2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

මළසිරුරු දැක දැක ඇරඹුණු මගේ පළමු රස්සාව

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:31 147

ඉන්දීය සාම ගිවිසුම අත්සන් තැබීමත් සමඟ දකුණේ කලබල පැතිරෙන්නට ගත්තේය. ගාලු පාරේ ලයිට් කණු යකුළු පහර වැදී බිම පතිත විය. ඩිපෝවල බස් ගිනි ඇවිලෙන්නට පටන් ගත්තේය. ලේක් හවුස් පත්තර අලෙවිය පොලීසිය ඉදිරිපිටට සීමා විය. ‘87 ජූනි මාසයේ ඇරඹි කාලකෝලහල ’89 පසු වනතුරුම පැවතියේය. වරෙක රජයෙන් පැනවූ විධිමත් ඇඳිරි නීතියටත්, කැරළිකරුවන් පැනවූ අවිධිමත් ඇඳිරි නීතියටත් ජනයා අවනත වූයේ කැමැත්තකින් නොවේ.
මා රාජ්‍ය සේවයට බැඳෙද්දී සේවා ස්ථානවලට අනුයුක්ත කරන්නට පෙර දින දහයක පුහුණුව ලබද්දී රටේ පැවතියේ ඉහත කී වාතාවරණයයි. උතුරේ ඉන්දීය සාම සාධක හමුදා යළි සරසද්දී වරින් වර දකුණේ ප්‍රචණ්ඩ සිද්ධි හට ගැනුණේය. වඩාත් ප්‍රචණ්ඩ ක්‍රියා හටගැනුණේ මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලයි.

පුහුණුවෙන් අනතුරුව මගේ පළමු පත්වීම ලැබුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයටයි. අභියාචනාවක් ඉදිරිපත් කොට මගේ පත්වීම මාතර දිස්ත්‍රික්කයට වෙනස් කර ගතිමි. පත්වීම් ලිපියේ නියම කළ දිනයට සේවයට වාර්තා කරන්නට මට නොහැකි වූයේය. එදා අවිධිමත් ඇඳිරි නීතිය පැවති දිනයකි. කඩ විවෘත කිරීම තහනම් වග අතින් භාරදුන් ලියුම් කැබැල්ලකින් කඩහිමියන්ට දැනුම් දී තිබිණි. පාරවල් පාළු වූයේය. බස් නැති නිසා මට මාතර දිස්ත්‍රික් කාර්යාලයට වාර්තා කරන්නට නොහැකි විය.

මම පසුදා මාතර දිස්ත්‍රික් කාර්යාලයට වාර්තා කළෙමි. “ඊයෙ office එක ඇරලද තිබුණෙ?” මම මගේ අලුත් දිස්ත්‍රික් ප්‍රධානියාගෙන් ඇසුවෙමි. “ඇරලා, වහලා තමයි.” ඔහු පිළිතුරු දුන්නේය. ඒ දෙගිඬියාව ඒ දිනවල බොහෝ අය තුළ තිබුණු එකකි. මා කැරලිකරුවන්ට සහයෝගය දෙන්නකු ද යන්න මගේ අලුත් සේවා ප්‍රධානියා තුළ සැකයක් මතු වූයේ නම් එය ද සාධාරණය.

මාතර දිස්ත්‍රික් කාර්යාලයෙන් මා අනුයුක්ත කරනු ලැබූයේ හක්මන මැතිවරණ කොට්ඨාසයට අයත් පස්ගොඩ ප්‍රදේශයටයි. පස්ගොඩ පිහිටා ඇත්තේ මාතර සිට ඌරුබොක්ක කරා යන මාර්ගයේ මාතර සිට සැතපුම් 30 ක් පමණ ඈතිනි. ඒ දිනවල එම මාර්ගයේ ධාවනය වූයේ මුලටියන ඩිපෝවේ, ලංගම බස් රථ පමණකි. තිහගොඩ, කඹුරුපිටිය, මාකඳුර, මාවරල යන ප්‍රදේශ පසු කරමින් මාතර සිට පස්ගොඩට යන ගමන එකල මාතර සිට කොළඹට එන ගමනට වඩා අසීරු ගමනක් විය.

මාතර සිට පානදුරට පැය 4කින් බස් රථය පැමිණි නමුත් මාතර සිට පස්ගොඩට යන්නට එකල පැය තුනකටත් වඩා ගත වූයේය. දැන් කාලයේ මෙන් එකල එම පාරේ කාපට් දමා නොතිබිණි. මාතර සිට මුලටියනට යන ඌරුබොක්ක බස් රථය මුලටියන ඩිපෝවේ බොහෝ වේලාවක් නතර වෙයි. ඇතැම් විට හරියටම මුලටියන ඩිපෝවේදී බස් රථය අලුත්වැඩියා කළ යුතු වෙයි. එම නිසා මාතර සිට පස්ගොඩට යන්නට ඇතැම් විට පැය 5 ක් පමණ ගත වූයේය. එම මාර්ගය වංගු සහිත වූයෙන් ගමන යන අතරතුර බොහෝ අය බස් රථයේ ජනේලයෙන් හිස එළියට යොමා වමනය දැමූහ.

මාවරල ප්‍රදේශයේ කඩහිමියකුගේ නිවෙසක බෝඩින් කාමරයක මම නතර වීමි. මා සමඟ රාජ්‍ය අංශයේ නිලධාරීන් දෙතුන් දෙනෙක් ද එම කාමරයේ නතර වී සිටියහ. තේවතු සහිත කඳුවලින් සමන්විත එම ප්‍රදේශයේ පහත් බිම්වල වී වගාව සිදු විය. ඉතා සුන්දර පරිසරයක් වුවද එහි ජනයා එකල ගෙවූයේ අතිශය දුෂ්කර ජීවිතයකි. මාර්ග සම්බන්ධතා ඉහත කී තරම් දුෂ්කර වූ අතර දුරකතන සන්නිවේදන සම්බන්ධතා එකල නැති තරම්ය. කරවල, පරිප්පු, සහල් ආදිය ලොරිවලින් ප්‍රවාහනය වෙද්දී කඩහිමියෝ ඒවා මිලට ගත්හ. එම ප්‍රදේශයට වියළි ආහාර, ඌරුබොක්ක පැත්තෙන් හෝ මාතර පැත්තෙන් එන ලොරිවලින් ප්‍රවාහනය කරනු ලැබීය.

දින දෙක තුනක් එකදිගට නිල නොවන ඇඳිරි නීතිය පැවති විට ආහාර ප්‍රවාහනය ඇණහිටී. කඩවල් හිස් වෙයි. ජනයාට කුසගින්නේ හිඳින්නට සිදුවෙයි.

ක්ෂේත්‍ර නිලධාරීන් අට දෙනෙක් හා ලිපිකරුවෙක් මගේ අධීක්ෂණය යටතේ රාජකාරි කළහ. ඔවුන් එම ප්‍රදේශයේ පදිංචි අයයි. තැන තැන සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් සැවොම වැඩට පැමිණියේ බියක් හිතේ රඳවාගෙනය. “එහෙ වැඩ කරන්න බය නැද්ද?” මාතර නගරය සමීපයේ අයත්, කොළඹ උදවියත් මගෙන් ඇසුවෝය.

මගේ කාර්යාලයේ සේවය කළ අය එකිනෙකා කෙරේ දැඩි හිතවත්ව සහ සුහදව රාජකාරි කළ අයයි. ක්ෂේත්‍ර නිලධාරීන් සියලු දෙනා ආණ්ඩු පක්ෂයට හිතවත් අය ලෙස හංවඩු වැදී තිබිණි. ලිපිකරුවා කැරළිකාර කණ්ඩායම්වලට හිතවත් අයකු බව ගමේ අය දැනගෙන සිටියහ. ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් එක් අයෙක් මට කාරුණිකව අවවාද කළේය. ඔහු මට වඩා වැඩිහිටියෙකි. “සර් මේ පැත්තෙ වාතාවරණෙ ඒ තරං හොඳ නෑ. පුළුවන් නං ලොකු මහත්තයට කියල මාතර අත්සන් කරලා එහෙ වැඩ කරන්න.” ඔහුගේ සැබෑ නම මම හෙළි නොකරමි. අපි ඔහුට ගුණදාස යැයි කියමු.

ටිකෙන් ටික රටේ භීතිය උත්සන්න වූයේය. සති අන්තයේ මාතර සිට එද්දීත් ඉරිදා හවස මාතරට යද්දීත් ගාල්ල, බලපිටිය හරියේදී බිල්ලන් ඉදිරියෙන් යන්නට අපට සිදු විය. ඉඳහිට බස් රථයේ පැමිණි කෙනකුට ඔළුව සෙලවූ බිල්ලන් නිසා මඟ නතර වන්නට සිදු වූයේය.

තැන තැන ටයර් සෑය දැවෙන්නට ගත්තේය. පානදුර සිට පස්ගොඩට යන අතරමග එක් දිනක් මිනී 17 ක් දකින්නට තිබිණි. පානදුර ජුබිලි පාරේ ගාලු පාරට මඳක් ඈතින් ටයර් සෑය සමඟ පිළිස්සුණු මිනිය එදා උදේම දැකගතිමි.

රන්සෑගොඩ හන්දියේ බාගෙට පිළිස්සුණු මිනී හත අටක්ම තිබිණි. දවස් තුන හතරක් යනතුරු ඒවා අස්කර තිබුණේද නැත. පොත් මිටියක් අතින් ගත් සුදු ගවුම ඇඳගත් බාලිකාවක් මිනියක් උඩින් පනිනවා මම රන්සෑගොඩ දී දුටුවෙමි.

මට මාතර සේවයට වාර්තා කරන්නට අවවාද කළ ගුණදාසගේ ගෙල කපා පාරේ දමා තිබුණේ ඔහු රජයට හිතවත් අයකු නිසා විය යුතුය. ඔහුගේ මරණය (ඝාතනය) පුවත්පතක මුල් පිටේ පළවූයේ ඔහුගේ සම්පූර්ණ නමත්, තනතුරත් සහිතවයි.
රජයට හිතවත් අය එසේ ඝාතනය වෙද්දී කැරලිකාර කණ්ඩායම්වලට සම්බන්ධ බවට සැක කෙරෙන උදවිය තැන තැන අතුරුදහන් වූහ. මාගේ කාර්යාලයේ ලිපිකරුගේ (අපි ඔහුට නන්දන යැයි කියමු. ඔහුගේ සැබෑ නම වෙනත් එකකි.) මළසිරුර ඒ පැත්තේ ගඟක තිබී හමුවිය. නන්දන නිවෙසින් පැහැරගෙන ගිය හැටි ඔහුගේ බිරිඳ ප්‍රදේශවාසීන්ට කියා තිබිණි.

රාත්‍රියේ මැදියම තම නිවෙස දෙසට පිරිසක් එන හඬ ඇසී නන්දන නිවෙසේ නොපෙනෙන තැනක සැඟවුණේලු. පැමිණි ආයුධ රැගත් පිරිස නන්දන කොහිදැයි ඔහුගේ බිරිඳගෙන් විමසා තිබේ. ඔහු ඉන්නා තැනක් නොදන්නා බව බිරිඳ කී විට පැමිණි පිරිසෙන් අයෙක් ඇයගේ කෙහෙවල්ලෙන් අල්ලා හිරිහැර කළ බව ඈ කීවාය. ඇයට හිරිහැර කරන්නට නොදී නන්දන ඉදිරියට ආවේය. ගඟේ තිබුණේ එදා නිවෙසින් නික්ම ගිය නන්දනගේ සිරුරයි.

මගේ දිස්ත්‍රික් ප්‍රධානියා පස්ගොඩ සේවයට නොයා මාකඳුර කාර්යාලයේ සේවයට වාර්තා කරන්නට මට අවසර දුන්නේය. ඊට ටික දිනකට පසු පස්ගොඩ පිහිටා තිබූ මගේ සේවාස්ථානය ගින්නට හසුවී දැවී ගිය බිත්ති ඉතිරි වී තිබිණි. කාර්යාලය ගිනි තැබීමට අදාළ පැමිණිල්ල මම පොලීසියට ඉදිරිපත් කළෙමි.

මාකඳුරේ පූර්ණ සේවයට මා අනුයුක්ත කෙරිණි. ටික දිනකට පසු මාකඳුරේ කාර්යාල ගොඩනැගිල්ල ද ගිනි තබා විනාශ කොට එකම එක කාමරයක් ඉතිරි කර ගොස් තිබිණි. ඉන්පසු මගේ කාර්යාලය වූයේ ගිනිගෙන දැවී අඟුරු වී ගිය නටබුන් මැද්දේ තිබූ එම කාමරයයි. මාකඳුරේ සිට මාතර යෑම නම් පස්ගොඩ යෑම තරම් අසීරු නොවූයේ මුලටියන හා මාතර අතර පැයකට පමණ වරක් බස් රථයක් ධාවනය වූ නිසාය.

දිනක මාකඳුරෙන් බස් රථයට ගොඩවූ මම ටික දුරක් යන විට පසුපස ආසනයක මියගිය නන්දන සිටිනවා දුටිමි. මම නැවත නැවත ඔහු දෙස බැලුවෙමි. වෙනසක් පෙනෙන්නට තිබුණේ නැත. ඒ නන්දනමය. කිසිවිට හොල්මන් විශ්වාස නොකළ මට ඔහු මියගිය බවද හොඳින් තහවුරු වී තිබිණි. තිහගොඩ හරියේදී මම පසුපස ආසනයේ සිටි එම පුද්ගලයා ළඟට ගියෙමි. මම නන්දන ගැන ඔහුට කීවෙමි.

“මම එයාගෙ බාප්පගෙ පුතා” එම පුද්ගලයා මට කීවේය. මගේ කුතුහලය ඉන් නිමා විය.

උතුරේ මෙන් දකුණේ සිදු වූයේ සතුරු බලවේග එකිනෙකා ගැටීම නොවේ. එකිනෙකා රහසේ එකිනෙකා පැහැරගෙන මරා දැමීමයි. මුහුණට මුහුණලා කරන සටනක පවතින භීෂණය සටන නිමා වූ විට නවතී. එහෙත් සතුරැ බලවේග එකිනෙකා පැහැරගෙන රහසේ මරා දමා, ප්‍රසිද්ධියේ මළසිරැරැ ප්‍රදර්ශනය කිරීම ඊට වඩා භීතිය දනවන සුළු බව මට හැඟේ. එම භීතිය, එම කාලකණ්නි හැඟීම අපි තරැණ දිවියේ දී අත්විඳ ගත්තෙමු. අපේ තරුණ ජීවිතයෙන් ක් ගතවූයේ රටේ හදිසි නීතිය පවතිද්දීය.

මගේ කාර්යාලයේ සේවය කළ එකිනෙකට සතුරු බලවේගවලට අයත් යැයි සැලකුණු නන්දනත් ගුණදාසත් එකිනෙකාට සමීප මිතුරෝ වූහ. ඔවුන් දෙදෙනා තුළ පැවතියේ දැඩි සහෝදරත්වයකි. එහෙත් එකිනෙකට සතුරැ බලවේග විසින් දෙදෙනා මරා දමා, මළසිරුරු ප්‍රදර්ශනය කරනු ලැබීම දෛවයේ සරදමක් බඳුය.

 සමන් පුෂ්ප ලියනගේ

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30