2017 මැයි 13 වන සෙනසුරාදා

අක්මාව සපාකන ෆැටී ලිවර්

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 97

ජීවිතේ කියන්නේ කාලා බීලා විනෝදෙන් ගත කරන එකයි කියා බොහෝ දෙනා සිතුවත් ඒ කෑම බීම නිවැරදි ආකාරයට නොගැනීමම බොහෝ ලෙඩරෝගවලට හේතු කාරණා වන බව ඔබ දැනටමත් දැන සිටිනවා වන්නට පුළුවන. පසුගිය ලිපි පෙළකින්ම අපේ වෙදකම පිටුවෙන්ද ඒ සම්බන්ධව සාකච්ඡා කෙරුණ අතර අප කතා කළ සෑම රෝගයක්ම පාහේ හටගැනීමට ආහාර හා විහරණ ද ඍජුවම බලපෑවේය.

අනිවාර්යෙන්ම ව්‍යායාම කරන්න

අද අප කතා කරන්නට බලාපොරොත්තු වන අක්මාවේ මේදය තැන්පත් වීම, එහෙමත් නැත්නම් කවුරුත් දන්නා පරිදි ෆැටි ලිවර් (Fatty Liver) රෝගය හටගන්නේද අප ලබාගන්නා ආහාරපාන හා වැරදි පුරුදු නිසාය. විශේෂයෙන්ම මත්පැන් පානය අක්මාවේ මේදය තැන්පත් වීම කෙරෙහි ප්‍රධාන වශයෙන්ම බලපාන අතර මත්පැන් නොබොන පුද්ගලයන් හට පවා මෙම රෝගය සෑදේ. අද අපේ වෙදකමෙන් අක්මාවේ මේදය තැන්පත් වීමේ රෝගය සම්බන්ධයෙන් අපව දැනුම්වත් කරන්නේ ගම්පහ ආයුර්වේද විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඩබ්ලිව්.ජේ. වික්‍රමාරච්චි මහත්මියයි.

අක්මාව කියන්නේ අපේ ශරීරයේ තිබෙන විශාලම ඉන්ද්‍රියයක්. මේ මගින් ආහාර ජීර්ණයට අවශ්‍ය කරන එන්සයිම වර්ග නිෂ්පාදනය කරනවා. විශේෂයෙන්ම පිත නිෂ්පාදනය කරන්නේත් අක්මාව මගින්. ඒ වගේම ශරීරයට ඇතුළු වන විෂ රසායනික පදාර්ථයන්හි විෂ හරණය කිරීමත් අක්මාවේ කාර්යයක්. ඊට අමතරව ජීවිත කාලය අවසන් කරන රුධිරානු බිඳවැටීම මෙන්ම සමහර අවස්ථාවලදී රුධිරය නිෂ්පාදනයද අක්මාව මගින් සිදුකරනවා.
මේ ආකාරයට අක්මාව මගින් සිදුකරන සියලු කාර්යයන් අක්මාවේ ඇතිවන රෝගී තත්ත්වයනුත් සමඟ අඩාල වෙනවා. අක්මාවේ මේදය තැන්පත් වීම කියන්නේ මෙලෙස අක්මාව රෝගී වන එක අවස්ථාවක්.

මොකක්ද මේ ෆැටී ලිවර්
අද වන විට මෙය බොහෝ දෙනකු හට පවතින සාමාන්‍ය රෝගී අවස්ථාවක් බවටම පත් වී ඇත. අපගේ සිරුරේ අනෙකුත් ස්ථානවල වගේම අක්මාවෙහිද මේදය සාමාන්‍ය තත්ත්වයක්. නමුත් අවශ්‍ය, එනම් තිබිය යුතු ප්‍රමාණයට වඩා වැඩිපුර අක්මාවෙහි මේද තැන්පත් වීම රෝගී අවස්ථාවකි. සාමාන්‍ය අවස්ථාවේදී මේදය තැන්පත් වීම සියයට 5ක් පමණ වන අතර රෝගී අවස්ථාව වන විට එය සියයට 40 දක්වා ඉහළ යයි.

මැදි වයසේ පුද්ගලයන්ගේ රෝගයක්
සාමාන්‍යයෙන් අක්මාවේ මේදය තැන්පත් වීමේ රෝගී අවස්ථාවට වැඩි වශයෙන්ම භාජනය වෙන්නේ මැදි වයසේ පුද්ගලයන් (වයස අවුරුදු 40 සිට 64) ය. නමුත් අද වන විට වයස් භේදයකින් තොරව ළමුන්ට පවා මෙම රෝගය සෑදෙන අවස්ථා ඇත. මේ සඳහා බලපාන්නේ වත්මන් ජීවන රටාවයි.

වතුර නොබීමත් ලොකුම හේතුවක්

රෝගය හටගන්නේ
වැරදි ආහාර රටා, අධික මත්පැන් පානය, ව්‍යායාම නොමැතිකම ෆැටී ලිවර් රෝගය හටගැනීම සඳහා බලපායි. එසේම ස්ථූලතාවය, රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම, දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන්නන් හටද මෙම රෝගය වැළඳේ. ඊට අමතරව පරම්පරාවෙන් පරම්පරාවටද මෙම රෝගය ගමන් කරන අතර ස්ටෙරොයිඩ වැනි ඖෂධ දීර්ඝකාලීනව භාවිත කිරීම හරහා ද ෆැටී ලිවර් ඇතිවේ. මේ හැම අවස්ථාවකදීම පාහේ අක්මා සෛල විනාශ වී අක්මාවේ ඇති මේදය හරි හැටි දහනය නොවීමෙනුයි රෝගය හටගන්නේ.

පුරුෂ පක්ෂය අතර බහුලයි
රෝගය සෑදීම සම්බන්ධයෙන් සුවිශේෂී හේතුවක් නොමැති වුවද අක්මාවේ මේද තැන්පත් වීමේ රෝගය කාන්තාවන්ට වඩා පුරුෂ පක්ෂය අතර බහුලය. ශරීරයට නිසි පරිදි ව්‍යායාම නොමැතිකම මේ සඳහා හේතුවනවා විය හැක.

වැඩියෙන්ම හැදෙන්නෙ මැදිවයසේ අයට

රෝග ලක්ෂණ
මෙම රෝගය යම් පුද්ගලයකු හට ඇති බවට මුල් අවස්ථාවේදී හඳුනාගත නොහැකි අතර රෝග ලක්ෂණ පහළ වන්නේ අක්මාවෙහි මේදය සියයට 40 – 50 ක පමණ ප්‍රමාණයකට තැන්පත් වීමෙන් අනතුරුවය. එම තත්ත්වයත් සමඟම රෝගියාගේ සිරුර දුර්වල වේ.

මෙවැනි රෝගියකුගේ මූලිකවම සිදුවන්නේ සිරුර අප්‍රාණික ස්වභාවයකින් යුක්ත වීමයි. එසේම සිරැරේ බර අඩුවීම, ආහාර අරැචිය විශේෂයෙන්ම තෙල් කෑම ආහාරයට ගැනීමට ප්‍රියතාවයක් නොමැති වීම, උදර වේදනාව, මළබද්ධය, රෝගී වූ අක්මාව ඉදිමීම නිසා ඊට අනුරූපව උදරය ඉදිමීම ආදිය මෙහිදී දක්නට ලැබෙන රෝගී අවස්ථාවන්ය.

රෝගයෙන් මිදෙන්නට නම්
අක්මාවේ මේදය තැන්පත් වීමේ රෝගය කෙරෙහි මත්පැන් පානය ප්‍රධාන වශයෙන්ම බලපාන බව අප මූලිකවම සඳහන් කළෙමු. ඉතින් මෙවැනි රෝගයකින් වැළකීමට නම් අප කළ යුත්තේ මත්පැන් හෝ එවැනි පානයකට දීර්ඝකාලීනව හුරැ වී සිටියේ නම් එම පුරුද්දෙන් මිදීමය. ෆැටී ලිවර් රෝගයෙන් පෙළෙන්නන් හට මත්පැන් පානය කිසිසේත්ම සුදුසු නැත. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීමද රෝගයට හේතුවක් වන නිසා එම කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගැනීමද වඩාත් උචිතය. ඊට අමතරව අධික තරබාරු පුද්ගලයන් තම සිරුරේ බර අඩුකර ගැනීම, දියවැඩියා රෝගීන් සිරුරේ සීනි මට්ටම පාලනය කරගැනීම, දිනපතා ව්‍යායාමවල යෙදීම, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් දිනපතා ලබාගැනීම මෙවැනි රෝගයක් වළක්වා ගැනීම සඳහා වඩාත් වැදගත් වේ.

එළවලු, පළතුරු වැඩිපුර කන්න
ෆැටී ලිවර් රෝගීන්ට ඕනෑම පළතුරක් මෙන්ම එළවලුද ගුණදායකය. මීට අමතරව කොළ වර්ග, ධාන්‍ය, විශේෂයෙන්ම කුඩා මාළු වර්ග, තෙල් රහිත මස් (පක්ෂි මාංශ - කුකුළු මස්) ආදිය සුදුසුය. අධික ලුණු සහිත ආහාර, තෙල් හා අධිකව මිරිස් හා කුළුබඩු ආහාරවලට එක්කර ගැනීම මෙවැනි රෝගීන්ට නුසුදුසුය. එසේම ජලය පානය කිරීමද වැදගත්ය.

දවල්ට නිදාගැනීම අහිතකරයි
දිවා කාලයේ නිදාගැනීම බොහෝ දෙනකුගේ පුරුද්දක් වන අතර ෆැටී ලිවර් රෝගයෙන් පෙළෙන්නන් හට දිවා කාලයේ නිදාගැනීම ඉතා අහිතකරය. එසේම රාත්‍රී කාලයේ නිදිවැරීමද ඔවුන්ට සුදුසු නොව්. ව්‍යායාමවල නොයෙදීම, තෙල් අධික ආහාර වැඩිපුර ගැනීම ආදියද මෙවැනි රෝගියකු විසින් නොකළ යුතු අතර උදාසීන තත්ත්වයෙන් ජීවිතය ගත කිරීමද මෙවැනි රෝගීන් හට කිසිලෙසකින්වත් සුදුසු නොවේ.

සිරෝසිස්වලට අත වැනීමක්
ෆැටී ලිවර් රෝගයේ බලපෑම නිසා හටගන්නා රෝගී අවස්ථාවන් කිහිපයක්ම ඇති අතර සිරෝසිස් ඉන් එක් අවස්ථාවකි. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම මත්පැන් පානය හේතුවන අතර මත්පැන් පානය නොකළත් සිරෝසිස් රෝගය මතුවන අවස්ථා ඇත. එය හඳුන්වන්නේ Nonalcoholic Cirrhosis ලෙසයි. මෙය බොහෝවිට ඇතිවන්නේ ජානමය බලපෑම මතයි.

අනෙකුත් රෝගවලදී විවිධ වූ රෝග ලක්ෂණ පෙන්වුවද සාමාන්‍යයෙන් අක්මාවට හානිවූවා කියා විශේෂ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමක් සිදුකරන්නේ නැත. මෙහිදී රෝග ලක්ෂණ මතුවන්නේ අක්මාවට විශාලම හානියක් සිදුවුවහොත් පමණි. අක්මාවට තම සෛල සඳහා සිදුවිය හැකි හානිවලින් ආරක්ෂා වීමේ හැකියාව ඇති අතරම හානියට පත්වූ සෛල ස්වභාවිකව අලුත්වැඩියා කරගැනීමේ හැකියාවද ඇත. යම්කිසි රෝග තත්ත්වයක් නිසා අක්මාවේ සෛල යම් ප්‍රමාණයක් විනාශ වුවත් එම රෝගය සුවකර ගැනීම සඳහා ඖෂධ ලබාගැනීමත් සමඟම අක්මාවත් සාමාන්‍ය තත්ත්වයට පත් වේ. නමුත් යම් රෝගයක් දීර්ඝ කාලයක් පැවතී අක්මා සෛලවලට හානි සිදුවුවහොත් නැවතත් එය ස්වභාවික තත්ත්වයට පත්කර ගැනීම අපහසුය. සිරෝසිස් රෝගයේ දී අක්මාව තන්තු බවට පත්වේ. මෙහිදී අක්මාවෙන් සිදුවිය යුතු කාර්යය හරිහැටි සිදුනොවී අවසන් ප්‍රතිඵලය ලෙස මරණය අත්විය හැකිය. උදරයෙහි ජලය පිරීමද (ජලෝධර) ෆැටී ලිවර් නිසා හටගන්නා වූ රෝගී අවස්ථාවකි. 

අධික තෙල් ආහාර ගැනීමම ෆැටී ලිවර් රෝගයට හේතු නොවේ
මේද අධික ආහාර ගැනීම ෆැටී ලිවර් රෝගයට හේතුවක් වන බවට බොහෝ දෙනකු සිතුවද එය එසේ නොවේ. අක්මාවේ තෙල් තැන්පත් වීම සිදුවන්නේ ශරීරයේ ආහාර ජීර්ණ පද්ධතියේ සහ පරිවෘත්තීය ක්‍රියාවල යම් යම් දෝෂ නිසයි. අප ලබාගන්නා ආහාර කෙළින්ම ගොස් අක්මාවේ තැන්පත් වීමක් සිදුවන්නේ නැත. එහෙත් ෆැටී ලිවර් රෝගයෙන් පෙළෙන්නකු අධික මේද සහිත ආහාරවලින් මිඳීම වඩාත් වැදගත්ය.

ආයුර්වේදීය ප්‍රතිකාර
අක්මාවෙහි මේදය තැන්පත් වීමේ රෝගය සඳහා විවිධ වූ ආයුර්වේදීය ප්‍රතිකාර ක්‍රම ඇති අතර කසාය වර්ග ඇතුළු තවත් ප්‍රතිකාර මේ සඳහා ඇතුළත්ය. සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමුවීම හරහා මෙම රෝගය නිට්ඨාවටම සුවකර ගැනීමේ හැකියාව ඇති අතර සිරෝසිස් තත්ත්වයට පත් වූ රෝගීන් සුව කිරීම අපහසුය.

කෝමාරිකා ගුණයි
ෆැටී ලිවර් රෝගයට හොඳ ඔසුවක් කෝමාරිකා. කෝමාරිකා මදය ව්‍යංජනයක් ලෙසද, කැඳ ලෙසද සකස් කර ආහාරයට ගැනීම වඩාත් ගුණදායකය. ඊට අමතරව හීන් බෝවිටියා කොළ කැඳ ලෙස සකස් කර පානය කළ හැක. මේ අතරේම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි.

මුලින් හඳුනාගත්තොත් සුව කළ හැකියි
මූලිකව හඳුනාගැනීම මගින් මෙම රෝගය නිට්ඨාවටම සුවකර ගැනීමේ හැකියාව පවතින හෙයින් තමන් මෙවැනි රෝගියකුදැයි කළින් හඳුනාගැනීම වැදගත්ය. රෝගය සඳහා මූලිකම රෝග ලක්ෂණ නොපෙන්වුවද හේතුවක් නොමැතිව ආහාර දිරවීමේ ගැටලු ඇත්නම්, අජීර්ණ ගතිය නිතරම සෑදේ නම්, නිතරම සිරුරේ වෙහෙසකර බවක් දැනෙන්නේ නම් හා උදරය මහත් වීම වැනි ලක්ෂණ ඇත්නම් පරීක්ෂණයක් සිදුකර රෝගය ඇති හෝ නැති බවට තහවුරු කරගැනීමේ හැකියාව ඇත. එහිදී අනතුරුදායක තත්ත්ව වලින් මිදිය හැකි වේ.

 හේමමාලා කුමාරි රාජකරුණා 

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00