2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

මාසෙන් මාසෙට ලෙඩේ කචල් නම් මෙන්න බෙහෙත්

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:02 132

විවාහ වුණු දෙදෙනකුගේ ඊළඟ හීනය තමන්ටම කියා තමන්ගේ ලෙයින් දරුවකු බිහි වනු දැකීමයි. මව් පදවිය තරම්, පිය පදවිය තරම් උතුම් පදවියක් මේ ලෝකේ තවත් නැති තරම්ය. එවන් වූ මව් පදවියක් දරන්නට එවන් වූ පිය පදවියක් දරන්නට තරම් වාසනාවන්ත නොවුණු අයද අප සමාජයේ එමටය.

බටහිර වෛද්‍ය විද්‍යාව දියුණු වීමත් සමඟ ඒ කරා ගොස් දරු පැටවකුගේ සිහිනය යථාර්ථයක් කරගන්නට ගොස් නිශ්ඵල වෑයමක තවත් ප්‍රතිඵලයක් වූ අවස්ථාද එමටය. ඒ අතරින් නොපෙනෙන බල වේගයන් හා මිත්‍යා මතවල එල්බගෙන විවිධ යාගහෝම හා බලිතොවිල්වලින් දරු සිහිනය දකින්නටද ඇතැම්හු උත්සහා ගනිති.
මෙවන් වූ යුගයක දරුවකුගේ සිහිනය සෑබෑවක් කරන්නට ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළින් කළ හැක්කේ කුමක්ද? මේ පිළිබඳව ආයුර්වේද වෛද්‍ය ආචාර්ය දයානි සිරිවර්ධන වෛද්‍යතුමියගෙන් විමසීමක් කළෙමු.

සෑම කාන්තාවකගේම ප්‍රධාන අරමුණ වන්නේ මව් පදවියයි. බොහෝ කාන්තාවන් මව් පදවිය වෙනුවෙන් සූදානම් වන්නේ විවාහ වූවාට පසු වුවත් මව් පදවිය සඳහා ගැහැනු දරුවකු වැඩිවියට පැමිණීමත් සමඟ බොහෝ කල්පනාකාරී විය යුතුය.

වැඩිවියට පැමිණි දරුවකු කල්පනා වියයුතු කරුණු

• ගැහැනු දරුවකු වැඩිවියට පත්වීම සමඟ මාසික ඔසප්වීම් පිළිබඳව කල්පනාකාරී විය යුතුය.

• ගැහැනු දරුවකු බිහිවූ දා සිට ඇය පිළිබඳව විමසිලිවත්ව සිටීම සෑම මවකගේම යුතුකමකි. ගැහැනු දරුවකුගේ ඉන්ද්‍රිය පද්ධතිය නිරෝගීව රැකබලා ගැනීම ඉතා වැදගත් වේ.

 ගැහැනු දරුවා මවක් වන බව කුඩා කාලෙදිම දැනගත යුතුයි 

• ගැහැනු දරුවකුගේ ප්‍රජනන ඉන්ද්‍රිය පද්ධතිය සකස් වී ඇත්තේ අභ්‍යන්තරයට නෙරාය. යෝනි මාර්ගය, ගර්භාෂය, පැලෝපීය නාල, ඩිම්බ කෝෂ ආදිය ශරීරය අභ්‍යන්තර කොටසට අයත් වේ. ඒ හරහා විස බීජ ශරීරය අභ්‍යන්තරයට ඇතුළු වීම ඇතැම් විට සදාකාලිකව දරුවකු නොලැබීමට හේතුවිය හැක.

• නමුත් පුරුෂයෙකුගේ ලිංගික ඉන්ද්‍රිය පද්ධතිය බාහිරව නෙරා ඇත. එයින් රෝගී විසබීජ අභ්‍යන්තරයට ඇතුළුවීමට ඇති ඉඩකඩ බොහෝ අඩුය.

• බොහෝ මව්පියෝ පිරිමි දරුවන්ට වැඩි පෝෂ්‍යදායි ආහාර ද ගැහැනු දරුවකුට සාමාන්‍ය පෝෂ්‍යදායි ආහාර ලබාදීමට පෙළඹෙති. නමුත් පිරිමි දරුවකුට වඩා ගැහැනු දරුවකුට වැඩි පෝෂ්‍යදායි ආහාර ළමා කාලයේදීම දීම ඉතා වැදගත් වේ. එයින් කුඩා කාලදීම ගැහැනු දරුවාගේ පෝෂ්‍ය තත්ත්වය ඉහළ යයි.

• උසට සරිලන නිසි බරක් හා වර්ධනයක් නොමැතිකමද කාන්තාවක් ස්වභාවික දරු සම්පතකට උරුමකම් කීමට බාධාවක් වේ.

• පිරිමියා ගෘහ මූලික සමාජයක් වුවද ශ්‍රියා කාන්තාව ලෙසින් හඳුන්වන්නේ කාන්තාව බැවින් පවුල් ආරවුල්වලින් තොර සාමකාමී නිදහස් ගෘහ ජීවිතයක් ගතකිරීමට කාන්තාව දක්ෂ විය යුතුය.

• නිරෝගී ආර්ථව චක්‍රයක් පැවැතීම ඉතා වැදගත් වේ. නිරෝගී ආර්ථව චක්‍රයක් ඇති කාන්තාවන් සරු කාලය ලෙස දින 12 සිට දින 20 දක්වා කාලයේදී දිනක් හැර දිනක් සංසර්ගයේ යෙදීමෙන් යහපත් ප්‍රතිඵල ලබාගත හැක.

• ඒ සඳහා ඇයගේ පූර්ව සැකසීමද ඉතා වැදගත් වේ. විශේෂයෙන් පිරිසුදුකම, යහපත් සිතිවිලි ඇතිව සංසර්ගයේ යෙදීම, දරුවකු පිළිබඳව හිතේ ඇති ආදරය, කැමැත්ත ඇතිව සංසර්ගයේ යෙදීමෙන් දිනක සාර්ථක ප්‍රතිඵල උරුම කරගත හැක. නමුත් සිතේ කනස්සළු ගතිය, ඊර්ෂ්‍යාව, කුහකත්වය වැනි අයහපත් සිතිවිලි නිසා බොහෝ දුරට දරුවකු පිළිබඳ සුන්දර හීන සැබෑ නොවන්නට ඉඩ ඇත.

• දරු සම්පත අහිමිවන්නට ඇතිවන තවත් ප්‍රධාන හේතුවක් නම් ඔසප් චක්‍රයේ පවතින දුර්වලතාය. ඇතැම් කාන්තාවන්ගේ ඔසප් වීම් අක්‍රමවත්ය. දින විසි අටකට වරක් ඇතිවන මේ ක්‍රියාවලිය ඇතැම් කාන්තාවන්ට මාස තුනකට පසුව ඇතිවේ. ඔසප් වීම්වලදී ඇතිවන තත්ත්වයක් සඳහා බොහෝ කාන්තාවෝ ප්‍රතිකාර නොගනිති. මේ අතර ඇතැම් කාන්තාවන්ට මාසකට දෙවරක් ඔසප්වීම් ඇති වන අවස්ථා ද තිබේ.

• විශේෂයෙන් ඔසප්වීමේදී පිටවන රුධිරය නැවත ශරීරයට ලබාගැනීමට කාන්තාව පෝෂ්‍යදායී ආහාර ලබාගත යුතුය. ඔසප් වීමේදී ඇතැම් කාන්තාවන්ට අධික වේදනාව ඇතිවේ. නමුත් කිසිසේත්ම නිරෝගී ඔසප්වීමේදී අධික වේදනාව ඇති නොවේ. එමෙන්ම ඔසප් වීමේදී කැටි සහිත රුධිරය පිටවීම, රුධිරය එකදිගට අධිකව පිටවීමටද සාමාන්‍යය.

• විශේෂයෙන් කාන්තාවගේ පියයුරු අවට ප්‍රජනන පද්ධතිය අවට නිරෝගිකම මෙන්ම ඒ පිළිබඳව විමසිලිවත්ව සිටීම ඉතා වැදගත් වේ. යම් හෝ වේදනාවක් හෝ යම් වෙනස්වීමක් ඒ අවට ඇතිවුණිනම් හිතුමතේ වේදනා නාශක හෝ ප්‍රතිකාර නොගෙන සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යාම ඉතා වැදගත් වේ. එවැනි වේදනා නාශක ගැනීමෙන් වේදනාව යටපත් වුවද රෝගී තත්ත්වය තවත් ඉස්මතු වීමට බොහෝ ඉඩකඩ පවතී. මේ නිසා මෙවැනි රෝගයක් ඔබේ නොසැලකිලිමත් වීම මත පැතිරීයාමෙන් අවසානයේදී ඔබ වඳභාවයට පත්වීමට බොහෝ ඉඩකඩ තිබේ. එමෙන්ම පියයුරු පිළිකා වැනි රෝගී තත්ත්වයක් ඇතිවීමද සිදුවේ.

• දරු සම්පත ලබාගැනීමට බොහෝ දුරට වයසද බලපායි. කාන්තාවන් බොහෝමයක් තම අනිකුත් අවශ්‍යතා සපුරාගෙන අවසානයේදී දරුවකු ලබාගැනීමට උත්සහා ගනී. ඉගෙනීම, ගෙවල් දොරවල් සෑදීම, උපාධිය ලබාගැනීම වැනි අවශ්‍යතාවයන් නිසා දරු සම්පත කල්දැමීම වයස යාමත් සමඟ නොලැබී යාමට හේතු වියහැක. විශේෂයෙන් කාන්තාවන් වයස අවුරුදු හතළිහට පළමුව දරුවකු බිහිකිරීම ඉතා වැදගත්ය.

• දරුවකු බිහිකිරීම කල්දැමීම සඳහා බොහෝ කාන්තාවෝ කෘත්‍රීම හෝමෝන සහිත ඖෂධ වර්ග භාවිතා කරති. මෙමගින් අපගේ ශරීරයේ ස්වාභාවිකව නිෂ්පාදනය කෙරෙන ස්වාභාවික හෝමෝන මැඩ පැවැත්වේ. එමගින් ඇයට ගර්භාෂයේ අර්බුද, ඩිම්බකෝෂවල අර්බුද වැනි විවිධ රෝගී තත්ත්වයන් ඇතිවිය හැක.

• කාන්තාවන් සැමට නිවැරදි හෝමෝන තත්ත්වයක් තිබීමද අවශ්‍යය. එවැනි නිවැරදි හෝමෝන තත්ත්වයන් සඳහා නිවැරදි ඔසප්වීමද ඉතා අවශ්‍ය වේ. කිසිදු වේදනාවකින් තොර දින 3ත් 5ත් අතර පවතින ඇඳුමක ගෑවුණුද පහසුවෙන් හේදී යන කහට පැල්ලමක් සේ නොරුදෙන මදටි ඇටයක පැහැයක හුරු රුධිරය පිටවීම නිරෝගී ඔසප් වීමක ලක්ෂණ වේ. ස්වාභාවික ඔසප් වීම ඉබේම දින 3 – 4කින් නැවතී යති. ඇතැම් කාන්තාවන්ට ඔසප් වීම දින  8 – 10ක් අතර කාලයක් පවතී. මෙවැනි අයගේ ඔසප් චක්‍රය නිවැරදි නිරෝගී නොවේ.

• ගැහැනු දරුවකු බොහෝ විට අවුරුදු  12 - 13ත් අතර කාලයේදී වැඩිවියට පත්වේ. එතැන් සිට මසකට වරක් ඇය ඔසප් වීම්වලට මුහුණ දෙති. මේ ඔසප් වීම අවසානයේදී ගර්භාෂය නැවත දරුවකු මාසයකට වරක් බලාපොරොත්තු වේ. වැඩිවියට පත්වූ දා සිට මාස කීයක්නම් මේ බලාපොරොත්තුව ගර්භාෂයට ඇතිද...? මේ නිසා පසුකාලයේදී දරුවකු නොලැබීම තුළින් ගර්භාෂයේ විවිධ වෙනස්කම්වලට භාජනය වේ. මේ නිසා විවාහ වීම හා දරුවකු ලැබාගැනීම වැනි අපේක්ෂා නිසි කාලයේදී ඉටුකරගත යුතුය.

• මීට අමතරව දරුවකු නොලැබී යාමට හේතුවන තවත් ප්‍රධාන කරුණකි මානසික අවුල් බව. බොහෝ කාන්තාවෝ යුග දිවියේ ඇතිවන විවිධාකාර තත්ත්වයන් නිසා මානසිකව පීඩා විඳිති. ආර්ථික ප්‍රශ්න, මානසික ප්‍රශ්න නිසා ජීවිතය අවුල් කර ගනිති. මෙවැනි විවිධාකාර හේතුනිසා ඇතිවන මානසික පීඩනය ඇතැම් විට ගර්භාෂය හා ඩිම්බකෝෂ ආශ්‍රිත පිළිකාමය තත්ත්වයන් වලින් කෙළවර විය හැකිය. ඒවා දරුවකු නොමැතිවීමට ප්‍රබලව බලපායි.

• බෙල්ලේ අඳුරු ගතිය, නිකට යට රෝම ඇතිවීම, බෙල්ල මහත්වීම, ශරීරය පුරෝදැමීම සහ උදරය තෙල් තැන්පත් වීම වැනි රෝග තත්ත්වයන් ඇති කාන්තාවන් දරු සම්පත අපේක්ෂා කරයිනම් ඉක්මණින්ම වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය ප්‍රතිකාර හා උපදෙස් ලබාගත යුතුය.

• එමෙන්ම ඇදුම කාලයක් තිස්සේ පවතින කැස්ස මලබද්ධය වැනි වෙනත් රෝගයන් සඳහා ගනු ලබන ඖෂධ හේතුවෙන් ද කාලයක් යාමෙන් ශරීරයේ හෝමෝන තත්ත්වය වෙනස් වීම සිදුවේ. එහි අවසාන ප්‍රතිඵල වන්නේ බීජ මෝරන්නේ නැතිකමයි. වර්තමානයේදී නොමේරු බීජ සහිත කාන්තාවෝ බහුල වශයෙන් සිටිති. 

•ලෝකේ සෑම කාන්තාවන් පස්දෙනෙකුගෙන් එක් අයකු නොමේරූ බීජ සහිත කාන්තාවන් බව වෛද්‍ය සමීක්ෂණවලින් වර්තමානයේදී සොයාගෙන ඇත. මෙයට ප්‍රධාන හේතුව මානසික පීඩනය හා ගනු ලබන ආහාරයි.

• කාන්තාවකගේ සෑම මසකම ශරීරයේ රුධිරය පිටවීමක් සිදුවේ. මේ නිසා පෝෂ්‍යදායී ආහාර ගැනීම ඉතා වැදගත් වේ. කැල්සියම් හා යකඩ අඩංගු ප්‍රෝටීන ආහාර වැඩිපුර ගැනීම, පිෂ්ඨය කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර අඩු කිරීම, උදෑසන ආහාර ලෙස ධාන්‍ය වර්ග ආහාරයට එකතු කරගැනීම තමන්ගේ ආහාර තම අතින්ම පිරිසිදුව සාදාගෙන ආහාරයට ගැනීමට පුරුදු වීම, කඩ කෑම, ක්ෂණික ආහාර ගැනීම හැකි තරම් අඩු කිරීම අවශ්‍යය. පිටතින් ලබාගන්නා ආහාරවල කෘත්‍රීම රසකාරක හේතුවෙන් ස්වාභාවික හෝමෝනවලට හානිවීමට බොහෝ ඉඩකඩ ඇත.

• කාන්තාවන්ට ඉතා ගුණදායක කැඳ වර්ගයකි හාතවාරිය. මීට අමතරව බැබිල, රසකිඳ, එළබටු ආදී දේ එකතුකොට සාදාගත් කැඳ වර්ග මෙන්ම ගොටුකොළ විශේෂයෙන් කාන්තාවන්ට ඉතා ගුණදායක කැඳ වර්ගයකි. අඩුම තරමේ සතියකට වරක්වත් මෙවැනි කැඳ වර්ගයක් පානය කරන්න. කැඳ වර්ගයට අමතරව මෙවැනි පළා වර්ග දහවල් කෑම වේලට එකතු කරගැනීමටද පුළුවනි. එමෙන්ම දොඩම් නාරං දෙහි වැනි යුෂ පානයද ඉතා ගුණදායක වේ. එයින් ආහාරවල තිබෙන සංඝටක උරාගැනීමට ද උදවු වේ. අලිගැට පේර ඉතා ගුණදායකය.

• හැකි ඉක්මණින් යෝග ව්‍යායාම් හෝ සරල ව්‍යායාමයෙහි නිරතවන්න. අලසකම අඩු කරගන්න. ඇවිදීම ඉතා යෝග්‍ය වේ. එයින් ශරීරය නිරෝගී වනවා සේම මානසික සතුටටද හේතුවේ. මනසට මානසික සමනයක්ද එයින් උදාවේ.

• කාන්තාවන් වූ ඔබ උදෑසනම අවදිවීම නිරෝගීකමට ඉතා හොඳ ඔසුවකි. ආයුර්වේදයේ සඳහන් වන පරිදි මනුෂයෙකු අවදි විය යුත්තේ බ්‍රහ්ම මූර්තයෙනි. එනම් උදෑසන හතරාමාරටය. එවිට දවස සැහැල්ලුවෙන් සතුටින් ගෙවීමට හැකියාව ලැබේ. කාලය ඉතිරි වේ. නිරෝගී වේ. පවුලක දියුණුව රඳාපවතින්නේ කාන්තාව මත බව සිහි තබාගැනීම අවශ්‍යය.
(දරුවකු බලාපොරොත්තු වන කාන්තාවන් කළයුතු පරීක්ෂණ පිළිබඳව ලබන සතියේ.)

♦ දිශානි ජයමාලි කරුණාරත්න

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00