2017 මැයි 13 වන සෙනසුරාදා

අද අැහෙන්නේ බහුරූ කෝලම් නටවන ගීත

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 69

බන්ධුල නානායක්කාරවසම් ගැන අප දන්නේ සම්මානනීය ගීත රචකයෙක් වශයෙනි. ඔහු සිනාතොටක් සහ ඔබ මා හමුවුණා නම් ගී පදමාලා කෘති දෙක සහ පද්‍ය ග්‍රන්ථ දෙකක් (කඩදාසි ගොඩක ගීත සහ දුමාරය) එළිදක්වා තිබේ. සුභාවිත ගීතයේ නව ඉසව්වක් සටහන් කළ බන්ධුල නානායක්කාරවසම් තම ළමාවියේ මතක සටහන් පොතකට ගොනු කළේය. ඒ එනු කොයි සිට යි. එය ෆාස්ට් පබ්ලිෂිං ප්‍රකාශනයකි.

වෙසක් සමයේදී හතරවටෙන්ම පැරැණි බෞද්ධ ගීත අසන්නට ලැබෙනවා. නමුත් අපට වර්තමානයේ බොදු බැති ගී නිර්මාණය වනු දැකීම අසීරුයි?
මේකට ප්‍රධාන හේතුව මාධ්‍ය වැඩිවීමයි. තරගය වැඩිවීම නිසා හොඳ නිර්මාණ ගැන උනන්දුවක් වෙන්නේ නැහැ. හොඳ නිර්මාණ තවමත් බිහිවුණත් ඒවා ජනතාව අතරට ගෙනයාමට මාධ්‍ය කාරුණික නැහැ.

නමුත් වෙසක් වැඩිපුරම විකුණන්නෙත් විද්‍යුත් මාධ්‍යවලින්ම නේද?
අපි දන්නවා මේක විකුණනවා කියලා. අපි පොඩි කාලෙ වෙසක් විකිණුවේ නැහැ. මට අද වගේ මතකයි, අපි පොඩි කාලෙ තාත්තගෙ කරේ ඉඳන් වෙසක් තොරණ බැලුවා. ඒ කාලෙ වෙසක් දවසට සිනමා ශාලා විවෘතව තිබුණා. හොඳ බෞද්ධ කතා පුවත් තේමා කරගත් චිත්‍රපට පෙන්නුවා. අපිත් ඒවා බැලුවා. ඒ වගේ නිරාමිස සතුටකින් තමයි, අපි වෙසක් දවස ගත කළේ. හැමදේම ෆාස්ට් ෆුඩ් සංස්කෘතියකට ආපු නිසා විය හැකියි ඒ වෙනස අපට දැනෙන්නේ. නමුත් තාම ගම්වල ඉඳහිට අහිංසක භක්ති ගීත ප්‍රසංග පැවැත්වෙනවා.

අපි පොඩි කාලෙ වෙසක් විකුණුවේ නැහැ

ඔබ ගීත රචනා පොත් දෙකක් ලිව්වා. ඒවායේ ඇතුළත් ගීත තවමත් ජනප්‍රියයි. නමුත් අද ලියැවෙන ගීත සතියෙන් දෙකෙන් ඉහළම රේටිංස් අරන් මාසයක් යන විට අමතකව යනවා?
නිර්මාණවල ප්‍රමාණාත්මකභාවය නෙවෙයි වැදගත් වන්නේ. ගුණාත්මකභාවයයි. ප්‍රමාණාත්මකව නිර්මාණ විශාල වශයෙන් බිහිවෙනවා. පිටරටවල ඉන්න සමහරුන්ට ගීත රචකයන් වීමට අවශ්‍ය වෙනවා. පිටරට ඉඳන් ලියන ගීත රචනා ලංකාවේ කාටහරි දීලා ගීතයක් කර ගන්නවා. අවශ්‍ය නම් රූප රචනාවත් කර ගන්නවා. මේවාට ලක්ෂ ගාණක් වියදම් කරනවා. මේ සියල්ල ඉටුකර ගීතයක් හදනවා. ඒක ගීතයක් තමයි. ඒක යූ ටියුබ් එකට දානවා. ෆේස්බුක් එකටත් දානවා. නමුත් දවසක් දෙකක් යනවිට ඒක කාටත් අමතකයි.

මෙවැනි දුර්වල නිර්මාණ බිහිවීම ක්ෂේත්‍රයට පිවිසීමට සිටින ආධුනිකයන්ට වැරදි පූර්වාදර්ශ ලබාදෙනවා නේද?
ඔව්. එහෙම වෙනවා. මාතර සිට කොළඹට හයිවේ බස් රථයක කවුරුහරි ගියොත් එහි රූපවාහිනියෙන් ප්‍රචාරය වන්නේ බහුරු කෝලම් සහිත ගීත. ගුටිකනවා. ගහනවා. ඊටපසු පෙම්වතිය බෑග් එක අරන් පාරෙ යනවා. ඕවා දකින විට හිතෙන්නේ පයින් ගියා නම් වැඩිය හොඳයි කියලනේ.

අත්දැකීම් බහුල ප්‍රවීණයෙක් විදිහට ඔබ ඒවායින් වන අනර්ථයට එරෙහිව යමක් කර තිබෙනවද?
ඔව්. අපට පුළුවන් විදිහට අපි යමක් කරනවා. ඇතැම් අය ඉන්නවා ගීත රස වින්දනය කියලා බිස්නස් එකක් කරන. මම ඉතාම කාර්යබහුල ආයතනයක සේවය කරන ගමන් ලැබෙන විවේක කාලය හා නිවාඩු දවස් කැපකරගෙන අලුත් පරපුරට නිවැරදි ගීත සාහිත්‍ය රසවින්දනයක් ලබාදීමට උත්සාහ කරනවා. උදාහරණයක් කිව්වොත් පොළොන්නරුව රාජකීය විද්‍යාලය, පින්නවල විද්‍යාලය, රාජකීය විද්‍යාලය හා ආනන්ද විද්‍යාලය, බෙලිඅත්ත ධර්මපාල විදුහල, රැහුණු විජයබා විද්‍යාලය, වැල්ලවාය වගේ ස්ථාන රාශියක මම ගීත සාහිත්‍ය ගැන දැනුමක් ලබාදීමට දේශන කළා. ඒක හරියට අත් දෙකෙන් අහස අල්ලන්න යනව වගේ වැඩක්.

එම වැඩමුළුවලින් සාර්ථක ප්‍රතිඵල ලැබුණද?
ඔව්. ළමයි උනන්දුවෙන් සහභාගි වුණා. ඔවුන් ඉතා බුද්ධිමත් ප්‍රශ්න ඇසුවා. මෑතකදී මම කොහුවල සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ශාඛාවේ කළ දේශනයේ කරුණු සිසුන් ඉතා ගෞරවාන්විතව පිළිගත්තා. මම අවම වශයෙන් සිංහල ගුරුවරයෙක්වත් වුණා නම් මේ කරන දේ මීට වැඩි කාලයක් ගෙන කරන්න තිබුණා.

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර වරක් අපට පැවසුවේ සාහිත්‍ය රසවින්දනය පාසල් සිසුන්ගෙන් ඈත්වීමට ප්‍රධාන හේතුව ගුරු - දෙගුරුන් කියලයි?
ඒක හුඟක් දුරට හරි. නමුත් ඒකට 100ක් හේතුව ඒක නොවෙයි. කාරණය 100ක් හරි. මගේ දරුවන් දෙස බලන විට ඒක තේරුම් ගත හැකියි. මම දරුවන්ට සමහර රූපවාහිනී වැඩසටහන් බැලීම තහනම් කර තිබෙනවා. දිනක් ඔවුන් දේශපාලනඥයකු අනුකරණය කරන විහිලු, වැඩසටහනක් බලන ගමන් කීවේ තාත්තේ අපි මේක එන්ජෝයි කරනවා. ඒකෙන් දැනුමක් ලබාගන්නේ නැහැ කියලයි. අපටත් විනෝදයක් තිබිය යුතුයි තාත්තේ කියලා ඔවුන් කියනවා. මගේ දරුවන්ට මම හොඳ පොත්පත් පුළුවන් තරම් අරන් දෙනවා.

ඔබ ගුවන් විදුලි මාධ්‍යයත් සාර්ථකව හැසිරෙව්වා. ඔබේ රෑ ඉරපාන රසවින්දන වැඩසටහන ඉතා ජනප්‍රිය වුණා. අද විද්‍යුත් මාධ්‍ය ගැන වචනයක් කිව්වොත්?
රෑ ඉරපාන වැඩසටහන ගුවන් විදුලි සේවා දෙකකම කළත් අතරමඟ නවත්වන්න වුණේ නිලධාරීන්ගේ රස භංගය නිසයි. මාධ්‍යයක සේවය කරන කෙනෙක් කැමති වන්නේ නැහැ පිටින් කෙනෙක් ගිහින් ඒ වැඩසටහන කරනවට. ඒ තත්ත්වයත් ඇතිකරලා තියෙන්නේ කව්ද? අවුරුදු ගාණක් ගත කරලා හදන චිත්‍රපටයකට වාරණ නීති දානවා. නමුත් ගුවන්විදුලි මධ්‍ය නිරීක්ෂණය කරන්න කෙනෙක් නැහැ.

මෑතකදී නිකුත්වුණු ඔබේ ළමාවියේ අත්දැකීම් සහිත කෘතිය එනු කොහි සිට ගැන කිව්වොත්?
බාලවියේ මතක සටහන් මම කොටස් වශයෙන් ලියමින් තිබුණත් ඒක අවසාන වුණේ නැහැ. පසුව මට විවිධ ඉල්ලීම් ආවා. ජීවන මතක සටහන් පොතක් කරන්න කියලා. ඉන්පසු තමයි මේ පොත ලිව්වේ. බාලම කාලේ සිට 4 වැනි පන්තියට යනතෙක් අත්දැකීම් (9 වැනි පන්තිය දක්වා) තවත් පොතක් ලියනවා. මේක නිමාවන විට කොටස් 4ක් හෝ 5ක් වීමට ඉඩ තිබෙනවා. ඇත්තටම මේක මගේ දරුවන්ට මගේ කතාව කියාදීමටත් අවස්ථාව වුණා. මගේ බිරියගේ සිට දූවරුන් දෙන්නාත්, මගේ ගුරුතුමාත් (බණ්ඩාර සර්) මගේ හොඳම රසිකයන් බව කිව යුතුයි. ඒ වගේම ලිවිය යුතු තවත් ජීවන අත්දැකීම් රාශියක් තිබෙනවා.

විශ්‍රාම ගිය පසු අත්දැකීම් ලිවීම දිගටම කරගෙන යනවද?
ඔව්. බැංකු සේවයෙන් විශ්‍රාම ගිය පසු ලියන එක මම ආසම කරන වැඩේ වේවි.

 කුසුම්සිරි

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00