2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා

මඩ ප්‍රචාර අස්සේ තියෙන්නේ වෙළෙඳ අරමුණු

 2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා, ප.ව. 06:00 222

වෘත්තියෙන් බැංකුකරුවකු වූ ආචාර්ය නිහාල් රංජිත් ජයතිලක ජනමාධ්‍ය  පර්යේෂකයෙකි. නිර්මාණශීලී ලේඛකයෙකි. ඔහු ඒ පිළිබඳව කෘති රාශියක්ම පළකර තිබේ. ඔහුගේ නවතම පර්යේෂණය කෘතිය සිව්වැනි ආණ්ඩු සංකල්පය සහ ජාතික වගකීම මුල් යුගයේ පුවත්පත් කලාවේ වගකීම පිළිබඳ විමර්ශනයකි.

සිව්වැනි ආණ්ඩු සංකල්පය.... පොත ගැන අපට විස්තර කළොත්?

රාජ්‍යයක හතරවැනි බලය හෙවත් සිව්වැනි ආණ්ඩු සංකල්පයට පාදක වෙන්නේ පුවත්පතයි. පත්‍රය තමයි ලෝකයේ මුල්ම ජනමාධ්‍යය. 
මෙම සිව්වැනි ආණ්ඩු සංකල්පය නීතිගත දෙයක් නෙමෙයි. නමුත් රීතියක්, පොදු පිළිගැනීමක් තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 1948 මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය සමග ගැලපීමේදී නොනිල වශයෙන් මාධ්‍ය සතු හතරවැනි බලය ගැන ප්‍රකාශ වෙනවා. දේශ සීමා නොසලකා කවර හෝ මාධ්‍යයක් මගින් තොරතුරු හා අදහස් සෙවීමේ, ලබා ගැනීමේ හා බෙදාහැරීමේ නිදහස මානව හිමිකමක් බව නීතියෙන්ම තහවුරු කර තිබෙන නිසා.

කෙසේ හෝ මෙම සිව්වැනි ආණ්ඩු සංකල්පය පිළිබඳව මෙරට සිංහල ජනයාව දැනුවත් කිරීමේ ගෞරවය හිමිවන්නේ 1862.09.11 දින එළිදුටු ලක්මිණි පහණ පත්‍රයටයි. අපගේ පර්ෙය්ෂණ සිදුවුණේ ඒ ඔස්සේයි. ප්‍රජාතන්ත්‍රවාදී යහපත් පුරවැසියකු, විචාරශීලී පාඨකයකු ලෙස අතීතය හා වත්මන යා කෙරෙන මෙම සංකල්පයේ ගැබ්වෙන ජාතික හා සමාජ මෙහෙවර ගැන විමර්ශනාත්මක කියවීමකට මේ පොතෙන් මං පාදනවා. විද්‍යුත් මාධ්‍ය ගැනත්, සමාජ මාධ්‍යයේ මුහුණුවර ගැනත් කතිකාවක් තියෙනවා. මාධ්‍යයේ බලය අද දවසේ හතරවැනි තැනින් උඩට ගිහින්. 

මේ පර්යේෂණය  කරද්දී එදා පුවත්පත් හා අද පුවත්පත් අතර වෙනස ඔබ දැක්කේ කෙසේද?
එදා පුවත්පත්, රාජ්‍ය පාලනයේ හතරවැනි බල අධිකාරිය ලෙස හඳුන්වන විට පත්‍රකලාවේදියා මෙන්ම ප්‍රකාශකයාද ඉන් නියෝජනය වුණා. 1860-1909 අතර කාලයේ ප්‍රධාන ධාරාවේ සිංහල පත්‍ර ගණනාවකම කතුවරු හා අයිතිකරුවන් වූයේ එකම පුද්ගලයින්. ඔවුන් මාධ්‍ය ගැන දැන සිටියා. ජාතික හා සමාජ වගකීම අවබෝධ කරගෙනයි වැඩ කළේ. බ්‍රිතාන්‍ය යටත් විජිතයකයි ඔවුන් පත්තර පවත්වාගෙන ගියේ. සමකාලීන ඉංග්‍රීසි පත්‍ර වගේ ඉංග්‍රීසි ආණ්ඩුව සමඟ ඍජුව ගැටුම් ඇතිකර ගත්තෙ නැහැ. ඉංග්‍රීසි මව් රජයේ වික්ටෝරියා මහ රැජිනිව මුරුංගා අත්තේ තියාගෙන, මෙරට ඉංග්‍රීසි ආණ්ඩුකාරයින් සමග සහජීවනයෙන් ජාතික ප්‍රශ්නවලට උත්තර ලබාගත්තා. අසාධාරණ බදු ගැන කතා කළා. මන්ත්‍රණ සභාවේ සහ අධිකරණයේ සිංහල භාෂාවෙන් වැඩ කිරීමේ උවමනාව පෙන්වා දුන්නා. කාන්තා අධ්‍යාපනය, ස්වදේශිකයාගේ සාක්ෂරතාව ගැන කතා කළා. වැව් අමුණු ප්‍රතිසංස්කරණයට සල්ලි වෙන්කර ගත්තා.

අද තත්ත්වය විස්තර කළොත්?
වත්මනේ පුවත්පත් හිමිකරුවන් හා පුවත්පත් කලාවේදීන් කොටස් දෙකක්. විවෘත ආර්ථික රටාවක් තුළ පත්‍ර අයිතිකරුවන් සිව්වන ආණ්ඩු සංකල්පයේ සැබෑ කොටස්කරුවන්ද යන ප්‍රශ්නය අද මතුව තිබෙනවා. මෙවැනි හිමිකරුවන් බහුතරය බහු ව්‍යාපාරිකයන්. පවත්නා රජයේ දේශපාලන බලඅධිකාරිය සමඟ සමීප සබඳතා පැවැත්වීම ව්‍යාපාරික ලෝකයේ සොබාවයයි. අදාළ න්‍යාය පත්‍රවලට යටත්ව පෑන මෙහෙයවීමට මාධ්‍යවේදීන්ට සිදුව තිබෙන ප්‍රවණතාව ඉහළයි. ප්‍රකාශක කනෙන් රිංගා මධ්‍යස්ථ වාර්තාකරණයේ නිතර අදීන ලේඛකයන්ද නැත්තෙත් නැහැ. රජයේ පාලනය යටතේ ඇති පත්‍රකලාවේදීන්ට රාජ්‍ය ප්‍රතිපත්ති මත වැඩ කිරීමට සිදුවීම පොදු ධර්මතාවක් වෙලා. වත්මන් පත්‍ර වැඩකරන්නේ 1948 නිදහසින් පසුව ප්‍රජාතන්ත්‍රවාදී පසුබිමක් යටතේ. එහෙම නම් සිව්වැනි ආණ්ඩු සංකල්පය හරියටම ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්න ඕනෑ වත්මන් මාධ්‍යවේදීන්ට. එතැන හරහට සිටින්නේ වෙළෙඳ දැන්වීම් ආධිපත්‍යය. දැන්වීම් නැතිව පත්‍රවලට පැවැත්මකුත් නැහැ. අද හැම පැත්තම බලන්න වෙනවා. 

අද මුද්‍රිත මාධ්‍ය අභිබවා විද්‍යුත් මාධ්‍ය නැගී සිටිනවා. ඒ නිසා පුවත්පත්වල පාඨක සංඛ්‍යාව අඩුවෙලා නේද?
කතාව ඇත්ත. මේක දිනපතා, සතිපතා පත්‍රවලට බලපා තිබෙනවා. රූපවාහිනී නාලිකාවලින් උදේට පත්තර කියවන නිසා දිනපතා පත්‍ර ගන්න අය අඩුවෙලා. ඉරිදා පත්‍රවලට මේක බලපාලා තිබුණත් දැන්වීම් (ලුහුඩු/අනිකුත්) පළකරන ජනයා ඒවා බැලීම සඳහා ඉරිදා පත්‍ර ගන්නවා. අනික ඉරිදා පත්‍ර ගන්නෙ ප්‍රවෘත්ති බලන්නම නෙමෙයි. ප්‍රවෘත්ති (දෙස්/විදෙස්) දැනගන්න පුළුවන්නෙ රූපවාහිනී ප්‍රවෘත්ති විකාශ මගින්. විශේෂාංග, තීරු ලිපි, ගවේෂණාත්මක දේ දැන ගැනීමේ කුතුහලයක් තවමත් වැඩිහිටි පාඨකයාට තියෙනවා. ඒකයි එවැනි අංග සහිත, දැන්වීම් (මංගල, යාන වාහන, ටියුෂන්, අනිකුත් ලුහුඩු) ඇතුළත් ඉරිදා පත්‍ර වෙත තවමත් පාඨක ආකර්ෂණය තියෙන්නෙ. ඒත් ඉස්සර ඉරිදා දවස්වලට පත්‍ර තුන හතරක් ගත් අය අද ගන්නෙ එකයි. නැත්නම් ඉංග්‍රීසි, සිංහල දෙකයි. සංඛ්‍යාත්මකව පත්‍ර අලෙවියේ අඩුවට බලපා තිබෙන්නෙ විද්‍යුත් මාධ්‍ය තමයි. නව මාධ්‍ය ලෙස ගැනෙන සමාජ මාධ්‍යයේ ව්‍යාප්තියත් මේකට බලපා තිබෙනවා. සාහිත්‍ය කලා විශේෂාංග සඳහා තවමත් ප්‍රමුඛ මුද්‍රිත මාධ්‍ය තමයි. ඒවා පළවන දිනවල පත්‍ර අලෙවිය වැඩිවන්න පුළුවන්.

කෝවිඩ් 19 වගේ විපත්තිදායක අවස්ථාවකදී සිව්වැනි ආණ්ඩුවේ වගකීම වැඩියි නේද?
එදා පත්තරවලට සීමාවුණු සිව්වැනි ආණ්ඩුවේ වගකීම අද මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය දෙකටත්, සමාජ මාධ්‍යයටත් අයිතියි. කෝවිඩ් 19 ගැන මහජනයා දැනුවත් කිරීමේ ජනමාධ්‍ය වගකීම මෙරට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය විසින් නිවැරදිව ඉටුකරමින් සිටින බව පේනවා. මේක ජාතික හා සමාජ ව්‍යසන අවස්ථාවක්. රජයේ සෞඛ්‍ය බලධාරීන්ගේ පණිවිඩය ජනතාව අතරට ගෙන යන්නේ ජනමාධ්‍යයයි. පුවත්පත් හා රූපවාහිනී නාලිකා හරි දැක්මකින් මේ ජාතික වගකීමට උරදී සිටිනවා. නමුත් සමාජ මාධ්‍ය ඇතැම් විට වැරදි/ අසත්‍ය දේ පතුරැවමින් ජනයා කුපිත කිරීමට උත්සාහ කළ බව පේනවා.

අද සමහරු මාධ්‍ය ගණිකා වෘත්තියේ යොදවන බවටත් චෝදනා එල්ල වෙනවා. අතීත පුවත්පත්වල ඒ බව ඔබ දුටුවාද?
මාධ්‍ය ගණිකා වෘත්තියේ යෙදවීම කරළියට එන්නෙ විවෘත ආර්ථිකේ එක්ක. මාධ්‍ය හිමිකරුවන්ගේ බහුවිධ ව්‍යාපාර ලෝකයේ පැවැත්ම එක්ක. දේශපාලන බලධාරීන් සමඟ ඍජුව හෝ වක්‍රව පවත්වන සබඳතා නිසා. අපක්ෂපාතී, මධ්‍යස්ත පුවත් වාර්තාකරණයක් නොමැති වීම, මඩ ප්‍රචාර, චරිත ඝාතන ආදිය සිදුවන්නෙ දේශපාලන න්‍යාය පත්‍ර මත කටයුතු කිරීමෙන්. ඒක පිටුපස්සෙ තියෙන්නෙ වාණිජ අරමුණු. අදීන මාධ්‍යවේදීන්ගේ වුවත් කොඳු නාරටි කඩා දමන්නෙ මේ පක්ෂග්‍රාහී න්‍යාය පත්‍ර විසින්.

අද ජනසන්නිවේදන පාඨමාලා වැහි වැහැලා. ඒත් ඒවා නිමකරන අයගෙන් වැඩි දෙනෙකුට ප්‍රවෘත්තියක් ලියා ගන්නවත් බෑ නේද?
මේ ප්‍රශ්නෙ මුද්‍රිත වගේම විද්‍යුත් මාධ්‍යයටත් පොදුයි. පාඨමාලා කළාට, උපාධි ගත්තට ඉඩක් නෑ. ඔක්කොටම කලින් සිංහල භාෂාව නිවැරදිව භාවිත කරන්න ඕනෑ. පැරණි පතපොත හදාරන්න ඕනෑ. භාෂා සාක්ෂරතාව මෙහිදී වැදගත්. ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය, අභ්‍යාස වැනි ගුණාංග අඩුයි මේ අයට. මේ අයට උගන්නන අය ගැනත් සැලකිලිමත් වෙන්න වෙනවා. නිර්මාණාත්මක කුසලතාව නොමැති නම් මාධ්‍යකරුවෙක් වෙන්න බැහැ.

 කුසුම්සිරි

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00