2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

ඕයේ ඔජායේ.. මැල්කම් මචාඩෝ.. ඕයේ ඔජායේ... මැල්කම් මචාඩෝ...

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:31 617

අපි රේඩියෝ අහන කාලේ හෙවත් ගුවන්විදුලියට සවන් දෙන සමයේ අපේ සංගීත රසවින්දනය දියුණු කරන නොයෙක් වැඩසටහන් එයින් ප්‍රචාරය වූයේය. ඉරිදා දවස්වල උදේ 7.30 – 8.00 දක්වා පළමුවැනි සේවයේ ප්‍රචාරය වූ ඉරිදා සංග්‍රහය නම් වැඩසටහන එයින් වඩාත්ම කැපීපෙනුණු එකකි. එම වැඩසටහන මෙහෙයවමින් නිවේදන කටයුතු කළේ එච්.එම්. ගුණසේකර මහතාය. විශ්ව සංගීතය පිළිබඳවත්, දේශීය සංගීත නිර්මාණ පිළිබඳවත් පෘථුල දැනුමක් තිබූ එතුමා සාහිත්‍ය නාට්‍ය, ලෝක සිනමාව සම්බන්ධයෙන් තිබූ සිය කෘතහස්ත වින්දනයත් දැනුමත් ශ්‍රාවකයාගේ හිතසුව පිණිස එම වැඩසටහනින් මුදා හළේය.

වරෙක එයින් සුනිල් සාන්ත හෝ අමරදේවගේ ගීයක් පිළිබඳ අලුත් හඳුන්වා දීමකින් එම සංගීතඥයන්ගේ ගීත ඉදිරිපත් කෙරිණි. තවත් වරෙක බීට්ල්ස් සංගීත කණ්ඩායම පිළිබඳ කෙටි සටහනක් තබා බීට්ල්ස්ලා රවි ශංකර් සමඟ කළ නිර්මාණ ඉදිරිපත් කළේය. තවත් වරෙක යුනෙස්කෝවෙන් රැස්කර ගත් විවිධ රටවල නිර්මාණ අප හමුවේ තැබුවේය. කැලිප්සෝ සංගීතය සම්බන්ධයෙන් විවිධ විස්තර කළ එච්.එම්. ගුණසේකර මයා බොහෝ විට සැරිවෙලා ෆොන්ටේගේ ගීත ප්‍රචාරය කළේය. තවත් විටෙක අප්‍රිකානු සංගීතය හඳුන්වා දෙමින් මිරියම් මකීබාගේ ගීතවලට අප හුරු කළේය. දකුණු අප්‍රිකානු ගායිකාවක වන මිරියම් මකීබා (Miriam Makeba) ගීත රචිකාවියක හා නිළියක ද වූවාය. Mama Africa යන නාමයෙන් හැඳින්වූ ඇය වරෙක අප්‍රිකානු හඬ ලෙස ද නම් කෙරිණි. අපාර්තයිඩ් වර්ණ ප්‍රතිපත්තිය හා එවකට සුදු ජාතික සුළුතර ආධිපත්‍යයට එරෙහිව ඇය සමාජ ක්‍රියාකාරකම්වල නිරත වූවාය. ඇය 2008 දී ඉතාලියේ දී මිය ගියාය.

මිරියම් බකීබා හැරී බෙලා ෆොන්ටේ සමඟ එක්ව ගීත රාශියක් ගායනා කළාය. 1960 ගණන්වල ගායනා කළ එම ගීත අපට ගී රසවින්දනයට එහා ගිය වින්දනයකුත් රසයකුත් ලබා දෙයි. (මලායිකා) නම් ටැන්සානියානු ගීතයේ ඇය තනිව ගායනා කරන ගීයක් සහ හැරී බෙලා ෆොන්ටේ සමඟ ගායනා කරන ගීයක් ටියුබ්හි ඇත. මලායිකා ගීතය පසුකාලීනව බොනි M සංගීත කණ්ඩායම විසින් ද ගායනා කරනු ලැබුවේය. ස්වාලේ බසින් ගයන මලායිකා ගීතයේ මුල් පදයේ අරුත I love you my Angel යන්නයි. පසුගිය දිනක මම මුහුණුපොතේ මගේ මිතුරන් අතරේ, හැරී බෙලා ෆොන්ටේ සහ මිරියම් මකීබා ගයන බාමොට්ස්වෙරී ගීතයත්, මලායිකා ගීතයේ ගීතයත් ප්‍රචාරය කර හැරියෙමි. ඊට මුලින්ම ප්‍රතිචාර ලැබුණේ මගේ මිත්‍ර මැල්කම් මචාඩෝ වෙතිනි. මාබොට්ස්වෙරී ගීතයට එම්.එස්. ගේ පුත් සරත් ප්‍රනාන්දු ද ආසකොට තිබුණේය. මැල්කම් මචාඩෝ (මලායිකා) ගීතය පෙරළා සියලු මිතුරන් අතරේ නැවත බෙදාහැර තිබිණි.

මැල්කම් මචාඩෝ සමඟ මගේ ඇසුර අසූ ගණන් දක්වා දිව යන්නකි. මචාඩෝ අද වන විට වසර ගණනාවක අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකි. නිතර රූපවාහිනී තිරයේ පෙනී නොසිටියත්, ඔහු අතිදක්ෂ රංග ශිල්පියෙකි. ඔහු රඟපෑ නිර්මාණ කිහිපයෙන් ඒ බව පමණටත් වඩා මචාඩෝ සනාථ කර තිබේ. මචාඩෝගේ ඇසුර සමඟ මතකයන් රාශියක් කරා මගේ සිත දිව යයි. එම මතකයන්ගෙන් 99%කටත් වඩා අතිශය සොඳුරැ මතකයන්ය. වරෙක ඔහු තුවාල ලබා රෝහල්ගත වීම නම් සුන්දර මතකයක් නොවේ.

(මැල්කම් මචාඩෝ)ගේ නමේ ඇත්තේ අමුතු ශබ්ද රසයකි. ඒ ශබ්ද රසය අල්ලාගත් කුඩා දරුවෙක්, ජිප්සීස්ලා 1988-89 කාලයේ මුලින්ම ගායනා කළ “ඕයේ ඔජායේ” තාලයට (මැල්කම් මචාඩෝ මැල්කම් මචාඩෝ) යනුවෙන් ගායනා කළේලු. මතකයේ හැටියට ඔජායේ තාලයට මැල්කම් මචාඩෝගේ නම එදා ගායනා කළේ රංගන ශිල්පී ජය ශ්‍රී චන්ද්‍රජිත්ගේ කුඩා පුතාය.

නීති පීඨයේ සිටි මැල්කම් මචාඩෝගේ නම මට මුලින්ම ඇසෙන්නට ගත්තේ මගේ තුන්වැනි වසරේදීය. 1984 කොළඹ විශ්වවිද්‍යාලයේ වින්දන කලා කේන්ද්‍රය සංවිධානය කළ කලා උළෙල උදෙසා මම (සීමා) නමින් එම වසරේ මාර්තුවේදී කෙටි නාට්‍යයක් ඉදිරිපත් කළෙමි. නීති පීඨයෙන් ද එම උළෙලට නාට්‍යයක් ඉදිරිපත් කොට තිබුණේය. පැහැදිලි කටහඬකින් ප්‍රාණවත් චරිතයක් ඉදිරිපත් කළ නළුවෙක් නීති පීඨයෙන් ආ නාට්‍යයේ කැපී පෙනුණේය. එවකට නීති පීඨයේ සිට වැඩි දෙනෙක් ඔහුව නමින් හඳුනාගෙන නොසිටියහ. නාට්‍ය උළෙල විනිශ්චය කළේ නාට්‍ය ශිල්පී ඩග්ලස් සිරිවර්ධන හා ආචාර්ය අනුර වික්‍රමසිංහ ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් විසිනි. නාට්‍ය උළෙලේ හොඳම නිෂ්පාදනය හා රචනය මගේ (සීමා) නාට්‍යයට හිමි විය. තරගය පැවති දා එම විනිශ්චය නිවේදනය කළේ නීතිඥ ඩග්ලස් සිරිවර්ධනයි. මට රඟපෑම උදෙසා කුසලතා සම්මානයක් ද හිමිව තිබිණි. හොඳම නළුවා ලෙස නිවේදනය කරනු ලැබුවේ, “මැල්කම් මචාඩෝ” යන නමයි. තරගය අවසානයේ රංග භාණ්ඩ හා වේදිකා පසුතල, රංග වස්ත්‍ර පිළිවෙළට අස්කර ගැනීමද කරන්නට සිදු වූ නිසා එදා මට මැල්කම්ට සුබ පතන්නට නොහැකි විය. කටයුතු නිමාකර මැල්කම්ව සොයන විට ඔහු NAT ශාලාවෙන් නික්ම ගොසිනි. පසු දිනෙක අප දෙදෙනා එකිනෙකා හමුවී දෙදෙනාට සුබ පතා ගතිමු. 

සීමා නාට්‍යයේ මා සමඟ රඟපෑවේ (වර්තමාන ඉඩම් අමාත්‍යාංශ ලේකම්) ඩබ්ලිව්.එච්. කරුණාරත්න සහ රංජිත් බෝපිටියයි. බෝපිටිය ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති නිර්මාණය කිරීමේ අති දක්ෂයෙකි. බෝපිටිය විවාපත් වූයේ බෙන්තර ඇල්පිටිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඇල්බට් කාරියවසම් මහතාගේ දියණිය වූ තරංගා සමඟයි. ඇල්බට් කාරියවසම් මැතිනියගේ නික්ම යාම සිදු වූ මෑත දිනක මට තරංගා හා බෝපිටිය සමඟ ශෝකය බෙදාගැනීමට හැකි වූයේය. සීමා නාට්‍ය දෙවැනි වරට රංගගත කළ දා (දැනට මහනුවර අතිරේක දිසාපති) ජනක රණේපුර ද එහි කෙටි චරිතයකට පණ දුන්නේය. සීමා නාට්‍යයට විනිශ්චය ලැබුණු දා සව්දිය පුරන්නට, එම වසරේ ජූනි 21 පොලිස් වෙඩි පහරින් මියගිය රෝහණ රත්නායක ද එක්ව සිටියේය. වෙඩි වැදුණු රෝහණ රත්නායක අවසන් හුස්ම හෙළුවේ රංජිත් බෝපිටියගේ දෑතේය. “මචං මම ඉවරයි” ඔහු අවසන් වරට කියා තිබුණේ එම වචනයි.

එකිනෙකට සුබ පතාගත් දා පටන් මචාඩෝ සහ මා සම අදහස් දරන මිතුරන් ගණයට වැටුණෙමු. නාට්‍ය කලාව ගැන බොහෝ අදහස් හුවමාරු කරගත් අපි, එම වසරේ නීතිඥ ඩග්ලස් සිරිවර්ධනගේ මූලිකත්වයෙන් ඇරැඹි සෝවියට් මිත්‍රත්ව සංගමයේ නාට්‍ය වැඩමුළුවට ඇතුළත් වීමු. (මචාඩෝට අමතරව එම වැඩමුළුවට බෝපිටිය හා ඩබ්ලිව්.එච්. කරුණාරත්න ද සහභාගි වූවෝය.) පරාක්‍රම නිරිඇල්ල සහ එච්.ඒ. පෙරේරා ද එම නාට්‍ය වැඩමුළුවේ ගුරුවරු වූහ. ඉන්පසුව අපි ආගමක් අදහන්නා සේ නාට්‍ය කලාව ඉගෙන ගන්නට වෑයම් කළෙමු. වාණිජ නාට්‍යවලට මුදලට රඟපාන්නට කළ ආරාධනා බොහෝමයක් මචාඩෝ ප්‍රතික්ෂේප කළේය. සරසවියේ විවේකයක් ඇති බොහෝ අවස්ථාවල මචාඩෝ සමඟ මා මුණගැසුණේ එවකට ශිෂ්‍ය කේන්ද්‍රස්ථානයේ තිබුණු සංගීත කාමරයේදීය. සංගීත කාමරයේ තබ්ලා, සිතාර, සර්පිනා ඇතුළු සංගීත භාණ්ඩ අපි දන්නා තරමින් වාදනය කරමින් විවිධ ගී ගැයුවෙමු. “රාළේ බැඳපන් කිරි පුස්සා” එකල අප බෙහෝ දෙනා ප්‍රිය කළ නාට්‍ය ගීතයකි. පරාක්‍රම නිරිඇල්ලගේ සෙක්කුව වේදිකා නාට්‍යයේ ආ එම ගීතය, මාරුවෙන් මාරුවට සම්ප්‍රදායික පක්ෂ දෙක අප රට පාලනය කරන ආකාරය දෙස උපහාසයෙන් බලා ලියූවකි. වැඩි කල් යන්නට මත්තෙන් අප නුහුරට වාදනය කළ සංගීත කාමරයේ සියලු භාණ්ඩ අලුත්වැඩියා කරන්නට සිදු විය. සංගීතයේ ස්වර හතක් ඇති බව පමණක් දැන සිටි අපේ සංගීත සංගමයේ සභාපතිවරයා වූයේ රංජිත් බෝපිටියයි. සියලු භාණ්ඩ බෝපිටිය විසින් අලුත්වැඩියා කොට සංගීත කාමරයට නැවත රුගෙන ආ පසු අලුත කිරි කිරියේ බැබලුණු එම භාණ්ඩවලට අත තබන්නට අපි මැලි වූයෙමු.

අශෝක හඳගම යනු මචාඩෝගේ පාසල් සමයේ පටන් මිතුරෙකි. මචාඩෝ ගියේ කෑගල්ලේ ශාන්ත මරියා විද්‍යාලයටයි. හඳගම ගියේ කෑගලු විද්‍යාලයටයි. මචාඩෝ හරහා මම අශෝක හඳගම හඳුනා ගත්තෙමි. 1984 වසරේ අශෝක හඳගම නිර්මාණය කළ “භූමිකා” නාට්‍ය කැලණිය විශ්වවිද්‍යාලයේ නිෂ්පාදනය වෙද්දී මමත් මචාඩෝත් කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඊට දායක වීමු. එහි එක් චරිතයක් රඟපෑ සේන නානායක්කාර දැන් රජරට විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදනය පිළිබඳ මහාචාර්යවරයාය. නාට්‍යයේ පුහුණුවීම් අප කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ පොල්වත්ත යනුවෙන් නම් කළ දේශන ශාලාවලයි. එම නාට්‍යයේ මගේ දියණිය ලෙස රඟපෑ මාලි ජයවීරගේ වාසය කළේ කැලණි විශ්වවිද්‍යාලය සමීපයේය. ඇය බොහෝ විට තැම්බූ දෙල්, ලුණුමිරිස් සමඟ කෙසෙල් කොළවල ඔතා රැගෙන ආවාය. විටෙක ඇය මඤ්ඤොක්කා තම්බාගෙන පැමිණේ. එකම පාර්සලය වටා වටවී (මාලි) ගෙන ආ දේ අපි ආසාවෙන් රසවිඳ ගතිමු.

කෑගලු විද්‍යාලයේ (භූමිකා) නාට්‍ය පෙන්වන්නට දින දෙකක් තියා පැවති ශිෂ්‍ය අරගලයකදී මචාඩෝගේ උරහිස තුවාල වී ඔහු රෝහල්ගත කරනු ලැබුවේය. මචාඩෝ සුවය ලබන්නට බොහෝ කල් ගත විය. කෑගලු විද්‍යාලයේ පැවති (භූමිකා) නාට්‍ය දර්ශනයේදී මචාඩෝ රඟපෑ සොල්දාදුවාගේ චරිතය රඟපෑවේ ද අශෝක හඳගමයි.

මචාඩෝ පසුකාලීනව හඳගමගේ දුන්හිඳ අද්දර සහ දියකැට පහන යන ටෙලි නිර්මාණවල රඟපා තබා විශිෂ්ට රංගධරයෙක් වග සනාථ කළේය. 1993 වසරේ දී කෑගල්ලේ ශාන්ත මරියා විද්‍යාලයේ පැවති රංගන වැඩමුළුවක දිනයක් මෙහෙයවන ලෙස මචාඩෝ මට ආරාධනා කළේය. එවකට නව යොවුන් වියේ පසු වූ, මොරටුවේ වාසය කළ රුක්මල් නිරෝෂ් ද ඊට සහභාගි වූයේය. එවකට ඔහු හඳගමගේ දුන්හිඳ අද්දර නිර්මාණයට දායක වී හමාරය. ජීවිතයේ හමුවුණු වඩාත් සුන්දර මිනිසකු වූ වෛද්‍ය විල්සන් පීරිස් මට මුල්වරට මුණගැසුණේ එම වැඩමුළුවට සහභාගි වී සිටි අවස්ථාවේය. ඔහු එවකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ වෛද්‍ය ශිෂ්‍යයෙකි. දැන් ඔහු නමක් දිනා ඉන්නා දක්ෂ මානව හිතවාදී වෛද්‍යවරයෙකි. ඔහු (ලිඛර්-බා) නමින් සාර්ථක නාට්‍ය නිර්මාණයක් ද කළේය. ඔහු මුහුණුපොතේ ඉන්නා රසවින්දනය අතින් ඉහළටම වැජඹෙන මගේ මිත්‍රයෙකි.

එවකට මචාඩෝ පදිංචිව සිටියේ ඔහුගේ මහගෙදර පිහිටි කෑගල්ලේ මීපිටියේය. එහි ලිපිනය 641 බව මට තවම මතක ඇත්තේ අපි ඒ කාලයේ ජංගම දුරකතන වෙනුවට කළේ ලිපි ලිවීම බැවින්ය. මචාඩෝගේ මහගෙදර පිටුපස ගලින් නිර්මාණය වූ සීතල දිය පොකුණක් තිබිණි. එවකට ශ්‍රී ලංකාවේ නාට්‍ය ක්ෂේත්‍රයේ උන් බොහෝ දෙනකු එම දිය පොකුණේ නාගෙන තිබුණේය. කොළඹ නුවර පාරේ අද්දර මීපිටියේ පිහිටි මචාඩෝලාගේ ගෙදර නිතර සැම වෙත ආගන්තුක සත්කාරය පිණිස සූදානම්ව තිබුණු නිවසෙකි.

දැන් මචාඩෝ අලුත් ගේ තනා ඇත්තේ කෑගල්ලට විනාඩි 5-10ක දුරකය. එය සරල නිර්මාණ ශිල්ප දස්කම් විදහාපාන සොඳුරු නිවහනකි. අප කෑගල්ලේ කුමන හෝ නාට්‍ය දර්ශනයකට ගිය බොහෝ වාරවල රාත්‍රී ආහාර සංග්‍රහය පිණිස මචාඩෝ සිය නිවෙසට අපව කැඳවා ගියේය.

දැනුදු ගොවිජන සංවර්ධන පනතට අදාළ නඩුවක කටයුතු කරන විට ඔහු මා හා දුරකතනයෙන් සංවාදයේ යෙදේ. එසේ කරනුයේ ඔහු එම පනත හොඳ හැටි නොදන්නා නිසා නොවේ. අප අත්දැකීම් බෙදාගෙන පුරුදු අය නිසාය. 
මා මුහුණුපොතේ share කළ මලායිකා ගීතය, මචාඩෝ එකවර ග්‍රහණය කර ගත්තේ ඔහුගේ විශිෂ්ට රසවින්දන ශක්තිය නිසාය. මගේ හද ගැහෙන සංගීත රිද්මය, කලාවේ රිද්මය, වසර 35කට පෙර මෙන්ම අද ද ඔහු හොඳහැටි හඳුනයි. කෙතරම් උසස් රස වින්දනයක් දැරුවත් ඉස්සර අප නාට්‍ය දර්ශන සඳහා බස් රථයේ යන විට වාද බයිලා කියන්නට කතා කරන්නේ මචාඩෝටය. ඔහුගේ වාද බයිලා මට තවම මතකය.

යකඩ තලන කම්මල මේ
ළඟම තියෙනවා
කියපු බයිලා කිව්වොත් තොගෙ
හොක්ක තලනවා
නව ආරකට කවි ලියන අපේ මිතුරු ප්‍රියන්ත කොඩිප්පිලි, මැල්කාට ලියූ කවිය මට තවමත් මතකය.
වෙල්කම් කියා දොර ඇරියේ         හඳයාය
මල්කම් පිරුණු මූණක් නම්        නැතුවාය
ටැල්කම් පියරු නළු පැංචෝ        විසිවේය
මැල්කම් මචං ඩෝ උඹ ගති        නළුවාය

 සමන් පුෂ්ප ලියනගේ

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30