2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

මෙහෙම ගියොත් පරිවර්තනයට යනඑනමං නැතිවෙනවා

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 11

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී රෝහණ වෙත්තසිංහගේ නවතම පරිවර්තනය IS ත්‍රස්තවාදීන්ගේ ලිංගික වහලියක බවට පත් නාදියා මුරාදිගේ සත්‍ය කතාවයි. The last girl නම් එම කෘතිය ගිනිගත් සඳ නමින් පරිවර්තනය වූ අතර එහි මුල් මුද්‍රණයේ සියලුම පිටපත් දින 7ක් තුළ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී අලෙවි විය. සරසවි ප්‍රකාශනයක් වන එහි දෙවැනි මුද්‍රණ්‍ය දැන් නිකුත් වී තිබේ.

ඔබ සත්‍ය කතා පරිවර්තනයට වැඩි කැමැත්තක් දක්වන බව පේනවා.

මා දැනට පරිවර්තනය කර ඇත්තේ කතා දෙකයි. ඉන් පළමුවැන්න ජීම් ෂෙපර්ඩ් ලියූ ද බුක් ඔෆ් ඒරන් හි සිංහල පරිවර්තනය ඒරන්ගේ ලෝකය. ඇත්තෙන්ම ඒරන්ගේ ලෝකය ගැනෙන්නේ ප්‍රබන්ධ නවකතා ගණයටයි. ඒත් ප්‍රබන්ධ කතාවට දෙවැනි ලෝක යුද සමයේ පෝලන්තයේ සැබෑවටම ජීවත් වූ දොස්තර යානුෂ් කොර්මැක් චරිතයත් එක්කර තිබෙනවා. ඔහු සම්බන්ධ අනාථ නිවාසයත් එකල පැවති එකක් බව පැවසෙනවා. ඒ අනුව බලනවිට එය සැබෑවත් ප්‍රබන්ධයත් මුසු වූ කතාවක් බවයි පෙනෙන්නේ. 

නාදියා මුරාද්ගේ ද ලාස්ට් ගර්ල් නවකතාවට පදනම් වුණේ සත්‍ය කතාවක්. ජෙනා ක්‍රැජෙස්කි කියන මාධ්‍යවේදිනිය විසිනුයි නාදියාගේ කතාව ඉංග්‍රීසියට නගා තිබුණේ.

ආපසු හැරී බලද්දි මට සත්‍ය කතා තවත් පරිවර්තනය කරන්න ඕනෑය කියන විශේෂ උවමනාවක් තිබුණා කියන්න බෑ. එම කතා දෙකම කම්පනය අනුවේදනීය බව මානුෂීය ගුණාංග වැනි කරැණු නිසා මගේ හදවතට දැනුණා. එසේ දැනුණු නිසයි මා පරිවර්තනයට පෙළඹුණේ. විශේෂයෙන්ම ද ලාස්ට් ගර්ල් නොබෙල් සාම ත්‍යාගය දිනුවා කිව්වම පොතකට කුමන මිනුම් දණ්ඩක් යටතේද මේ වගේ ත්‍යාගයක් පිරිනමන්නේ කියන කුතුහලය මා තුළ ඇතිවුණා. මේ පොත හැකි ඉක්මනින් කියවීමට මා පෙළඹ වූ මූලික කාරණය එයයි.

අලුත්ම පරිවර්තනය වන ගිනි ගත් සඳ එක් අන්දමකින් ආන්දෝලනාත්මක කෘතියක්. මේ පිළිබඳව තවදුරටත් කතා කළොත්?

නාදියා මුරාද් ජීවිතේ සියලු හැලහැප්පිලිවලට මුහුණ පාන්නේ යොවුන් වියේදී. ඇය මුල්වරට දූෂණයට ලක්වන විට අවුරුදු 21ක තරුණියක්. ඇයට සිය සොහොයුරන් වගේම ඇස් දෙක වගේ රැකබලාගත්තු අම්මා අයි.එස් ත්‍රස්තවාදීන්ගේ හිත්පිත් නැති තීරණ මත අහිමි වෙනවා. මෙය ඕනෑම මිනිස් හිතක් කම්පනය කරවන සිදුවීමක්.

නාදියාගේ චරිතයේ සුවිශේෂ ලක්ෂණය වන්නේ මේ සියලු තාඩන පීඩන මැද්දේ දැඩි සිතින් වධ විඳදරාගෙන ඉදිරියට යෑමයි. සාමාන්‍යයෙන් සමූහ දූෂණයට ලක්වෙන අප වගේ රටවල තරුණියක් නම් සමාජයෙන් කොන් වෙනවා. නැත්නම් දිවි නසාගන්නවා. ඒ හැරෙන්නට තමා මුහුණ පෑ අසාධාරණයට එරෙහිව නැගී සිටින්නට හයියක් කාගෙන්වත් ලැබෙන්නෙ නෑ.

ඉරාකය වැනි මැදපෙරදිග කලාපයේ රටවල තරැණියන්ට තද හිතක් තියෙන්න පුළුවන් කාරණය නාදියාගෙන් ඔප්පු වෙනවා. යුද්ධ, අස්ථාවරභාවය වැනි හේතු නිසාම ජීවිතයට මුහුණදීමේදී හිතේ යම් දැඩි බවක් ඔවුන් තුළ ඇතිවූවා විය හැකියි.

මෙම කෘතිය යසිඩි ඇදහීම් සහිත නාදියා මුරාද් සංසිද්ධීන් මුල්කරගෙන ලියැවුණක්. ඔබ පොත පරිවර්තනයට පෙර යසිඩි ඇදහීම් ගැන අධ්‍යයනය කළාද?

ඔව්. මාත් යසිඩි ලබ්ධිකයන් ගැන මුල්වරට දැනගත්තේ ද ලාස්ට් ගර්ල් තුළින්. මොවුන් ආගමික ඇදහීමක් මත යසිඩි ලෙසින් හඳුන්වනවාත් සමඟම වෙනම ජන සමාජයක් ලෙසිනුත් අනන්‍යතාවය ලබනවා. මෙම පිරිස මුස්ලිම් ජාතිකයන් ලෙසින් සලකන්න බෑ. ඔවුන් ඉස්ලාම් ආගම ප්‍රතික්ෂේප කරනවා. ඒවගේම කතා කරන්නෙත් අරාබි නෙවේ. කුර්දි උප භාෂාවක්.

යසිඩින් අදහන්නේ තසුයි මෙලෙක් කියලා දෙවි කෙනෙක්. ඔවුන්ගේ වන්දනීය සංකේතය මොණරා. මොවුන්ව මේ නිසා අයි.එස් ත්‍රස්තවාදීන් විසින් හඳුන්වන්නේ මිත්‍යාදෘෂ්ටිකයන් ලෙසින්.

ඇත්තටම ද ලාස්ට් ගර්ල් හි සිද්ධි මාලාව ගොඩනගාගත්තේ යසිඩි ලබ්ධිකයන් මුල්කරගෙන. එම නිසා මොවුන් කවුද කියලා සොයා යෑමේ අවශ්‍යතාව මටත් ඇතිවුණා. අන්තර්ජාලය ඔස්සේ සොයා බලා යම් වැටහීමක් ලබාගන්න මට පුළුවන් වුණා.

අද බහුලව පිටවෙන පරිවර්තන දෙස බලනවිට පේන්නේ පරිවර්තකයාට ඒ ලේඛකයා ගැන හෝ කතාවේ පසුබිම ගැන අවබෝධයක් නැති බවයි. මේ පොත් ඔබට නිරීක්ෂණය වුණාද?

රහස් පරීක්ෂක කතා, අද්භූත කතා වැනි ඉංග්‍රීසියෙන් ජනප්‍රිය වූ කතා මාලා පොත් පිංචවල් ලෙසින් දිගින් දිගට පරිවර්තනය වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ඒවා හුදෙක් සාමාන්‍ය පාඨකයාගේ ඉල්ලුමට සැපයුමක්. තවත් පැත්තකින් රාජකාරි මට්ටමෙන් පැවරැම් ලෙසින් බාරගෙන ඇතැම් පොත් පරිවර්තනය කරදෙන ලේඛකයනුත් ඉන්නවා.

පරිවර්තනවලට ඉල්ලුමක් ඇති නිසා අද එය ජාවාරමක් බවට පත්වෙලා වගේ. පොතක් බලාගෙන මොනවාහරි ලියලා පරිවර්තන ලෙසින් පළකරන බවත් පේනවා.

කිසිම වගකීමකින් තොරව කෙරෙන පරිවර්තන ගැන බොහෝවිට අසන්නට ලැබෙනවා. ආවාට ගියාට පරිවර්තන කරන්න යෑමෙන් පාඨකයා අතරමං වෙන අතර කල්යෑමේදී පරිවර්තකයාට යනඑන මං නැති වෙනවා.

ඉංග්‍රීසි දත් පමණින් පරිවර්තන කරන්න බෑ. අවබෝධ කරගැනීමේ ශක්තිය හා සිංහල බස හොඳින් හැසිරවීමේ ගුණය අනිවර්යයි. තමන්ට විඳගන්න බැරි තමන්ගේ හිත් නොගත් කතාවක් කොහෙත්ම හොඳ පරිවර්තනයකට පෙරළන්න බෑ.

ඉල්ලුමට සැපයුමේ න්‍යායයෙන් කලබලේට මේ වැඩේ කරන්නත් බෑ. අප සැමවිටම මුල් කෘතියට සාධාරණය ඉටුකළ යුතුයි. ඊට පක්ෂපාත විය යුතුයි.

මුල් කෘතියේ තමාට නොවැටහෙන හෝ සිත් නොගත් කොටස් ඉවත් කර පරිවර්තනය කරන ඇතැම් ලේඛක ලේඛිකාවන් ඉන්නවා. එසේ කිරීම එක් අතකින් පාඨකයා රැවටීමක්.

හොඳ කතාවක් ඇතැම්විට අපට ගැලපෙන ලෙස අනුවර්තනය කරන්න පුළුවන්. ඒත් පරිවර්තනයක් නම් එය මුල් කෘතියේ ස්වරූපය ගත යුතුයි.

තරුණ පෙළ පරිවර්තන කියවීමට වැඩි කැමැත්තක් දක්වන්නේ දේශීය නිර්මාණ සාහිත්‍ය එතරම් වර්ධනය වී නැති නිසා නේද?

අප රටේ ප්‍රසිද්ධ පිළිගත් සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සව කීපයක්ම තියෙනවා. බලන්න ඒවායේදී හොඳම කෘති ලෙස තේරෙන විශේෂයෙන්ම නවකතා දෙස. ඒ කෘති බොහොමයක් වස්තු විෂය, ආකෘතිය, භාෂා භාවිතය, ශිල්පීය පක්ෂය අතින් සුවිශේෂ බවක් පෙන්වන්නේ නැහැ.

යටත් පිරිසෙයින් තිස් අවුරුදු යුද්ධයක් තිබුණු රටක, තරුණ කැරලි තිබුණු රටක ඒ දේවල් නවකතාවකට පාදක වී නෑ.

එදා අපි තෝල්ස්තෝයි, ඩස්ටවුස්කි, චෙකෝව්, හෙමිංවේ, කැමූ, කෆ්කා වැනි ලෝක ප්‍රකට ලේඛකයන්ගේ නිර්මාණ කියෙව්වා. අද ඒ තැනට මාකේස්, මුරකවි, කොයියෝ, පමුක් වැනි ලතින් අමෙරිකානු, ජපාන, තුර්කි වැනි විවිධ රටවල නවකතාකරැවෝ එක්වෙලා තියෙනවා. මේ සංස්කෘතික පසුබිම විවිධත්වයක් ගෙන දෙනවා. වස්තු විෂයයන් වෙනස්.

ඒ වගේම මේ නිර්මාණකරැවන්ගේ පොත් රැසක් සිංහලට පරිවර්තනය වී තිබීම නිසා පාඨකයන්ටත් අපූර්ව වින්දනයක් ලබාගැනීමට අවස්ථාව පෑදිලා තිබෙනවා.

ඉදිරියේදී නිර්මාණ සාහිත්‍ය කෘති පරිවර්තනයට අත ගසන්න බලාපොරොත්තු වෙනවද?

මා මුලින්ම පරිවර්තනය කළ ජිම් ෂෙපර්ඩ්ගේ ඒරන්ගේ ලෝකය සැබැවින්ම නවකතා නිර්මාණයක්. ඔහු නිර්මාණාත්මක ලේඛනය පිළිබඳ කථිකාචාර්යවරයෙක්. එය නව නිර්මාණයක් ලෙසින් කෙනකුට එක්වරම නොතේරෙන්නේ දෙවැනි ලෝක යුද්ධය පසුබිම් කරගත් නවකතාවක් නිසා වෙන්න ඇති.

කෙසේ හෝ අලුත් පරිවර්තනය සඳහා නවකතා නිර්මාණයක් තෝරාගැනීමට තමයි අදහස් කරන්නේ.

 කුසුම්සිරි

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30