2017 ජුලි 15 වන සෙනසුරාදා

කොළඹ පේරාදෙණිය කැම්පස් නිදහස්!

 2017 ජුලි 15 වන සෙනසුරාදා, ප.ව. 06:02 234

හෝඩියේ පන්තියේ සිට විශ්ව විද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපනයක් ලබාදෙන රටක ඉපදීමට ලැබීම අප කාගේත් භාග්‍යයක් ලෙස හැඳින්වීමෙහි වරදක් නැත. ඉහළ සාක්ෂරතාවයක් සමඟින් උගත් ජාතියක් ලෙස ජාත්‍යන්තරය ඉදිරියේ පෙනී සිටීමට ඒ හරහා අපට ලැබී ඇත්තේ විශාල ශක්තියකි. රජයේ ප්‍රතිපාදන එසේත් නැතිනම් මහජන බදු මුදලින් පවත්වාගෙන යන නිදහස් අධ්‍යාපනයක් ඇති ශ්‍රී ලංකාව තුළ මෙකී නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට යත්න දැරූ අවස්ථා ගැනද විශේෂයෙන් උද්ඝෝෂණ ස්වරූපයෙන් අසන්නට දකින්නට ලැබුණු අවස්ථා එමටය. සයිටම් අර්බුදය ද එහිම කොටසක් ලෙස ඉස්මතු කෙරෙන්නකි. 

මේ වියමන සයිටම් ගැන නොවේ. පසුගියදා උසස් අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අනුකාරක සභාව තුළදී මතුවුණු යෝජනාවක් මෙම ලිපියට මුල් විය. එනම් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වන මහාචාර්ය ආශු මාරසිංහ විසින් වෙනස් තාලේ යෝජනාවක් අනුකාරක සභාවට ඉදිරිපත් කෙරිණ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය විශ්ව විද්‍යාල දෙකක් වන කොළඹ සහ පේරාදෙණිය යන විශ්ව විද්‍යාල යම් ස්වාධීන බලතල භුක්ති විඳින විශ්ව විද්‍යාල දෙකක් බවට පරිවර්තනය කළ හැකියැයි ඔහු යෝජනා කර තිබුණි.

කොළඹ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලවලට මේ කරන්නට හදන්නේ කුමක්ද යන කුකුස මත මේ සම්බන්ධයෙන් ඉකුත් 7 වැනිදා ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ද උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් විමසා සිටියේය. ඔහු අසා සිටියේ කොළඹ සහ පේරාදෙණිය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉවත් කොට ලාභ උපයන ස්වාධීන ආයතනයක් බවට පත්කරන්නේද යන්නය. උසස් අධ්‍යාපන අමාත්‍යවරයා එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතුදු මෙම යෝජනාව ඉදිරිපත් කළ මහාචාර්ය ආශු මාරසිංහ සම්බන්ධ කරගත් අවස්ථාවේදී ඔහු අවධාරණය කරසිටියේ තමා පාර්ලිමේන්තු අනු කමිටුවක් තුළ ඉදිරිපත් කළ යෝජනාව කිසිසේත්ම රාජ්‍ය විශ්ව විද්‍යාල පෞද්ගලීකරණය කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ අදහසක් නොවන බවත් විශ්ව විද්‍යාල සනාතන සභාවට ස්වාධීනව තීරණ ගැනීමේ වැඩි අයිතියක් අවැසි බව විශ්ව විද්‍යාලය තුළින්ම පැන නැඟුණු අවශ්‍යතාවක් මත ඉදිරිපත් කළ බවත්ය. 
ඒ පිළිබඳව වැඩිදුර කරුණු අනාවරණය කරගෙන යාමේදී 2015 සැප්තැම්බර් 3 සහ 4 දෙදින පුරා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති මෙරට ප්‍රමුඛ විශ්ව විද්‍යාල රැසක ආචාර්ය මහාචාර්යවරු රැස්වී පැවැත්වූ විශේෂ වැඩමුළුවක අවසානයේදී පළකෙරුණු වාර්තාවක් අපට හමුවිය. University governance, Autonomy and Accountability - Directions for change (විශ්ව විද්‍යාල පාලනය, ස්වාධිනත්වය හා වගවීම - පරිවර්තනයක් සඳහා මාර්ග) නම් එම වාර්තාව සකස්කර වී ඇත්තේ විශ්ව විද්‍යාල පද්ධතියේ අභිවෘද්ධිය වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව ය. කොළඹ විශ්ව විද්‍යාලයේ අදහසක් අනුව (කොළඹ විශ්ව විද්‍යාලයේ සනාතන සභාව තුළ මේ සම්බන්ධයෙන් අනු කමිටුවක් ද පත්කර තිබුණි) සංවිධානය කෙරුණු උක්ත වැඩමුළුවේදී සාකච්ඡාවට ගැනුණු කරුණු හා අවසාන නිර්දේශ ඊට පදනම සපයා තිබුණි.

එහි ‛හඳුන්වාදීම කොටසෙහි සඳහන් වන ආකාරයට ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය පරිපාලනමය වශයෙන් මුහුණ පා ඇති අර්බුදය දෙයාකාර ය. ඉන් පළමුවැන්න වන්නේ මෙරට සෙසු රාජ්‍ය ආයතනවල දක්නට ලැබෙන ආකාරයේ පාලනයේ බිඳවැටීමක්, හායනයක් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ද දක්නට ලැබීම ය. අඩු රාජ්‍ය ප්‍රතිපාදන, අඩු සේවක වැටුප්, යටිතල පහසුකම් සංවර්ධනයේ අඩුපාඩු, දුර්වල කළමනාකාරීත්වය, උග්‍ර නිලධාරීවාදය ආදිය ඉන් කිහිපයකි. දෙවැන්න වන්නේ විශ්ව විද්‍යාල පද්ධතිය දේශපාලනීකරණය වීම තුළ මතුව ඇති අර්බුදය යි. එහිදී විශ්ව විද්‍යාල පරිපාලනය දේශපාලනීකරණය වීමේ සිට ශිෂ්‍ය නොසන්සුන්තා දක්වා සියලු විශ්ව විද්‍යාල කටයුතුවලදී දේශපාලන ඇඟිලි ගැසීම් දක්නට ලැබීම අර්බුදයේ ප්‍රධාන කොටසක් ලෙස පෙන්වා දී තිබේ.

එම වාර්තාවේ දැක්වෙන පරිදි වැඩමුළු කාලසීමාව තුළ ප්‍රධාන උප අංශ හයක් පාදක කරගනිමින් විශ්ව විද්‍යාල ඇදුරන් අතර සාකච්ඡා සිදුවී තිබේ. ඒ සියල්ලටම අදාළව නිර්දේශ ද ඉදිරිපත් කර තිබේ. 

නිදසුනක් ලෙස අධ්‍යාපනයේ නිදහස, ස්වාධීනතාව හා වගවීම නමැති උප කාණ්ඩය යටතේ, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම්වලට අදාළව තොරතුරු විමසා දැනගැනීමේ අයිතිය හා අධ්‍යාපනයේ අයිතිය පැහැදිලිව එකතු කිරීම ජාතික මට්ටමින් ගත යුතු පියවරක් ලෙස නිර්දේශ කොට ඇත. මෙහිදී ඉදිරිපත් කෙරෙන තවත් යෝජනාවක් වන්නේ විශ්ව විද්‍යාල සේවය රාජ්‍ය සේවයට අයත් වෙනම සේවාවක් ලෙස ස්ථාපිත කිරීම හා විශ්ව විද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලය ද (සරසවි ආචාර්යවරු) රාජ්‍ය සේවය තුළ වෙනම සේවා අංශයක් ලෙස ස්ථාපිත කිරීම ය. ඊට අමතරව විශ්ව විද්‍යාල පනත සංශෝධනය කරමින් විශ්ව විද්‍යාලවලට යම් ස්වාධීනත්වයක් පිරිනැමීම පිළිබඳව ද එහි සඳහන් වේ. 

මෙම වාර්තාවේ සඳහන් කරුණු දෙස පරීක්ෂාකාරීව බැලූ විට පෙනෙන්නට ඇත්තේ, ඒවා ක්‍රියාත්මක කිරීම තුළින් සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියම දැවැන්ත වෙනසකට බඳුන් වීමේ ඉඩක් පවතින බව ය. ඉන් අනියත බියක් ඇති කරගන්නවා වෙනුවට අප වටහාගත යුත්තේ එකී වෙනස යහපත් දිශානතියකට ගමන් කරන්නේද නොඑසේනම් විශ්ව විද්‍යාල පද්ධතිය තවදුරටත් පරිහානිය කරා ගමන් කරවන්නේ ද යන්න ය. 

රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය සම්බන්ධයෙන් පොදුවේ රටේ ජනතාව තුළ ඇති අදහස තරමක් ව්‍යාකූල ය. ඊට ශිෂ්‍ය අරගල ප්‍රබල හේතුවක් විය හැකි වුවත් විශ්ව විද්‍යාලවලින් සමාජයට රටට ලැබෙන දායකත්වය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් ද සමාජයට ඇතුවාට සැක නැත. වෙනකක් තබා පාසලේ උසස් පෙළ පන්තියකින් රාජ්‍ය විශ්ව විද්‍යාල වෙනස් වන්නේ කෙසේද යන්න විශ්ව විද්‍යාලය තුළින්ම ප්‍රශ්න කෙරී ඇත. උසස් පෙළ පන්තියේත් විශ්ව විද්‍යාලයේත් වෙනසක් නැති ගාණය. ගිරවුන් සේ පොත් පාඩම් කර විභාග ලිවීම උසස් පෙළ පන්තියේ සිසුවාගේත් සරසවි සිසුවාගේත් එකම අධ්‍යයන මූලෝපාය වී තිබේ. ස්වයං අධ්‍යයනයට, විශේෂයෙන්ම පර්ෙය්ෂණ තුළින් උගෙනීමට සරසවි පසුබිම සිසුවා ධෛර්යමත් කළ යුතු වුවත් එවැන්නක් සිදු නොවන තරම් ය. එක් අතෙකින් යල් පැන ගිය සංකල්ප සිසුවාට උගන්වන අලුත් පර්යේෂණයක් අලුත් දැනුමක් සොයා ගමන් නොකරන සරසවි ඇදුරන් සිටින තාක් එම පසුබිම උදා වනු ඇතැයි සිතීම ද දුෂ්කර ය.

විශ්ව විද්‍යාලය යනු සැබෑ වැඩිහිටියෙක් නිර්මාණය කරන ඉගෙනුම් අවකාශයක් බවට පත් කරලිය යුතුය. ස්වාධීනව සිතන්නට හා ප්‍රකාශ කරන්නට හැකි තාරුණ්‍යයක් රටට බිහිකළ යුත්තේ විශ්ව විද්‍යාලයෙනි. නමුත් විශ්ව විද්‍යාලයෙන් පිටවී රැකියා ලෝකය බලා යන තරුණ තරුණියන් තුළ ආකල්පමය වශයෙන් පවතින ධනාත්මක ස්වභාවය ගැන ඇත්තේ ද බරපතළ පැනයකි. විශ්ව විද්‍යාලය යනු රැකියා ෆැක්ටරියකැයි සිතා වැඩ ලෝකය ගැන අල්පමාත්‍ර දැනුමකුදු නොමැතිව කටයුතු කරන සරසවි ශිෂ්‍යයා ඉන් පිටවූ විට වන්නේ අතරමං වීම ය.

විශ්ව විද්‍යාල ශිෂ්‍ය දේශපාලනය තුළ කැපී පෙනෙන භූමිකාවක් හොබවන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩගෙන් කරැණු විමසූ අවස්ථාවේදී විශ්ව විද්‍යාලවල යම් ස්වාධීනත්වයක් ඇතිවීම තුළ විශ්ව විද්‍යාල දේශපාලනයට ඇති තම බලපෑම අහෝසි වී යා හැකිය යන බිය මත මේ ස්වාධීනතා යෝජනාවට විරුද්ධ වන්නේද යන ප්‍රශ්නය ඇසීමු. ඔහු එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ විශ්ව විද්‍යාල ස්වාධීන වුවත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ පැවැතියත් ශිෂ්‍යයින් හා තමන් අතර සිදුවන දේශපාලන කටයුතුවලට කිසිදු බාධාවක් එල්ල නොවන බව ය. මෙම යෝජනාවෙහි අදාළ බව පවතින්නේ උසස් අධ්‍යාපනය සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම හා උසස් අධ්‍යාපනයට දේශපාලන මැදිහත්වීම යන කාරණා සම්බන්ධයෙන් පමණක් බව ද ඔහු අවධාරණය කළේය.

ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමෙහි කිසිදු ප්‍රශ්නයක් නැත. නමුත් ගුණාත්මක අධ්‍යාපනයක්, පර්යේෂණ සංස්කෘතියක් මුල් කරගත් ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් සඳහා අයිතිය ඉල්ලා කිසිදු ශිෂ්‍ය සංවිධානයක් බැනර් නොඑසවීම කණගාටුවට කරුණකි. විශ්ව විද්‍යාල නේවාසිකාගාර ගැටලුවට වඩා ගැටලුවක් වන්නේ ගුණාත්මක අධ්‍යාපනයක් නොලැබීමේ ගැටලුව ය. ඒ සඳහා පාර කැපීමේදී ශිෂ්‍ය සංවිධාන සතුව ද විශාල වගකීමක් පැටවී තිබේ. 
දේශපාලන වේදිකාව තුළ මහ හඬින් මොර දෙමින් කෑ ගසන්නේ නවෝත්පාදන ආර්ථිකයක් රටට හඳුන්වාදෙන බව ය. එහෙත් ඊට අවශ්‍ය පසුබිම විශ්ව විද්‍යාල තුළ තවමත් සෑදී නැත. රටට අවශ්‍ය දෙන්නන් වාලේ දෙන නිදහස් අධ්‍යාපනයක් නොව ගුණාත්මක නිදහස් අධ්‍යාපනයකි. උගත් තරුණ්‍යයට රටේ සුක්කානම අතට ගත හැකි නිදහස් අධ්‍යාපනයකි.  
(මේ සම්බන්ධව කරුණු විමසීමට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා සම්බන්ධ කරගැනීමට කිහිප අවස්ථාවක්ම උත්සාහ දැරූ නමුත් ඔහුගේ කාර්යබහුලතාව හේතුවෙන් එම උත්සාහය ව්‍යර්ථ විය) 

සමහර කරුණු ගැන ස්වාධීන තීන්දුව ගැනීමට ඉඩක් ඕනෑ

කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක

මුලින්ම අවධාරණය කළ යුතුයි මේ කියන්නේ විශ්ව විද්‍යාලය පෞද්ගලීකරණය කරන්න සූදානම්වීමක් ගැන නෙමෙයි. කොළඹ විශ්ව විද්‍යාලය කියන්නෙ රාජ්‍ය ජාතික විශ්ව විද්‍යාලයක්නෙ. මමත් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන ආපු කෙනෙක් නිසා ඒකෙ වටිනාකම අපි දන්නවා. අපිට හැමදාම මේ විශ්ව විද්‍යාලය රජයේ ප්‍රතිපාදන සැපයෙන රාජ්‍ය විශ්ව විද්‍යාලයක් විදිහටයි දකින්න වුවමනා කරන්නෙ. 

හැබැයි අපිට සමහර දේවල් සම්බන්ධයෙන් ස්වාධීනව තීරණ ගැනීමේ හැකියාව අවශ්‍යයි. උදාහරණයක් හැටියට අපේ බඳවාගැනීම් කටයුතු අපටම දැන්වීම් පළකිරීම ඔස්සේ සිදුකිරීමේ නිදහස තිබිය යුතුයි. ඒ කියන්නේ කාර්ය මණ්ඩලය, ආචාර්ය මණ්ඩලය බඳවාගත හැකිවිය යුතුයි. එවිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන සභාවට නොයා අපිටම යම් නීති රාමුවකට ක්‍රියාපටිපාටියකට යටත්ව කටයුතු කරන්න හැකිවෙනවා. තවත් උදාහරණයක් ගත්තොත් අපේ ආචාර්ය මණ්ඩල සාමාජිකයෝ විදේශගත වන අවස්ථාවකදී නිවාඩු අනුමත කරගැනීමට අගමැති කාර්යාලයට යැවිය යුතුව තිබෙනවා. ඒ වාගේ දේකට අනුමැතියක් ලබාදීම උප කුලපතිවරයාට කරන්න බැරිද? මොකද මේ සියලු දේවල් මට එන්නේ පහළින් තිබෙන වෙනත් කමිටු හරහානෙ. අපිට ඇතැම් වෙලාවට සම්මන්ත්‍රණවලට සහභාගීවීමට දවස් දෙකකට කලින් ඇරැයුම් ලැබෙන අවස්ථා තිබෙනවා. ඒ වාගේ වෙලාවට අපි මොකද කරන්නෙ? 

තවත් උදාහරණයක් තමයි අපේ පාඨමාලා තීරණය කිරීම. විශ්ව විද්‍යාලයේ සනාතන සභාව තමයි විශ්ව විද්‍යාලයේ අධ්‍යයන පාඨමාලා සම්බන්ධයෙන් තීරණ ගැනීමේ උත්තරීතර බලය පැවරෙන ආයතනය. උපකුලපතිවරයා වශයෙන් මම තමයි එතැන සභාපති. ඊට අමතරව පීඨාධිපතිවරු, අධ්‍යනාංශ ප්‍රධානීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු ආචාර්යවරු සනාතන මණ්ඩලයේ සාමාජිකයන් ලෙස කටයුතු කරනවා. ඉතින් අපේ අධ්‍යයන පාඨමාලා ගැන තීරණ ගන්න මේ අයට හැකියාව තියෙනවනෙ. දැන් සිද්ධ වෙන්නෙ හැම යෝජනාවක්ම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන මණ්ඩලයට ඉදිරිපත් කිරීමයි. එතකොට ඒවා අනුමත වෙලා එනකම් මාස ගණනාවක් බලා ඉන්න සිද්ධ වෙනවා. අන්න ඒ වගේ දේවල්වලට තමයි අපිට යම් ස්වාධීනතාවක් අවශ්‍ය වෙන්නෙ. 

අලුතින් හිතන සංස්කෘතියකට මඟ පෑදීමක්
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ

කොරහේ කිඹුල්ලු දකින දේශපාලනයක් කරන සමහරු මේ යෝජනාව වැරදි විදිහට සමාජගත කරමින් තිබෙනවා. අපි මෙතැනදි කතාකරන ස්වාධීනත්වය කියන්නේ පෞද්ගලික පාඨමාලා පටන් ගැනීමක් නොවෙයි. විශ්ව විද්‍යාල කටයුතුවලදී මතුවන යම් බාධා කිහිපයක් ඉවත් කරගැනීම තමයි මෙතැනදි අරමුණු කෙරෙන්නේ. අපි දන්නවා සාමාන්‍යයෙන් ලෝකයේ විශ්ව විද්‍යාලයක අධ්‍යයන පාඨමාලා පිළිබඳ තීරණ ගනු ලබන්නේ ඒ ඒ විශ්ව විද්‍යාලයේ සනාතන මණ්ඩලය විසිනුයි. නමුත් අපේ රටේ තත්ත්වය ඊට වෙනස්. අලුත් පාඨමාලාවකට අනුමැතිය ලබාගනිද්දි අමාත්‍යංශයට ගිහින් විවිධ කමිටුවලට ගිහින් අනුමැතිය ලැබෙද්දි සමහරවිට ඒ පාඨමාලාවෙ අවශ්‍යතාවයත් නැතිවෙලා. 

තවත් ප්‍රශ්නයක් විදිහට මම දකින දෙයක් තමයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා දෙවතාවකට බඳවාගැනීම් සිදුකළත් ඉන්පස්සෙ හත් අට වතාවක් බඳවාගැනීම් කළත් එය සම්පූර්ණ නොවුණු අවස්ථා දකින්න ලැබීම. කොමිෂන් සභාව දෙවැනි වරට බඳවාගැනීම් වාරයක් ක්‍රියාත්මක කළාට පස්සෙත් ඉතුරුවෙලා තියෙන ඉඩ නිසා, ඒ කියන්නෙ ශිෂ්‍ය බඳවාගැනීම් ක්‍රියාවලියේ පවතින අක්‍රමිකතාවය නිසා විශාල ශිෂ්‍ය සංඛ්‍යාවකට උසස් අධ්‍යාපන වරම් අහිමිවෙලා තිබෙනවා. ඒ වගේම මේ සමහර නීති නිසා ඒ ඒ පීඨවල පුරප්පාඩුවලට දක්ෂයන් බඳවාගැනීමටත් නොහැකි වෙනවා.
තවත් වැදගත් දෙයක් තමයි පර්යේෂණ අංශය. උදාහරණයකට මට පර්යේෂණයක් සඳහා මිලියන 10ක ආධාරයක් විදේශයකින් ලැබුණා කියමු. ඒ විදිහේ ආධාරයක් ලැබෙන්නේ මම කරන පර්යේෂණය මොකක්ද කියල මම කලින් ඉදිරිපත් කළාට පස්සෙයි. හැබැයි ඒ ආධාරය ලැබුණට පස්සෙ මම මේ ගැන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට දැනුම් දෙන්න ඕනෙ. ඉන් පස්සෙ එයාලා කියන විදිහට තමයි ඒ මුදල් වැය කරන්න සිද්ධ වෙන්නෙත්. අනෙක් අතට ශිෂ්‍යත්වයකට, ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට විදේශගතවීමේදී පවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත යුතුයි. ඒක හරි අසාධාරණයිනෙ. විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ට ඒ ස්වාධීනත්වය ලබාදිය යුතුයි. අඩුම ගාණෙ තමන්ගෙ සල්ලිවලින්වත් ඒවාට යන්න නිදහසක් නැහැ. මේවා තමයි විශ්ව විද්‍යාලවල තියෙන ප්‍රශ්න. අපි කවදද විශ්ව විද්‍යාලවලට ස්වාධීනව කටයුතු කරන්න, අලුතින් හිතන්න, පර්යේෂණ කරන්න අවශ්‍ය පරිසරය හදලා දෙන්නෙ? මේ ස්වාධීනත්වය විශ්ව විද්‍යාලයට ගෙනගියොත් අනාගතයේදී විශ්ව විද්‍යාලය තුළ තියෙන දේශපාලන ඇඟිලි ගැසීම්  පවා නතර වේවි.

අපි මේ ගැන සාකච්ඡාවක් මතු කළා පමණයි. විශ්ව විද්‍යාලය තුළ අලුතින් හිතන්න පුළුවන් සංස්කෘතියක් මේකෙන් පදනමක් බිහිවෙන බව තමයි මගේ මතය. කොළඹ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාල ගැන විශේෂයෙන් සඳහන් කළේ ඒවාට එහෙම ස්වාධීනව තීරණ ගැනීමේ ශක්තිය තියෙන නිසායි. උදාහරණයකට වයඹ වගේ විශ්ව විද්‍යාලයකට එහෙම ස්වාධීනව තීරණ ගැනීම අපහසු වෙන්න පුළුවන්. නමුත් කොළඹට සහ පේරාදෙණියට ඒ හැකියාව තියෙනවා. ඉදිරියට යන්න පුළුවන් විශ්ව විද්‍යාලවලට ඒ සඳහා තියෙන බාධක අපි ඉවත් කරදිය යුතුයි. 

මොකක්ද කරන්නෙ කියලා හරියට කිව යුතුයි
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හදලා තියෙන්නෙම විශ්ව විද්‍යාලවල ප්‍රතිපාදන, මූලික පරිපාලන ප්‍රශ්න හා ශිෂ්‍යයන් බඳවාගැනීමටයි. 1978 අංක 16 දරන පනතින් තමා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට සියලු විශ්ව විද්‍යාල පත් කළේ. දැන් කොළඹ හා පේරාදෙණිය විශ්ව විද්‍යාල දෙක විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉවත් කරන්න ආණ්ඩුව යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒගොල්ලො ඒකට කියන්නේ ස්වාධීන කරනවා කියලයි. විශ්ව විද්‍යාල දේශපාලන බලපෑම්වලින් ස්වාධීන කරන්න නම් කළ යුත්තේ ප්‍රතිපාදනවලින් ස්වාධීන කරන එක නෙමේ. එහෙම වුණාම රාජ්‍ය ප්‍රතිපාදන නැතිව විශ්ව විද්‍යාලවලට තමන්ගේ ප්‍රතිපාදන හොයාගන්න වෙනවා. දැනටත් විශ්ව විද්‍යාලවලට ඒ ප්‍රශ්න ඇවිත් තියෙනවා. රුහුණු විශ්ව විද්‍යාලයේ නිවාඩු දිනවල ක්‍රීඩාපිටිය පවා කුලියට දෙන තත්ත්වයක් මතුවුණා. විශාල අරගලයකින් තමා ඒ තත්ත්වය නවත්වාගත්තෙ. මොරටුව විශ්ව විද්‍යාලයේත් විද්‍යාගාර කුලියට දෙනවා. 

අපි කියන්නේ විශ්ව විද්‍යාලවල ස්වාධීනත්වය හදනවානම් තව ක්‍රම තියෙනවා කියලයි. උදාහරණයක් විදිහට විශ්ව විද්‍යාලයේ පාලක සභාව මුළුමනින්ම පත්කරන්නේ ඇමැතිවරයා. උපකුලපතිවරයාව පාලක සභාවෙන් නම් කළත් පත් කරන කෙනා තීරණය කරන්නේ ජනාධිපතිවරයා යි. චන්ද්‍රිකා ජනාධිතිනියගේ සමයේදී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස පාලක සභාවෙන් නම් කළ තැනැත්තන් සියලු දෙනා ප්‍රතික්ෂේප කරමින් අවසානයේදී තමන් කැමැති පුද්ගලයාගේ නම යෝජනා වෙනතුරු ජනාධිපතිනිය බලා සිටි අවස්ථාව අපිට මතකයි. ඉතින් කොළඹ හා පේරාදෙණිය විශ්ව විද්‍යාල ස්වාධීන කරනවා යැයි අදහස් කරන්නේ කුමක්ද කියල ආණ්ඩුව රටට හෙළි කළ යුතුයි. 

♦ රජිත ජාගොඩ ආරච්චි

 

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00