2020 ජනවාරි 11 වන සෙනසුරාදා

ඖෂධ හිඟය යට බිලියන 15ක පොලු

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:31 194

ගජමිතුරු සමාගම් 2කට ගෙව්වා. හැමදාම ගෙන්වූ සමාගම්වලට පොලු තිබ්බා
වංචා කළ සමාගම්වලින් මුදල් අයකර ගත යුතුයි

 

බිලියන ගණනක ණය කන්දක් මතින් නිර්මාණය වී ඇති ඖෂධ හිඟය ලංකීය නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය අඳුරු අගාධයක් කරා ඇද දමා තිබේ. ඒ අතරේ ගෙවුණු සමයේ වසරකට හය හත් වතාවක් රටම කතා කළ මෙම ඖෂධ හිඟයේ සැබෑ කතාවද හෙළිවෙමින් තිබේ. රටපුරා ඇති ඖෂධ හිඟයක් පිළිබඳ අප කළ සොයා බැලීමේදී ඖෂධ හිඟයේ යථාර්ථය පිළිබඳ මෙම තොරතුරු අප හමුවේ අනාවරණය විය.

ආණ්ඩු මාරුව සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඖෂධ හිඟය සම්බන්ධ පළමු කතාබහ ඇතිවූයේ මහරගම අපේක්ෂා රෝහලෙනි. අප දැනගන්නට ලැබෙන පරිදි දැන් එම ගැටලුව යම් පමණකට නිරාකරණය වී ඇත. එහෙත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 70ක පමණ හිඟයක් රටපුරා වෙයි. වේදනා නාශක වර්ග, වකුගඩු රෝග ප්‍රතිජීවක, ගර්භණී අවස්ථාවේදී ගන්නා ප්‍රතිශක්තිය වර්ධක සහ තවත් ඖෂධ වර්ග රැසක් මේ අතර වන බවද කියැවේ. මෙම හිඟය ඇතිවීම පිළිබඳ මත කිහිපයක් ඉදිරිපත් වී තිබේ. අප එම මත එකින් එක ගෙන විමසිය යුතුවේ.

නව ආණ්ඩුව පත්වීමත් සමඟ ඇතිවූ ටෙන්ඩර් මණ්ඩලය රැස්වීමේ ප්‍රමාදය සහ නිලධාරීන් එම ටෙන්ඩර් මණ්ඩලවලට නොපැමිණි ඖෂධ හිඟය හේතුවක් ලෙස ඇතැම් මාධ්‍ය වාර්තාකර තිබිණි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අනුව කිසිසේත්ම ටෙන්ඩර් රැස්වීමේ ගැටලු මෙම හිඟයට හේතු වී නැත. නමුත් අප කළ සොයා බැලීමට රාජ්‍ය ආයතන ස්ථාවර වීමේ ප්‍රමාද යම් පමණකට සෞඛ්‍ය අමාත්‍යාංශයත් ආයතනවලටද බලපා තිබේ. එහෙත් ඖෂධ හිඟය එය හේතුව වූ බව කියන්න තරම් ප්‍රමාණවත් කරුණු නැත. පසුගිය සතියේ බොහෝ මාධ්‍ය වාර්තා කළ සරල කතාවට එහා ගිය ගැඹුරක් මෙම ඖෂධ හිඟය තුළින් නිරූපණය වෙයි.

ලද තොරතුරු අනුව මේ වනවිට රැපියල් බිලියන හතත් පහළොවත් අතර ණයක් රජය විසින් ඖෂධ සමාගම්වලට ගෙවිය යුතුව තිබේ. එය මෙම හිඟයට එක් හේතුවක් වී තිබේ. එහෙත් ඖෂධ සමාගම් මුදල් ගෙවීමේ ප්‍රමාදය මත ඖෂධ ලබාදීම ප්‍රතික්ෂේප කර නැතැයි ඖෂධ සංස්ථාව කියයි. ඒ අනුව අපි මෙම  සමාගම්වල අදාළ අයගෙන් මේ සම්බන්ධ තොරතුරු විමසීමක් කළෙමු. ඔවුන්ට අනුව සිදුව ඇත්තේ සමාගම් මුදල් ලැබීමේ ප්‍රමාදය මත ඇතැම් ඖෂධ වර්ග ගෙන්වීම අතහැර දැමීමකි. සෘජු ප්‍රතික්ෂේප කිරීමක් සිදුවී නොමැති බවට සංස්ථාව විසින් දක්වන කරුණු සත්‍ය විය හැකිමුත් වක්‍රව සිදුවී ඇති බලපෑම නොසලකා හැරීමට අපට නොහැක.

මෙම හිඟය නිර්මාණය වීමට ණය අර්බුදය හේතුවී ඇයි කියැවෙන පදනමක සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතරම් ණයවීමට හේතුව කවරක්දැයි අවබෝධ කරගැනීම වැදගත්ය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ තවත් සංවිධානය කිහිපයක් සමඟ අප කළ සාකච්ජාවලදී අනාවරණය වූ පරිදි පසුගිය කාල සීමාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය කළමනාකරණයේ දෝෂයන් සහ සිදුව ඇති අක්‍රමණිකතා මීට හේතු වී තිබේ. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ සම්බන්ධ මෙසේ අපහට පැහැදිලි කළේය.

“මෙහිදී අපි ප්‍රධාන කරුණ විදිහට දකින්නේ ඖෂධ සැපයුම්කරුවන්ට පහුගිය රජය විසින් ගෙවීම් සිදුනොකිරීම. ගුණාත්මක භාවයෙන් බෙහෙත් සපයන වසර ගණනාවක් අමාත්‍යාංශයේ ලියාපදිංචි වී සිටි සැපයුම්කරුවන් සැපයූ බෙහෙත්වලට මුදල් ගෙවීම් කරල නෑ. ඒ නිසා එම සැපයුම්කරුවෝ ඖෂධ ගෙන්වීම අත්හැරලා දාලා. අපිට අමාත්‍යාංශය පැත්තෙන් දැනගන්න ලැබුණේ සේරම මුදල් ගෙවන්න බිලියන හතක් හතක් අටක් ඕනෑ කියලා. එම ගෙවීමට අවශ්‍ය බිලියනයක මුදල තමයි පවිත්‍රා ඇමතිතුමිය භාණ්ඩාගාරයට ගිහිල්ලා අරගෙන තිබුණේ. මම  හිතන විදිහට ඒ බිලියනයම වගේ යෙදෙව්වේ පිළිකා ඖෂධ සම්බන්ධ තත්ත්වය සමනය කරන්න.

හිටපු ඇමතිතුමා තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගන්න ව්‍යාපෘති ගණනාවක් අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක කළා. ඇතැම් ඖෂධ සම්බන්ධ සීමා ඉවත් කළා, කාච වගේ දේවල් නොමිලේ දෙන්න පටන් ගත්තා. බැලූ බැල්මට මේවා ඉතා හොඳ ව්‍යාපෘති. නමුත් ඒ හරහා ඒකාධිකාරයක් ඔවුන් ඇති කළා. උදාහරණයක් විදිහට පිළිකා ඖෂධ එක කම්පැණියක් හරහා තමා ගෙන්නුවේ. ඒ ගෙන්නපු ඖෂධත් ප්‍රමිතියෙන් තොරයි කියලා ජනාධිපති කොමිෂන් සභාව හරහා දැන් සනාථ වෙලා තිබෙනවා. නමුත් මේ සමාගම්වල ඒ කාලේ දිගටම ගෙවීම් සිද්ධවුණා. සාමාන්‍ය මිනිස්සුන්‍ට එදිනෙදා අත්‍යවශ්‍ය වෙන ඖෂධවලට ගෙවීමට තිබුණු මුදල් තමයි අර එක සමාගමකට දෙකකට ගෙව්වේ. අනික් පැත්තෙන් ආරම්භ කරපු ප්‍රවර්ධන ව්‍යාපෘතිවලත් අමතරව ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් ලැබිලා නෑ. මේ සියල්ල වුණේ තිබුණ ප්‍රතිපාදනවලින්. මේ සමාගම් එයාලට හිතවත් සමාගම්. මේ අතරේ අනෙකුත් සමාගම්වල සිදුකරන ගෙවීම් නතර වුණා. දැන් ඇතිවෙලා තිබෙන තත්ත්වය කළමනාකරණ කරගන්න සෞඛ්‍ය ඇමතිතුමිය භාණ්ඩාගාරයත් එක්ක කතාකරලා වහාම කටයුතු කළ යුතුයි.”

මෙම සංවාදයේදී මතුවූ වර්තමාන ඖෂධ හිඟය සම්බන්ධ බරපතළ තත්ත්වයක්ද ඉස්මතු කළ යුතුය. මේ දිනවල බහුලව පැතිර යන ශ්වසන පද්ධතිය ආශ්‍රිත ඉන්ෆ්ලුවෙන්සා (Influenza) වෛරස් උණ සඳහා ලබාගන්නා TAMIFLU නම් ඖෂධය රෝහල්වලද ඇත්තේ සීමිත මට්ටමකය. එසේම රජයේ ඔසුසල්වල පවා මෙම ඖෂධ මිලදී ගැනීම නොමැත. පෙරදී මෙම රෝගී තත්ත්වය හේතුකොට ගෙන මාතෘ මරණ කිහිපයක්ද වාර්තා වී තිබේ. ඒ අනුව මෙම තත්ත්වය සුළුකොට තැකිය නොහැක.

මේ අතර ඖෂධ හිඟයට පසුගිය රජයේ ක්‍රියාකලාප හේතු වූ බවට සුළු සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ආචාර්ය සංජය පෙරේරා පෙන්වා දෙයි. අදාළ ටෙන්ඩර් මණ්ඩල වාර්තා සහ මූලාශ්‍ර සහිතව පසුගිය සමයේ නීතිය ඉදිරියට මෙම ගැටලු ගෙනගිය ඔහුගේ පැහැදිලි කිරීම මෙසේය.

“රාජිත සේනාරත්න රූබි මොහොමඩ් ඇතුළු පිරිස 2018 වසරේ අගෝස්තු මාසයේ පමණ ඉඳලා කෘත්‍රිම ඖෂධ හිඟයක් ඇතිකරන්න පටන්ගත්තා. ඊට පස්සේ හදිස්සි මිලදී ගැනීම් යටතේ ඖෂධ නීතිගත සංස්ථාව හරහා තුන් හතර ගුණයකින් මිල ගණන් වැඩිකරලා ගේන්න පුළුවන් ක්‍රමවේද නිර්මාණය කළා. සමාන්‍යයෙන් බෙහෙත් ගන්නේ අමාත්‍යාංශයේ මෙඩිකල් සෙන්ට්‍රල් ඩිවිෂන් එක හරහා. ඒත් 2015න් පස්සේ මේ ක්‍රමවේද වෙනස් කරලා හදිස්සි මිලදී ගැනීම් යටතේ එස්.පී.සී. එක හරහා බෙහෙත් ගෙන්න ගත්තා. උදාහරණයක් විදිහට ශත හැටට ගන්න පුළුවන් පෙත්ත හදිසි මිලදීගැනීම් යටතේ රුපියල් හැට හතරක් දාලා ගත්තා.

අලුත් ආණ්ඩුව පත්වුණාට පස්සේ පසුගිය සතියේ පළමුවතාවට ටෙන්ඩර් කමිටුව හම්බවුණා. එහෙම හම්බවුණා කියලා ඖෂධ හිඟයේ අඩුවීමක් වෙන්නේ නෑ. ගිය අවුරුද්දේ ජූලි අගෝස්තු ඉඳලා ආපූ හිඟය දැන් තමා අපිට බලපාන්න පටන් අරගෙන තියෙන්නේ. රාජිත සේනාරත්න, රූබි මොහොමඩ් තමන්ට හිතවත් සමාගම් දෙක තුනක් හරහා තමයි මේ මිලදී ගැනීම් සිද්ධ කළේ. දිගින් දිගටම ඒ සමාගම් සමඟ ගනුදෙනු කරන්න ඕනෑ නිසා ඔවුන්ගේ මුදල් දිගටම ගෙව්වා. වසර ගණනාවක් රට බෙහෙත් සපයන ප්‍රමිතිගත ආයතනවල රුපියල් බිලියන පහළොවක් ගෙවන්න තිබෙනවා මේ වනවිට. අපි ගාව ඒ දත්ත තිබෙනවා. සමහර ආයතනවලට ගෙවීම් කරලා නෑ. දින හාරසීය ගණනක් පැනලා. සාමාන්‍ය ක්‍රියාපටිපාටිය දවස් හතළිස් පහයි. මේ හරහා එම සමාගම්වලට බෙහෙත් ගෙන්වීම හැකියාව නැතිවෙලා. ඒ අතර අර ප්‍රමිතියෙන් තොර බෙහෙත් ගෙන්නන සමාගම් ලාබෙට ප්‍රමිතියෙන් තොර බෙහෙත් ගේන්න පටන් අරගෙන අපිට සපයනවා.”

අප වෙත ලැබී ඇති තොරතුරු අනුව ඖෂධ නීතිගත සංස්ථව සමඟ ගනුදෙනු කරනු ලබන රාජ්‍ය බැංකු දෙකක්ද මෙම ගැටලුව හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටී. ඔවුන් ඉදිරියේදී මෙම ණය අර්බුදය නොවිසඳුණහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවටද අනතුරු හඟවා ඇතැයි කියැවේ. මේ අතර ඖෂධ සැපයුම්කරුවකුද අපි සම්බන්ධ කර ගත්තෙමු. තවමත් පැරණි නිලධාරීන් අදාළ තනතුරවල සිටින නිසාවෙන් සිය නම සඳහන් නොකරන ලෙස ඉල්ලා ඔහු අප වෙත සිය පැහැදිලි කිරීම මෙසේ ඉදිරිපත් කළේය.

එස්.පී.සී. එකේ සල්ලි නෑ. අඩුම ගාණනේ රජයේ ආයතනකින්වත් එල්.සී. අරින්නේ නෑ. බිලියන ගණනින් අදාළ බැංකුවලටත් මුදල් පියවලා නෑ. උදාහරණය විදිහට මේ වෙනකොට බී.ඕ.සී. එක එල්.සී. දෙන්නේ නෑ එස්.පී.සී. එකට. ඒ වගේම අවුට් ස්ටෑන්ඩින් ලිස්ට්වල බිලියන ගණන් තියෙනවා. ඔය සල්ලි ටික ඔය වංචාව කරපු සමාගම්වලින් අයකර ගත්තා නම් හරි. කවුරැ වුණත් බිස්නස් එකක් කරනකොට ණයට දෙන්න පුළුවන් සීමාවක් තිබෙනවා. දෙනවා කිව්ව වෙලාවට සල්ලි නැති වුණාම බිස්නස් එක කරගෙන යන්න සල්ලි කොහෙන් ගේන්නද?”

මෙම අර්බුදය සම්බන්ධයෙන් තොරතුරු විමසීම හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සම්බන්ධ කරගැනීමට අපි උත්සාහ දැරූ මුත් එම උත්සාහය අසාර්ථක විය. ඔහු මේ වනවිට පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ගනිමින් සිටියි. එසේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයෙන්ද යම් විමසීමක් කළෙමු. එහිදීද සෘජු ලෙස පිළිතුරක් ලබාදීමට ඔවුහු අසමත් වූහ. මෙම ආයතන ඖෂධ තොග සම්බන්ධ වගකීම දරන අතර හිඟය පිළිබඳ නිවැරදි තොරතුරු ඔවුන් සතුව ඇතැයි සිතිය හැකිය. ඖෂධ නීතිගත සංස්ථාව සමඟ නිරන්තර සාකච්ඡා පවත්වා ඖෂධ අවශ්‍යතාව සම්බන්ධව දැනුම්දෙන්නේ මෙම ආයතනයි. කෙසේ නමුත් ඔවුන්ගෙන් පිළිතුරක් නොලැබීම ගැටලු සහගතය. 

මෙම සමස්ත කතාව දෙස අවසානයේදී අවධානය යොමුකරනවිට දැන්වත් කඩිනම් විමර්ශනයක අවශ්‍යතාව මතුවේ. දැනට සිටින ඇතැම් නිලධාරීන් සම්බන්ධ චෝදනා අපටද දැනගන්නට ලැබුණි. එම නිසා විමර්ශන ආරම්භ කිරීමට පෙර එම නිලධාරීන් එම ස්ථානවලින් ඉවත් කිරීමේ අවශ්‍යතාව අපි අවධානය කරමු. එසේම ඒ සියල්ලට පෙර කඩිනමින් මේ මොහොතේ අතිව ඇති ඖෂධ හිඟය වළක්වා ගැනීමට වර්තමාන බලධාරීන් ක්‍රියාකළ යුතුවේ. ඖෂධ යනු ජීවිත බවත් ජීවිත ඖෂධ නිසා අහිමිවන්නේ නම් ඛේදවාචකයක් බවත් අවසානයේ ලියා තබමු.

සාමාන්‍යාධිකාරී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව
දිනූෂ දසනායක - 

රජයේ වෛද්‍ය සැපයුම් අංශය තමයි ඖෂධ බෙදාහැරීම සහ ගබඩා කිරීම සිදුකරන්නේ. අපි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මැතිවරණ සමයේදී සංස්ථාවේ වැඩබලන්න සභාපතිවරයෙක් ලෙස මහා භාණ්ඩාගාරය විසින්ම පත්කළා. එතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ සමගේ ටෙන්ඩර් මණ්ඩලය රැස්වුණා. දැන් අලුත් සභාපතිතුමා පත්වීමෙන් පස්සේත් ටෙන්ඩර් මණ්ඩල හතරක් විතර රැස් වෙලා තිබෙනවා.

කිසිම ඖෂධ සමාගමක් ගෙවීම් සිදුවීමේ ප්‍රමාදයට ඖෂධ සැපයීම ප්‍රතික්ෂේප කරලා නෑ. නමුත් පහුගිය අවුරුද්දේ පුරෝකථනය කරලා තිබ්බ අවශ්‍යතාවට වඩා ඖෂධ අවශ්‍යතාව වැඩිවුණා. ඒ අනුව වෙන්කරලා තිබුණ මුදල ප්‍රමාද වුණේ නෑ ඒ අවුරුද්ද තුළම ගෙවීම් සිදුකරන්න. අපි සැපයුම්කරුවන් සමඟ කතා කරලා ගෙවීම් සිදුකිරීම කාලය ලබාගත්තා. දින තිහක් හතළිහක් වගේ. ගෙවීමට තිබෙන මුදල නම් මේ වෙලාවේ හරියටම කියන්න බෑ. නමුත් අපි මහා භාණ්ඩාගාරයෙන් මෙම ගෙවීම් සිදුකිරීමට අවශ්‍ය මුදල් ඉල්ලා තිබෙනවා. ඒ කටයුතු සිදුකරගෙන අපි ඉස්සරහාට යනවා.

අපි ගනුදෙනු කරන්නේ රාජ්‍ය බැංකු දෙකක් සමඟ. අපි ඔක්කෝටම රාජ්‍ය සේවයේ කොටස්කරුවෝ. අපි සාකච්ඡා කළා අපේ තිබෙන දුෂ්කරතා කිව්වට පස්සේ ඒ අය අපට අවශ්‍ය බැංකු පහසුකම් ලබාදුන්නා. ඒ පහසුකම් නිසා තමා අපි මේ තත්ත්වය කළමනාකරණ කරගන්නේ. අපි අතර ගැටලුවක් නෑ. නමුත් බැංකු තියන ක්‍රමවේදයන් අනුව අපි සීමාව ඉක්මවා යන අවස්ථාවලදී ගැටලු මතුවෙනවා. ඒ අවස්ථාවල අපි සාකච්ඡා කරලා ගැටලු විසඳගන්නවා.

- චමිඳු නිසල් ද සිල්වා

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:29
 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 06:07
 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30