2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

බදුල්ලෙන් බාගයක් නාය යන්න ළඟයි

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 72

බදුල්ල දිස්ත්‍රික්කය දැන් දිවයිනේ නාය අවදානම වැඩියෙන්ම ඇති දිස්ත්‍රික්කය බවට පත්ව තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ  (නායයාම් පර්යේෂණ) අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ගාමිණී ජයතිස්සගේ වචනයෙන්ම කියනවා නම් ඒ අවදානම මෙසේය.

මේ දිස්ත්‍රික්කයේ නාය අවදානම තක්සේරු කරන ක්‍රමවේද කීපයක් තියෙනවා. අධි අවදානම් මධ්‍ය අවදානම් හා අඩු අවදානම් කියලා. ඒ විදියට ගත්තම අධි අවදානම් සහ මධ්‍ය අවදානම් කියන ප්‍රදේශ තමයි ජනතාවට ඇත්තටම ජනතාවට වැඩි අවදානමක් වැඩිපුරම පවතින්නේ. ඒ ප්‍රමාණය 50කට වැඩි ප්‍රමාණයක් බදුල්ල දිස්ත්‍රික්කයේ තියෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ තමයි ඇත්තටම වැඩිපුරම නාය අවදානමට භාජනය වෙයි කියලා බලාපොරොත්තු වන දිස්ත්‍රික්කය.
බදුල්ල වැඩිම නාය අවදානම වියහැකි දිස්ත්‍රික්කය බවට පත්වූයේ කෙසේද? ඊට වගකිවයුත්තේ කව්ද? 
මේ ජයතිස්ස මහතා දුන් පිළිතුරය.

නායයාම් අවදානම අවම කරනවා කිව්වාම ප්‍රධාන වශයෙන් ලංකාවේ භූමි පරිවහන රටාව නිසා තමයි මෙච්චර පිරිසක් නායයාම අවදානමට භාජනය වෙලා තියෙන්නේ. ඒක  මිනිසුන් විසින් අක්‍රමවත් විදියට භූමිය පරිහරණය කිරීම සහ නිසි සැලසුමකින් තොරව පදිංචිවීම ඒ නිසා හැම තැනම අපි බැලුවොත් දියුණු රටක වගේ නොවෙයි අපේ රටේ හැම කඳු බෑවුමකම මිනිසුන් පදිංචිවෙලා ඉන්නවා. එතකොට ඒ අවදානම කළමනාකාරණය අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකක යටතේ කරන්න වෙනවා. එකක් තමයි දැනට පදිංචි වෙලා සිටින මිනිසුන්ගේ අවදානම අවම කරන්නේ කෙසේද කියන එක. අනෙක තමයි එතනින් ඉදිරියට මේ අවදානම අවම කරන පරිදි අපේ සංවර්ධන කටයුතු කරන්නේ කොහොමද කියන එක.
ඇත්තටම මෙවැනි පෙර සූදානම් නිරික්ෂණයක් ඉකුත් බදාදා බදුල්ල දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි ක්‍රියාත්මක විය. බදුල්ල, බණ්ඩාරවෙල, හපුතලේ, හල්දුම්මුල්ල, වැලිමඩ, ඌවපරණගම, ඇල්ල, සොරණාතොට, මීගහකිවුල, කන්දකැටිය, ලුණුගල, පස්සර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි  නාය අවදානම ඇති ග්‍රාම නිලධාරි වසම් 67 කදීය. මහියංගය උල්හිටිය ආශ්‍රිත ප්‍රදේශයේ සහ බදුල්ල මුතියංගණය අසල බදුලුඔය ආශ්‍රිත සුමනතිස්ස ගම ප්‍රදේශයේදී පැවැත්වුණේ ගංවතුර උවදුරේදී ජීවිත රැකගන්නා අයුරු අවබෝධ කරන පෙරහුරුය. දිවයිනේ එකම දිනක එකම මොහොතක සිදුවන මෙම පෙරහුරු එකට ඒකාබද්ධ කිරීම සිදුවුයේ ප්‍රථමවරට බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසන්නේය. මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක වූයේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිටය.

සමස්ත භූමිෙයන් 69% කට දැඩි අවදානමක්

බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි,  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩී.එස්.එල්. සේනාධීර, අධ්‍යක්ෂ (පෙරහුරු) සුනිල් ජයවීර, අධ්‍යක්ෂ (හදිසි මෙහෙයුම්) බ්‍රිගේඩියර් අතුල රත්නායක, බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර   අධ්‍යක්ෂ ඊ.එල්.එම් උදය කුමාර යන මහත්වරු ඇතුළු නිලධාරින් පිරිසක් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය මෙහෙයුම් මැදිරියේ සිට මෙම වැඩසටහන මෙහෙයවද්දී කොළඹ ජාතික ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානය හා ප්‍රාදේශීය ලේකම්  කාර්යාලවල ස්ථාපිත කළ ප්‍රදේශීය මෙහෙයුම් මධ්‍යස්ථානවල කටයුතු සජීවී ලෙස වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙහෙයුම් මැදිරියට දැකගත හැකිවිය. නිරීක්ෂණය සිදුවූයේ එහි සිටය.
දිස්ත්‍රික්කයේ වඩාත්ම දුෂ්කර පෙරහුරුව වෙත යාමට අපට අවශ්‍යවිය. ඒ සොරණාතොට  කීනකැලේවත්තේ පහළ කොටසයි. බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම්. උදයකුමාර මහතාගේ උපදෙස් මත සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කැබ්රථයක් අපේ ගමනට ලබා දුන්නේය. කන්දේගෙදර දක්වා පහසුවෙන් යාහැකි වුවත් ඉන් ඔබ්බට විශාල ප්‍රපාතයට බසින කීනකැලේ මාර්ගයේ  කැබ් රථයද ගමන්කළේ අසීරුවෙනි. මාර්ගය එතම්ම අබලන්ය. එක් දෙසකින් දර්ශනය වූයේ නාරංගල කඳුමුදුන හා ඒ කඳුවැටියයි.

භූ විද්‍යාඥයන් පවසන්නේ නායයාමට එකම විකල්පය නාය සමඟ ජීවත්වීම බවය.

පැයක පමණ වූ අසීරු ගමනකින් පසු අපි නාරංගල කඳු පාමුල පිහිටි කීනකැලේ  ජනාවාසයට ළඟාවීමු. පෙර සූදානම සඳහා එම ජනතාවගේ තිබුණේ ලොකු උනන්දුවකි. කුඩා ළමුන් තිදෙනෙක් තුවාලකරුවන් සේ හැඩගන්වා සිටියහ. නාය යන ස්ථානය ගැමියන් විසින් සකස් කර තිබුණේ කූඹුරක් මඩ කර ගස් කොළන් ඒ තුළට කපා දමමිනි.
වසර කීපයක‍ට පෙර මෙම ජනාවාසය ඉස්මත්තේ විශාල නායයාමක් සිදුව ඇති නමුත් ජීවිත හානි සිදුවී නොමැති බව වැඩිහිටියෙක් කීවේය. මෙහි පාසැල් දරුවන් කි. මි. 3ක් පාගමනින් ප්‍රධාන මාර්ගයට ගොස් එතැනින් බස්රථයක් ගෙන යන්නේ කන්දේගෙදර විද්‍යාලයටය. එම දරුවන් කීවේ කිලෝමීටර් 6ක් බස්රථය නැතිනම් කිලෝමීටර් 10 ක්  ඒ පාසල් යාම සඳහා ගත කිරීම නිසා දැඩි මහන්සියක් ඇතිවන බවයි. ගෙදරදි කරන්න පවරන ඉස්කෝලෙ වැඩ කරන්නත් බැහැ හරිම මහන්සියි. වැසි දවසට ඉස්කෝලේ යන්නෙත් නැහැ. එම දරුවෝ පැවසූහ.

මේ ජනයා වත්තේ කම්කරුවන්ය. නැතිනම් කුලීකරුවන්ය. ගමේ ඇති අඩුපාඩු දේශපාලනඥයන්ගේ දෙසවන් වලට නොඇසෙන්නේය. බදුල්ල දිස්ත්‍රික්කයටම මෙන්ම කීනකැලේටද දිගුකාලයක් පැවතියේ නියඟය බව ජනතාව පැවසූහ. වැස්ස නිර්මාණය කිරීම සඳහා තරුණයෙක් ටකරන් වහළට නැගී සිටියේ වතුර බාල්දියක් අතැතිවය  රූපවාහිනි මාධ්‍යවේදීන්ගේ කැමරාව ඒ දෙසට යොමුවෙද්දී වහළේ සිටි තරුණයා ටකරම දිගේ ජලය ගලා එන්නට සැලැස්වූයේ වැස්ස නිර්මාණය කරමිනි. තවත් තරුණයෙක් ලැයිම ඉදිරියේ සවිකර ඇති වර්ෂාමාපකය පරික්ෂා කළේය. ඒ සමගම තවත් තරුණයෙක් හක්ගෙඩියක් අතට ගත්තේ ඔහුට ලැබුණ සංඥාවක් අනුවය. විශ්මයකි ඔහු හක්ගෙඩිය පිඹිත්ම මහා වර්ෂාවක් ඇත්තටම ඇද හැලෙන්නට විය.

හක් හඬේ අනතුරු නාදයට තම නිවෙස්වලින් එළියට බැස ගත් ජනතාව පස්ස නොබලා දුවන්නට වූහ. ඔවුන් අත කුඩා මල්ල බැගින් තිබිණ. පුහුණුවේදී ලද උපදෙස් මත එහි තමන්ගේ බේත් වර්ග, හැඳුනුම්පත්, වටිනා ලිය කියවිලි හා ස්වර්ණාභරණ වැනි වටිනා දේ දමාගෙන තිබිණ. නාය යන ලෙස සකස් කළ ස්ථානයේ වැටී  සිටි කුඩා ළමුන් තිදෙනා ගම්වැසියන් කීපදෙනෙකු විසින් ඔසවා ගොඩට ගත්තේ ලතෝනි දෙමිනි. ටික වේලාවකින් පැමිණ යුදහමුදා සෙබළුන් දෙදෙනෙක් ළමුන් දෙදෙනා රුගෙන දිවගියේ කුඩා විහාරස්ථානයට ඇති ඉතා ‍කුඩා ගොඩනැගිල්ලේ ස්ථාපිත කළ අවතැන් කඳවුර වෙතය. එහිදී දරුවන්ට ප්‍රථමාධාර දෙනු ලැබීය.

මේ කටයුත්ත නිරීක්ෂණය සඳහා ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ  ජයවීර මහතා සහ නිලධාරින් කීපදෙනෙක් පැමිණ සිටියහ. 150 ක් පමණ වූ අවතැන් වූවන්ට තබා 15 දෙනෙකුටවත් වැස්සට නොතෙමී සිටීමට නොහැකි කුඩා ගොඩනැගිල්ල ප්‍රමාණවත් නොවූ බැවින් මහවැස්සේ තෙමි තෙමී අවතැන් වූවෝ ගත කළහ. මෙහි කූඩාරම් කීපයක් ඉදිකර තිබුණත් සැබෑ ලෙසම මේ ගමට ප්‍රජාශාලාවක් හෝ වෙනත් ඉඩ පහසුකම් ඇති ගොඩනැගිල්ලක් නොමැතිකම කොතරම් අඩුවක්දැයි සිතිණ.

භූ විද්‍යාඥයන් පවසන්නේ නායයාමට එකම විකල්පය නාය සමඟ ජීවත්වීම බවය. අපට පුදුම හිතෙන ඒ කතාව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ (නායයාම් පර්යේෂණ) අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ය භූ විද්‍යාඥ ගාමිණි ජයතිස්ස මහතා පැහැදිලි කරන්නේ මෙසේය.

“ප්‍රධාන වශයෙන් නායයාම් අවදානම වැඩිවීමට කාරණා 3 ක් තියෙනවා. එකක් තමයි නායයන ප්‍රදේශවලට ජනතාව සංක්‍රමණය වීම. ඒක විපතක් විදියට දැනෙන්න ගන්නවා. නායක් ගියාම අනෙක් කාරණය තමයි ඒ ප්‍රදේශවලට සංක්‍රමණය වූ ජනතාව නාය යාමේ සම්භාවතාවයන් වැඩිවන ක්‍රියාදාමයන්හි නිරත වීම, ඒකෙන් නාය යාමේ ප්‍රවණතාවය වැඩිවෙලා තියෙනවා. අනික තමයි පරිසර විපර්යාසය හේතුකොට ගෙන වර්ෂාපතනයේ තීව්‍රතාවය වෙනස් වෙලා තියෙනවා. ඉස්සර අවුරුද්දක් පුරා මිලිමීටර් තුන් දහසක් හම්බවුණානම් සමහර අපට දැන් ඒ අපට දවසකට මිලිලීටර් තුන්සීය හාරසීය වගේ ලැබෙන අවස්ථා තියෙනවා. ඒ පිරිස අතරින් අපි ඇත්තටම ජනතාව විශේෂයෙන් බිය වියයුතු කාරණයක් නැහැ. අධි අවදානම් හා මධ්‍ය අවදානම් කියන කොටස් දෙක යටතේම විවිධ ආකාරයෙන් නායයාම් අවදානම් අවම කිරීමේ වැඩපිළිවෙළිවල්  ක්‍රියාත්මක කිරිම අපි සැලසුම කරල තියෙනවා.

ඒ යටතේ නායයාම් සමග ජීවත්වීම, නායයාම් ස්ථාන හඳුනාගෙන එම ස්ථාවලින් පුද්ගලයන් ඉවත් කිරීම, නායයාම් ව්‍යවුහාත්මක ක්‍රමවේද මගින් පිළිසකර කර නායයාම් අවදානම අඩුකිරීම, ප්‍රජා මූලික දැනුවත් කිරීම විවිධ වැඩසටහන් ය‍ටතේ මේ සියලු පවුල්වල නායයාමේ අවදානම අවම කරල ජනතාවට ජීවත්වීමට පුළුවන් වූ පරිසරයක් සකස් කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරියේම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවෙනවා. යැයිද ජයතිස්ස මහතා සඳහන් කළේය.
ඇත්තටම නාය සමඟ ජීවත්විම හැර විකල්පයන් මේ මිනිසුන්ට නැත. හේතුව නම් භූ විද්‍යාඥයන්ම කියන පරිදි දිස්ත්‍රික්කයේ භූමියෙන් 69ක් අස්ථාවරය.

 බදුල්ලේ පාලිත ආරියවංශ

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00