2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා

සාහිත්‍යය කෑමට මෙන්ම බීමටද යොදාගත හැක

 2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 83

වස්සාන සමයත් සාහිත්‍ය මාසයත් උදාවන්නේ අත්වැල් බැඳගෙනය. එහෙත් සොබාදහමට ප්‍රිය කරන නිසා හෝ බිය නොවන නිසා සිරි ලංකාවේ සාහිත්‍යකාමීහු එක් අතකින් පොත් මල්ලත් අනෙක් අතින් කුඩයත් රැගෙන කොළඹ මහා පොත් දැක්මට ලක්ෂ ගණනින් රොද බැඳ ගනිති.

මේ දිනවල පුවත් සිරස්තලවලින් දැක්වෙන අන්දමට සිරි ලංකාවේ පුරවැසියන්ගෙන් බහුතරයක් කුඩුකාරයන් යැයි කෙනකුට සිතෙන්නට පිළිවන. (මේ පිළිබඳව පසුගිය සතියක කුඩු කෑ විත්තිය නමින් මේ තීරැවේ ලියා ඇත) ඒ අතරේ පොත්කාරයන්ද ලක්ෂ ගණන් මේ රටේ සිටී යැයි දැනගන්නට ලැබීම පුදුමය උපදවන කාරණයකි. එමෙන්ම මහත් ආස්වාදයක් ගෙන දෙන්නකි.

සමහරු මෙසේ රැගෙන යන පොත් ඊළඟ සැප්තැම්බරය වනතුරුත් කියවන්නේ නැති බවද ඇත්තකි. ඉක්මනින් කියවන පොත් මෙන්ම පසුව කියැවීම හෝ විමර්ශන කටයුතු සඳහා මිලදී ගන්නා පොත්ද වෙයි. ජීවිත කාලය තුළම නොකියවා සිටියත් පොතක් මිලදීගැනීම ඉතා අගය කළ යුතුය.

පාඨකයන් අතර පොත් පිස්සෝද වෙති. ඔවුහු ඉවක් බවක් නැතිව පොත් එකතු කරති. පොත් තිබෙන තැන් සොයා යති. පොත් හොරකම් කරති. අනුන්ගෙන් ඉල්ලාගන්නා පොත් ආපසු නොදෙති. නොකා නොබී, නිදි මරාගෙන පොත් කියවති. මේ වර්ගයේ පාඨකයන් පොත් ගුල්ලෝ, පොත් කාවෝ* යනුවෙන්ද හැඳින්වෙයි. ඉංග්‍රීසියෙන් ඒ සඳහා Book worm හා bookish වැනි යෙදුම් භාවිතා වේ. කෙසේ වෙතත් රටක සාහිත්‍යයෙහි මෙන්ම ග්‍රන්ථ ප්‍රකාශනයෙහිද යහපැවැත්ම උදෙසා මෙකී පොත් ගුල්ලන්ගෙන් සිදුවන සේවය ඉමහත්ය.

ස්වර්ණ පුස්තක සම්මාන උළෙලද මේ සැප්තැම්බර් මාසයේ මෙරට සිදුවන වැදගත් සාහිත්‍ය කටයුත්තකි. පසුගිය වසරේ එහි ප්‍රධාන අමුත්තා වශයෙන් පැමිණි හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තම කතාවේදී මෙරට පාර්ලිමේන්තුවේ නම් පොතක් නොව පොත් බාගයක්වත් කියවන්නන් නැතැයි කීවේ සුපුරුදු ආකර්ශණීය සිනාව පාමිනි. ඒ සිනාව යට තිබුණේ කර්කශ උපහාසයකි.
එහෙත්, ඒ කතාව සියයට සියයක්ම සත්‍යයකැයි කිව නොහැක. පාර්ලිමේන්තුව තුළ පොත් කියවූවන් පමණක් නොව පොත් තබන්නන්, පොත් දමන්නන් මෙන්ම පොත් ලියන්නන්ද සිටින බව අපි දනිමු.
කලක් චන්ද්‍රිකා මැතිනියගේ ගමන් සගයකුව සිටි එස්. බී. දිසානායක ඇමැතිතුමාද හොඳ හොඳ පොත් කියවන්නෙකි. කට කියැවීමට යාම නිසා සිරේ වැටුණු පසු එතුමාද පොතක් ලියන්නට සැරසුණෝය. ඒ චන්ද්‍රිකා මැතිනිය ගැනය. එය මුද්‍රණය වූ බවක් නම් දැනගන්නට නැත.

සිරි ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල දේශපාලනඥයන් හිරේ ගිය පසු පොත් ලිවීමට පෙළඹෙන බව සත්‍යයකි. නෙල්සන් මැන්ඩෙලා, ශ්‍රී නේරැ, මාර්ටින් ලූතර් කිං, හෝචිමිං හා ලියෝන් ට්‍රොට්ස්කි ද ඒ අතර වෙයි. ඒ අර්ථයෙන් ගත් කල සෑම දේශපාලනඥයකුම කෙටි කලකට හෝ හිරේ විලංගුවේ විවේක ගැනීම, සාහිත්‍යය ප්‍රවර්ධනයෙහිලා හේතු වෙයි.
මෙවර පොත් ප්‍රදර්ශනය විවෘත කිරීමට පැමිණි විදුර වික්‍රමනායක ඇමැතිතුමා ඉතා වටිනා ප්‍රකාශකයක් කළේය. එනම් කඩදාසි මිල පහත දමන බවය. මෙය කලක සිට ප්‍රකාශක හා ලේඛක සංගම් විසින් කරන ඉල්ලීමකි. එය ඉටු කරන බවට අදාළ බලධාරීන් දුන් පොරොන්දුද බොහෝය.

කඩදාසි මිල අඩුවනවිට පොත් පත්තර මිලද බසී. මිල අඩුවන විට පොත්පත් අලෙවියද නගී. කියවන දනා වැඩිවන විට සමාජයද යහපත් වෙයි. පන්සිය පනස් ජාතකයෙන් සාහිත්‍යයට පිවිසි විදුර පඬිගේ නාමය සිරි ලාංකිකයන්ට හොඳින් පුරුදුය. වර්තමාන විදුර ඇමැති කඩදාසි මිල පහත හෙළීම ක්‍රියාවට නැංවුවහොත් සාහිත්‍ය ලෝකයේ ගෞරවයට පත්වනු නොඅනුමානය.
සාහිත්‍ය කන්නදැයි ඇසීමෙන් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා (උතුමාණන් වහන්සේ) සරදමට ලක්වුණේය. එතුමා කියන්නට ගියේ එක් දෙයකි. කියැවුණේ තව දෙයකි.

කෙසේ වෙතත් එහි මතුපිට අර්ථය පමණක් ගත් කලද එය නිවැරදි නොවන බව වර්තමානයේ පෙනී යයි. කොතෙක් ගැටලු තිබුණත්, සාහිත්‍යයද අද ඇතැමුන්ට ධනෝපායන මාර්ගයකි. ඒ නිසා සාහිත්‍යයෙන් කෑ නොහැකි යැයි කිව නොහැක. සාහිත්‍යයෙන් බීමටද හැකිය. දැන් දොරක් දොරක් පාසා පැවැත්වෙන පොත් දොරට වැඩුම් අවසානයේ ඒ බව දැකිය හැකිය. එව කව බොව!
කොළඹ සාහිත්‍ය උත්සවයන්ට අමතරව ප්‍රාදේශීය වශයෙන්ද නොයෙක් සාහිත්‍ය උත්සව පොත් ප්‍රදර්ශන, සම්මාන ප්‍රදාන ආදිය පැවැත්වෙයි. වාර්ෂිකව පැවැත්වෙන මහතලා (මාතලේ) සාහිත්‍ය උළෙලේදී දොරට වැඩි එක් ග්‍රන්ථයක් වූයේ හේමලතා රාජගුරුගේ ලොකු මිනිබිරී කෙටිකතා එකතුවයි. එහි ලේඛිකාවගේ එක් වැදගත් සිදුවීමක් ගැන කියැවෙයි.

පසුගිය වසරේ සාහිත්‍ය උත්සවයකට සහභාගී වූ මම එම නගරයේම ජනප්‍රිය පාසලක උගන්නා මගේ මිනිබිරිය ද එයට එනු ඇතැයි සිතුවෙමි. ඇය උසස් පෙළ සිසුවියකි. ඇය එදා නොපැමිණන සිටියෙන් පසුව ඇගේ නිවසට ගිය අවස්ථාවක මම ඒ ගැන විමසුවෙමි.

ඇය මෙසේ කීවාය.

අපි සයන්ස්නේ. ප්‍රින්සිපල් කිව්වේ ආර්ට් කරන අයට උත්සවේට යන්න කියලා. අපිට ඉතින් සාහිත්‍ය උත්සවවලින් වැඩක් නෑනේ
සාහිත්‍යයට, කලා, විද්‍යා, වාණිජ, තාක්ෂණ යනුවෙන් භේදයක් නැති බව අමුතුවෙන් කියාදිය යුතු නැත.

ඉහත කී සිද්ධියේ එන මුල් ගුරැට සමාන කෙනෙක් ආචාර්ය ජයලත් මනෝරත්නගේ ගුරු තරුව නාට්‍යයෙහි එයි. ඒ මුල්ගුරා තම විදුහලේ සාහිත්‍ය ඇදුරාගෙන් මෙසේ අසයි.
මටත් තියෙනවා ප්‍රශ්නයක්. මේ කාර්මික සංකීර්ණ සමාජයේ සාහිත්‍ය මොකටද? උදාහරණයක් හැටියට මැටි වැඩ ඉගෙනගත්තොත් අඩුම ගණනේ මුට්ටියක් හරි හදා ගත්තහැකි. ශාරීරික අභ්‍යාස වගේ දෙයක් ඉගෙන ගත්තොත් කොන්ද හරි කෙළින් තියාගත්තහැකි. ඒත් සාහිත්‍ය?

එවිට සාහිත්‍ය ගුරුවරයාගෙන් මුල් ගුරාට ලැබෙන්නේ කණ පැලෙන පිළිතුරකි.
සාහිත්‍යයෙන්ද? සාහිත්‍යයෙන් කරන්නේ ඔය කෙළින් කරපු කොන්ද උඩ තියෙන මැටි මුට්ටියට රත්තරං පුරව ගන්නවද, අශූචි පුරවගන්නවද කියලා තෝරබේරගන්න එක.

- කපිල කුමාර කාලිංග

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:01
 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00