2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

සමහර පොත් ගෙඩි කියවීමත් අපරාධයක්

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 322

- සම්මානනීය ලේඛක නිශ්ශංක විජේමාන්න

නූතන පරපුරේ විශිෂ්ට කෙටිකතාකරුවෙක් මෙන්ම නවකතා රචකයෙක් ලෙස ද විචාරක පාඨක ප්‍රසාදය දිනා සිටින නිශ්ශංක විජේමාන්නගේ වැලන්ටයින් කුමාරයා නවකතාවේ නවතම මුද්‍රණය පසුගියදා නිකුත් විය. ඔහු ලියූ තාරා මගේ දෙව්දුව 2014 ස්වර්ණ පුස්තක උළෙලේ ප්‍රශස්ත කෘතියක් ලෙස ඇගැයුමට ලක්වූ අතර හඳ පලුව තනි තරැවට 2017 ස්වර්ණ පුස්තක සම්මානය හිමිවිය.

වැලන්ටයින් කුමාරයා පොතේ තේමාව ගැන අපේ පාඨකයන්ට කිව්වොත්?

මේ පොත මුලින්ම මා අතින් ලියැවෙන්නේ 1994 දී වගේ කාලයක. ඒ කාලෙ සුපර් ස්ටාර්ස්ලා කියන සංකල්පය තිබුණෙ නෑ. නමුත් පොතේ සුපර් ස්ටාර්ස්ලා ගැන යම් ඉඟියක් පැවසෙනවා. මේ පොතේ වැලන්ටයින් කියන චරිතයටත් සිදුවෙන්නේ සුපර් ස්ටාර්ස්ලට සිදුවන දේමයි.

සුපර් ස්ටාර්ස්ලගෙ දකින්න ලැබෙන ප්‍රධාන දෙයක් තමයි නිසි පුහුණුවක් නැතිකම. ගායකයන්ට ව්‍රතයක් පැවතිය යුතුයි. එයම ජීවිතය විය යුතුයි. මේ පොතේ වැලන්ටයින් කියන චරිතයත් එහෙම ව්‍රතයක් නැති චරිතයක්. සුපර් ස්ටාර්ස්ල නැගී එනවා. ඒ වගේම පසුව බැහැල යනවා.

පොත ලිවීමට වෙනත් කාරණාත් ඔබට බලපෑවාද?

ඔව්. 1989 දී ජ.වි.පෙ. දෙවැනි කැරුල්ලෙන් පස්සේ එවකට තරුණයන් වූ අපි හිටියේ බියගත් මානසිකත්වයකින්. අපට වීරයෙක් නෑ. වීරත්වය පෙන්වන්න බැරි තරම් මර්දනයක්. වෙනත් විදියකින් තමයි වීරයෝ එළිබැස්සේ. ක්‍රිකට් ක්‍රීඩකයෝ, ගායකයෝ ආදී වශයෙන්. මේ පොතේ නිර්මාණය කළ වීරයාගෙ පළවැනි කාර්යය සෙක්ස්. ඔහු තම ශක්‍යතාවන් හඳුනා නොගෙන තම සිතුවිලි ස්ත්‍රීන් අරභයා මුදාහරිනවා. මම මේ කතාව කියන්නේ ගොත ගසමින්. මට ඒ කතාව හරියට කියාගන්න බෑ. පොත කියවන පාඨකයා ප්‍රතිකියවීමක් මගින් කතාව ගැටගසාගත යුතුයි. පාඨකයා මේකෙන් කතාව සොයාගත යුතුයි.

ඔබේ වෙනත් කෘතිවල වගේම මෙහිත් ආකෘතිමය වෙනස්කම් අපි දකිනවා?

ඔව්. මම මේ කතාව පැවසීමට වෙනස් ආකෘතියක් සොයාගන්නවා. මේ කතාව හදන්නෙම කෑලි අලවලා. චිත්‍ර ශිල්පයේ තියනවා රෑප කපා අලවන සිත්තම් ක්‍රමයක්. මේකෙත් එක එක පරිච්ඡේදවල රූප තමයි අලවන්නේ. ඒවා එකකට එකක් යන්තම් ගැලපෙන කතා. මම මේක කරන්නෙ අත්හදා බැලීමක් විදිහට. නවකතා කියන ශානරයේ මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද කියලා මම උත්සාහ කරනවා.

සමහර විචාරකයො පවසනවා සමහර ලේඛකයෝ කතාවට වැඩිය ආකෘතියට මුල්තැනක් දෙන බව. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

ලංකාවෙ හෝ ලෝකයේ හෝ බිහිවන බොහෝ නවකතාවල තියෙන්නෙ කතන්දරයක්නේ. කතන්දර කියවන පාඨකයා ඊට වෙනස් පොතක් කියවන විට ඔහුට පේන්නෙ ආකෘතියයි. මම කියන්නෙ ආකෘතිය අතහරින්න. කතාව සොයාගන්න. මම නවකතා ලියන්නෙ මෝස්තරය, ආකෘතිය පෙන්නන්න නෙවෙයි. අභ්‍යන්තර හරය සොයාගත යුතුයි. ආකෘතියට බයවෙන්න එපා කියලයි මම කියන්නේ. භාජනය ඇතුළේ තිබෙන සාරය සොයාගන්න.

දැන් අධිවේගී සමාජයක ජීවත්වන පාඨකයාට ඔබ කියන විදිහට නවකතාවේ සාරය සොයාගැනීමට විවේකයක් තිබෙනවාද? 

එහෙම විවේකීව කියවලා සාරය හඳුනාගත් පාඨකයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. පොත කියවූ සෑහෙන පිරිසක් දුරකථන ඇමතුම් මගින් ප්‍රතිචාර දැක්වූවා. නමුත් වැලන්ටයින් කුමාරයා පොතට ලැබුණු ප්‍රතිචාරවලට වඩා වැඩි ප්‍රතිචාර තාරා මගේ දෙව්දුව පොතට වගේම හඳ පලුව තනි තරුව පොතට ලැබුණා. මට තේරෙනවා පාඨකයා අල්ලාගැනීමට නම් කෘතිය කියවන පොතක් බවට පත්වීමට යම්කිසි උපාය මාර්ගයක් අනුගමනය කළ යුතුයි. එකක් තමයි කතාව සංක්ෂිප්ත කිරීම. පාඨකයන්ට වඩා හොඳින් කියවිය හැකි කුඩා පොතක් මම ලබාදිය යුතුයි. මේක පරමාදර්ශය නොවෙයි. හොඳ ලොකු පොත් පැවතිය හැකියි. නමුත් සමහර පොත් තිබෙනවා පොත් ගෙඩි වගේ. ඒවා කියවන එක අපරාධයක්.

ඔබ මෙයට පෙර අප සමඟ සඳහන් කළා නවකතා ලිවීම පහසුයි. කෙටිකතා ලිවීම ඉතා දුෂ්කරයි කියලා. සමහර ලේඛකයන් කියන්නේ නවකතා ලිවීම දුෂ්කර බවයි. මේ ගැන පැවසුවහොත්?

මට නම් කෙටිකතා ලිවීම ඉතා දුෂ්කරයි. එහි කවියකට වඩා මඳක් විශාල වපසරියක පැතිරුණු වචන ඉතා පරිස්සමින් භාවිත කළ යුතුයි. නවකතා කියන්නේ තරමක් විශාල වපසරියක්. එය ලොකු බිත්තියක් මත ඇඳගෙන යා හැකි චිත්‍රයක් වගේ. අදටත් මගේ කියමන වලංගුයි. නවකතාවක් ලියන එක ලේසියි.

නූතන පරපුරේ නවකතා ගැන කිව්වොත්? ඔබගේ සිත්ගත් නිර්මාණ තිබෙනවාද?

නූතන පරපුරේ කෘති විශාල ප්‍රමාණයක් මම කියවලා නෑ. කියවූ පොත් අතරින් පද්මිණී සෙනෙවිරත්නගේ වරණ සහ තිවත පොත් දෙක ගැන සඳහන් කළ යුතුයි. ඉතිහාසයේ අප සතු මතවාද සහමුලින්ම මේ කෘතිවලින් කඩාගෙන වැටෙනවා. ඊට අමතරව කෞශල්‍යගේ මේ රහස් කවුළුවෙන් එබෙන්න සහ නිම්නාගේ ඉතිහාසය නවකතා දෙක අගනා උත්සාහයක්. ඔහුට අභියෝග මතුවන්නේ ඔහු තුළින්මයි. ඔහු භාවිත කරන සමාජ ධාරාව අති නූතනයි. අපි දකින දේ වඩාත් වෙනස්ව ඔහු දකිනවා. ප්‍රබන්ධයේ දී යථාර්ථය ඉක්මවා පාඨකයා ග්‍රහණය කරගත යුතුයි. ලියනගේ අමරකීර්තිගේ රතු ඉරි අඳින අත^ කියෙව්වාම මම විමතියට පත්වුණා. ශමෙල් ජයකොඩිගේ කතාවල අපට අහුනොවන චරිත හමුවෙනවා. විමල් උදය හපුගොඩගේ යකඩ සිල්පර නවකතාව හොඳ කතාවක්. නමුත් තවදුරටත් සංස්කරණයකට ලක්විය යුතුයි. එච්.බී. ගුණරත්න ලියපු හිතුවක්කාරී තවත් අපූරැ කෘතියක්. ඒක පට්ට ලිවිල්ලක්.

අපේ විචාරකයන් අතින් නූතන පරපුරේ නවකතා කෘතිවලට ලොකු අවධානයක් ලැබෙන්නෙ නෑ වගේ?

අපේ විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍රාලයීය විචාරකයන් පොතක් දිහා බලන්නේ ඒ පොත විශ්වවිද්‍යාලයීය නිබන්ධන සංග්‍රහයකට ගත හැකිද? යන සිතුවිල්ලෙන්. මේක ළමයින්ට භයානකයි. සුදුසු නෑ ආදී වශයෙන් කල්පිතයක් ගොඩනගනවා. ඒ එක කරැණක්. දෙවැනි කරුණ මේ කෘති ගැන සංවාදයකට කැමති වන පිරිසක් නැතිවීම. අපි කෙතරම් බැන්නත් බොහෝ කෘති ගැන සයිබර් අවකාශයේ කතිකාවක් මතුවෙනවා. ඊට පසුව එහිම අතුරැදහන් වෙනවා.

කුසුම්සිරි

 

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00