2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

යොවුන් නවකතාවල කාඩ්බෝඩ් වීරයෝ වැහිවැහැලා

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 40

- ප්‍රවීණ ලේඛක පියසිරි මාතරගේ

2018 දී හොඳම යෞවන සාහිත්‍ය කෘතියට හිමි රජත පුස්තක සම්මානය, රාජ්‍ය සාහිත්‍ය සම්මානය සහ ගොඩගේ සම්මානය ද හිමි වූයේ පියසිරි මාතරගේ ලියූ හිඹූටුදෙණිය කඳු පාමුලින් නවකතාවටය. මේ දිනවල එම නවකතාව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වෙමින් පවතී. පියසිරි මාතරගේ ලියූ අලුත්ම යොවුන් නවකතාව මිහිකතගේ දූදරුවෝ පසුගියදා සරසවි ප්‍රකාශනයක් ලෙස නිකුත් විය.

ඔබේ අලුත්ම සාහිත්‍ය නිර්මාණය ගැන පැවසුවහොත්?
මිහිකතගේ දූදරුවෝ නමින් යොවුන් නවකතාවක්. පිය පුතු දෙදෙනකුගේ කතාවක්. ගෙදරට නොසලකන බීමට ඇබ්බැහි වුණු පියෙක් සහ මානසිකව දිරිමත් පුතෙක් තමයි මේ කතාවේ ප්‍රධාන චරිත වන්නේ. පුතාගේ ගුණයහපත් හැසිරීම නිසා පියාත් අවසානයේ යහපත් පුද්ගලයකු බවට පත්වෙනවා. මොනතරම් කරදර බාධක තිබුණත් අධ්‍යාපනයත් සාර්ථක කරගෙන බේබදු පියාත් හොඳ මඟට ගැනීමට දරැවකු තුළ ලොකු ධෛර්යයක් තිබිය යුතුයි. අන්න ඒ මානසික ශක්තිය ඉස්මතු කිරීමටයි මට අවශ්‍ය වුණේ.

නිර්මාණ සාහිත්‍යයට අමතරව ඔබ ශාස්ත්‍රීය ලේඛනයටත් රුචියක් දක්වනවා නේද?
ඔව්. මම එවැනි පොත් කිහිපයක් ලියා තිබෙනවා. ඉතිහාසමය අධ්‍යයනයට මා කැමතියි. රාජ්‍ය ලේඛනාගාරයේ පැරණි පුවත්පත් විමර්ශනය කරමින් සමීක්ෂණයක් කළා. එහිදී රසබර පුවත්පත් කතුවැකි රාශියක් හමුවුණා. පුවත්පත් ආරම්භක කාලේ සිට 1900 දක්වා පළවුණු කතුවැකි 80ක් ඇතුළත් කරලා යටත්විජිත යුගයේ පත්තර කතුවැකි පොත පළ කළා. අධිරාජ්‍ය කුමාරවරුන්ගේ ලංකාව නම් කෙළි බිම පොතේ දෙවැනි මුද්‍රණපත් මෑතකදී පළවුණා. එම කෘතිය ලිව්වෙත් පැරණි පුවත්පත් වාර්තා පදනම් කරගෙන. 1870 – 1891 කාලයේ සිංහල පුවත්පත් වාර්තාවලින් අවශ්‍ය කොටස් තෝරාගෙන කතන්දරයක් ලෙස එය ලියා තිබෙනවා.

ඔබේ ‘හිඹුටුදෙණිය කඳු පාමුලින්’ යොවුන් නවකතාවට සම්මාන කිහිපයක්ම ලැබුණා. අපේ යොවුන් සාහිත්‍යයට නිසි ඇගයීමක් ලැබෙන බව ඔබට පේනවාද?
ඒක නිශ්චිතව පැවසීමට අමාරුයි. නවකතාවත් සමඟ සසඳන විට යොවුන් සාහිත්‍යයට කැපී පෙනෙන බවක් නිසි අගයීමක් තිබෙන බවක් දැකීම අසීරැයි. වාර්ෂිකව සම්මාන උළෙලවල සම්මාන නම් ලැබෙනවා. යොවුන් නවකතා බිහිවන ප්‍රවණතාත් අඩුයි. අවුරුද්දකට 40ක් පමණ බිහිවන බවයි පේන්නේ. නවකතා ඒ වගේ කිහිප ගුණයකින් පළවෙනවා. මේ නිසා යව්වනයාට කියවීමට සුදුසු සාහිත්‍ය කෘති අඩුවීමක් තමයි අපට පේන්නේ.

මේ තත්ත්වය වර්ධනය කරගැනීමට මොන වගේ යෝජනා ද පවසන්නේ?
යෞවන සාහිත්‍යය වර්ධනය කර ගැනීමටත් විවිධ ගැටලු තිබෙනවා. මටනම් පේන්නේ යොවුන් නවකතා රාමු කිහිපයක හිර වෙලා වගේ. ළමුන් පිරිසක් නිධන් හොරු සොයායාම, හොරකම් ඇල්ලීම, සාමාන්‍ය ළමයෙක් යම් කිසිවකින් ජය ගැනීම වගේ තේමා තමයි අද පළවෙන පොත් බහුතරයක තිබෙන්නේ. මම වුණත් කල්පනා කරන්නේ මේ රාමුවලින් මිදිලා නිර්මාණයක් කරන්නේ කෙසේද කියලයි. ඒක හරිම දුෂ්කරයි. මේ දිනවල මම ඒ ගැන තමයි සිතමින් සිටින්නේ. වෙනස් විදිහකට ලිවීමටයි මම උත්සාහ කරන්නේ.

අද පළවෙන සමහර පොත් යෞවනයන්ට නොගැලපෙන බවක් පේනවා.
ඔව්. යොවුන් කෘති ලියන ලේඛකයාට යොවුන් විට ගැන අවබෝධයක්, දැනීමක් තිබීම අවශ්‍යයි. යෞවනයාගේ මානසික තත්ත්වය ගැන ලේඛකයා දැන සිටිය යුතුයි. අපි ළමුන් සමඟින්නේ ගනුදෙනු කරන්නේ. සමහරැ යොවුන් සාහිත්‍ය නිසි පරිසි හඳුනාගෙන නැති නිසා තමයි නොගැලපෙන තේමා වස්තු විෂය කරගන්නේ.

අද පළවෙන බොහෝ යොවුන් නවකතාවල වීරයන්ට ඒවායේ සඳහන් වීර ක්‍රියා ඉටු කිරීමට බැහැ නේද?
ළමුන්ට ඒ වයසේදී කළ හැකි නොකළ හැකි දේවල් තිබෙනවනේ. ගිය අවුරුද්දේ එවැනි පොත් කිහිපයක්ම තිබුණා. සුපිරි වීර චරිතවලින් වන්නේ යථාර්ථයෙන් ළමුන් ඈත් වීම. මම ලියූ යොවුන් නවකතා තුනෙන්ම ගොඩනගන්න උත්සාහ කළේ මහ පොළොවේ පය ගසාගෙන ජීවත් වෙන ළමා චරිත. ඒවායේ කාඩ්බෝඩ් වීරයෝ නැහැ.

අපට ඉංග්‍රීසි යොවුන් සාහිත්‍ය කෘති දෙස බලනවිට පේනවා විවිධ නවීන තේමා සොයා යන අන්දම. අපේ යොවුන් සාහිත්‍යය පරණ වට්ටෝරැවෙම පල්වෙන බවයි පේන්නේ.

ඔව්. අලුත්ම තේමා පාදක කරගෙන බිහිවන කෘති අපට ඉතා කලාතුරකින් තමයි හමුවන්නේ. ඒකට ප්‍රධාන හේතුව නම් නවීන ආකල්පය, විද්‍යාව වගේ දේවල් ගැන ලේඛකයාට හොඳ දැනුමක් පැවතිය යුතුයිනේ. අපේ ලේඛකයන්ට එහෙම දැනුමක් නැහැනේ. ඒක නිසා නවීන ලෝකයේ තාක්ෂණික කතා සංකල්පය අපට එකතු කර ගැනීමේ ගැටලුවක් තියෙනවා.

අපට එවැනි තේමා රචනා කිරීමට අපහසු නම් ඉංග්‍රීසියෙන් පරිවර්තනය කළ හැකියි නේද?
ඒක හරි. නමුත් එවැනි තත්ත්වයක් අපට පේන්නෙ නෑ. නවකතා නම් වාර්ෂිකව විශාල ප්‍රමාණයක් සිංහලට පරිවර්තනය වෙනවා. නමුත් යොවුන් නවකතා පරිවර්තන අතේ ඇඟිලි ගණනටත් අඩුයි.දශක කිහිපයකට පෙර ප්‍රධාන ධාරාවේ ලේඛකයන් යොවුන් සාහිත්‍යයට දායකත්වයක් දැකුවූවා. මාර්ටින් වික්‍රමසිංහ මඩොල් දූව ලිව්වා. ටී.බී. ඉලංගරත්න, කුලසේන ෆොන්සේකා, ඇරුව්වල නන්දිමිත්‍ර, ජයසේන ජයකොඩි වගේ ලේඛකයන් යොවුන් නවකතා රාශියක් ලිව්වා. අද අපේ ප්‍රවිණ ලේඛකයන් වැඩි දෙනෙක් යොවුන් සාහිත්‍යයෙන් ඈත් වෙලා බව පේනවා. හුඟක් නවකතාකරුවන් යොවුන් නවකතාව අත්හැර දාලා තිබෙන්නේ. ඔවුන් වැඩිදෙනෙක් ස්වර්ණ පුස්තක සම්මානෙට උනන්දුවක් දක්වන බවයි පේන්නේ. රටේ අනාගතය බාර ගැනීමට සිටින යොවුන් පරපුර වැඩිදෙනකුට අමතක වෙලා. යොවුන් පරපුරනේ හදාගත යුත්තේ. ඒ නිසා ඔවුන් ගැන වැඩි අවධානයක් දැක්වීම අවශ්‍යයි. යොවුන් සාහිත්‍යයෙන් තමයි ඔවුන් තුළ කියවීමේ රුචිය මුලින්ම වර්ධනය කරන්නේ.

ලෝකයේ අනෙක් රටවලනම් අවුරුදු 18 – 20 වගේ වයසේ දරුවන්ට ගැටවර සාහිත්‍යය නවකතා බිහිවෙනවා. අපේ ඒක අත්හැරිලා නේද?
නව යොවුන් විය කියන්න පුළුවන් ඔය කාලෙට. ඒ පැත්ත ස්පර්ශ කරන කෘති දැන් බිහිවන්නේම නැහැ. කරුණාසේන ජයලත් තම ප්‍රේම නවකතාවලින් ඒ ගැන තරමක් කතා කළා පාසල් වියේ ප්‍රේමය ගැන. නමුත් පසුව සාහිත්‍ය වටිනාකමින් යුතු නව යොවුන් නවකතා බිහිවන ප්‍රවණතාවය අඩු වුණා. අද සරල ප්‍රේම කතා තමයි බහුලව බිහිවන්නේ.

යොවුන් සාහිත්‍යයේ වර්ධනයට ඔබ යෝජනා කරන්නේ මොනවද?
මේ ගැන රජයත් අවධානය දැක්විය යුතුයි. සංස්කෘතික දෙපාර්තමේන්තුව යොවුන් සාහිත්‍යය ගැන සම්මන්ත්‍රණ සාකච්ඡා වගේ දේවල් සංවිධානය කර ලේඛක පාඨක දෙපිරිසම දැනුම්වත් කළොත් එය ලොකු සේවයක්. ඒ වගේම අපේ ප්‍රවීණ ලේඛකයොත් මේ ක්ෂේත්‍රයට තම දායකත්වය එක් කළ යුතුයි. පාසල් මට්ටමින් යොවුන් කෘති කියවීමට ළමයාට පෙළඹවීමක් කළ යුතුයි. ඒක ගුරුවරුන්ගේ වගේම දෙමව්පියන්ගෙත් අතේ තිබෙන දෙයක්. මම දන්න සමහර දෙමව්පියෝ ළමයි බාහිර පොත් කියවනවට කැමති නෑ විභාගෙට බාධාවක් වේවි කියලා. ඒ වගේ ආකල්ප වෙනස් විය යුතුයි.

කුසුම්සිරි

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30