2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

ජනාධිපතිවරණ ප්‍රතිඵලය මහා මැතිවරණයට බලපාන හැටි

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:31 421

පසුගියදා පැවැති 8 වැනි ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය හිමිවූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාටය. ඡන්ද 69,24,255ක් ලබා ගත් ඔහු 52.25%ක ප්‍රතිශතයක් හිමිකරගත් අතර දිස්ත්‍රික් 22න් 16ක් ජයග්‍රහණය කිරීමට සමත් විය. ඔහුගේ ප්‍රතිවාදියා වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ද 55,64,239ක් හිමිවිය. එහි ප්‍රතිශතය 41.99%කි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා සජිත් ප්‍රේමදාස මහතාට වඩා ඡන්ද 13,60,016 හිමිකරගෙන තිබිණි. මෙම ප්‍රතිඵලය, ඉදිරියේ පැවැත්වෙන මහා මැතිවරණයට සිදු කළ හැකි බලපෑම කෙබඳු විය හැකිදැයි අප විමසා සිටියේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුදන්ත ලියනගේගෙනි. මෙහි පළවන්නේ ඒ සම්බන්ධව  ඔහු කළ  විශ්ලේෂණාත්මක විග්‍රහයකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු වාමාංශික සන්ධානය 1994 සිට පැවති අතර 2015 මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ඉන් ඉවත්ව පොදු ජන පෙරමුණ නිර්මාණ කළහ. පසුගිය ජනාධිපතිවරණයේදී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ප්‍රගතිශීලී වාම බලවේග පොදු ජන එක්සත් පෙරමුණ සමඟ එක්ව තරග කළේය. ප්‍රගතිශීලි කඳවුරට හිමි වූ ඡන්දවලින් 20% පමණ ප්‍රතිශතයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු ඡන්ද විය. පොදුජන පෙරමුණ නිර්මාණය වීමත් සමඟ තරුණ ඡන්ද විශාල ප්‍රමාණයක් ඔවුනට හිමි විය. තරුණ පිරිසේ ඡන්ද පොදුජන එක්සත් පෙරමුණ වටා එක්වීමට බල පෑ සාධක කිහිපයකි. ඉන් පළමුවැන්න ජාතික ආරක්ෂාවය. දෙවැන්න තරුණයන් තුළ දේශප්‍රේමය ඉහළ මට්ටමක පැවතීමය. එමෙන්ම ඔවුන් තුළ අන්‍ය ආගමිකයන්හට ඇති ගෞරවයද අවමය. තරුණයන් සෘජු තීරණ ගැනීමට පෙළඹෙන පිරිසකි. එහෙයින් රට දැය රැක ගැනීමට හා ජාතික ආරක්ෂාව තහවුරු කළ හැකි පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ බව ඔවුහු වටහා ගත්හ. සජිත් ප්‍රේමදාස තුළ එවැනි දේශපාලන පරිණතභාවයක් ඔවුන් දුටුවේ නැත. 

2018 පළාත් පාලන මැතිවරණයේදී පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂවලට ඡන්ද 67 ලක්ෂයක් පමණ හිමිවිය. මෙවර ජනාධිපතිවරණයේදී එය 69 ලක්ෂය ඉක්මවීය. 2015දී යහපාලන ආණ්ඩුව සමන්විත වූයේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොටසක් සහ සුළු ජාතික පක්ෂවලිනි. මෙවර එම කඳවුරට ලක්ෂ 55ක් පමණ ඡන්ද හිමි වුවද ඉන් 20%ක් පමණ උතුරු, නැඟෙනහිර සහ මධ්‍යම කඳුකරයෙන් හිමි වූ ඡන්දය. ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵලය මහා මැතිවරණකට ගැලපුවහොත් පොදු ජන එක්සත් පෙරමුණට මන්ත්‍රීවරුන් 128 දෙනෙක්, එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීවරුන් 96 දෙනෙක් හා ජනතා විමුක්ති පෙරමුණට ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රීවරයෙකුත් හිමිවනු ඇති බව පෙනේ. එහෙත් මහා මැතිවරණයේදී මෙම තත්ත්වය මඳක් වෙනස් වනු ඇත. දෙමළ සන්ධානයට අයත් පක්ෂ වෙන්වෙන්ව තරග කරනු ඇති බැවින් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණ මහා මැතිවරණයකදී තව දුරටත් සන්ධානයක් ලෙස එක්ව තරග නොකරන බව පැහැදිලිය. ඒ අනුව ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ඡන්ද ලක්ෂ පහක් හෝ හයක් අහිමි වනු ඇත.

මේ වන විට මුස්ලිම් පක්ෂ කිසියම් උභතෝකෝටික තත්ත්වයකට පත්ව තිබේ. රවුෆ් හකීම්ගේ මුස්ලිම් කොන්ග්‍රසයේ සහ රිෂාඩ් බදුයුදීන්ගේ සමස්ත ලංකා මහජන කොන්ග්‍රස් පක්ෂයේ දේශපාලනය සැමදා රඳා පැවතියේ පාලක පක්ෂය සමඟ සන්ධාන වීම මතය. රාජ්‍ය පාලනයේ නියුතු පක්ෂය ලබා දුන් වරප්‍රසාද මත ඔවුහු තම දේශපාලනයේ නියැළුණාහ. එම පක්ෂ මේ වන විට පරාජයට පත්ව ඇති හෙයින් විපක්ෂයේ සිටින්නට සිදුවන බව ඔවුන්ට වැටහී තිබේ. එහෙයින් ඔවුන් පොදු ජන එක්සත් පෙරමුණ සමඟ කිසියම් එකඟතාවතට එළඹීමට  ඉඩ තිබේ. එහෙත් ඔවුන් සම්බන්ධ කර ගැනීම ප්‍රගතිශීලී කඳවුරට එතරම් හිතකර නොවනු ඇති අතර එවැන්නක් සිදු වුවහොත් ප්‍රගතිශීලී කණ්ඩායමට හිමි දකුණේ ඡන්දවලට කිසියම් බලපෑමක් සිදුවිය හැකිය.

ප්‍රගතිශීලී කඳවුර ඔවුන් ප්‍රතික්ෂේප කළහොත් මෙම මුස්ලිම් පක්ෂ, සන්ධානගතව මහා මැතිවරණයට තරග කිරීමට ඉඩ තිබේ. එවිට ඔවුන් දිගාමඩුල්ල, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ වන්නි දිස්ත්‍රික්කයෙන් ආසන්න වශයෙන් මන්ත්‍රීවරුන් 12ත් 15ත් අතර සංඛ්‍යාවක් හිමි කර ගැනීමට සමත් වනු ඇත. එහිදීද අහිමිවනුයේ එක්සත් ජාතික පක්ෂයට ලැබිය යුතු ඡන්ද ප්‍රමාණයයි. වතුකරයේ සෙන්දිල් තොන්ඩමන් ජනප්‍රිය නායකයෙකි. ඔහුගේ බලපෑම මත වතුකරයේ දෙමළ ප්‍රජාවෙන් එක්තරා ඡන්ද ප්‍රමාණයක් පොදුජන එක්සත් පෙරමුණට හිමි විය. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අරවින්ද කුමාර් සහ සහ වඩිවේල් සුරේෂ් බොහෝ විට එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ප්‍රගතිශීලී කඳවුර හා එක්වනු ඇතැයි සිතිය හැකිය. වතු දෙමළ පක්ෂ ප්‍රගතිශීලී කඳවුර හා එක්වීම මුස්ලිම් පක්ෂ ප්‍රගතිශීලි කඳවුර හා එක්වීම මෙන් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය නොකරනු ඇත. එහෙයින් වතුකරයේ ඡන්දවලින් වැඩි  ප්‍රමාණයක් හිමිකර ගැනීමට පොදුජන පෙරමුණ සමත් වනු ඇත. එමෙන්ම නුවරඑළිය වැනි දිස්ත්‍රික්කයන්හි සිංහල ඡන්ද මහ මැතිවරණයකදී පොදුජන එක්සත් පෙරමුණට ලැබිය හැකිය. ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දකුණේ ආසන 17ක් පමණ දිනා ගැනීමට සමත් විය. එම ප්‍ර‍ෙද්ශයන්හි එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ කලකිරීම මත මහ මැතිවරණයකදී එම ඡන්ද පදනමද අවම වීමට ඉඩ තිබේ.

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ එක්සත් ජාතික පක්ෂය තම ඡන්ද ප්‍රතිශතය 30%ත් 35.%ත් අතර ප්‍රමාණයක රඳවා ගැනීමට සමත් වුවහොත් මහා මැතිවරණයේදී මන්ත්‍රීවරුන් 60ත් 65ත් අතර සංඛාවක් හිමි කර ගැනීමට ඔවුනට හැකිවේ. ඒ සඳහා ඔවුනට යම් සැලසුමත් තිබිය යුතුය. විශේෂයෙන්ම තමන්ගෙන් ගිලිහුණු සිංහල බෞද්ධ හා සිංහල කතෝලික ඡන්ද යළි හිමිකර ගැනීමට සැලසුමක් තිබිය යුතුය. මේ වන විට එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානයකට සූදානම් වන බව පැවසේ. නව නායකයකු පත් වන්නේ නම් ඔහුට ඉහත කී අර්බුදය ජය ගැනීමේ හැකියාවක් තිබිය යුතුය. 

සජිත් ප්‍රේමදාස දේශපාලනයට පිවිසියේ 1994න් පසුය. ඔහු තම දේශපාලන ගමන ඇරඹුවේ තිස්සමහාරාමයෙනි. එහෙත් ඔහුට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 35% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගත හැකි වූයේ පළමු වාරයේ පමණි. ඉන්පසු දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම අවම විය. ඔහු එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත් වුවද තිස්සමහාරාමය වැනි ප්‍රදේශයකින් තම ඡන්ද පදනම වැඩි කරගැනීම විශාල අභියෝගයක් වනු ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩි බලයක් ඇත්තේ රාජපක්ෂවරුන්ටය. එම කලාපයේදී රාජපක්ෂවරුන් පරාජයට පත් කිරීම ඉතා අසීරුය. එහෙයින් සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය අපේක්ෂා කරන්නේ නම් ඔහුගේ බළකොටුව වන කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ යුතුය. එසේ නොවන්නේ නම් පක්ෂය ජයග්‍රාහි මාවතකට යොමු කළ හැකි වෙනත් තරුණ නායකයකු සොයා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට සිදුවනු ඇත.

ඉදිරි මහ මැතිවරණයකදී සුළු ජාතික ඡන්ද ප්‍රමාණය වර්ධනය විය හැකිය. දෙමළ සහ මුස්ලිම් පක්ෂ බොහෝ විට මහා මැතිවරණයට ඉදිරිපත් වන්නේ තමන්ගේම පක්ෂවලිනි. ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණට තම ඡන්දය භාවිත කළද උතුරු නැඟෙනහිර සුළු ජාතික පක්ෂ වෙන් වෙන්ව තරග කරන විට තම ජාතිය වෙනුවෙන් එම ප්‍රදේශවල ජනතාවගේ ඡන්දය හිමිවන්නේ එකී සුළු පක්ෂවලටය. එහිදීද එක්සත් ජාතික පක්ෂයට හිමිවන ඡන්ද ප්‍රමාණය අහිමි වීමට ඇති ඉඩකඩ වැඩිය. ඒ අනුව ජනාධිපතිවරණයේදී ලක්ෂ 55ක ඡන්ද ප්‍රමාණයක් ලබාගත් එක්සත් ජාතික පක්ෂයට හිමිවනු ඇත්තේ ලක්ෂ 35ක් වැනි ප්‍රමාණයකි.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණද දැනට පවතින තත්ත්වය මැඩගෙන ඉදිරියට නොපැමිණියහොත් ඔවුන්ගේ දේශපාලන අනාගතයද එතරම් යහපත් නොවනු ඇත. එසේ වුවහොත් ඉදිරි මැතිවරණයකදී ඔවුනට හිමිකරගත හැකිවනුයේ තිස්සමහාරාමයෙන් එක් ආසනයක් හා ජාතික ලැයිස්තුවෙන් එක් ආසනයක් ලෙස ආසන දෙකක් පමණි. ඔවුන් ජාතික ජනබලවේගය ලෙස පුළුල් සංධානයක් ලෙස එක්වුවහොත් කොළඹ, ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් ආසන තුනක් පමණ හිමිකර ගැනීමට සමත් වනු  ඇත. 

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30