2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

රත්නදීප ජන්ම භූමියේ මැණික් කතා

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 18

රත්නදීපයේ අතීත මතක නිතර අවදි කරන අප එදා සිට අද දක්වා පැවත එන නොයෙක් කර්මාන්ත කතාන්දර ඔබට කියා ඇත. මේ ගමනේ මෙතෙක් අවදි නොකළ අමිල වූ කර්මාන්තයක් අද්දර අපි මෙවර නතර වීමු. මෙය වූ කලී රත්නදීපය ජන්ම භූමියක් වූ මිනිසුන්ගේ ප්‍රභාවත් රත්න‍යන් පිළිබඳ කතාන්දරයයි.

මැණික් හා බැඳුණු ඉතිහාසය එලා නිමකළ නොහැකි මාගලක් බඳුය. අපගේ උත්සාහය ඉන් යමක් සැකෙවින් ඔබගේ දැනුමට එක් කිරීමයි. ඉන්දියන් සාගරයේ  වූ අප කුඩා දිවයින එදා සත් සමුදුරෙන් එතෙර ගොඩනැගී තිබුණු මහා රාජ්‍යවල පවා සම්භාවනාවට පත් වූයේ මෙම කර්මාන්තය නිසාවෙනි. වැනිසියානු ගවේෂකයකු වූ මාර්කෝ පෝලෝ 1292 දී සිය ලිපියක තැබූ මෙම සටහන අප කතාවට පූර්විකාවක් සපයයි.

˝ප්‍රමාණයෙන් තරමක් කුඩා වුවත් ඉතා අනර්ඝ දිවයිනක් වූ ශ්‍රී ලංකාවේ ඇළ දොළ ගංගාවලින් පවා මුතු මැණික් හමු වේ˝.

රත්නදීපයේ මිණිකැට ගැන සොයා ලෝක ඉතිහාසය පීරන්නකුට මෙවන් ලිඛිත මූලාශ්‍ර අප්‍රමාණව හමුවනු ඇත. මේ කුඩා දිවයිනේ කීර්තිරාවය නිසාම දෙවැනි ශතවර්ෂයේ විසූ ටොලමි ද භාරතයට දෙවැනි නොවන ප්‍රමාණයකින් සිතියම්ගත කළ මෙලක මිණි ගැන සටහන් තැබූ බව පැවසේ. ඔහුට අනුව අතීත ලංකාවේ මැණික් කර්මාන්තය තුළ මූලික ස්ථානයක් හිමිව ඇත්තේ ‘තරිප්පු’ (beryl) සහ ‘කොරණ්ඩම්’ (sapphire) යන වර්ගවලටය. විදේශීයන්ගේ සටහන් අතර එසේ ලියැවෙද්දී අප කිව යුත්තේ වසර තුන් හාරදහසකට වඩා ඉපැරුණි රාවණ පුලතිසි පුරාවෘත්තවල පවා රත්නදීපයේ තිබූ අගනා රත්නයන් පිළිබඳ කියැවෙන බවය. ඉන් එක් පුරාවෘත්තකට අනුව රාම රාවණා යුද්ධයේදී සතුරු බලවේගවලින් ආරක්‍ෂා වීම පිණිස ද ලංකාවාසීහු මැණික්‌ පැළඳ ගත්හ. තවද රාවණ මාලිගයේ සිටි කමතූර් රාක්‍ෂයාගේ ආරක්‍ෂාව පිණිස මරිචි නම් ඍෂිවරයා පළඳවන ලද වෛරෝඩියක්‌ පිළිබඳව ද කතාන්දරයකි.

සිරිලක මිණිකැට හා බැඳුණු මෙවන් ඉතිහාස කතා රැසක් අප මේ සම්බන්ධයෙන් කළ කියැවීමේ දී  හමුවිය. මේ සම්බන්ධයෙන් ගවේෂණයක් සිදු කළ දේශීය වියතුන්ට සහ ඒවා පොතප‍තේ ලියා තැබූ රචකයන්ට ගෞරවය පුදමින් අපි මෙම කතාන්දරය ඔබ හමුවේ තබමු. අප මීළඟට යොමුවන්නේ මිණිකැටයක් හා බැඳුණු වටිනා ඉතිහාස කතාවක් දෙසටය. තෙවරක් රත්නදීපයට වැඩි තථාගතයාණන් වහන්සේ රුවන්පුර සමනළ ගිර මුදුනේ ඉඳුනිල් මැණික්‌ ගල් තලයක සිය වම් පා සලකුණ තැබූ බව කියා පාන්නේ  මහාවංශයයි. මෙය වනාහි සිත පහන් හැඟුමින් කිව යුතු කතාවයි. පසු කලෙක එම පාද සලකුණු වූ ඉඳුනිල් මාණික්‍ය ශෛලමය  ආවරණයක් යොදා ආරක්‍ෂා කළ බව කියැවේ. මෙරට බෞද්ධ ජනයාගේ විශ්වාසයන් අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නා ශ්‍රී පාද පුරාවෘත්තය අපට කිසිවිට බැහැර කළ නොහැක. අද ද ශ්‍රද්ධාවන්ත බෞද්ධයා තෙවරක් නළල තබා ශ්‍රී පතුල වන්දනා කරනුයේ මෙම විශ්වාසය පෙරදැරිවය. ශ්‍රී පාද භූමිය අයත් වන්නේ රත්නපුර අඩවියටයි. එසේ නම් මීට වසර දෙදහස් පන්සියයකට පූර්වයේ ඉඳුනිල් මාණික්‍යයක් මේ අඩවියේ නොතිබූ බවට කෙනකුට පැවසීමට බැරිය.

ශ්‍රී පාදස්ථානය සහ රුවන්පුරයේ මිණිකැට එක්ව බැඳුණු අපූරු පුවත් පසුකාලීන ඉතිහාසය විමසීමේ දී අපට දැන කියාගත හැකි විය. එය මෙසේය. අමිල මැණික්‌ සොයා ඉන්දියන් සාගරය තරණය කළ අරාබි ජාතික වෙළෙඳුන්ගේ කතාව ඉතා ප්‍රකටය. සිරිලක මැණික්‌ උපදින රත්නපුරය ද ඔවුන්ගේ ගමනාන්තයක් විය. මෙම ගමනට ඔවුන් මුලපිරුවේ මුස්‌ලිම් ශාන්තුවරයන් මගිනි. ඔවුහු ශ්‍රී පාද පුදබිම වැඳ පුදා ගැනීමේ අටියෙන් යෝගී වෙස්‌ ගෙන රුවන්පුරයට පැමිණියහ. මෙය ලාංකික මැණික් වෙනුවෙන් පැවැති  චීන අරාබි වෙළෙඳ තරගයේ ප්‍රතිඵලයක් බවද කියැවේ. චීන වෙළෙඳුන් සහ ලංකාවාසී බෞද්ධයන් අතර පැවතුණු සමීප ආගමික සම්බන්ධය අරාබි වෙළෙඳුන්ට අවාසියක් වූයෙන් ඔවුහු මෙම උපාය යෙදූහ. එදා රත්නපුර ජනයා මෙම අරාබි වෙළෙඳුන් ‘මුක්‌කරු’ යන නමින් හැඳින්වූ බවද කියැවේ.

මේ අතර අරාබිකරය තුළ ශ්‍රී ලංකාවේ මැණික් සම්බන්ධයෙන් වූ ආකල්පය කොතරම් ප්‍රබලදැයි කියා පෑමට අපූරු සාක්ෂියක් අපට හමු විය. එය ද දේශීය සහ විදේශීය වියතුන් ඉදිරිපත් කර ඇති මතවාදයකි. අරාබි නිසොල්ලාසයේ කතාන්දරය එකල ලෝකය පිළිබඳ තතු විවරණයක් බඳුය. අරාබි නිසොල්ලාසයේ එන සින්බෑඩ් නම් නැවියාගේ ගමන් විස්‌තරයේ සඳහන් පරිදි ‘සෙරන්ඩිබ්’ නම් අප ලංකාදීපයයි. එම කතාවට අනුව මැණික්‌ ඔබ්බන ලද තොරණවලින් සහ රූමත් ළලනාවන්ගෙන් බැබලුණු නගරය ඇතැම්විට රත්නපුරය ද විය හැක.

ශ්‍රී ලංකාවේ මැණික් පිළිබඳව විදෙස් කතාන්දර අතර විද්වතුන් උපුටා දක්වන තවත් කතාවකි. විවිධ උපද්‍රවවලින් මිදීමට මැණික් පැළඳීමේ ඉතිහාස කතාව අපරදිග ශිෂ්ටාචාරය දක්වා දිව යයි. මෙම කතාන්දය ඊට නිදසුනකි. එක් කලෙක පුරාතන ඊජිප්තුවේ වසංගත රෝග පැතිරී ගොස් විශාල ජන සංහාරයක් විය. මෙම වසංගතයෙන්  ආරක්‍ෂා වීමේ උපක්‍රමයක්‌ ලෙස කහ පඩියන් (Chrysolite) නැමැති මැණික්‌ වර්ගය පැළඳීමට අතීත ඊජිප්තුවෝ උත්සුක වූහ. එය ලංකාවෙන් ගෙන ගිය බව ඇතැමුන්ගේ මතයයි. කෙසේ වෙතත් අතීත බැබිලෝනියාවරුන් ද ලංකාවෙන් වෛරෝඩි (Cats eye) ආනයනය කළ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවී ඇති බව පැවසේ. බැබිලෝනියානු පූජකයන්ගේ උපදෙස්‌ අනුව අපල උපද්‍රවවලින් මිදීම සඳහා ද ඔවුන් මැණික් පැළඳි බව පැවසේ.

මේ සියල්ල හරහා අපට පැහැදිලි වන්නේ දුරාතීතයේ සිටම ලංකාදීපයේ ප්‍රධානතම අපනයන ද්‍රව්‍ය අතරින් මැණික්‌ ප්‍රමුඛ වූ බවකි. ලෝක ඉතිහාසයේ මැණික් පිළිබඳ පරිච්ඡේදයේ ලොව පරසිදු වූ නිල්, රතු, වෛරෝඩි, ආරනූර් මැණික්‌ ගැන ලියැවෙන විට රත්නදීපයේ නාමය රන් අකුරෙන් ලියා තැබිය යුතුමය. විශේෂයෙන්ම ලෝකයේ නිල් මැණික් අතර අපගේ නිල් මැණික්වලට අද්විතීය ස්ථානයක් හිමිය. ඒවාටම ආවේණික වූ පැහැය, සුපිරිසුදු බව හා දීප්තිමත් බව අතින් එදත් අදත් ලෝකයේ අනර්ගතම නිල් මැණික් ලංකාව සතු බව කවුරුත් පිළිගනිති. නිල් මැණික් හා බැඳුණු ඉතිහාස කතා අප්‍රමාණ ප්‍රමාණයක් මේ දිවයිනේ සතර දිග් භාගයෙන් අපට හමුවේ.

අතීත සිංහල රජ දවස අගනා වස්‌තූන් අතර මැණික්‌ සම්පත ප්‍රධාන තැනක්‌ ගත් බව අප අමුතුවෙන් ඔබට කිව යුතු නැත. අප ඉතිහාසයේ මැණික්‌ ඇතුළු සියලුම වස්තූන් රාජ වංශිකයන්ට සහ රදළ පෙළපත්වල ඇත්තෝ සතු වූහ. ඔවුහු මැණික්‌ ගල් රුඳවූ ආභරණ පැළඳූහ. මැණික්‌ නිදන් වස්‌තුන් ලෙස තැන්පත් කිරීම ද කටයුතු කළහ. දාගැබ් පිළිම ඇතුළු ආගමික ස්ථානවල ඔවුහු මැණික් තැන්පත් කළහ. එම නිසාම රාජාවලිය ඇසුරේ ඇති මැණික් පිළිබඳ කතා දහස් ගණනක් නිර්මාණය විය. ඒවා එකින් එක ඔබට ගෙන හැර පෑමට අපි උත්සුක නොවෙමු. ඇරඹුමේදී කී පරිද්දෙන් මේ කතාව මාගලක් තරම් දිගය. ඉන් අද අප ගෙන හැර පෑවේ අල්පමාත්‍රික කොටසක් පමණි. රත්නදීපයේ රත්න පිළිබඳ කතාවේ තවත් කොටසක් යළිත් දිනක ඔබ හමුවේ තැබීමේ අපේක්ෂාවෙන් අපි ඔබෙන් සමුගනිමු.

චමිඳු නිසල්

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30