2020 මාර්තු 14 වන සෙනසුරාදා

ජ’පුර සරසවියේ ම්ලේච්ඡ රැග් සාදය

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:31 399

සරසවි අධ්‍යාපනය සඳහා දරුවකුට හිමිවන අවස්ථාව බොහෝ අම්මාවරුන්ගේ තාත්තාවරුන්ගේ මෙන්ම දරුවන්ගේ ද සිහිනයකි. තමන්ට අත්පත් කර ගැනීමට නොහැකි වූ ලෝකයක් වෙත යන්නට, තමන්ට ළංවෙන්නට නොහැකි වූ සිහින සැබෑ කර ගනිමින් ජීවිතයේ මහ කන්ද නගින්නට ආධාරක ඉනිමඟ සරසවිය යන්න යථාර්ථයක්ද? අතීතයේ මාතෘ භූමිය උදෙසා මහ මෙහෙවරක යෙදුණු සබුද්ධිමත් පරපුරක් බිහිකළ සරසවිය තවදුරටත් එවන් ප්‍රාමාණික බුද්ධිමතුන්, වියතුන්, දාර්ශනිකයන් බිහිකරන ක්ෂේම භූමියක් ද යන්න යථාර්ථයක්ද? එය එසේ නොවන බවට සරසවි පද්ධතිය තුළින්ම හමුවන සාක්ෂි එමටය. 1964දී මාෂල් මැක්ලූහන් විසින් ඉදිරිපත් කළ ගෝලීයකරණ සංකල්පයේ ඇතැම් ප්‍රතිඵල කොතෙක් රුදුරු වේෂයක් ගෙන ඇත්ද යත් තාක්ෂණය මිනිසාගේ උපකරණයක් නොව මිනිසා තාක්ෂණයේ වහලෙකු බවට පත්ව ඇත. මනුෂ්‍ය සබඳතාවලට වඩා භෞතික ගනුදෙනු සහ තාක්ෂණික ගනුදෙනු මැද හුදෙකලාව හැදෙන දරුවන් සහ මිනිසුන්ගෙන් පිරි සමාජයක ආත්මාර්ථය හා සැහැසි බව අද පුද්ගල චරිතයේ ප්‍රමුඛ ලක්ෂණ වී ඇති අතර එයට අධ්‍යාපන ක්‍රමය තුළින් ජනිත කරන අසීමාන්තික පීඩනය සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන් බහුතරය අසහනකාරී ද්වේෂසහගත මානසිකත්වයකට තල්ලුකර ඇත. මෙහි දරුණුතම  එක් ප්‍රවණතාවක් වන්නේ වරෙක මරණයෙන් කෙළවර වන බිහිසුණු නවකවදයයි.

දරාගන්නට බැරි නවකවදය හේතුවෙන් විශ්වවිද්‍යාල අතහැර ගිය ශිෂ්‍ය සංඛ්‍යාව 2000ක් පමණ වන බව ඉකුත් දිනෙක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් අනාවරණය කළේ අගමැති මහින්ද රාජපක්ෂ විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය. එමෙන්ම නවක වදය දරාගැනීමට නොහැකිව සියදිවි නසාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම නවකවද අනතුරු නිසා කායිකව හා මානසිකව ආබාධිත වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබඳව වූ වාර්තා ද සංඛ්‍යාත්මකව ඉහළ  අගයක් ගනී. එසේම නවකවදය නිසා මිය ගිය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද නවකවද මිලේච්ඡ ඉතිහාසය පිරික්සීමේදී හමුවේ. 

විශ්වවිද්‍යාල තුළ  පළමු බරපතල නවක වද සිද්ධිය සිදුවූයේ 1975  වසරේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨයේ ඉගෙනුම ලැබූ රූපා රත්නසීලි, රාමනාදන් ශාලාවෙන් බිමට පැන ජීවිතය නැතිකර ගැනීමට ගත් උත්සාහයයි. එහෙත් එයින් ඈ ආබාධිත වූ අතර 1997 වසරේ ඒ වේදනාවෙන් සිය නිවසේ ළිඳට පැන සියදිවි නසාගත්තාය. ඈ එදා නේවාසිකාගාරයෙන් එළියට පැන්නේ ජ්‍යෙෂ්ඨයන් රාත්‍රියේ ඇයට නවක වදය දීමට පැමිණි නිසාය. එසේම 2002 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේද මෙවැනිම දෙයක් සිදුවුණි. එවකට ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වාගෙන ගිය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් නවකවදය ක්‍රියාත්මක කර තිබුණි. එහෙත් කළමනාකරණ පීඨයේ සමන්ත විතානගේ ඇතුළු කිහිපදෙනෙක් ඊට විරුද්ධව කටයුතු කරමින් සිටියෝය. ඊට අදාළ රැස්වීමක් පැවති අවස්ථාවේ 2002 නොවැම්බර් 7 වැනි දින කඩාවැදුණු ජේ.වී.පී. හිතවාදී සිසුන් පිරිසක් සමන්තට බරපතළ ලෙස පහරදෙනු ලැබීය. ඒ අවස්ථාවේ අන්තරේ සභාපතිවරයා විසින් සමන්තගේ හිසට පරිගණක මොනිටරයක් අතහැරීම නිසා සමන්ත දරුණු තුවාලවලට ලක්විය. ඔහුව රෝහල වෙත රැගෙන යාමට උත්සාහ කිරීමේදී පහරදුන් පිරිස ඊට විරුද්ධ වීම නිසා අවසානයේ සමන්ත මිය ගියේය. මෙය විශ්වවිද්‍යාල ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස හඳුන්වයි.

ඉන්පසුව හෝ මේ අමිහිරි නවක වදයත්, 'ජ්‍යෙෂ්ඨ උත්තමයන්ගේ' මානසික ව්‍යාධිය නිසා සිසු ඝාතනත් නැවතුණේ නැත. එක් එක් අවස්ථාවල එක් එක් ලෙස සිද්ධීන් වාර්තා විය. ඇතැම් ඒවා නවකවදය නිසාය. එලෙස පසුගිය කාලයේ වැටමාර ලී ගැන කතා ආවේය. ඇතැම් උපකුලපතිරු පැවසුවේ කොණ්ඩම් බාල්දි ගණනින් අරන් දමන බවය. මේ ආකාරයෙන් නොයෙක් අපචාර, අපරාධ විශ්වවිද්‍යාල පද්ධතියෙන් ඇසෙන මොහොතක නව ආණ්ඩුව පත්වුණු සැණින් මව්පියන්ගේ ඉල්ලීම් සහ ලැබුණු පැමිණිලි නිසා ඒවා මර්දනය කිරීමේ අරමුණින් කැලණිය විශ්වවිද්‍යාලය තුළ ආරක්ෂක කැමරා සවි කළේය. එහෙත් ඒවා සවිකර දින ගණනක් ගෙවුණා පමණි. ශිෂ්‍ය සංගම් එකතු වී ආරක්ෂක කැමරා පද්ධතියම ගලවා විසි කළහ. ඒ සඳහා මූලිකත්වය ගත්තේ ශිෂ්‍ය භික්ෂු හිමිනමකි. ඒ හිමියන්ගේ තර්කය වූයේ ඒ හරහා 'අපේ නිදහසට බාධාවක්' සිදුවන බවයි. සීසීටීවී කැමරා ඔස්සේ හාමුදුරුවරුන්ගේ නිදහසට බාධාවක් වන බවට ඇසුවේ මුල් වතාවටය. ඒ පමණක් නොව එකී සියලු සිසුන් පැවසුවේ මේ ඔස්සේ නිදහසට බාධාවන බවය. සාමාන්‍යයෙන් ආරක්ෂිත කැමරාවලට හොරෙන් වැඩ කරන්නේ එක්කෝ හොරුය. නැත්තම් තක්කඩින්ය. එසේත් නැත්නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ය. නැත්නම් නීතියට පටහැනිව කටයුතු කරන සමාජ විරෝධී අපරාධකරුවන්ය. විශ්වවිද්‍යාල සිසුන් යනු උසස් අධ්‍යාපනයක් ලැබීමට පැමිණි පිරිස්ය. එසේ නම් ඔවුන්ට මෙයින් හිරිහැරයක් වන්නේ කෙසේද? ඊට සාක්ෂි සහිතව පසුගියදා ජ'පුර සරසවිය උත්තර බැන්දේය.

මිනුවන්ගොඩ දෙවලපොළ පදිංචි පසිඳු හිරුෂාන් උඩුගම්පල සාන්ත පීතර විද්‍යාලයේ දක්ෂ සිසුවෙකි. පාසලේ හොඳ නමක් දිනා සිටි මොහු 2018 වසරේදී උසස් පෙළට මුහුණ දී ඉහළ ප්‍රතිඵල ලබාගෙන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළු වූයේ වාණිජ අංශයෙන් වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමේ අරමුණ ඇතිවය. ඒ 2019 වසරේදීය. සාමාන්‍ය පරිදි නවකවදයට ලක්වන හිරුෂාන් ඒ සම්බන්ධයෙන් කිසිවකු සමඟ අදටත් පැමිණිලි කර නැත. එක්කෝ බයටය. නැත්නම් ඒ නවකවදය එතරම් බරපතළ නොවුණු නිසාය. එහෙත් පසුගිය 5 වැනිදා විශ්වවිද්‍යාල භාෂාවෙන් පවසන පරිදි රැග් සීසන් එක නිමවීමේ සාදය ජපුර සරසවියේ පැවැත්වුණි. ඒ සඳහා 'ජ්‍යෙෂ්ඨයන්ද' හිරුෂාන් වැනි නවකයන්ද එක්ව සිටියහ. එහෙත් ඒ දිනය හිරුෂාන්ට සුබදායක දිනයක් වූයේ නැත.

එදින සාදය විශ්වවිද්‍යාල ක්‍රීඩාංගනයේ ඉහළ මාලයේ පවත්වා ඇත. ජ්‍යෙෂ්ඨයන් මත්පැන් බොමින් සිට ඇති අතර හිරැෂාන් එම සාදය නිම වී වතුර බීම සඳහා ඉහළ මහලට ගොස් ඇතැයි පිරිසක් පවසති. තවත් පිරිසක් පවසන්නේ හිරුෂාන්ට 'ජ්‍යෙෂ්ඨයන්' වතුර රැගෙන එන ලෙසට අණකර ඇති බවය. පසුව හිරැෂාන් පහළට පැමිණෙන විට 'ජ්‍යෙෂ්ඨ' සිසුන් පිරිසක් එහි තිබූ බැකෝ ටයරයක් උඩ සිට හිරුෂාන්ගේ ඇඟට අතහැර ඇතැයි සඳහන් වේ. එය ඇඟට අතහැරියාද? නැත්නම් පෙරලුවාද? දන්නේ නැත. එහෙත් සඳහන් වන්නේ හිරුෂාන්ගේ ඇඟ මතට එම ටයරය අතහැර ඇති බවය. ඒ අවස්ථාවේ එම ටයරය හිසේ වැදී පසුව හිරුෂාන් ඇද වැටී ඒ අසල බැම්මක හිස වැදී ඇත යන්නය. මේ වැටීමෙන් පසුව හිරුෂාන් එකවර නැගිට 'ඔළුව රිදෙනවා' යැයි කෑ ගසමින් සිහිසුන්ව ඇද වැටී ඇත. ඒ හය වැනිදා අලුයම 1.30 පමණය. එසේ වැටුණු හිරුෂාන් ඒ අසල සිටි මිත්‍රයකු විසින් කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එදිනම අලුයම 4.30ට පමණ හිරැෂාන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර යවා තිබේ. ඒ හිරුෂාන්ගේ හිස්කබල කුඩු වී අභ්‍යන්තරයේ රුධිර වහනයක් සිදුවී ඔහුගේ තත්ත්වය බරපතළ වූ නිසාය.

කෙසේ වෙතත් උසස් පෙළට මසකට පෙර පිළිකා රෝගයකින් අම්මා මියගිය පසු ඒ වේදනාවත් හිතේ තබාගෙන දාහක් බලාපොරොත්තු, හීන කරපින්නාගෙන සරසවියට පැමිණි හිරුෂාන් අද වනවිට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ සයනයක යන්ත්‍ර සහයෙන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටී. රෝහල් ආරංචි මාර්ග පවසන්නේ හිරුෂාන් සුව වෙමින් ඇතත් තවමත් තත්ත්වය බරපතළ බවය. ඒ නිසා අප ප්‍රථමයෙන්ම හිරුෂාන්ට ඉක්මන් සුවය පතන්නේ නැවත ඔහුට ප්‍රකෘති තත්ත්වයෙන්ම ජීවිතය වෙතට පැමිණෙන්නට අවකාශ සැලසේවායි ප්‍රාර්ථනා කරමිනි.

අනතුරෙන් පසුව මේ සිද්ධිය එක්තරා ආකාරයක නාඩගමක් කරගෙන උන්මන්තක (ගොන් පාට්) ප්‍රකාශ නිකුත් කරමින් දඟලන්නේ (මාර දේශපාලනයක්) කරන බව හිතන, (මාර රැඩිකල්) යැයි හිතන, අන්තරේ ඇතුළු ශිෂ්‍ය සංගම් කීපයක්ය. ඔවුහු වැදිබණ දෙසමින් මේ සිද්ධිය අතපසු වීමක්, වැරදීමක්, හිරුෂාන්ගේ වැරැද්දක් කීමට පුදුමාකාර වෙහෙසක් දරති. කනගාටුව නම් අන්තරේ වැනි ශිෂ්‍ය සංගම් මේ බරපතල සිද්ධිය යට ගසන්නට දරන උත්සාහය ගැනය. එහෙත් වර්තමානය වෙද්දී අන්තරේ හැසිරීම සහ බහුතර විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ බුද්ධි හීන උද්දච්ච උන්මන්තක මානසිකත්වය පිළිබඳව සලකා බලද්දී අන්තරේ ඇතුළු ශිෂ්‍ය සංගම්හි හැසිරීම් අරැමයක්ද නොවේ. ඔවුන් මාධ්‍ය සාකච්ඡා තියමින් කෙකර ගාන්නේ මෙය සාමාන්‍ය සිද්ධියක් බවට පත් කිරීම සඳහාය. එහෙත් රටේ මිනිසුන් මන්ද බුද්ධික නොවන බව ඒ 'උගත් මහත්වරුන්ට' කියාදිය යුතුය. අන්තරේ නියෝජනය කරන ජ'පුර තරුණයෙක්ගෙන් එම සිද්ධිය විමසූ විට ටයරයක් ඉහළ සිට පහළට හෙළා ඇති බවත් එහෙත් එය හිරුෂාන්ගේ ඇඟට පෙරළුවාද, එසේත් නැතිනම් වෙනත් පැත්තකට පෙරළු අවස්ථාවේ එයට පැන්නාද යන්න නොදන්න බවත් ඔහු සඳහන් කරයි. ඒ නිසා ජ'පුරේ ඒ අත දරුවාට පැවසීමට ඇත්තේ වෙනත් පැත්තක යන රෝදයකට පැනීමට තරම් හිරැෂාන් මෝඩයකු නොවන බවය.

මේ රාත්‍රී සාදය පැවැත්වීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරියෙන් කිසිදු අවසරයක් ලබාදී හෝ ලබාගෙන නැත. ඒ නිසා විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පවසන්නේ මෙය අවසරයකින් තොරව පැවැත්වූ සාදයක් බවය. ඔවුන් මේ ගැන ඊට වඩා වගකිවයුතු ලෙස හැසිරිය යුතුය. එපමණක් නොව ශිෂ්‍යයන් මත්පැන් රැගෙන විත් පානය කර ඇති බවද අන්තරේ විසින් පිළිගන්නා ලදී. අන්තරේ වැඩබලන කැඳවුම්කරු උදාර සඳරුවන්ගෙන් විමසූ විට මේ සාදය සම්බන්ධයෙන් ඔහු 'මාර දාර්ශනික' කතාවක් කීවේය. මත්පැන් ඔස්සේ විශාල සංවාද, නිර්මාණාත්මක සිතුවිලි වර්ධනය වන බව ඔහු සඳහන් කරයි. කෑවා බීවාට විනෝද වූවාට අපිට කමක් නැත. එහෙත් විශ්වවිද්‍යාල පරිපාලනය සම්බන්ධ නීතිරීති උල්ලංඝනය කරමින් විශ්වවිද්‍යාලය තුළට මත්පැන් රැගෙන ඒමට ඔවුන්ට ඇති අයිතියත් මෙවැනි නීති විරෝධි ක්‍රියාදාම අභියස මුනිවත රකින විශ්වවිද්‍යාල පරිපාලනය පිළිබඳවත් අදාළ බලධාරින්ගෙන් සෘජුවම ප්‍රශ්නකළ යුතුව ඇත. එමෙන්ම 'සප්පායමෙන්' පසුව කටගැස්මට ජීවිත බිල්ලට ගැනීම නම් නීතිය සදාචාරය කොතනකදැයි නැවත නැවතත් අදාළ බලධාරින්ගෙන් සමස්ථ සමාජයම ප්‍රශ්නකළ යුතුව ඇත.

මෙය සුළු සිද්ධියක් අත්වැරදීමක් කියන අන්තරේ උන්මන්තක දරුවනි පුළුවන් නම් ඒ හිරැෂාන්ගේ පවුලේ තාත්තා අක්කා, අයියාට දුක නිවාගන්න ක්‍රමයක් කියාදෙන්න. මරණයත් ජීවිතයත් අතර සිටින හිරුෂාන් ගැන බලාපොරොත්තු තබා ගන්නා ආකාරය ගැන ඔවුන්ගේ ඥාතීන්ට කියා දෙන්න. ඇඟ බේරාගෙන නීතියෙන් ගැලවෙන්නට මාධ්‍ය සාකච්ඡා තබා උත්තර දිය නොහැකි කෙබර කියනවාට වඩා එය යහපතක් යැයි අප සිතන්නෙමු.

කෙසේ වෙතත් හිරුෂාන්ගේ සහෝදරයා පවසන්නේ මේ සිද්ධියට අදාළව සිදුකරන පරීක්ෂණ සඳහා අන්තරය විසින් බලපෑම් කරන බවයි. ඇසින් දුටු සාක්ෂි වසන් කිරීම සඳහා බලපෑම් කරන බවද ඔහු පවසයි. අපට එක දෙයක් කීමට ඇත. හැකිනම් අන්තරේ සහෝදරයන් මැදිහත්ව හිරුෂාන් ශිෂ්‍යයාට සාධාරණයත් ජපුර ඉතිහාසයට එක්වීමට නියමිත කළු පැල්ලමත් මකා දැමීමට උත්සාහ කරන්න. එය මේ හැමදේටම වඩා හොඳ දෙයක් බව කිව යුතුය. පරීක්ෂණ කණ්ඩායම්වලට සහය වීමෙන් ඒ සඳහා සාධාරණයක් සිදුකිරීමට ඔබට හැකියාවක් ඇත. ආරක්ෂක කැමරා ඉවත්කළේ නිදහසට බාධාවක් වන නිසා නම් වල්බූරු නිදහස  යනු හිරුෂාන් වැනි දරුවන් රෝහල් ඇඳකට මරණාසන්න තුවාල සහිතව රැගෙන යාම නම් තවත් එවැනි දරුවන් කීදෙනකු අනාගතයේ මරණය වෙත පමුණුවන්නට නියමිතදැයි අපි බලා සිටිය යුතුමද? නැත්‍නම් වරද කළ උන් කනෙන් අල්ලා පොලීසියට බාරදී එවැනි මානසික ව්‍යාධියකින් පෙළෙන උන් සුව කිරීම නොවේද? නැත. ඊට වඩා අන්තරේ දරුවන්ට පුළුවන් වැදිබණ කීම සහ අතේ පැලවෙන බොරුකීම පමණක් බව අමුතුවෙන් කිවයුතු නැත.

කෙසේ වෙතත් පසුගිය බ්‍රහස්පතින්දා මේ සිද්ධිය සම්බන්ධයෙන් කළමනාකරණ පීඨයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන 'ජ්‍යෙෂ්ඨයන්' 5 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

එසේ අත්අඩංගුවට ගත් පිරිස අතර මේ ටයරය පහළට දැමූ තරුණයාද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ නවකවදය නිමවීමෙන් පසුව පවත්වන සාදය පස්වැනිදා සූදානම් කර තිබූ බවය. 'ජ්‍යෙෂ්ඨයන්' මේ නවකයන්ද බලහත්කාරයෙන් රඳවා තබා ගනිමින් නවකවදය ක්‍රියාත්මක කර ඇති අතර මධ්‍යම රාත්‍රියේ මේ 'ජ්‍යෙෂ්ඨයන්' පිරිසක් ටයරය එහා මෙහා කරමින් සිට ඇත. මේ ටයරය ක්‍රිඩාංගනය පඩිපෙළේ සිට පහළට තල්ලු කර ඇත්තේ එක් සිසුවකු විසිනි. ඒ සිසුවා අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති අතර ඔහු විසින් එම ටයරය පහළට තල්ලු කර ඇත. ඒ අවස්ථාවේ ඒ ටයරය වේගයෙන් ගොස් පහළ සිටි හිරුෂාන්ගේ ඇඟේ වැදී විසිව ගොස් ඒ අසල කණ්ඩියක ඔලුව වැදී මෙම අනතුර සිදුවී ඇත. කෙසේ වෙතත් එම ටයරය පහළට නිකරුණේ තල්ලු කළාද නැතහොත් හිරුෂාන් දැක තල්ලු කළාද යන්න දන්නේ නැත. චේතනාවෙන් කළ දෙයක් නම් එය කිසිවිටෙක පවසන්නේද නැත. මක්නිසාද යත් මේ වනවිට අන්තරේ පුංචි පැංචියන් විසින් මේ කතාව මරුවට ගොතා ඇති නිසාය. කෙසේ වෙතත් නීතියෙන්ද ඒ ආකාරයෙන්ම එය තහවුරු කළ යුතුව ඇත. ඒ නිසාම මේ වනවිට එම සිසුන් පස්දෙනාට විරුද්ධව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීම යන චෝදනාව සහ විශ්ව විද්‍යාල නවකවද පනත යටතේ නඩු දමා ඇත.

අවසාන වශයෙන් අන්තරේ කෙරුම්කාරයන්ගෙන් ඇසීමට ප්‍රශ්නයක් ඇත. 'ජ්‍යෙෂ්ඨ' සහෝදරවරු බිව්වාද නැද්ද දන්නේ නැත. එහෙත් මෙය රැග් අවස්ථාවක් නොවන බව කියති. අර සියලු දේ ගැන නොදන්න අන්තරේ කෙරැම්කාරයන් මේ ගැන පමණක් නිශ්චිතව කියන්නේ කෙසේද යන්න අපිට ප්‍රශ්නයක් ඇත. එසේ නම් අන්තරේ සිසුන් මේ ගැන නොදන්නවා නොවේද?

මහජනයාගේ බදු මුදලින් ඉගෙනගෙන නැවතත් ඉගෙනීමට සරසවියට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සමාජය බලාපොරොත්තු වන්නේ අනාගත බුද්ධිමය සාර සම්පත් විනා මිලේච්ඡ ඝාතකයන් නොවන බවත්, නීතිය අපක්ෂපාතීව වරදකරුවන් විෂයෙහි ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳවත් අප අවධාරණයෙන් බලා සිටින වග අවසන් වශයෙන් සටහන් කර තබමු.


ගයාන් ගාල්ලගේ l

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30
 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30
 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30
 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30