2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා

වන අලි වූ වල් අලි

 2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 95

අලි - මිනිස් ගැටුමට ප්‍රායෝගික විසඳුමක් සෙවිය යුතු යැයිද එය ඉදිරි වසර දෙක තුන තුළ ක්‍රියාත්මක කිරීමට වග බලාගන්නා ලෙසද ජනාධිපතිතුමා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් දීමත් සමඟම වල් අලියා නොහොත් වන අලියා නැවතත් පුවත් සිරස්තල අතරට එක් වී සිටී.

පහුගිය දිනවල කතාබහ කෙරුණේ අලියාට උන්හිටි තැන් අහිමි වී, ආගිය අතක් නැති වූයේ මක් නිසාද යන කාරණය සම්බන්ධයෙනි. දැන් යළිත් කතා කෙරෙන්නේ කැලේ සිටිය යුතු අලි විදුලි වැටවලුත් කඩා බිඳගෙන මිනිස් වාස භූමිවලට වදින්නේ කුමක් නිසාද යන්න පිළිබඳවය.

සියල්ලටම කලින් අතීතයේ සිටම අපි දැනහඳුනා සිටි වල් අලියා හිටිගමන් වන අලියා වූයේ කෙසේ දැයි සොයා බැලිය යුතුය.

වල හෝ වල් යනු වනය (කැලය, වනාන්තරය) යන අරුත් දෙන වදනකි. වල් සතා යනු කැලේ සිටිනා සතා සරුපයාය. වල් ඌරාද දැන් දැන් කැලේ නොසිට ගම් වදින්නට පටන්ගෙන තිබේ. වල් යන විශේෂණය මුලට යෙදෙන වචන රාශියක් අපේ ජන වහරේ ඇත.

වල් යෙදුමට හීලෑ නොකළ යන අශිෂ්ට යන තේරැම්ද ඇත. නොහොබිනා වැඩ කරන විට වල් වැඩ කරන්න එපා යැයි කියන්නේ එහෙයිනි. වල්පල් දෙඩීමද, හැදුණු මිනිසුන්ගේ වැඩක් නොවේ. වනචර වැඩ කරන්නේ වල් බල්ලෝ යැයි බැණුම් අසා ගනිති. වල්මත් වන්නේ පාර වැරදුණු කලය, අතහැර දමන ලද දේපල, ගේ දොර කාලයාගේ ඇවෑමෙන් වල් බිහි වෙයි.

වලේ ල යන්න ළ යනුවෙන් මුර්ධජ වූ විට එන්නේ පොළොවේ කැණූ වළ (ආවාටය) යන තේරුමය.

භාෂාව හදන්නේත්, වඩන්නේත් එය භාවිතා කරන සාමාන්‍ය මිනිසා මිස, පණ්ඩිතයන් නොවේ. පණ්ඩිතයන්ට භාෂාව ආභරණයකි. ඔවුහු එය විග්‍රහ කරති. එය පොදු ජනයාගෙන් ඈත් කර උස් තැනක තැබීමට වෙර දරති.

මීට කලකට ඉහත රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට ඉංග්‍රීසි යෙදුම් සඳහා සිංහල යෙදුම් සකස් කිරීම බාර දුන් විට එහි සිටි බක පණ්ඩිතයන් තැනූ සර්ව ලෝක පූට්ටුව, ස්විච්චීකරණ මධ්‍යස්ථානය, මාතෘදාරකාභිවෘධි මධ්‍යස්ථානය වැනි දිව පැටලෙන නම් කාගේත් හාස්‍යයට ලක්වුණි.

ප්‍රේමදාස යුගයේදී ඒ රාජකාරිය හෙළයන්ට බාර වූයෙන් ඔසුසල, සව්සිරිපාය, ඉසුරැපාය, සුවසිරිපාය, රන්මගපාය, සුහුරුපාය, මිහිකත මැඳුර, ගොවිජන මන්දිරය, රුක්මල්ගම, ජයවඩනගම ආදී වශයෙන් දිගින් දිගටම හොඳ නම් හැදෙන්නට විය. ළඟ ළඟම පාය වල් තිබීම තරමක අවුලක් වුවත් සුහුරුපාය කොතැනදැයි නොවිමසා පාස්පෝට් කන්තෝරැව කොතැනදැයි ඇසීමෙන් ඒ අවුල විසඳා ගැනීමට පොදු ජනයා පෙළඹුණි. පෞද්ගලික ආයතන පවා හොඳ ලස්සන සිංහල නම් යෙදූහ. සුව සෙවණ රෝහල ඊට නිදසුනකි.

මේ සිරිත කඩ කෙරැවේ ඉඩම් වෙන්දේසිකරුවන් සහ නිවාස සංකීර්ණ ඉදිකරන්නවුන්ය. ඔවුන් යෙදුවේ අමෙරිකාවෙන්, එංගලන්තයෙන් ආනයනය කළ ඉංගිරීසි නම් ගම්ය. එක එක විලාස්ද, අර බ්‍රීස් මේ බ්‍රීස් ද, හිල්ස් ද, ගාඩ්න්ස් ද ඉදිවන්නේ ඒ අනුවය. අමෙරිකාවටම ඇත්තේ එක වයිට් හවුස් එකක් වුවද සිරි ලංකාවේ නම් අඩුම ගණනේ පහක් හයක්වත් ඇත. තවම නැත්තේ බකිංහැම් පැලස් පමණි.

වල ගැන කියූ නිසා, පේරාදෙණිය සරසවිය පැත්තෙන් ඇසුණු සිනා කතාවක් ද මතකයට හැඟෙයි. එහි එළිමහන් රංග පීඨයෙහි සිංහබාහු නාටකය රඟදැක්වෙමින් තිබුණි. එක් ජවනිකාවක සිංහ සීවලී මෙසේ ගයයි.

මා පියා හැර දමා
යන්නේ අප කෙසේදෝ
වලට ගොස් විඩා වී
පැමිණි විට නැත කෙනෙක්
අහර පිස දෙන්නටා

මෙය නාටකයේ ශෝකී හැඟුම් උපදින අවස්ථාවක් වුවද ප්‍රේක්ෂකාගාරයේ සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙතින් නැගුණේ උස් සිනා හඬකි.

සිනාවට කාරණය, මොහොතකින් කාටත් වැටහුණි. නාට්‍යයේදී වලට යනුවෙන් අදහස් කෙරැවේ වනාන්තරයට බව සැබෑය. එහෙත් පේරාදෙණි එළිමහන් රංග පීඨයට ද කවුරැත් කියන්නේ වළය.

වල් අලියාට වන අලියා යැයි ව්‍යාජ නමක් පටබඳින්නට ඇත්තේද වල් යන පදයෙහි තේරැම පටළවා ගැනීමෙන් විය හැකිය. කවුරැන් කළත් මේවා අලි ඇතුන්ද සිනාගස්වන ගොන් අලි වැඩය.

මෑතක සිට ලොරියට ලොරි රථය යනුවෙන්ද මෝටර් රථයට කාර් රථය යනුවෙන්ද කියනු ලියනු අසන්ට දකින්නට ලැබේ. මේ දිව උළුක් වන වචන, කාගේ පච වැඩදැයි නොදනිමු. එසේම ගරැ කටයුතු රුකියාවන් වන මහජන සෞඛ්‍ය සේවාවේ සහ පොලිස් සේවාවේ නිලධාරීන්ට පී.එච්.අයිලා සහ ඕ.අයි.සීලා යනුවෙන් මුලකුරැ සහිත ගෑනු නම් පටබඳින ලියන්නෝද සිටිති.

වියරණය කැඩිය හැක්කේ වියරණ දත් අයටය. එසේම නව යෙදුම්, නව පද තැනිය හැක්කේ භාෂාව උගත්, වියතුන්ටය. එසේ නොවන තැන සිදුවන්නේ වඩු බාස් ලවා, මෝටර් රථය අලුත්වැඩියා කර ගැනීමකි. අන්තිමේදී දෙන්නාම කොට උඩය.
අලි ගැන කතා කිරීමට ගොස්, භාෂා ප්‍රශ්නයක් ඇදගැනීම අනවශ්‍ය වලියක් ලෙස කෙනකුට පෙනෙන්නට පිළිවන. ඒ නිසා භාෂාව පැත්තකින් තබා අලි වල්ගයේම එල්ලීම නුවණට හුරු යැයි සිතේ.

සිරි ලංකාව වැනි කුඩා රටක අලි සිටීම ස්වභාවධර්මයා දුන් තෑග්ගක් බඳුය. එහෙයින් අපි අලි රුක ගත යුතුය. මිනිසාට හීලෑ වන ජාතියේ සතෙකු වන අලියා, මිනිසාට අලි ජාති දැමීමට පටන්ගත්තේ උගේ වාසභූමි එකින් එක නැතිවෙන්නට ගත් පසුය.
හැම කෙංගෙඩියටම කමිටු පත් කරන මේ රටේ වල් අලි නොහොත් වන අලි ප්‍රශ්නය විසඳීමටද අලි කමිටුවක් පත් කිරීමේ වරදක් නැත. එහෙත් එය ප්‍රතිඵලදායක වීමට නම් මිනිසාගේ පැත්තෙන්ම නොව අලියාගේ පැත්තෙන්ද කරැණු කියා පෑමට නියෝජිතයෙක් සිටිය යුතුය. පැන්ෂන් ගිය අලි දැන් ඕනෑතරම් සිටින නිසා එය පහසුවෙන් කරගත හැකිය.

මිනිසාගේ ගැලවීම වෙනුවෙන් වල් අලි මරා දැමිය යුතු යැයි යෝජනා කළ හැකි අලි මොට්ටයින් ද කමිටුව හමුවට ඒමට ඉඩ ඇත.

කපිල කුමාර කාලිංග

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00