2017 ජුලි 15 වන සෙනසුරාදා

පරිසරය වළපල්ලට යවන පුත්තලමේ වැලි ජාවාරම

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 28

නීති විරෝධී ක්‍රියාවන් හේතුවෙන් දිනෙන් දින ඉහළ යන පරිසර විනාශයත් සමඟ එහි සුන්දරත්වයටද හානි සිදුවෙමින් පවතී. ගහකොළ කැපීම, සතුන් දඩයම් කිරීම, පස් කැපීම, නිධන් හෑරීම, මෙන්ම වැලි ගොඩ දැමීමම තුළින් බරපතළ පරිසර විනාශයක් සිදුවෙමින් පවතී. වැලි ජාවාරම මහා පරිමාණයෙන් සිදුවීම ගංගා, ඇළ, දොළ, වැව්, අමුණු විනාශවීමට හේතුවක්වී ඇත. ජල මූලාශ්‍රවල වැලි ලබා ගැනීමේදී ඉවුරු කඩා වැලි ගැනීමත් උමං හාරා ඒ ආශ්‍රිත ගොඩගැසී ඇති වැලි ලබා ගැනීමත් නිසා විශාල වශයෙන් ගංඉවුරු සේදී යාම සිදුවේ. දැදුරැඔය, මා ඔය, මී ඔය, නරි ඔය වැනි ගංගා දෙපස සේදී යාමෙන් මහා විශාල ගස්කොළන්වල මුල් ඉදිරී පෙරළී තිබේ.

ප්‍රමිතියකින් තොරව වැලි ලබා ගැනීම නිසා ගංඟා ගැඹුරු වීමත් පළල් වීමත් නිසා මිනිසාගේ දෛනික කටයුතු සඳහාද බලපෑමක් එල්ලවී ඇත. මෙවැනි ජල මූලාශ්‍ර උපයෝගී කර ගනිමින් සිදුකළ වගාබිම් සඳහා ජලය ලබා ගැනීම අපහසු කාර්යයක් බවට පත්වී තිබේ. වර්තමානයේදී මෙම ජල මූලාශ්‍ර උපයෝගී කර ගනිමින් පවත්වාගෙන යන ජල ව්‍යාපෘතිද අසාර්ථක තත්ත්වයකට පත්වී ඇත්තේ මෙම වැලි ගැනීම හේතුවෙනුයි. අතීතයේදී පොළව මතුපිටින් කුඩාවට ගලාගෙන ගිය මීඔය වැලි හෑරීම නිසා  ඉතාමත්ම ගැඹුරුවී ඇත. දැදුරු ඔයටද අත්වී ඇත්තේ එවන් ඉරණමකි. කොතෙක් වැටලිම් කළත් කුමන නීතියක් පැනවූවත් මෙම වැලි ජාවාරම නැවතිය නොහැකි තත්ත්වයක පවතී.

මෙරට සංවර්ධන කටයුතු සඳහා යොදා ගන්නා ප්‍රධානතම අමු ද්‍රව්‍ය ලෙස යොදා ගන්නා වැලි සඳහා ප්‍රමිති සහතිකයක් නැත. වෙනත් අමු ද්‍රව්‍ය, සිමෙන්ති, කම්බි, භාවිතයට සුදුසු බවටට සහතිකයක් රජය මගින් නිකුත් කර තිබුණත් වැලි සඳහා එවැනි ප්‍රමිති සහතිකයක් ලබාදීමට නොහැකිවී ඇත්තේ වැලිවලට නිසි ක්‍රමවේදයක් මෙරට නොපැවතීමයි. එවන් තත්ත්වයක් තුළ වැලි සැපයුම්කරුවන් සපයන වැලි යොදා ගෙන ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට පෙදරේරුවන්ට සිදුවී ඇත. මේ නිසාම පරිසර විනාශය නොතකා වැලි ගැනීමට වැලි සැපයුම්කරුවන් කටයුතු කරන්නේ සුදුසු වුවත් නුසුදුසු වුවත් තමන්ගේ වැලිවලට මිලක් ලබා ගැනීමට හැකිවීම නිසයි. වැලි සඳහා ප්‍රමිතියක් ඇති කිරීම තුළින් වැලි ගැනීමේදී සිදුකරන පරිසර හානියට තිත තැබිය හැකිය.

සංවර්ධන කටයුතු සඳහා නැතුවම බැරි අමු ද්‍රව්‍යක් ලෙස වැලි හැඳින්විය හැකියි. අතීතයට වඩා වර්තමානයේදී වැලි සඳහා ඇත්තේ වැඩි ඉල්ලුමකි. වසර කිහිපයකට පෙර පැවති වටිනාකමට වඩා විශාල වටිනාකමක්. ඉල්ලුමක් වැලි සඳහා පවතී. වැලි අවශ්‍යතාවය සපුරා ගැනීමට රජයට මෙන්ම පෞද්ගලික අංශ වලටද, ග්‍රාමීය ජනතාවටද, විශාල මිලක් දැරීමට සිදුවී තිබේ.

වැලි සඳහා පවතින ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට වැලි ව්‍යාපාරිකයන්ට නොහැකිවීම තුළ වැලි මිල ඉහළ යාම සිදුවිය. නිවසක් ඉදිකිරීමට යාමේදී වැලි සොයා ගැනීමට වන අපහසුතාව මග හරවා ගැනීමට ප්‍රදේශීය ලේකම් කාර්යාලය මගින් අවසර පත්‍රයක් ලබාදීමේ ක්‍රමවේදයක් පවති.

ඉල්ලුම්කරු විසින් අයඳුම් පත්‍රයක් පුරවා ඉල්ලුම් කල පසු ඉල්ලුම් කර ඇති ප්‍රමාණය පිළිබඳ සැලකීමක් දක්වා. ක්‍රියාත්මක වන රජයේ ප්‍රතිපත්තියට අනුව වැලි ලබාගැනීමට අවසර පත්‍රය ලබාදීමට ප්‍රදේශීය ලේකම්වරයා නීතියෙන් බැඳී සිටී. ඒ ප්‍රතිපත්තිය රජය විසින් මහජනතාවගේ අවශ්‍යතාවය සහ පහසුව වෙනුවෙන් ක්‍රියාත්මක කළද ඒ සඳහා යොමුවිය හැක්කේ අතමිට සරු අයට පමණි.

ප්‍රදේශීය ලේකම්වරයාගේ අවසරය ලබා ගත්තද සාමාන්‍ය ජනයාට ඒ සඳහා යොමුවීමේ හැකියාවක් නොපවතී. වැලි ගොඩ දැමීම සඳහා ස්ථාන සොයා ගැනීම, පැටවීම සඳහා පළපුරුදු මිනිස් ශ්‍රමය ලබා ගැනීම, වැලි ප්‍රවාහනය සඳහා වාහන සොයා ගැනීම වැනි බහු කාර්යන් සඳහා වැලි මිලදී ගැනීමට වඩා විශාල මුදලක්, ශ්‍රමයක් සහ කාලයක් ගත කිරීමට සිදුවීම එයට හේතුවේ.

ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවසරපත්‍ර ලබාගත් අයටද සිදුවන්නේ වැලි ව්‍යාපාරයේ නිරතවන්නකු මගින් එම කටයුක්ත ඉටු කර ගැනීමයි.

වැලි ව්‍යාපාරිකයෝ තමන් වෙත අවසර පත්‍ර ලබාදුන් තැනැත්තාට වැලි අඩු මිලට සපයාදී එම අවසර පත්‍රය උපයෝගී කර ගනිමින් අනුමත කර ඇති වැලි ප්‍රමාණය ඉක්මවා ප්‍රවාහනය අලෙවි කිරීමෙන් ලාභ උපයා ගැනීම සිදුකරති. එසේ කිරීම නීති විරෝධී වුවද එය සිදුවන්නේ ඉතාමත් සූක්ෂම ආකාරයකිනි.

ව්‍යාපාරිකයාට එම ක්‍රියාව වාසි, අවාසි වෙන්නට ඉඩ ඇත. එසේ වන්නේ නීති විරෝධී ලෙස වැඩි වැලි ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේදී අවසර පත්‍රයේ ඇති කොන්දේසි උල්ලංඝනය කිරීම මත පොලිස් අත්අඩංගුවට පත්වීම තුළයි.
ඒ අනුව නීතියෙන් වරදකරුවකු වුවහොත් රුපියල් 50,000 දඩයකට යටත් වීමට සිදුවේ. එම දඩයෙන් බේරී වැලි ප්‍රවාහනය කිරීමට නම් පොලිස් නිලධාරින්ට අත යට මුදල් ලබාදීමට සිදුවේ. නීතිය අනුව දිනකට එක ලොරි රථයකින් එක් වැලි එකක් පමණක් ප්‍රවාහනය කළ යුතු අතර පොලීසිය විසින් එය සලකුණු කළ යුතුවේ. නමුත් පොලීසිය එය ඉටු නොකිරීම නිසා දිනකට වැලි ටියුබ් දහයක් පහළොවක් ප්‍රවාහනය කිරීම සිදුවේ.

ඒ සඳහා එක් ලොරියකින් රුපියල් 500 මුදලක් ඇතැම් පොලිස් නිලධාරීන්ට ගෙවීමට වැලි ප්‍රවාහනය කරන රියැදුරන්ට සිදුවී ඇති බව කියයි.

පුත්තලම නගර මැදින් විහිදී යන ප්‍රධාන මාර්ග කිහිපයකි. පුත්තලම අනුරාධපුර, පුත්තලම කුරුණෑගල, පුත්තලම කොළඹ, පුත්තලම කල්පිටිය, පුත්තලම එළුවන්කුලම හරහා මන්නාරම යන මාර්ග ඒ අතර ප්‍රධානවේ.

මෙම මාර්ගවල අනතුරු බහුලව සිදුවන අතර රථවාහන අංශයේ නිලධාරීන් වැඩිපුරම දැක ගත හැක්කේ පුත්තලම සිට අනුරාධපුර මාර්ගයේ හයේ කණුව මීඔය දක්වා පමණි. පුත්තලම සිට කරුවලගස්වැව දක්වා පොලිස් කණ්ඩායම් කිහිපයක් රථ වාහන රාජකාරියේ නිරත වුවද වෙනත් මාර්ග වල අඩු රාජකාරියක් සිදුවේ.

වැඩිපුරම වැලි ප්‍රවාහනය ඒ කිලෝ මීටර කිහිපය තුළ සිදුවීම එයට හේතුවී තිබේ. රථ වාහන අංශයේ ඇතැම් පොලිස් නිලධාරින් තම වගකීම නිසියාකාරයෙන් ඉටුකළද ඇතැම් අය තමන්ගේ පඩිය මෙන් කිහිප ගුණයක් වැලි ව්‍යාපාරිකයන්ගෙන් ගන්නා බවට තොරතුරු ලැබී තිබේ.

ගංගා, ඇළ, දොළ, වැව්, අමුණු පමණක් නොව ගොඩ ඉඩම් පවා හාරමින් වැලි ලබා ගැනීම වර්තමානයේ වැලි ව්‍යාපාරිකයෝ සිදුකරති. නීති විරෝධී ලෙස වැලි ඉවත් කිරීම හේතුවෙන් ගංගා ආශ්‍රිත විශාල පරිසර හානි සිදුවී ඇත.
මෙරට ඇති ගංඟා රැසක වැලි ලබාගැනීම සිදුවුවද බොහෝමයක් සිදුවන්නේ අවිධිමත් ආකාරයකිනි. ජාවාරමක් ලෙස සිදුකරන වැලි ව්‍යාපාරය ඇතිවීමට හේතුවී ඇත්තේ රජයට ඒ සඳහා ප්‍රතිපත්තියක් නොමැතිවීමයි. වැලි බලපත්‍ර ලබාදීමේදී දිනකට එක් වතාවක් පමණක් වැලි ප්‍රවාහනය කිරීම සිදුකළ යුතු අතර වැඩියෙන් ප්‍රවාහනය කළේ නම් බලපත්‍ර කොන්දේසි අනුව නීති උල්ලංඝනය කිරීමකි.

වැලි ව්‍යාපාරිකයෝ බලපත්‍ර කොන්දේසි උල්ලංගනය කරමින් දිනකට කිහිප වතාවක් වැලි ප්‍රවාහනය කරති. එසේ කිරීමේදී අවශ්‍ය වැලි ප්‍රමාණය සපයා ගැනීමට පරිසර නීති උල්ලංඝණය කරමින් හිතූමනාපෙට වැලි ගැනීම නිසා දැදුරු ඔය, මා ඔය, මී ඔය නාන්නේරී ඔය ඇතුලු ගොඩබිම් රැසක පරිසරය විනාශ වෙමින් තිබේ.

රජයෙන් ලබා දෙන බලපත්‍ර නීති අනුව වැලි ව්‍යාපාරය සිදුවූයේ නම් වැඩි මිලකට හෝ මෙරට ජනතාවට පහසුවෙන් වැලි ටියුබ් එකක් මිලදී ගැනීමට හැකි නොවනු ඇත. මෙරට ඉදිවන ගොඩනැගිලි සදහා අමු ද්‍රව්‍ය ලබා ගැනීමේදී සියල්ලටම යම් ප්‍රමිතියක් තිබිය යුතු අතර වැලි සඳහා කිසිම ප්‍රමිතියක් අවශ්‍ය නොවේ.

යම් ඉදිකිරීමකට අවශ්‍ය වැලි සපයා ගැනීමේදී වැලි ව්‍යාපාරිකයෝ තමන්ට ලබාදෙන ඕනෑම වැලි වර්ගයක් අලෙවි කරති. වැලිවල ප්‍රමිතිය පිළිබඳ පරීක්ෂාවකින් තොරව මෙසේ සිදු කිරීම හේතුවෙන් ගොඩනැගිලි ඉක්මනින් අබලන් තත්ත්වයට පත්වේ. වසර තුනකට හතරකට පෙර රුපියල් තුන්දහසට ලබාගත් වැලි එක වර්තමානය වන විට තුන් හතර ගුණයකින් ඉහළ ගොස් තිබේ.

මේ පිළිබඳ විමසීමේදී වැලි ව්‍යාපාරිකයකු පැවසූවේ මෙවන්නකි.

“අපි මාධ්‍යට මේවා කියලා අපේ රක්ෂාවත් නැතුව යනවා ඒ නිසා නම ලියන්නේ නැතුව ලියන්න. ඇත්තටම වැලි ගොඩ දාන එක එතරම් පහසු එකක් නෙවෙයි. අපිට බලපත්‍ර ගන්න ගියහම ඒක ගන්න සන්තෝෂම් දෙන්න ඕනෑ. බලපත්‍රයක් ගන්න ආයතන කිහිපයකින් අනුමැතිය ඕනෑ. ඒක දෙන්නෙත් දහසක් කොන්දේසි දාලා. දවසට එක වැලි එකක් විකුණලා මේ රක්ෂාව කරන්න බැහැ. ඒ නිසා අපි කිහිපයක් විකුණනවා.

පොලිසිය බලපත්‍රයේ මාක් කළොත් අපිට ආයෙ එදා දවසෙ නිකම් ඉන්න වෙනවා. ඒ නිසා පොලිසියේ සමහර මහත්වරුන්ට එක වැලි ලෝඩ් එකකින් පන්සියයක් දෙනවා. ඒකත් අතට ගන්නේ නැහැ කඩේකින් තියන්න කියනවා. පුත්තලම අනුරාධපුර පාරෙ කඩ කිහිපයක් තිබෙනවා ඒවායින් තමයි අපි සල්ලි තියන්නේ. අපි වැඩියෙන් වැලි අදින එක නීති විරෝධී තමයි. හොරෙන් හොරෙන් බයෙන් වැලි ගොඩ දානවා. රෑටත් වැලි ගොඩ දානවා. ඒ අයගේ කන් ඇහෙන්නෙ නැහැ ඇස් පේන්නේ නැහැ. රෑට වතුර යට ගිලිලා වැලි ගන්නවා කියන්නෙ එතරම් පහසු එකක් නෙවෙයි. නමුත් දවල්ට බය නිසා රෑ ගොඩ දාලා දවල් අදිනවා. එක වැලි ලෝඩ් එකක් ගොඩට දානවාට රුපියල් 1000 දෙනවා. එක පාරක් ලොරිය අල්ලා උසාවියට දැම්මොත් මාස කිහිපයක් හම්බකරපු මුදල් ගෙවන්න වෙනවා. දඩය ඒ තරම් වැඩි. අපි මේවා කරන්නේ ජීවත් වෙන්න. රජය එකක් අදින්න බලපත්‍ර දුන්නට දහයක් අදිනවා. හැබැයි අඩුම ගාෙණ දවසකට තුනක් හතරක්වත් අදින්න අවසර දුන්නා නම් ක්‍රමවත්ව කරන්න පුළුවන්. අපි දැන් කරන්නේ පොලීසියටත් එක්ක හම්බ කරන එක රථවාහන නිලධාරින්ගෙන් හරිම කරදරයි සල්ලි දුන්නේ නැත්තම්. පහුවදා ලොරිය අල්ලා උසාවි දානවා. අපි මොනවද කරන්නෙ මහත්තයෝ. 

මේක හරිම ගැටලුවක් අපි දුක් මහන්සි වෙලා වැලි එකට 1000 හොයන කොට පොලීසියේ ඇතැම් නිලධාරී නිකම් ඉඳන් 500 හොයනවා. ඕක තමයි ඇත්ත. කිව්වොත් සඟ නහී නොකිවුවොත් වෙහෙර නහී කියනවා. ඒක තමයි අපට වෙලා තිබෙන්නේ. අපට අපේ දරුවන් ජීවත් කරවන්නත් ඕනෑ. පොලීසිය ජීවත් කරවන්නත් ඕනෑ. පුත්තලම කොට්ඨාස රථවාහන එකෙත් පොලිසියෙ රථවාහන එකෙත් අපෙන් සල්ලි ගන්න අය ඉන්නවා. ඒ අයව අපි කියන්න ඕනෑ නැහැ මේ ගැන පත්තරේ පළවුණාම ඒ අයම අහයි කවුද ඒ කවුද ඒ කියලා එතකොට හිතා ගන්න පුළුවන් වෙයි.

ව්‍යාපාරික අලී සබ්‍රිරි 

ලෝකයේ ස්වභාවික භූගතව ඇති දේවල් අවුරුදු දසදහස් ගණනක් ගියත් නැතිවෙන්නේ නැහැ. වැලි කියන්නේ ස්වභාවික නිෂ්පාදනක්. ගංගා, ඇළ, දොළ ගලාගෙන යනකොට වැලි නිෂ්පාදන සිදුවනවා. මේ බව රජය හරියාකාර හඳුනාගෙන කටයුතු කරන්න ඕනෑ. එම වැලි ප්‍රමිතියකින් ගොඩ සහා ප්‍රවාහනයට ඉංජිනේරු සහතිකයක් එක්ක අවසර දිය යුතුයි. මේ රටේ වැලිවලට ප්‍රමිතියක් නැහැ ඒකත් හදන්න ඕනෑ. වැලි එකක් ගන්න රුපියල් දහදහාක් විතර යනවා. ඒකත් ප්‍රමිති වැලි නෙවෙයි. රජයෙන් කළා නම් අඩු මිලට ප්‍රමිති වැලි ජනතාවට දෙන්න පුළුවන්. මේ ව්‍යාපාරිකයන්ගෙන් ගන්න වැලි හොඳ නැහැ කියලා දැන ගත්තත් මේසන් බාස්ලා කියන්නේ නැහැ එහෙම වුණොත් එයාලට වැඩ නැතුව යනවා ඒකෙන් ජනතාව අමාරැවේ වැටෙනවා.

♦ රෝවන් පෙරේරා පුත්තලම

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00