2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

ළඟ ළඟ එන විදුලි අර්බුදය

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:31 112

මහ දහවල් පවා විදුලි බබුළු දල්වමින් අනවශ්‍ය ලෙස විදුලිය පරිහරණය කරන රජයේ කාර්යාල පෞද්ගලික ආයතන අවි කොතෙකුත් දැක ඇත්තෙමු. ඇතැම් විට මහා මාර්ගයන්හී සවිකර ඇති විදුලි බුබුළු ද රුසක් දවාලක් නැතුව දැල්වෙන අවස්ථා පවතී. එහෙත් රජයේ කාර්යාලයක හෝ වේවා වෙනත් ආයතනයක හෝ නිවෙසක විදුලි බලය මෙසේ අනවශ්‍ය ලෙස පරිහරණය කිරීමෙන් සිදු කරන්නේ මුළු දිවයිනේම අනාගතය කෙරෙහි කෙරෙන අහිතකර බලපෑමකි.

දෛනික ජන ජීවිතයේ අත්‍යවශ්‍යම සාධකයක් බවට අද විදුලි බලය පත්ව තිබේ. කුඩා ව්‍යාපාරවල සිට මහා පරිමාණ ව්‍යාපාර, කර්මාන්තශාලා, කාර්යාල ආදිය ක්‍රියාත්මක වන්නේ මුළුමනින්ම විදුලි බලය මත පදනම් වෙමිනි. රෝහල්, රසායානාගාර, පර් යේෂණාගාර, පාසල් ඇතුළු සෙසු ආයතන, දෙපාර්තමේන්තු පවා ක්‍රියාත්මක වීමට විදුලි බලය අනිවාර්ය. යම් හෙයකින් දිනකට පැය කිහිපයක් විදුලිය ඇනහිටීම නිවෙසේ කටයුතු ද අකර්මණ්‍ය වීමට හේතුවකි. පැයකට දිවයින පුරා විදුලිය විසන්ධි කළහොත් විදුලිය කොතරම් අවශ්‍ය ද යන්න වටහාගත වනු හැකිය.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් කියා සිටින්නේ ලබන මස අග භාගයේදී සිට විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බවයි. එයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබාදීම නතර කිරීමත් මේ වනවිට පවතින වියළි කාලගුණය මත විදුලි ඉල්ලුම විශාල ලෙස ඉහළ ගොස් තිබීමත්ය. කාලගුණ අංශ විසින් අනාවැකි පළකර තිබෙන ආකාරයට වියළි කාලගුණය තවදුරටත් වැඩිවන ලකුණු පහළ වී ඇති නිසා විදුලි කප්පාදුව හැර වෙනත් විසඳුමක් නොවන බවද ඔවුහු පෙන්වා දෙති.

සෑම වසරකම රටේ ආර්ථික වර්ධන වේගයට සාපේක්ෂව විදුලි පරිභෝජනය ඉහළ යාම සාමන්‍ය සිදුවීමකි. දිවයිනේ විදුලි බල අවශ්‍යතාව වැඩි දියුණු වූ අන්දම පිළිබඳ දශක කිහිපයක දත්ත විමසීමේදී ඒ බව පැහැදිලිව අවබෝධ කරගත හැකිය. 1939 දී දිවයිනේ උපරිම විදුලි බල අවශ්‍යතාව මෙගා වොට් 35කි. එසේම 1977 වර්ෂයේදී මෙගාවොට් 402 ක්ද, 1980 දී මෙගාවොට් 422ක් ද, 1982 දී මෙගාවොට් 522ක් ද, 1985 දී මෙගාවොට් 949ක් ද, 1986 දී මෙගාවොට් 1065ක් ද, 1990 දී මෙගාවොට් 1208ක් ද සහ 2007 වර්ෂය වනවිට මෙගාවොට් 1758ක් ද ලෙස විදුලි ඉල්ලුම වැඩි වී තිබේ. එසේම ලංකා විදුලි බල මණ්ඩලයේ තක්සේරුවට අනුව ඉදිරි වසර 20 ඇතුළත් මෙරට විදුලි ඉල්ලුම සියට 7 සිට 10 දක්වා ප්‍රමාණයෙන් ඉහළ යනු ඇත.

කෙසේ වෙතත් පසුගිය 03වැනිදා පූර්ව දැනුම්දීමකින් තොරව දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කෙරුණි. මෙලෙස විදුලිය විසන්ධි කිරීමක් සිදු කිරීමට නම් මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය වුවද 03 වැනිදා විදුලිය විසන්ධි කිරීමේදී එම ක්‍රියා පටිපාටිය විදුලිබල මණ්ඩලය විසින් අනුගමනය කර නොතිබිණි.

විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලබාදිය යුතු ණය සීමාව ඉක්මවීම හේතුවෙන් යළිත් වරක් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීම අත්හිටුවීම පිළිබඳවද ඛනිජ තෙල් සංස්ථාව අනතුරු අඟවා තිබූ අතර විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයකු සඳහන් කළේ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති ණය මුදල කඩිනමින් පියවීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි. විදුලිබල මණ්ඩලය විසින් මෙලෙස ඛනිජ තෙල් සංස්ථාව ගෙවීමට ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 86කි.

එලෙස පසුගිය 03 වැනිදා දිවයිනේ ප්‍රදේශ රැසකට පූර්ව දැනුම්දීමකින් තොරව කළ විදුලි කප්පාදුව මේ වනවිට විෂයභාර අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් නැවතුණු අතර එළඹෙන මාර්තු මාසය පමණ වනවිට විදුලි ඉල්ලුම සපුරාලීමට නොහැකි වීමෙන් බරපතළ අර්බුදයක් නිර්මාණය වීමටත් විදුලි කප්පාදුව නැවත ආරම්භ කිරීමටත් සිදුවනු ඇති බව එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති.

පසුගිය වසරේ දෙසැම්බර් මස 06 වැනිදා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ මෙම වසරේ අප්‍රේල් - මැයි මස වනවිට රට දැවැන්ත විදුලි අර්බුදයකට ගොදුරු විය හැකි බවත් එය විදුලි කප්පාදුවක් දක්වා දුරදිග යා හැකි බවත්ය. එම නිවේදනයට හේතු වී ඇත්තේ ඊට පෙරදින (05) ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසම හා බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන් සමග විෂයභාර අමාත්‍යවරයා සිදුකළ සාකච්ඡාවකි. එම නිවේදනයට අනුව ඒ සාකච්ඡාවේදී අනාවරණය වී ඇත්තේ 2019 හා 2020 යන වසරවලදී ජාතික විදුලිබල පද්ධතියට එකතුවිය යුතු මෙගාවොට් 100ක පමණ විදුලි ධාරිතාවක් මෙරට විදුලි පද්ධතියට එකතු නොවීමය.

දැනට රටේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් ජලයෙන් නිපදවන්නේ සියයට 30ක් තරම් ප්‍රමාණයකි. ඉතිරි සියයට 70න් සියයට 60කට වැඩි ප්‍රමාණයක් නිපදවන්නේ ගල් අඟුරු, ඩීසල් හා දැවි තෙල්වලිනි. ජල විදුලි නිෂ්පාදනය වැඩි සමයේ ඉහළ ගොස් නැවත නියං කාලයේදී පහළ බැසිම සාමාන්‍ය ක්‍රියාවකි. මෙරට විදුලි හිඟය ඇතිවන්නේ එවිටය. විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලය බලශක්ති ඌණතාව, පද්ධති ඌණතාව සහ මූල්‍යමය ඌණතාව නැමති ප්‍රශ්න තුනකට මුහුණපා සිටින බවයි.

කෙසේ වෙතත් පසුගිය 03 වැනිදා පූර්ව දැනුම්දීමකින් තොරව දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කිරීම පිළිබඳව ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙසට විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබේ. එමෙන්ම විදුලිබල මණ්ඩලය ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ලබාදිය යුතු ණය සීමාව ඉක්මවා යාම හේතුවෙන් කෙරවලපිටිය බලාගාරයට සපයන ලද අත්හිටුවීමට තීරණය කළ ඉන්ධන ප්‍රමාණය නැවත කෙරවලපිටිය බලාගාරයට ලබාදීමටද අමාත්‍යවරයා පසුගියදා උපදෙස් ලබාදී තිබුණි.

විදුලිය කපන්න තීරණයක් ගත්තෙ නෑ
ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර

මේ වනවිට රටපුරා විදුලිය විසන්ධි කිරීමට තීරණයක් අරගෙන නැහැ. පසුගිය 3 වැනිදා දැනුම්දීමකින් තොරව රටේ ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයීම බිඳවැටීම කෙරෙහි වාර්තාවක් ලබාදෙන ලෙසට අමාත්‍ය නිලධාරීන්ට දැනුම්දීමක් කරලා තියෙනවා. ඒ වගේම ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු මුදල ගෙවන්න අපි විශේෂ වැඩපිළිවෙළක් සකස් කරනවා. කොහොමත් විදුලි කප්පාදුවක් පිළිබඳව තවමත් අපි තීරණයක් අරගෙන නැහැ.

බලාගාර සැලසුම් අනුමත කරගැනීම ඉතාම අමාරුයි
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති සෞම්‍ය කුමාරවඩු

සාමාන්‍යයෙන් වැසි රහිත කාලවල විදුලි කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට මෙගාවොට් 300ක් පමණ අවශ්‍ය වනවා. ඒ වුණාට ඒ බලාගාර එකදිගට ක්‍රියාත්මක කරන්න අමාරුයි. මොකද ඒ බලාගාරවල බිඳ වැටීම්, නඩත්තු කටයුතු සිදුකළ යුතු වීමයි. හදිසියේ බලාගාරයේ බිඳ වැටුණොත් එයට විකල්ප අවශ්‍යයි. ඇතැම් විට නඩත්තු කටයුතු සඳහා මාස දෙක තුනක කාලයක් ගතවෙනවා. එහෙම වුණාම ඒ බලාගාරයෙන් ලැබෙන විදුලිය ලබාදීමට වෙනත් බලාගාරවල සහාය ඕන. අන්තිමට අපේ විදුලි බල පද්ධතියට මෙගාවොට් 300ක් එකතුවුණේ 2014 වසරේ නොරච්චෝලේ බලාගාරය තුන්වැනි අදියර යටතේ ඊට පස්සේ මේ දක්වා කාලය තුළ වසර පහක් අපට ස්ථාවර බලාගාරයක් ඉදිවුණේ නැහැ.

බලාගාර හදන්න හැදුවත් ඒවට බලපෑම් එල්ලවුණා. අපි සෑම වසර දෙකකටම වතාවක් ජනන සැලැස්මක් ඉදිරිපත් කරනවා. එය මහජන උපයෝගිතා කොමිසමේ අනුමත විය යුතුයි. 2018 වසරේ ඉතාමත් අමාරුවෙන් තමයි අපි ඒ සැලැස්ම අනුමත කර ගන්නේ. ඒ වගේම තමයි අපගේ ජලවිදුලි බලාගාරවල ජල මට්ටම පෙබරවාරි, මාර්තු වගේ වෙනකොට 10%ක් අඩු වෙනවා. එහෙම වුණාම පෙර පරිදි විදුලිය ලබාදෙන්න අමාරුයි. මේ වසරේ සාම්පූර් බලාගාරය ඉදිකරලා පද්ධතියට එකතු කරන්න තිබුණත් 2015 ඒක නැවතීම නිසා ගැටලු පැන නැගුණා. නොරොච්චෝලේ බලාගාරයෙන් පස්සේ තවත් බලාගාරයක් පද්ධතියට එකතු වුණේ නැහැ. ඒ වුණාට විදුලි ඉල්ලුම ඉහළ ගියා. කොහොම වුණත් නියගය තිබෙන කාලයේ ඩීසල් නවතා ගල් අඟුරුවලින් බලාගාර ක්‍රියාත්මක කරන්න විදුලිය කප්පාදු කරන්න සිදු වෙනවා.

අනුමත කළ බලාගාර හැදුවේ නෑ
මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිරි

ජනන සැලසුමක් සකස් කරන්නේ වසර 2ක් වගේ කාලයකට. ඒ වුණාට එය වසර දෙකකට වතාවක් සංශෝධනය කරනවා. මහජන උපයෝගිතා කොමිසම විදියට අපි ජූලි මාසයේ 19 වැනිදා 2018 – 2037 යන වසර 20 සඳහා අවශ්‍ය විදුලි බලාගාර ඉදිකිරීමේ ජනන සැලැස්මක් අනුමත කළා.

 ඒ ජනන සැලසුමේ වැඩිපුරම තියෙන්නේ ස්වභාවික බලශක්ති උපයෝගී කරගෙන විදුලිය නිපදවිය හැකි බලාගාර. ඒ කියන්නේ සූර්ය ශක්තිය, සුළං බලාගාර වගේ ඒවා. ඒ සැලැසුමට අනුව බලාගාර ඉදිකරා නම් ලංකාවේ විදුලි අර්බුදයක් ඇති වෙන්නේ නැහැ. මේ සැලසුම් අනුමත කිරීමේදී මහජන උපයෝගිතා කොමිසම මහජනතාවගෙන්, රාජ්‍ය නිලධාරින්ගෙන් මෙන්ම ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගෙන් පවා අදහස් විමසුවා. මේ සැලසුමට අනුව 2018 වසර තුළ මෙගාවොට් 480ක විදුලි බලාගාර පද්ධතියකට අනුමැතිය හිමිවෙලා තිබෙන අතර 2019 වනවිට මෙගාවොට් 450ක නව විදුලි බලාගාර ඉදිවෙන්න ඕන.

ඒ විදුලිබලාගාර හදන එක විදුලි බල මණ්ඩලයේ වගකීමක්. අපි අනුමත කළ සැලසුම් අනුව 2021 සිට 2026 දක්වා ස්වභාවික වායු විදුලි බලාගාරයක් හදන්න මේ වනවිටත් වැඩ පටන් අරගෙන තියනවා. ඒ බලාගාරය හැදුවොත් 2026 දී ජාතික විදුලි සැපයුමට මෙගාවොට් 1350ක් එකතු වෙනවා එහෙත් දැන් මේ විදුලි අර්බුදයක් මතුවෙමින් තිබෙන්නේ 2017, 2018 සහ 2019 යන වසරවල වැඩ නිමවිය යුතු විදුලි බලාගාර හදපු නැති නිසා. අපි 2015දී බලාගාර 21ක් සඳහා අනුමැතිය ලබා දුන්නා. ඒවා මේ වසර වෙනකොට අවසන් වෙන්න ඕන. ඒත් ඒවා ඉදිවුණේ නැති නිසා තමයි මේ ගැටලුව ඇතිවෙලා තියෙන්නේ. මේ තත්ත්වය දිගටම පැවතියහොත් ඉදිරියේදී රජයට පෞද්ගලිත අංශයෙන් විදුලි මිලදී ගැනීමක් වෙනුවෙන් රජයට රුපියල් බිලියන 50.62ක් පමණ වැයවෙන බවට අපි ඇස්තමේන්තු කරලා තියනවා.

40%ක් ලැබෙන්නේ නොරොච්චෝලෙන්
ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශන සුලක්ෂණ ජයවර්ධන

පවතින වියළි කාලගුණ තත්ත්වය සමඟ ජලවිදුලි නිෂ්පාදනය 25%ක් දක්වා පහත වැටී තිබෙනවා. ඒ වගේම රටේ විදුලි අවශ්‍යතාව වෙනුවෙන් නොරච්චෝලේ බලාගාරයෙන් සමස්ත විදුලියෙන් 40%ක් බලාදෙන අතර ඉතිරි විදුලි ප්‍රමාණය තාප විදුලි බලාගාරවලින් තමයි නිෂ්පාදනය කරන්නේ. 

සාමාන්‍යයෙන් දිනකට ගිගාවොට් පැය 40-42 අතර ප්‍රමාණයක් අවශ්‍ය වනවා. එහෙත් මේ වනවිට විදුලි අවශ්‍යතාව ගිගාවොට් පැය හතළිස් පහ ඉක්මවා තිබෙනවා. ඒ වගේම මේ වියළි කාලගුණය සමඟ විදුලි ඉල්ලුම 6% - 8%ක් අතර ප්‍රමාණයකින් ඉහළ ගිහින් තියන නිසා විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසට.

සටහන - හසිත් අංජන

 

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00