2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

ඡන්ද කල් දාන්න පාර හදන “20”

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 26

පළාත් සභා තුනක ධූර කාලය ඔක්තෝබර් මස දෙවැනිදා අවසන් වීමට නියමිතය. එනම් නැගෙනහිර, උතුරු මැද සහ සබරගමු යන පළාත් සභාවන්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ඉ වගන්තියේ සඳහන් වන්නේ පළාත් සභාවක පස් අවුරුදු කාලය ඉකුත් වූ විට එම පළාත් සභාව විසිර ගියාක් සේ සැලකෙන්නේය යනුවෙනි. එසේ නම් ඉහත පළාත් සභාවල පස් අවුරුදු ධූර කාලය අවසන් නිසා ඒවා විසිර යා යුතුය. ඉන් අනතුරුව ඔක්තෝම්බර් 02 වැනි දින මැතිවරණ කොමිසම විසින් මැතිවරණය ප්‍රකාශ කරනු ලබයි. නමුත් කොමිසම මැතිවරණ ප්‍රකාශ කිරීම වළක්වමින් එහි බලය පාර්ලිමේන්තුවට පවරා ගැනීමටත් පළාත් සභා විසිරීම වළක්වමින් එම සභාවල ධූර කාලය දීර්ඝ කිරීමටත් ආණ්ඩුව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. ඉදිරිපත් කර ඇති මේ ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත වුවහොත් පළාත් ධූර කාලය අවසන් වීමේ දිනයෙහි යම් වෙනසක් සිදුවෙයි.

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සඳහා වූ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලද්දේ පසුගිය 03 වැනිදා අග්‍රාමාත්‍යවරයාගේ නියමය පරිදිය. එහි සඳහන් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ඈඈ ව්‍යවස්ථාව මෙසේ බලපැවැත්විය යුතුය යනුවෙනි. එනම්, “සියලුම පළාත් සභාවලට මන්ත්‍රීවරුන් තෝරු පත්කර ගැනීමේ ඡන්ද විමසීම එකම දිනයක පවත්වනු ලැබිය යුතු අතර සියලුම පළාත් සභා විසිරෙන දිනය පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලැබිය යුත්තේය”. සංශෝධනයේ තුන්වන අනුඅංකය මඟින් පෙන්වා දෙන්නේ 154 ඉ වගන්තිය වෙනස් කරමින් “පළාත් සභාව විසිර ගියාක් සේ සැලකෙන්නේ පස් අවුරුදු කාලය අවසන් වීමෙන් පසුව නොව පාර්ලිමේන්තුව විසින් නිශ්චය කළ දිනටය” යනුවෙනි.

ආණ්ඩුව විසින් ගෙනෙන ලද හදිසි සංශෝධන කෙටුම්පත කුමක් අරඹයා විය යුතුද යන්න මනාව පැහැදිලිය. අරමුණ වී ඇත්තේ සියලුම පළාත් මැතිවරණ එකට පැවැත්වීම යන කාරණාවට මුවා වී මැතිවරණ කල් දමා ගැනීමය. වසරක පමණ කාලයක් පළාත් පාලන ආයතන මැතිවරණයද කල්දැමුවේ සීමා නීර්ණය හා තාක්ෂණික දෝෂ පෙන්වමිනි. තවමත් එම මැතිවරණය පැවැත්වීමේ නිශ්චිත දිනයක් ආණ්ඩුව ප්‍රකාශ නොකර පළාත් පාලන ආයතන නිලධාරීන්ට පවරා ඇත. මෙවන් තත්ත්වයක ආණ්ඩුව නැවතත් මේ උත්සහ කරන්නේ මේ වසර තුළ පැවැත්විය යුතු පළාත් සභා මැතිවරණයන් ද කල්දැමීමය. ඡන්ද අයිතිය මූලික අයිතියකි. එම මූලික අයිතිය කඩවන අයුරින් නීති සම්පාදනය කිරීමේ හැකියාවක් නැත. මේ සංශෝධනය සිදු කරනු ලබන්නේ ව්‍යවස්ථාවට පටහැනි අයුරිනි.

පළාත් සභා මැතිවරණ කඩින් කඩ නොපවත්වා එකට පැවැත්වීමට ආණ්ඩුව සද්භාවයෙන් කටයුතු කරනවා නම් කරන්නට තිබුණේ සියලු පළාත් සභා ඔක්තෝම්බර් මාසයේ විසුරුවා හැර මැතිවරණයකට යාමය. එසේත් නැතිනම් ප්‍රථමයෙන් අවසන් වන සහ අවසානෙට අවසන් වන, දින දෙකට මැද දිනයක් නිශ්චිතව සඳහන් කරන්නට තිබුණි. එසේ නොකරන ආණ්ඩුව මේ අර අදින්නේ 2019 තෙක් මැතිවරණය කල් ඇදීම යන්න සක්සුදක් සේ පැහැදිලිය. ආණ්ඩුවට මේ අයුරින් හිතාමතාම මැතිවරණ කල්දමන්නේ මැතිවරණයට මුහුණ දීමට ඇති බිය යනු විපක්ෂයෙන් එල්ල වන ප්‍රධාන චෝදනාවකි. ප්‍රථමයෙන් පළාත් සභා මැතිවරණය කල්දමා ගැනීමට ගෙනෙනු ලැබුවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කර ඇති බැවින් පළාත් සභා ඡන්දයට වෙනමම සීමා නීර්ණ කටයුතු සිදු විය යුතු බව පවසමිනි. හදිසියේම සැලසුම වෙනස් කරමින් කඩින් කඩ මැතිවරණ පැවැත්වීම එක දිනයකට ගෙන ඒම මාතෘකාවක් කරගෙන ඇත. මේ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා පවසන්නේ ජනතාවට තිබෙන වුවමනාව කඩින් කඩ මැතිවරණ පැවැත්වීම වළක්වාලීම යන්නයි. ඒ අවශ්‍යතාව හැබෑවකි. එහෙත් ඇත්තෙන්ම ආණ්ඩුව ජනතා ඉල්ලීම්වල සවන් දෙන්නේ නම් මේ මොහොතේ මහජනයාගේ ප්‍රබලම ඉල්ලීම වහාම මැතිවරණයක් පැවැත්විය යුතුය යන්නය. ඒ ඉල්ලීම සතේකට මායිම් නොකරන ආණ්ඩුව ජනතාවගේ ඉල්ලීම් යැයි පවසමින් සිය පටු දේශපාලනික වුවමනා වෙනුවෙන් ඡන්ද අයිතිය උල්ලංඝනය කර ඇතැයි විපක්ෂය චෝදනා කරයි.

මීට පෙර ද ලංකා මැතිවරණ ඉතිහාසයේ අවස්ථා කිහිපයදී මැතිවරණ කල්දැමීම් සිදුවී ඇත. 1970 දී බලයට පත් මැතිනියගේ ආණ්ඩුවේ ධූර කාලය අවසන් වීමට නියමිත වූයේ 1975 දීය. නමුත් එම ආණ්ඩුව 72 ව්‍යවස්ථා සංශෝධනය සිදුකරමින් 1977 දක්වා එම ආණ්ඩුවේ ධූර කාලය දික්කර ගත්තේය. මීට අමතරව වඩුක්කෝට්ටේ හා චාවකච්චේරි ආදි අතුරු මැතිවරණ ද කල්දැමීය. මේ සියල්ලෙහි ප්‍රතිඵලය වූයේ තුනෙන් දෙකක බලය තිබූ ආණ්ඩුව ඊළඟ මැතිවරණයේ දී ආසන අටකට ඇද වැටීමය. ඒ අතර විපක්ෂ නායකත්වය කොටි හිතවාදින් අතට පත්වී ත්‍රස්තවාදය ශක්තිමත් විය. මේවායේ අහිතකරම ප්‍රතිඵලය වූයේ ආයුධ සන්නද්ධ සටනක් දක්වා කොටි ත්‍රස්තවාදය නිර්මාණය වීමය.

ධර්මිෂ්ඨ පාලනයක් නිවහල් රටක් යන පොරොන්දුවෙන් 77 දී බලයට පත්වූ ජේ.ආර් ද මැතිවරණ සිතියම හකුලාගත්තේය. “83 පැවැත්වීමට නියමිත මහමැතිවරණය නොපවත්වා ජනමත විචාරණයක් මගින් තවත් වාරයකට සිය පාර්ලිමේන්තුවේ ධූර කාලය දීර්ඝ කළේය. “89 දී ජේ.ආර් සිය පාලනය අවසන් කරන විට රට දෙකොණ පත්තු වූ විලක්කුවක් තිබිණි. ප්‍රේමදාස භාරගත්තේ අස්ථාවර රටකි. එමෙන්ම 88/89 තරුණ නැගිටීම් හා භීෂණයට එක් ප්‍රධාන හේතුවක් වූයේද මැතිවරණ කල්දැමීමය. ඒ බව තරුණ අසහන කොමිසම් වාර්තාවේ ද සඳහන් ය. පළාත් සභා පිහිටුවීමෙන් පසු උතුරු නැගෙනහිර මැතිවරණ ද අඛණ්ඩව වසර කිහිපයක් නොපැවැත්විණි. පහුගිය පාලන සමයේ පුදුකුඩිඉරුප්පු සහ මුහුදුබඩපත්තු යන පළාත් පාලන ආයතන මැතිවරණද කල්දැමුණු. මේ සෑම මොහොතක ප්‍රජාතන්ත්‍රවාදය හා මහජන මතය විකෘති විය. සෑම මැතිවරණ කල් දැමීමක්ම රටේ කැළඹීමක් ඇති කළේය. මැතිවරණ කල්දැමීම නිසා මෙවැනි ලේ වැගිරීම් වැනි ඛේදනීය ඉතිහාසයක් උරැම රටක නැවත වතාවක් මැතිවරණ කල් දැමීම කිසිසේත්ම නුසුදුසුය.

පැවති ආණ්ඩුව යටතේ කඩින් කඩ මැතිවරණ පැවැත්වූ බව සැබෑය. එහෙත් ඔවුන් කිසිවිටෙක පුරවැසියා ඡන්දපොළට ගොස් ඡන්ද ප්‍රකාශ කිරීම වැළැක්වූයේ නැත. එහෙත් මේ සිදුවෙමින් තිබෙන්නේ. පැවැත්විය යුතු මැතිවරණ සියල්ල කල්දමමින් ඡන්ද අයිතිය උල්ලංඝනය කිරීමකි. මහජන පරමාධිපත්‍ය විකෘති කිරීමකි. යහපාලනය මූලික සංකල්පවලට පටහැනි කාර්යයකි.

♦ සකීෆ් සාම් තන්වීරි

පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තෆා

20වැනි ව්‍යවසාථා සංශෝධනයෙන් අදහස් කරන්නෙ මොකද්ද?

20වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අදහස් කරන්නේ පළාත් පාලන මැතිවරණ සියල්ලම එකම දවසක පවත්වන්න.

එහෙනම් ඒකෙ නැද්ද මැතිවරණයක් කල් දානවා කියලා?

ඕනෑම දෙයක් විකෘති ලෙස අර්ථකතනය කරන්න පුළුවන්. රටේ ජනතාවගේ අවශ්‍යතාවයක් තියෙනවා සියලුම පළාත් සභා මැතිවරණ එකම දිනයක පවත්වගන්න. ඒ හින්දා ආණ්ඩුව තීන්දු කරලා තියෙනවා එකම දිනයක පවත්වන්න. ඒකෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙනවා, රාජ්‍ය වියදම් අඩුවෙනවා. කඩ කඩ මැතිවරණ තියෙනකොට ආණ්ඩු බලය පාවිච්චි කිරීමේ ප්‍රවණතාවයක් අපි දැකලා තියෙනවා. ජනතාවගේ ජනමතය හරි විදිහට අර්ථ නිරෑපණය වෙන්නෙත් නෑ. මේ ප්‍රශ්න සියල්ලම සළකා බලා ආණ්ඩුව තීන්දුවක් අරගෙන තියෙනවා එක දිනයක මැතිවරණ පවත්වන්න. 

එහෙම නම් කරන්න තිබුණේ ධූරකාලය පසුව අවසන්වීමට තිබුණ පළාත් සභා කළින්ම විසුරවලා මැතිවරණයකට යන එක නොවෙයිද?

මම පස්ස ඉස්සරහා ගැන දන්නෙ නෑ. මම දන්න එකම එක දෙයයි. රටේ ජනතාවට පළාත් සභා ඡන්ද 2017, 2018, 2019 විදිහට කැඩි කැඩී තියෙන එක තමයි ප්‍රශ්නෙ. ඒ තතත්වයෙන් ජනතාව මුදා ගැනීමේ අවශ්‍යතාවක් තියෙනවා. මුදාගන්න එකම ක්‍රමය මෙවැනි සංශෝධනයක් ගෙනල්ලා සියලුම පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතු නිශ්චිතය දිනය කවදා විය යුතුද කියලා පාර්ලිමේන්තුව තීන්දු තීරණ ගන්නවා. ඒ තීන්දුව ගැනීමේ වරම ජනාධිපතිතුමාට හෝ පළාත් සභා ඇමතිට දීලා නෑ. මේ සංශෝධනයෙන් වරම දීලා තියෙන්න උත්තරීතර පාර්ලිමේන්තුවට.

මැතිවරණ පවත්වන තීරණ ගන්නේ පාර්ලිමේන්තුව නම් මොකටද ස්වාධීන මැතිවරණ කොමිසමක්?

ඡන්දයක් පවත්වන්නෙ කවදාද කියන එක කවදාවත් කොමිෂන් සභා තීන්දු තීරණ කරලා නෑ. ආණ්ඩු තීන්දු තීරණ ගත්තට පස්සේ කොමිෂන් සභා තමයි ඒවා ක්‍රියාත්මක කරන්නේ.

හරි එහෙම නම් මේ සංශෝධනය කරන්න ජනමත විචාරණයක් අවශ්‍යය නේද?

ආණ්ඩුවේ මතය ජනමත විචාරණයක් අවශ්‍ය නෑ කියන එක. සමහර විපක්ෂයේ ඉන්න අය වෙන මත දරන්න පුළුවන්. දේශපාලන වේදිකාවක් හොය හොය යන අයත් එවැනි මත දරන්න පුළුවන්. අපේ විශ්වාසය ජනමත විචාරණයකින් තොරව සම්මත කරගන්න පුළුවන්. ඒ විශ්වාසය උඩ තමයි මේ කෙටුම්පත ගෙනාවේ.

ජනාධිපති නීතීඥ මනෝහරාද සිල්වා

අලුත් සංශෝධනයේ අරමුණ මොකක් කියලද හිතන්නේ?

20වැනි සංශෝධනයේ අරමුණ දැනට තියෙන සියලුම පළාත් සභාවල දුර කාලය දීර්ඝ කිරීමයි. නමුත් ආණ්ඩුව මතුපිටින් කියන්න හදන්නේ සියලුම පළාත් සභා මැතිවරණ එකම දිනයක පවත්වා වියදම් අඩුකරගෙන ලාභ ලැබීමට කියලයි. අවසාන පළාත් සභා මැතිවරණයක් තිබ්බේ 2014 සැප්තැම්බර් 24 වැනිදා ඌව පළාත් සභාවේ. එතකොට එම පළාත් සභාවට අවුරුදු පහක් සම්පූර්ණ වෙන්නේ 2019 සැප්තැම්බර් 20 වැනිදා. එතකොට ආණ්ඩුවට තියෙන්නේ සියලුම පළාත් සභා 2019 සැප්තැම්බර් 20 දක්වා දීර්ඝ කිරීමේ පරමාර්ථයක්. ඊට කලින් මැතිවරණයකට නොයන්න තමයි අපේක්ෂාව.

මේකෙන් වෙන්නෙ මොකද්ද?

මේකෙන් වෙන්නේ ජාතිවාදී ස්වරූපයෙන් කටයුතු කරන උතුරු පළාත් සභාවටත් පරිත්‍යාගයක් විදිහට තවත් අවුරුද්දක ධූර කාල දීර්ඝ කිරීමක් ලැබීමයි.

මේක ව්‍යවස්ථාවට පටහැනියි ද?

දැනට පත්වෙලා තියෙන පළාත් සභාවල ධුර කාලය දීර්ඝ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වගන්තියටත් 83 වන වගන්තියටත් පටහැනියි. ඒ අනුව ජනමත විචාරණයක් අවශ්‍ය වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන වගන්තියෙන් කියනවා ඡන්ද බලය පරමාධිපත්‍යයේ කොටසක් කියලා. පරමාධිපත්‍යයේ කොටසක් නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන වගන්තියට අනුව 3වන වගන්තියට විරුද්ධව නීතියක් පනවා නම් ජනමත විචාරණයකින් ජනතාවගේ අනුමැතිය අවශ්‍ය වෙනවා. මේක තනිකර ජනතාවගේ පරමාධිපත්‍ය උදුරා ගැනීමක්. ජනතාවගේ ඡන්ද බලය උදුරාගැනීමක්.

මැතිවරණ පවත්වන දිනය තීරණය කරන්නේ කවුද?

පනතේ තියෙන්නේ පාර්ලිමේන්තුව තමයි තීරණය කරන්නේ කවද්ද මැතිවරණය තියන්නේ කියලා. දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ඊ වගන්තියේ තියෙන්නේ අවුරුදු පහකින් ධූර කාලය අවසන් වෙනවා කියලා පැහැදිලිව දක්වලා තියෙනවා. මේ සංශෝධනයෙන් කියන්නේ අවසන් වන දිනය පාර්ලිමේන්තුවට තීරණය කරන්න පුළුවන් කියලා. ඒ වගන්තිය වෙනස් කරන්න නම් තුනෙන් දෙකක අනුමැතියක් සහ ජනමත විචාරණයක් අවශ්‍යයි. මේ පනතෙන් කරන්න හදන්නේ සාමාන්‍ය ඡන්දයකින් පළාත් සභාවල ධූර කාලය දීර්ඝ කිරීමටයි.

ආණ්ඩුව මේ කරන දේ හරිද?

මේක ඉතා වැරදි පූර්වාදර්ශයෙක්. ඉතාම භයානකයි අනාගයේදී ජනාධිපතිවරයාටත් ඔහුගේ ධූර කාලයත් දීර්ඝ කරගන්න පුළුවන්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාලයත් දීර්ඝ කරන්න පුළුවන්. මේ විදිහට යම් කිසි කාල සීමාවක පත්වෙන දේශපාලනඥයෝ විවිධ හේතූන් දක්වලා කාලය දීර්ඝ කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධියි. රජයක් ලැජ්ජ විය යුතුයි මේ වගේ පනත් ගේන්න. තමන්ට ඡන්දෙ දිනන්න බැරි නම් ඒක පිළිඅරගෙන පැත්තකට වෙනවා මිසක් මේ විදිහේ නීති වෙනස් කරලා බලයේ ඉන්න එක ඒකාධිපතීන් කරන වැඩක් මිසක් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකේ සිදුවිය යුතු වැඩක් නෙවෙයි.

 

 

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00