ලැබිණි. පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් හැට පහක බදු ආදායමක් ලබමින් සිටි බව සඳහන් කළ යුතුය. ඒ අනුව මෙරට පෙට‍්‍රල් අලෙවියෙන් රුපියල් බිලියන 7.8 ක් සහ ඩීසල් අලෙවියෙන් රුපියල් බිලියන 6.4 ක බදු ආදායමක් 2016 වසරේ දී ලැබූ ආණ්ඩුවට දැන් ඒවා ආපසු හරවන්නට සිදුවී ඇත. එය එක්තරා සරදමකි. ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තමන්ට අවාසි අවස්ථාවේ දී මිල වැඩි කරන බව දක්වා අනියමින් අනතුරු අඟවන්නේ මෙම බදු නැවත ආපසු හැරවීමට බව දැක්විය යුතුය. ආණ්ඩුව එම බදු අඩු නොකළහොත් මිල වැඩි ලංකා ඉන්දියන් ඔයිල් විකුණුම්හල්වල අලෙවිය පහත වැටෙන අතර සීඝ්‍රයෙන් අලෙවිය වැඩිවීම මත ඛනිජ තෙල් සංස්ථාවේ විකුණුම් අලාභය දෙගුණ විය හැකිය. එය පාලනය කරන්නට නම් වැඩි කරන ලද බදු අඩු කරනවා හැරෙන්නට අන් කළ හැකි දෙයක් නැත.

බොර තෙල් මිල අඩු කාල වකවානුවේ ආණ්ඩුව මෙරට ජනතාවට එහි වාසිය ලබා නුදුන්නේ මන්ද? පැවති සෑම ආණ්ඩුවක්ම කරන්නාක් මෙන් තෙල් සංස්ථාව සිය පාඩු පියවා ගැනීමට එය උපයෝගී කරගත්තේය. සංස්ථාවේ පාඩුවලට හේතුව නාස්තිය, අකාර්යක්ෂමතාව හා අධික දූෂණ බව මෙරට විද්වතුන් නොයෙක් අවස්ථාවල පෙන්වා දී තිබේ. ඛනිජ තෙල් බදු පනවන ආණ්ඩුව එහි ලාභය උරාගත්තා පමණක් නොව අධික පාඩු වාර්තා කරමින් තිබුණ තෙල් සංස්ථාවද පසුගිය වසරේ දී විශාල වශයෙන් ලාභ ලබන තැනක් බවට පත්විය. එයට හේතු වූයේ ලෝක වෙළඳ පොළේ තෙල් මිල පහත වැටී තිබීමය. ඒ අනුව 2015 වසරේ දී රුපියල් බිලියන 19.4 ක පාඩුවක් ලැබූ ඛනිජ තෙල් සංස්ථාව 2016 දී පමණක් රුපියල් බිලියන 69.6ක් ලාභ උපයන ලද බව මුදල් අමාත්‍යංශයේ වාර්තා පෙන්වයි. මෙම ලාභ වාර්තා කරන විට සංස්ථාව සිය ආනයනික තෙල් වෙනුවෙන් වැට්, ජාතිය ගොඩනැගීමේ බද්ද ඇතුළු බදු වර්ග ගණනාවක් ගෙවා තිබුණේ මුලින් දක්වන ලද ආනයන බදුවලට අමතරවය. මෙයින් පෙන්වන්නේ ආණ්ඩුව පමණක් නොව තෙල් ගෙන්වා විකුණන ආයතන ද මෑත කාලය තුළ කොපමණ සතුටින් ජීවත් වී ඇත්ද යන කාරණාවය.

බොරතෙල් මිල අඩු අවස්ථාවේ දී ඒවායේ මිල අඩු කර රටවැසියන්ට අඩු මිලට ඉන්ධන පරිහෝජනය කරනු සඳහා අවස්ථාව දෙන හැකියාව ආණ්ඩුවට තිබුණි. නමුත් ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට හා සංස්ථාවේ ආනයනවලට ද අතිරේකව බදු වැඩි කරන ලද ආණ්ඩුව එයින් පොහොසත් විය. එහෙයින් ලෝක වෙළඳ පොළේ තෙල් මිල වැඩිවීම ගැන ජනතාවට වචනයක් කතා කරන්නට අසමත් ස්ථානයක අද වනවිට සිටී.

ගෙවීගිය සතියේ ජාත්‍යන්තර වෙළෙඳ පොළේ බොරතෙල් බැරල් එකක මිල ඇමරිකානු ඩොලර් හැටකට ආසන්නව විකිණෙන අතර විචාරකයන්ට අනුව එය තාවකාලික තත්ත්වයකි. නමුත් මෙම මිල ඉකුත් වසර දෙක තුළ වැඩිම මිල බව නිරීක්ෂකයෝ දක්වති. ඉරාකයේ ප‍්‍රාන්තයක් වන කුර්දිස්තානය වෙනම රටක් ප‍්‍රකාශයට පත් කිරීම අරමුණු කරගෙන තමන්ගේම ජනමත චිචාරණයක් පවත්වන ලද අතර එහි දී ඉරාකය කුර්දිස්ථානයෙන් බොර තෙල් මිල දී ගැනීම නතර කරන සේ ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම ලෝක තෙල් සැපයුම ක්ෂණික පහත වැටීමට හා එහි ප‍්‍රතිඵලයක් ලෙස මිල ඉහළ යන්නට හේතු විය. සෙසු රටවල තෙල් සැපයුම දියුණු කරන තීරණය ගැනීම හමුවේ ඉදිරි කාලයේ දී බොර තෙල් මිල නැවතත් පහත වැටෙන්නට ඉඩ තිබේ. 

මෙම පසුබිම කෙසේ වෙතත්, ආණ්ඩුව තෙල් වෙළඳාමෙන් සැහෙන වාසි ලබමින් සිටී. ලෝක වෙළෙඳ පොළේ තාවකාලික මිල වැඩිවීම මෙරට ඛනිජ තෙල් මිල වැඩි කරන්නට හේතුවක් නොවේ. බොර තෙල් වාසිය කොපමණ එකක් ද යත් එයින් ඉපැයූ බදු එක්තරා සාක්ෂියකි. අනෙක පසුගිය වසරේ දී මෙරට තෙල් ආනයන සඳහා වූ වියදම 2014 වසරට සාපේක්ෂව සියයට 46.6 කින් අඩු වී ඇත. 2014 දී මෙරට ඉන්ධන හා බොරතෙල් ආනයන පිරිවැය ඇමරිකානු ඩොලර් බිලියන 3.1 ක් වූ අතර 2016 වසරේ දී එයට වැය වී ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.7 කි. මෙම මිල අඩු වීමේ සහනය නොවේ නම් ගෙවුම් ශේෂ අර්බුදය තවත් ඔඩු දුවන්නට ඉඩ තිබිණ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ‍්‍රී ලංකාව ලබාගත් තාවකාලික ණය සංචිතය ඉන්ධන ආනයනය වෙනුවෙන්  පමණක් වාෂ්ප වෙන්නට ඉඩ තිබුණ බවද සඳහන් කළ යුතුය.

ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල වැඩිවන වහා ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සිය අලෙවි සැල් වල මිල වැඩි කරන බව දක්වන අතර ශ‍්‍රී ලංකා ආණ්ඩුව කළ යුතු මෙම වෙළෙඳාම විනිවිද පෙනෙන සාධාරණ එකක් බවට පත් කිරීමය. ආනයන බදු ඇතුළු සියලු පැති වලින් වාසි අත් පත් කරගෙන ඇති ආණ්ඩුව මෙම සහන ජනතාවට ලැබෙන අලුත් සැලසුමකට යා යුතුව තිබේ. තෙල් මිල වැඩි කරන්නට නොව අඩු කරන්නට තරම් පවතින තත්ත්වය පසුබිම සකස් කර ඇති බව ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති සම්පාදකයන්  වටහා ගැනීම සුදුසුය.

තෙල් මිල අඩු කළ හැකිනම් එසේ කිරීමෙන් ලැබෙන වාසිය කුමක්ද? සමස්ත ආර්ථිකයම වෙනස් කළ හැකිය. මෙරට කර්මාන්ත හා සේවා අංශවල පිරිවැය කළමනාකරණය ඉදිරියේ ඛනිජ තෙල් පිරිවැය ඉතා තීරණාත්මක සාධකයකි. විදුලිය නිපදවීමේ දී දැවි තෙල් මිල පදනම් වන අතර එය ද එකතුව කර්මාන්ත හා සේවා අංශවල සියලු බලශක්ති වියදම් අඩු කළ හැකි නම් එය භාණ්ඩ හා සේවා මිල අඩුවන අතර පාරිභෝගිකයන්ට හා අපනයන අංශවලට වාසිදායකය. මෙරට නිෂ්පාදන පිරිවැය අඩුවන විට ඒවායේ විකුණුම් මිල පහත වැටේ. එය ජාත්‍යන්තර වෙළඳ පොළේ දී අපනයන ඉල්ලුම වැඩි කරන්නට හේතුවකි. ආණ්ඩුව වසර 2020 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 20 ක අපනයන ආදායම් ඉලක්කයක් අරමුණු කරයි. ඇඟලුම්වල සිට මෙරටින් අපනයනය කරන මත්ස්‍ය සම්පත දක්වා සෑම දෙයක්ම වැඩිපුර අපනයනයෙන් විනා මෙකී ඉලක්කය සාක්ෂාත් කරගත නොහැකිය. ඛණිජ තෙල් ව්‍යාපාරය ප‍්‍රතිසංවිධානයෙන් එයට ලැබෙන පිටිවහල ඉමහත්ය.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තෙල්මිල වැඩි කරන්නට ඉල්ලීමක් කරන විට එහි පසුබිම පමණක් නොව පවතින රාමුවෙන් වෙනස්කර බලශක්ති අංශය යළි සංවිධානගත කරන්නේ කෙසේදැයි විමර්ෂණය කරන්නට මෙය අවස්ථාවක් කරගත යුතුය. හුදෙක් ජනතාවට සහනයක්  වශයෙන් අය කරන බදු සුළු වශයෙන් ඉවත්කර තාවකාලික විසඳුමකට ගමන් කිරීම වෙනුවට එහි හැඩය වෙනස් කරන්නට පියවර ගැනීම වැදගත්ය.

I ගාමිණී සරත් ගොඩකන්ද

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00