2020 මාර්තු 14 වන සෙනසුරාදා

රා පොඩි දී ගම සැනසූ අප්පුහාමි අය්යා

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:31 627

මේ හැත්තෑ ගණන්වල අග භාගයේ හා නවසිය අසූවේ කතාවකි. හැත්තෑ ගණන්වල අග භාගයේ සිල්වා මහතා කටුගස්තොට දුම්රියපොළේ ස්ථානාධිපති ලෙස පත්ව එනවිට එහි ගබඩා ඇති පැත්තේ කොලු කුරුට්ටෝ බෝල ගැසීමට පුරුදුව සිටියහ. සිල්වා මහතාද පාසල් කාලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු ඒ කාලයේ තම පාසලේ ක්‍රිකට් පිලේ කඩුලු රැක්කේය. ක්‍රිකට් ක්‍රීඩාවට කෙතරම් ළැදි වුණත් තමාට භාර වූ රජයේ දුම්රිය ස්ථාන පරිශ්‍රය රැකගැනීම ඔහුගේ රාජකාරිය විය. ගබඩාව ඇති පැත්තේ ක්‍රිකට් ක්‍රීඩා කරන්නට පුරුදුව සිටි කොලු රුල එළවා දමන්නට ඔහු යොමු වූයේ ඒ නිසාය. කොලු රැළේද නාහෙට නාහන උන් කිහිපදෙනෙක් උන්හ. පළමු දිනයේ සෙල්ලම් කරන කොල්ලන් එළවා දමනවිට ඒ නාහෙන නාහන උන් එතැන සිටියේ නැත. “මොකටද එයාට බය වෙන්නේ? මේක අපේ ගම. වරෙල්ලා යං අද අපි පුරුදු විදිහට අපේ සෙල්ලම කරමු.” නාහෙට නාහන රැළ අනෙක් කොලු රැළ ද කැඳවාගෙන දුම්රියපොළේ ගබඩාව ඇති පැත්තේ විකට් කූරු සවි කළහ.

ඕවර තුන හතරක් ගෙවී යද්දී අලුත් ස්ථානාධිපති තුමාගේ කනට ආරංචිය ආයේය. වහාම දුම්රිපොළ පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස දන්වා ඔවුනට පණිවිඩයක් ගියේ පෝටර්වරයකු අතේය. එහෙත් තවත් ඕවරයක් දෙකක් ගත වනතුරුත් සෙල්ලම නතර නොවීය. ඇස්. ඇම්. මහතා දුම්රිය වේදිකාව දිගේ ඇවිද ගොස් රේල් පාරවල් හතර මැද්දෙන් ගබඩාව පැත්තට ළං කළේය. කොල්ලෝ සෙල්ලම නවතා එවර තුෂ්නිම්භූතව බලා උන්හ. ඈතට පෙනුණේ ක්‍රිකට් තරගයක් නිමා කරන විනිශ්චයකරුවකු සේ විකට් කූරු බිම හෙලන සිල්වා මහතාය. කොල්ලන් මොනවාදෝ කියනු ඈතට පෙනුණේය. ඔවුන් කී දේ නෑසුණත් සිල්වා මහතාගේ වාග් ප්‍රහාරය හමුවේ කොල්ලන්ගේ ප්‍රති ප්‍රහාරත්, පිති ප්‍රහාරත් දෙකම නැවතුණේය. ඉතිරි විකට් කූරු තුන ද ගලවා ගත් කොල්ලෝ පල්ලෙතලවින්න පැත්තට පල්ලම් බැස්සෝය.

දුම්රිය ගබඩාවල ඇති පිටි, සීනි ආදී ආහාර හෝ වෙනත් භාණ්ඩ ඉවත ගෙන යන්නට පැමිණි ලොරි රියදුරන්ගේ මැසිවිලි ද ඉන් නිමා වී ගබඩාව අසල ලොරි ගාල් කරන්නට අවුරුදු ගණනාවකින් නොලැබුණු ඉඩ එවර ලැබිණි. එතැන ක්‍රිකට් ගැසූ ඉලන්දාරි ගමේ අය නිසා ඊට පෙර පැමිණි කිසිම ස්ථානාධිපතිවරයකු ඔවුන් එළවන්නට මැදිහත් නොවූහ. හැකි සෑම අවස්ථාවකම එංගලන්ත ඔස්ට්‍රේලියා අළු බඳුන තරගාවලීන්හි ක්‍රිකට් විස්තර ප්‍රචාරයට සවන් දුන් සිල්වා මහතාට ගමේ කොල්ලන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව නතර කරන්නට සිදු වූයේ දුම්රියෙන් එන භාණ්ඩ ලොරිවලට පටවා ගැනීමට ද ඉන් බාධා සිදු වූ නිසාය.

ටික කලක් ගෙවී ගොස් සිංහල අවුරුදු සමය ළං වුණේය. ගමේ සංවිධානය කරමින් තිබූ අවුරුදු උත්සවයටත් අවුරුද්දට පසු දිනක පවත්වන සංගීත සංදර්ශනයටත් වැඩිපුරම සහයෝගය ලැබුණේ සිල්වා මහතාගෙනි. ගමේ කිහිපදෙනෙක් දුම්රිය ස්ථානයේ ද සේවය කළහ. සිරිත් පරිදි සේවය කළ දුම්රිය ස්ථානයේ සියලු සේවකයන්ට අවුරුදු සාදයක් පිරිනැමුණේ සිල්වා මහතාගේ වියදමිනි. එය ඔහු දන්නා කලෙක පටන් ඉටු කළ ඔහුගේ අවුරුදු චාරිත්‍රයකි. සාදයට ගමේ උදවියටත් ආරාධනා ලැබුණේ ගමේ පදිංචිකරුවන් දුම්රිය ස්ථානයේ සේවය කළ නිසාය. ඛාද්‍ය මෙන්ම භෝද්‍ය ද සාදයේ හිඟ නොවීය. රැගත් සුරා පිරූ විතින් නැටූ අය අතර පෙරදා නැට්ට හකුලාගෙන ක්‍රිකට් පිටියෙන් ඉවත් වූ කොල්ලෝ ද උන්හ. හිතේ කිසිදු ඇරියස් එකක් තබා නොගත් සිල්වා මහතා ද උන් සමඟ නටනු පෙනෙනි. ස්පීකර දෙකේ කැසට් යන්ත්‍රයෙන් තබන පයට වාදනය වැයුණේය.

දුම්රිය ස්ථානයේ නම කටුගස්තොට වුවද එය තිබෙන්නේ කහල්ල ගමේය. කහල්ල ගමේ අවුරුදු ප්‍රීතිය අවුරුදු උත්සවයේදී සැමදෙනා අතර බෙදා ගැනුණේය. අවුරුදු උත්සවය දා පැවැත්වෙන සංගීත සංදර්ශනය පැවැත්වුණේ දුම්රියපොළ ඉදිරිපිට දුම්රියපොළ පරිශ්‍රයේය. ඉහත කී ලෙස ඊට සම්පූර්ණ සහයෝගය සිල්වා මහතාගෙන් ලැබුණේය. සංගීත සංදර්ශනයේ ගීත ගැයුවේ කහල්ල ගමේ ගායක ගායිකාවෝය.

සංගීත සංදර්ශන සුලභ ඒ කාලයේ මෙකී සංගීත සංදර්ශනයේ සුවිශේෂතාවක් මම දුටිමි. සාමාන්‍යයෙන් ඒ කාලයේත් සංගීත සංදර්ශනවල වැයුණේ ගිටාර්, ඩ්‍රම්සෙට් හා ඕගන් ආදියයි. මෙම සංගීත සංදර්ශනයේ වැයුණේ වයලීන, සිතාර, බටනලා, තබ්ලා ආදී භාණ්ඩයන්ය. කලබල නැති සරල ශාස්ත්‍රීය ගායනාවලට එහි ප්‍රමුඛත්කවය ලැබුණේය. මෙකී සංගීත සංදර්ශනයේ ගුණාත්මක වෙනසට බලපෑ එක් සුවිශේෂී හේතුවක් විය. ඊට සංගීතය සැපයුවේ ආනන්ද පෙරේරා ප්‍රමුඛ වාදක කණ්ඩායමයි. ඒ වනවිට “දයාබර නිලූ” චිත්‍රපටයට ඔහු සංගීතය සපයා තිබුණත් ඔහුගේ නම එකල සංගීත රසිකයන් අතරට ගොස් තිබුණේ නැත. පසු කලෙක රූපවාහිනී වැඩසටහනක් තුළින් අතිශය ජනාදරයට පත්වූයේ ආනන්ද පෙරේරාගේ එම සංගීත කණ්ඩායමයි. එය පසුව “ශක්ති” යනුවෙන් නම් කර තිබුණි.

කහල්ල ගමේ ගායන ශිල්පීන්, සංගීත සංදර්ශනයට පෙර දවසේ පේරාදෙණියේ මුල්ගම්පල එම්. ජී. පී. කලායතනයට කැඳවා පුහුණු කරනු ලැබිණි. ගීතවල ආරම්භක වාදන ගීත අතරතුර වාදන සියල්ල එදිනට නිවැරදිව තීරණය කොට පුහුණු කරනු ලැබිණි. කහල්ල ගමේ සංගීත සංදර්ශනයට ආනන්ද පෙරේරා ප්‍රමුඛ වාදන ශිල්පීන්ගේ සහාය ලැබුණේ ඒ ආකාරයටයි. ඔහු සංගීත රසිකයන් අතර ජනාදරයට පත් වුණේ ඉන් වසර 15 -20ක් ඉක්ම ගිය පසුවය.

අඩි හයක් පමණ උස අප්පුහාමි අයියා පදිංචිව සිටියේ දුම්රිය ස්ථානාධිපති නිල නිවාසය පිටුපසින් ඇති බෑවුම් සහිත ඉඩමකය. එම ඉඩම අප්පුහාමි අයියාගේ නමට තිබූ එකක්දැයි මම නොදනිමි. එය අප්පුහාමි අයියලගෙ පරම්පරාගත ඉඩමකි. ඒ වනවිට හැටවැනි විය ඉක්මවා සිටි අප්පුහාමි අයියා තම අම්මාවත් බලාකියා ගෙන එකී ඉඩමේ අටවාගත් පැල්පතක වාසය කළේය. අප්පුහාමි අයියාගේ අම්මා වයස අසූව ඉක්මවා ගිය තැනැත්තියකැයි පෙනුමෙන් කිව හැකි විය. හොඳින් කඳු නැග පුරුදු සිහින් සිරැරක් හිමිව තිබූ ඇය හොඳ ශරීර සෞඛ්‍යයෙන් පසුවූවාය. ඈ නිතර අප්පුහාමි අයියාට බැණ වදින කටහඬ ගව්වක් පමණ ඈතට ඇසෙන තරම් විපුලතාවයෙන් යුක්ත වූයේය. ප්‍රදේශවාසීන් කීවේ ඇය උඩරට රදළ පැලැන්තියකින් පැවතෙන්නියක බවයි.
“රා පොඩියක් දී මා සනසන්නේ” කියා තරුණයන් ඉල්ලුවේ අප්පුහාමි අයියාගෙනි. රා මැදීම එකම ජීවන වෘත්තිය වශයෙන් කළ අප්පුහාමි අයියා ගහෙන් ගහට අතුර දිගේ නොනැංගේ හේතු දෙකක් නිසාය. අප්පුහාමි අයියා රා මැද්දේ එකම එක කිතුල් ගහක වීම පළමු හේතුවයි. දෙවැනි හේතුවත් එයමය. අතුරු බැන්දේ පොල් රා මදින පොල් ගස්වල මිස කිතුල් ගස්වල නොවේ. කිතුල් ගසේ උසට උණ බම්බුවක් බැඳ, ගසේ නගින්නට පහසු වන සේ එහි (හැර) ගසා තිබිණි.

මුහුන් දා පැසෙන්නට හැර කිතුල් මල කපා තෙලි දිය බා ගත් අප්පුහාමි අයියා ඒවා බෝතල්වලට පුරවා ඉඩමේ පඳුරු යට තැන් තැන්වල සැඟවූයේය. රා විකුණා ලැබෙන මුදලින් හාල්, පොල්, අල, ළූණු මිලදී ගත් ඔහු අම්මාටත් උයාපිහා දුන්නේය. නාන්නට වතුර ඇද දුන්නේය. අම්මා බණින බැණුම් ඉවසා උන්නේය.

අප්පුහාමි අයියාගේ අම්මා මහත් ආඩම්බරයෙන් දෙඩුවේ බාල පුතා හෙවත් අප්පුහාමි අයියාගේ මල්ලී ගැනය. ඔහු කඩහිමියෙකි. යාන වාහන දෙක තුනක හිමිකාරයෙකි. අවුරුද්දට වතාවක් අම්මා බලන්නට පැමිණෙන හේ ඒ එනවිට තෑගි බෝග රැගෙන පැමිණෙයි. බාල පුතා ගෙනෙන තෑගි බෝගවල වර්ණනාව අම්මා ඊළඟ අවුරුද්ද දක්වාම අසල්වැසියන්ට පවසයි. ඇය අසල්වැසියන්ට අප්පුහාමි අයියා ගැන කීවේ දොස්මය. එදොස් අසා අසල්වැසියන් අප්පුහාමි අයියා ගැන කිපුණේත්, අප්පුහාමි අයියාගේ මෑණියන් ගැන කිපුණේත් නැත.

දිනක් හවස් යාමයේ ඇඳිරි වැටීගෙන එද්දී අප්පුහාමි අයියාගේ පැල්පත ගිණිගෙන දැවෙන්නට ගත්තේය. ගිනිදැල් අඩි 3, 4ක් අහස උසට විහිදුණේය. අහල පහළ උදවිය හනික කෑගෝ ගසා පිරිස රැස් කොට විනාඩි පහක් යන්නට මත්තෙන් ළිඳෙන් වතුර අඳ ගින්න නිවා දැමුවෝය. පැල්පත පිළිසකර කරගන්නට ද අවට ප්‍රදේශවාසීන්ගේ නොමද සහයෝගය ලැබිණි.

අවුරුද්දට තුන්හතර වතාවක් අප්පුහාමි අයියාගේ රා අල්ලන්නට පොලීසිය කඩා පනී. පොලීසිය කඩා පාත් වූ විට රා බෝතල් සඟවා ඇති පඳුරු පොලිස් නිලධාරීන්ට පෙන්වන්නේ අප්පුහාමි අයියාගේ මවයි. පඳුරැ අස්සෙන් රාළහාමිලා රා බෝතල් ඉවත ගනිද්දී ඇය සතුටින් පිනා යයි.

අප්පුහාමි අයියා පොලීසියෙන් අල්ලාගෙන ගිය බොහෝ අවස්ථාවල ඇප දී ඔහුව බේරාගෙන ආවේ දුම්රිය ස්ථානාධිපතිවරයාය.

“පඳුරක් ගානේ පෙන්නලා අල්ලා දුන්නා මං! එහෙව් කෙල්ලක් මං” අසූවැනි විය පසු කළ ඇය අසල්වාසීන්ට කීවාය.

අප්පුහාමි අයියා කරන්නට වෙන කර්මාන්තයක් දැන උන්නේ නැත. ඇප දී ගෙනාවට පසු ඊළඟ දවසේ උදෑසනින් ඔහු කළේ පුරුදු ජීවන වෘත්තියමය.

එකල රජයේ සේවකයන් (විශේෂයෙන් දුම්රිය ස්ථානාධිපතිවරැන්) කලින් කලට පළින් පළට වෙනත් සේවා ස්ථානවලට මාරු වී යායුතු විය. ඒ යන විට දූ දරුවන් ඇතුළු පවුලේ උදවිය ඒ සමඟ අලුත් සේවා ස්ථාන සමීපයට පදිංචිය සඳහා ගියහ. දුම්රිය ස්ථානාධිපතිවරුනට බොහෝ විට පදිංචිය සඳහා නිල නිවාසය ලැබුණේය. ඔවුන්ගේ දූදරුවෝ පදිංචිය මාරු ගානේ අලුත් පාසල්වලට ඇතුළු වූවෝය. සිල්වා මහතාගේ බාල පුත්‍රයා කුඩා කල පටන් මගේ මිතුරෙකි. ඇතුළත් වීමේ විභාගය සමත්ව කොළඹ ප්‍රධාන පාසලක 8 වැනි ශ්‍රේණියට ඇතුළු වනතුරු ඔහු පාසල් හත අටකට මාරු වී තිබිණි.

අවුරුදු දෙකකට පමණ උඩදී මාතලේ යන අතරවාරයේ අපි කටුගස්තොට දුම්රිය ස්ථානයට ගොඩවැදී එහි සිටි සේවකයන් සමඟ පිළිසඳරක යෙදුනෙමු. (ස්ථානාධිපතිවරයා එදින විශේෂ කටයුත්තකට පිටත්ව ගොසිනි.) සිල්වා මහතා ගැන හොඳින් මතක තිබූ එක් සේවකයකු එහි සිටියේය. කහල්ල ගම්වාසියකු වූ ඔහු පසු කාලයේදී දුම්රිය දෙපාර්තමේන්තුවට බැඳුණු සේවකයෙකි. සිල්වා මහතා 2003 වසරේදී මෙලොව හැර ගියේය. අප්පුහාමි අයියලා ඔහුගේ අම්මලා දැන් කහල්ල ගමේ නැත.
කහල්ල ගමේ අවුරුදු උත්සව දා රාත්‍රියට සංගීත සංදර්ෂණයේ ගී ගැයූ අය කොහේ ඉන්නවාදැයි නොදනිමි. සංගීත සංදර්ශනයට සංගීතය සැපයූ ආනන්ද පෙරේරා පසු කාලයක කළ “ඉස්සර කාලේ පාඩම්” ඇතුළු ගී නිර්මාණ තවමත් ඉඳහිට ඇසේ.
කටුගස්තොට දුම්රිය ස්ථානය නැරඹීමෙන් පසු අපි දුම්රිය ස්ථානාධිපති නිළ නිවස ළඟට ගියෙමු. සුද්දාගේ කාලයේ තැනූ එම නිළ නිවසේ බිත්ති තවමත් සවිමත්ය. ඒවා හොඳින් කාලයට ඔරොත්තු දී ඇත. මම එහි ඡායාරෑපයක් අත තිබූ ජංගම දුරකථනයේ කැමරාවෙන් ගතිමි. මටත් නොදැනී එයද 'ඩිලීට්' වෙලාය. 

 සමන් පුෂ්ප ලියනගේ

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00