2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

රැහේ කට්ටියගේ හිස්කබල් ගන්න එංගලන්තයට ගිය මහ හූරා

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 7

එඩින්බරා විශ්වවිද්‍යාලයේ තැන්පත් කර තිබුණු ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ට අයත් හිස්කබල් නවයක් නැවත ඔවුන්ට භාර දීමට කටයුතු කර තිබේ. වසර 200කට වඩා පැරණි විය හැකි මෙම අස්ථි කොටස් වැදි ජනයාට අයත් බව විශේෂඥයෝ පවසති. සියවසකට පෙර ලබාගත් මෙම අස්ථි විශ්වවිද්‍යාලයේ ව්‍යූහ විද්‍යා අංශයේ කොටසක් ලෙස තැන්පත් කර තිබිණි.

විශ්වවිද්‍යාලයේ ප්ලේෆෙයා පුස්තකාලය තුළ සංවිධානය කර තිබූ උත්සවයකදී ආදිවාසී නායක ඌරැවරිගේ වන්නිල ඇත්තන්ට මෙම හිස්කබල ප්‍රදානය කර ඇත.

වැදි සමාජය තුළ මරණය කියන්නේ ඉතා වැදගත් දෙයක්. අපෙන් වෙන්ව ගිය අයට ගෞරවයක් වශයෙන් සෑම වසරකම අපි විශේෂ උත්සවයක් පවත්වනවා, ආදිවාසී නායකයා පැවසීය.

මේ ඇටකටු වසර ගණනාවක් එඩින්බරාවල තිබුණත්, ඔවුන්ගේ ආත්මය අපි සමඟ ශ්‍රී ලංකාවේ රුඳී සිටියා. ඔවුන්ගේ ආත්මය සමඟ මේ ශරීර කොටස් එකතු කිරීම ගැන මම විශ්වවිද්‍යාලයට ස්තුති කරනවා. මෙය මගේ මිනිසුන්ට අති විශේෂ අවස්ථාවක්,ඔහු තවදුරටත් පැවසුවේය.

විවිධ ද්‍රව්‍ය 12,000ක් පමණ තැන්පත් කර ඇති විශ්වවිද්‍යාලයේ අදාළ අංශයට මෙම හිස්කබල් ලැබුණ ආකාරය අපැහැදිලිය. ශ්‍රී ලංකාවේ ආදිවාසීන් තමන් බවට වැදි ජනයා කරන ප්‍රකාශය නිවැරදි බව හිස්කබල ඔස්සේ පරීක්ෂණ සිදු කළ ජර්මනියේ සහ එඩින්බරා පරීක්ෂකයෝ පවසති.

වැදිජනයා සිය මුල් යුගයේදී වනාන්තර තුළ දඩයම් කරමින් තනිව ජීවත් වූ කොටසක් බවද ඔවුන් පෙන්වා දී ඇත. විශ්වවිද්‍යාලය මෙම හිස්කබල වැදි ජනයාට නැවත භාරදීමට සිදුකළ යෝජනාව ඔවුහු පිළිගත්හ.

වැදි ජන ඉතිහාසය තුළ සාම්ප්‍රදායක දඩයම්කරැවන් සහ වනාන්තරයේ පදිංචි වූවන් ලෙස දක්වමින් මෙම හිස්කබල ඔවුන්ගේ පැරණි භාණ්ඩ එකතුව තුළ ප්‍රදර්ශනය කිරීමට ආදිවාසීන් සැලසුම් කර තිබේ

ඉඩම් අහිමිවීම සහ සිවිල් යුද ගැටුම් හේතුවෙන් ආදිවාසීන්ගේ සාම්ප්‍රදායක ජීවන රටාව තවත් පරම්පරා දෙකක් ඇතුළත අභාවයට යනු ඇතැයි පරීක්ෂකයෝ පවසති.

ශ්‍රී ලංකාවේ ආදිවාසීන් එඩින්බරා විශ්වවිද්‍යාලයට පැමිණීම ගැන තමන් දැඩි ලෙස සතුටුවන බව ව්‍යූහ විද්‍යා අංශයේ සභාපති මහාචාර්ය ටොම් ගිලින්වෝටර් පැවසීය.

අපේ අංශයේ තිබෙන විවිධ ද්‍රව්‍ය පරීක්ෂණ සඳහා මෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා ද නිතර භාවිත කරනවා,* මහාචාර්යවරයා පැවසීය.

 බී.බී.සී. සිංහල වෙබ් අඩවිය ඇසුරිණි

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:29
 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 06:07