2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

ජනාධිපතිවරණයටම හැදෙන අලුත් සන්ධාන

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:31 241

ඉතිහාසයේ පාඩම් සහ වර්තමානයේ ක්‍රියාකාරකම් මතින් අනාගතය නිර්මාණය වන්නේය. මෙය වූ කලී අනාගතයක් නිර්මාණය කිරීමට බොහෝ දෙනා වෙහෙසෙන කාලයකි. ශ්‍රී ලංකාව නම් දූපතට, රාජ්‍යයට නව රාජ්‍ය නායකයකු පත් කරගත යුතුව ඇත. නුදුරේදීම ලක්වාසී මහජනයාට එම තීරණය ගැනීම සඳහා පරමාධිපත්‍යය හිමිවනු ඇත. ඒ අනුව ජනතා පරමාධිපත්‍යය මතින් රාජ්‍ය බලය හිමිකර ගැනීම වෙනුවෙන් මේ මොහොත වන විටත් විවිධ පක්ෂ, කණ්ඩායම්, පුද්ගල පිරිස් සන්ධානගත වෙමින් අරගල කරමින් සිටිති. සිදුවන්නේ කුමක්ද යන්න නිරවුල්ව දැනගත යුතුව ඇත. එම නිසාම ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන බිහිවන පක්ෂ, සන්ධාන පිළිබඳව මෙන්ම අපේක්ෂකයන්ගේ සූදානම පිළිබඳව ද සොයා බැලීමට දේශය අපි තීරණය කළෙමු. 

බහු පක්ෂ දේශපාලන ක්‍රමයක් පැවතිය ද ලාංකික දේශපාලන ඉතිහාසය තුළ අප නිරන්තරයෙන් දුටුවේ ද්විපක්ෂ බල අධිකාරියකි. එහෙත් ගෙවුණු දශක තුන තුළ එය ක්‍රමිකව දියවී ගියේය. බොහෝ මැතිවරණ සඳහා ප්‍රධාන පක්ෂ තරග කළේ සුළු පක්ෂ සමඟ සන්ධානගත වෙමිනි. මෙවර ජනාධිපතිවරණය පුළුල්ව සන්ධානගත වීමකින් මිස තනි කඳවුරක් ලෙස ජයගත නොහැක්කක් බවට පත්ව ඇත්තේ කාලාන්තරයක් තිස්සේ සිදුවූ එකී පරිවර්තනයේ ප්‍රතිඵලයක් ලෙසිනි. මේ වන විට ප්‍රමුඛ කඳවුරු තුනක්  ජනාධිපතිවරණ අරගලයට පිවිස සිටී. ජ.වි.පෙ, පොදුජන පෙරමුණ සහ එ.ජා.පය එම කඳවුරැ ත්‍රිත්වය වන අතර එ.ජා.පය හැරැණුකොට අනෙක් කණ්ඩායම් ද්විත්වය තම අපේක්ෂකයන් ප්‍රකාශයට පත් කරනු ලැබ සිටී. 

ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බිහිකර ගන්නා සන්ධානයේ ස්වභාවය තවමත් පැහැදිලි නැත. අපේක්ෂා ප්‍රකාශ කෙරෙහි ද ප්‍රචාරක කටයුතු අරඹා ඇති නමුත් සන්ධානය ඇත්තේ සාකච්ඡා මට්ටමිනි. ඔවුන් සන්ධානගත වීමට සැරසෙන්නේ ශ්‍රීලනිප කඳවුර සමඟ බව කවුරුත් දනිති. එහෙත් සාකච්ඡා වට රැසක් නිමා වී තිබුණ ද සන්ධානය බිහිවීමේ නිශ්චිත එකඟතාවක් තවදුරටත් පෙනෙන්නට නැත. මේ අතර ශ්‍රීලනිපයෙන් පිරිසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම ද යම් අර්බුදයකට හේතු වී තිබේ. තවද මේ එකඟතාව  ගොඩනොනැගුණහොත් තවත් පිරිසක් පොදුජන පෙරමුණට එක්වනු ඇත. කෙසේ වෙතත් කුමන හෝ අයුරකින් මෙම සන්ධානය බිහිවීමේ සම්භාවිතාව ඉතා ඉහළය. මන්ද දෙපාර්ශ්වයේ පැවැත්ම එකිනෙකා මත රැඳී පවතින බැවිනි. 

පොහොට්ටුව කඳවුර සුළු පක්ෂ කිහිපයක් සමඟ පසුගිය මාසයේ දී ගිවිසුම්වලට එළැඹුණු බව අපට මතකය. දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල වැනි පක්ෂ නායකයෝ මුල සිටම ඔවුන් සමඟ සන්ධානගත වී වැඩ කළහ. මේ වන විට උතුරේ පක්ෂ සමඟ ද පොහොට්ටුවේ නොනිල සාකච්ඡා ආරම්භ වී ඇති බව කියැවේ. ඇතැම්විට යම් පක්ෂයක් තමා වෙත ආකර්ශනය කර ගැනීමට ඔවුන් සමත්වීමේ හැකියාව ද පවතී. පොදුවේ උතුරේ ජනයා තුළ පවතින “වර්තමාන ආණ්ඩුව තම අපේක්ෂා ඉටු කළේ නැතැයි” යන හැඟීම ඊට සහාය වනු ඇත. හිටපු උතුරු පළාත් මහ ඇමැති වර්ධරාජා පෙරමාල් පොදුජන පෙරමුණට යම් සමීපතාවක් පෙන්නුම් කරමින් සිටී.

එහෙත් මුස්ලිම් පක්ෂ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණට පැහැදිලි අභියෝගයක් තිබේ. රවුෆ් හකීම්, රිෂාඩ් බදුයුදීන් පක්ෂ නායකයන් සමඟ සන්ධාන ගතවීම හරහා ඔවුන්ගේ ඡන්ද පදනමට හානි වීමට ඉඩක් පවතී. කෙසේ වෙතත් දැනට මුස්ලිම් පක්ෂ ආකර්ශනය පවතින්නේ එක්සත් ජාතික පක්ෂය වෙතය. වතුකරයේ බලය දරන කණ්ඩායමක් වන දිගම්බරන්ගේ ද සහාය ඔවුන්ට හිමිය. එහෙත් ජනාධිපතිවරණය ආසන්නයේ දී ජයග්‍රහණය ඇති තැන වතුකරයේ බලවේග නතරවීම සාමාන්‍ය සම්ප්‍රදායයි. 

අපේක්ෂකයෙක් නැතත් එ.ජා.පය යම් සන්ධානගත වීමක සිටින බව ඔවුහු ප්‍රදර්ශනය කරමින් සිටිති. එක්සත් ජාතික පෙරමුණ සමඟ හවුල් වී සිටින පක්ෂ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇත. ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම මෙන්ම බිහිවන සන්ධානයේ මහලේකම් ධූරය ද එ.ජා.පයට ලබා දීමට ඔවුහු එකඟතාවය පළ කළහ. නමුත් දිගින් දිගටම පවතින එ.ජා.ප. අපේක්ෂක අර්බුදය මේ වන විට හවුල්කාර පක්ෂ නායකයන් වන පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන් වැනි අයගේ  විවේචනයට ලක්ව ඇත. තවද අප පෙර කී එ.ජා.පයේ හවුල්කාර මුස්ලිම් පක්ෂ සිය තීරණය ලබා දීමට ද කල් මරමින් සිටී. එහෙත් ඒ පිළිබඳ විශාල අවධානයක් පවතින වාතාවරණය තුළ ලැබී නැත. පොහොට්ටුවට ශ්‍රීලනිපය මෙන් එ.ජා.පයට අනිවාර්යයෙන්ම දිනාගත යුතුව ඇත්තේ ද්‍රවිඩ ජාතික සන්ධානයයි. එහෙත් අපේක්ෂකයා තීරණය කරගත නොහැකි පසුබිමක ටී.එන්.ඒ.  සමඟ සාකච්ඡාවලට එළැඹීමට එ.ජා.පයට පසුබිමක් නැත. 

උතුරු නැගෙනහිර ඡන්දවල බලපෑම ජනාධිපතිවරණක දී අතිශය තීරණාත්මක බව ලාංකීය දේශපාලනයේ පොදු පිළිගැනීමයි. 2015 ජනාධිපතිවරණයේ දී උතුරු නැගෙනහිර දිනාගැනීම යහපාලන රජයක් බිහිවීමට ඍජු බලපෑමක් එල්ල කළ බව ඉතා පැහැදිලි සත්‍යයකි. එහෙත් 2010 ජනාධිපතිවරණයේ දී එය එසේ නොවූයේ සරත් ෆොන්සේකා මහතාට උතුරේ සහාය ලැබුණ ද දකුණේ රැල්ල වූයේ මහින්ද රාජපක්ෂ මහතා වීමය. ඒ අනුව දකුණේ ප්‍රබල දේශපාලන රැල්ලක් එක් කඳවුරක් අරභයා නිර්මාණය නොවන පසුබිමක උතුරේ සහාය ලබන්නා ජයගත හැකි බව පෙනී යයි. කෙසේ නමුත් උතුරේ දේශපාලන බෙදීමත්, දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ අතර ගැටුමක් ඇතිවීමත් නිසා එයට මෙවර යම් ඉඩකඩක් නිර්මාණය වී තිබේ. එය පසුගිය සමයේ උතුරු දේශපාලනය අධ්‍යයනය කරන විට මනාව පෙනී යයි.  එසේ වුවහොත් උතුරේ දේශපාලන බලපෑම යම් පමණකට සීමාසහිත වීමට ඉඩ තිබේ. කෙසේ වෙතත් එය තහවුරැ කර කිව හැකි අනාවැකියක් නොවේ.

සිවිල් සංවිධාන සහ සමාජ ව්‍යාපාරවල සහාය ද ජනාධිපතිවරණයේ දී තීරණාත්මක සාධකයක් බව පසුගිය ජනාධිපතිවරණය තුළින් ඔප්පු වී හමාරය. ඔවුහු ද මේ වන විට දේශපාලන කඳවුරු වටා රොද බැඳීම අරඹා සිටිති. යහපාලන රජය බිහි කිරීමට දායකත්වය ලබා දුන් සංවිධානවල පැහැදිලි බෙදීමක් මේ වන විට නිර්මාණය වී ඇත. එ.ජා.ප.යේ අපේක්ෂකයා කළ එළි බැස නොමැති පසුබිමක තම හඬ ප්‍රබල ලෙස මතු කිරීමට එ.ජා.ප. හිතවාදී ඇතැම් සිවිල් සංවිධාන, ක්‍රියාකාරීන් ඉදිරිපත් නොවන ආකාරයක් පෙනී යයි. කෙසේ වෙතත් යහපාලනය හරහා තමන් දිනාගත් යම් ජයග්‍රහණයක් වේද එය තවදුරටත් ආරක්ෂා කරන බව මෙම පිරිස පවසති. පොදුජන පෙරමුණට අප කතා කරන ආකෘතිය යටතේ ගැනෙන සිවිල් සංවිධානවල සහාය නොලැබෙන බව ප්‍රත්‍යක්ෂය. ඔවුන් උත්සාහ ගන්නේ ජාතික ව්‍යාපාරවල සහාය ලබා ගැනීමටය. එයද පමණ ඉක්මවූ විට ඔවුනට හානියක් විය හැකි බව ඉතා පැහැදිලිය. එම නිසාදෝ ගෝඨාභය ජයග්‍රහණය උදෙසා තවමත් ජාතික සංවිධාන හඬ නගන්නට පටන්ගෙන නැත. 

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ මෙවර ජනාධිපතිවරණයට තරග කිරීමට වෙනම කඳවුරක් නිර්මාණය කරගෙන සිටී. ඔවුන්ගේ ජාතික ජනතා බලවේගය නිර්මාණය වී ඇත්තේ සිවිල් සංවිධාන, සමාජ ක්‍රියාකාරීන් සහ මහජන ව්‍යාපාර එකතුකොට ගනිමිනි. ඒ අනුව මෙම හවුල්කාරී බලවේග ද පසුගිය යහපාලන රජය බිහි කිරීමට සහයෝගය ලබා දුන් පිරිස්වලින් සමන්විතය. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ ප්‍රධාන ධාරාවේ බලවේගවලට විරෝධී බලවේගයක් මෙරට තුළ සිටින බව පැහැදිලිව ඔප්පු කර පෙන්වීමය. ජනතා විමුක්ති පෙරමුණ මෙම පිරිසට නායකත්වය ලබා දෙයි. කෙසේ වෙතත් ස්ථීර ජනතා පදනමක් ඔවුන් සතු බව පොදු සමාජයේ පිළිගැනීමක් පවතී. එසේ වුවත් ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක අපේක්ෂකයා ලෙස නම් කිරීම හරහා පක්ෂයේ වපසරිය මත ඔවුන්ගේ ඡන්ද පදනම ලඝු වීමට හැකි බව කියැවෙයි.

කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණ ද තමන් නිර්මාණය කළ ජාතික ජනතා බලවේගය පුළුල් කර ගැනීමේ උත්සාහයක මේ වන විටත් නිරතව සිටී. ඒ සන්ධානගත වීමක් හරහාය. පසුගිය සමයේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ සමඟ ඔවුහු සාකච්ඡා කළහ. පොදුවේ ද්‍රවිඩ සන්ධානය එ.ජා.පයට බර වූ නමුත් අභ්‍යන්තර අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස මෙම සාකච්ඡා සාර්ථක වීමට ඉඩකඩ තිබේ. කෙසේ වෙතත් එයද තහවුරු කර කිව නොහැකි තත්ත්වයකි. යම් හෙයකින් ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා සාර්ථක නොවුණහොත් ජනතා විමුක්ති පෙරමුණට ද යම් වාසියක් ලැබිය හැකිය. මන්ද ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා තමන්ට ඇති විකල්ප පැහැදිලි කරන විට ජනතා විමුක්ති පෙරමුණු බලවේගය ද දක්වා තිබීමය. 

ජනතා විමුක්ති පෙරමුණින් බිඳී සැකසුණු පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනාධිපතිවරණයට එකතුවීමේ සූදානමක් පවතී. කුමාර් ගුණරත්නම් ඔවුන්ගේ අපේක්ෂකයා වනු ඇතැයි කියැවේ. පක්ෂයක් ලෙස යම් නමක් දිනා සිටින ඔවුන්ගේ මැදිහත් වීම ද ජනාධිපතිවරණයට ආකර්ශනයක් එකතු කරනු ඇත. ජනතාවගේ සැබෑ ප්‍රශ්න වේදිකාවට ගෙන ඒමේ අරමුණින් ඔවුන් මේ තීරණය ගත් බව කියැවේ. කෙසේ වෙතත් සුපුරුදු ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ සුපුරුදු ප්‍රතිවාදියා වීමට ඉඩකඩ පවතී.

පක්ෂ, කඳවුරු, සන්ධානවලට අමතරව තනි පුද්ගල ප්‍රතිරූපයක් ගොඩනගා ගනිමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදානම් වන චරිත කිහිපයක් ද පෙනෙන්නට සිටිති. ඔවුහු බොහෝ කලකට පෙර සිටම සිය ප්‍රචාරක කටයුතු ඇරැඹූහ. ධම්මික පෙරේරා වැනි ඇතැමුන් අතරමඟදී සටන හැර ගිය නමුත් නාගානන්ද කොඩිතුවක්කු, රොහාන් පල්ලේවත්ත, ඉසුරු සුබසිංහ වැනි පිරිසක් තවමත් සටනේ රැඳී සිටිති. මෙහිදී ද එකිනෙකාට අන්‍යෝන්‍ය වූ ලක්ෂණ ඉස්මතු වී පෙනෙයි. එසේම ඔවුනට යම් අනුගාමිකයන් පිරිසක්ද නිර්මාණය වී තිබේ. මෙය මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයට අලුත් අත්දැකීමකි.

නාගානන්ද කොඩිතුවක්කු නීතියේ ආධිපත්‍යය සහිත දූෂණයෙන් අල්ලසෙන් තොර රටක් නිර්මාණය කිරීම තම තේමාව කරගෙන සිටී. සමාජ මාධ්‍ය ඔස්සේ සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ මතවාද ඔස්සේ ඔහු යම් ආකර්ශනයක් දිනාගෙන සිටී. කෙසේ වෙතත් නාගානන්ද කොඩිතුවක්කු විරෝධයක් ද මේ සමඟම මතුව තිබේ. රොහාන් පල්ලේවත්ත ඉදිරිපත් වී ඇත්තේ ණය නොවෙන අපනයන ආර්ථිකයක් ඉදිරිපත් කිරීමේ අරමුණිනි. ව්‍යාපාරිකයකු වන ඔහු ලංකාවේ සමස්ත ණය ගෙවා දමන බව පැවසීම හරහා සමාජ මාධ්‍ය ඔස්සේ කරළියට පැමිණ සිටී. ඔහුගේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද විවේචන තිබේ. කෙසේ වෙතත් මේ ආදී වූ චරිත කිහිපයක්ම මතුවෙමින් පවතී. කෙසේ වෙතත් ඉතිහාසයේ සිටම මෙවන් පුද්ගලයන් දේශපාලන කොන්ත්‍රාත්කරුවන් ලෙස දැකීම මහජන මානසිකත්වයයි. එහෙත් මෙම ජනාධිපතිවරණයට අසූව දශකයේ සහ අනූව දශකයේ උපන් පරම්පරාවේ දැඩි මැදිහත් වීම ලාංකීය දේශපාලනයේ දිශානතිය වෙනස් කරමින් සිටී.

සමස්තයක් ලෙස මතවාදවල විසිරුණු පක්ෂ දේශපාලනයේ බිඳවැටීම නවතම දේශපාලන ප්‍රවේශයක් වෙනුවෙන් රට ගමන් කරවන බව ජනාධිපතිවරණය පිළිබඳ මෙම පුරෝකථනය තුළින් අපට අවබෝධ වේ. එම නිසාම මෙම ජනාධිපතිවරණය මෙරට ඉතිහාසයේ තීරණාත්මක සංධිස්ථානයක් වීමට ඉඩ තිබේ. වර්තමාන ගමන හැසිරවීමේ හැකියාව සැමවිටම ඒ මොහොතේ ජීවත්වන පරපුර සතු වෙයි. එසේම වර්තමානය විසින් නිරන්තයෙන්ම ඉතිහාසයත් අනාගතයත් නිර්මාණය කරයි. එම නිසාම වර්තමානකයන් ලෙස අප අපේ වගකීම හඳුනාගත යුතුව ඇත.

 චමිඳු නිසල් ද සිල්වා

අපි එන්නේ ලොකු සටනක් දෙන්න
- නාගානන්ද කොඩිතුවක්කු

රටේ නීතිය මේකයි. එක්කෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙන්න ඕනා... එහෙම නැත්නම් හිටපු මන්ත්‍රීවරයෙක් වෙන්න ඕනෑ. එහෙමත් නැත්නම් ඔහු පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වෙන්න ඕනෑ. නාගානන්ද ඉදිරිපත් වෙන්නේ පිළිගත් දේශපාලන පක්ෂයකින්. පක්ෂ කිහිපයක් මේ අවස්ථාවේදී සාකච්ඡා කරනවා. හරියට අවස්ථාවේදී පක්ෂයේ නම කියන්නම්. නාගානන්ද කියන නමටත් අදාළයි ඒ පක්ෂ සහ පක්ෂයේ ලාංඡනය.

මේ අවස්ථාවේදී විකල්පයෙන් දෙන්නෙක් ඉදිරිපත් වුණොත් නාගානන්ද ඉදිරිපත් වෙන්නේ නෑ. මේ එන්නේ තව ජන්ද ලක්ෂ දහයක් පහළොවක් අරගෙන විහිළුවක් කරන්න නෙවෙයි. එන්නේ ලොකු අභියෝගයක් දෙන්න. මේ ප්‍රධාන පක්ෂ දෙක අවුරුදු හැත්තෑ එකක් තිස්සේ රට අසමත් කරපු මිනිස්සු. මං පල්ලේවත්තට අද උදෙත් කතා කළා. මං ජවිපෙටත් නැවත කියනවා කරුණාකර අපි තේරැම් ගමු අපේ වගකීම.

ජවිපෙයත් ජනතාවට කිව්වාට නාම යෝජනා දීලා නෑ. සජිත් ප්‍රේමදාස කියනවා තමන් ඉල්ලනවා කියලා. කරු ජයසූරියගේ නම කිව්වා පහුගිය දවස්වල. අර පැත්තේ ගෝඨාභය රාජපක්ෂ කියනවා. තව පැත්තකින් කියනවා නෑ නෑ මහින්ද රාජපක්ෂගේ භාර්යාව කියලා. ඒ ගැන කලබල වෙන්න අවශ්‍ය නෑ. රටේ වෙලාව හොඳනම් ඔය පක්ෂ දෙක තුනට කැඩිලා යයි ඡන්දෙ එනකොට. ස්වභාවධර්මයා විසින් මහජනතාවට මේ රට ගලවා ගැනීම සඳහා අවස්ථාවක් ලබාදෙනවා. ඔන්න ඕක තේරුම් ගන්න ඕනා රටේ ප්‍රඥාවන්ත මිනිස්සු.

විකල්පය තිබෙන්නේ ජනතාව අතේ
- ගාමිණී විජේසිංහ

රටේ ජනතාව විකල්පයක් ඉල්ලනවානේ. ප්‍රජාතන්ත්‍රවාදීව අනිවාර්යයෙන් ඒක නියෝජනය කරන්න වෙනවා. විකල්ප බලවේගවලදී ගොඩක් ඇවිල්ලා වැඩක් නෑ. හැමෝම ඉල්ලන්නේ මේ දෙකට අමතරව විකල්පයක්. එහෙම නැතුව එක එක්කෙනා පෞද්ගලික ජනපති වෙන්න දඟලනකොට ජනමතය නෙවෙයි එක එක්කෙනාගේ මතය මතුවෙනවා.

ඇත්තටම දන්නවා නම් විකල්පයකට යන්න ඕනෑ ජයග්‍රහණය කරන්න. ජයග්‍රහණය කියන දේ විකල්ප අතේ තියෙන දෙයක් නෙවෙයි ජනතාවගේ අතේ තියෙන දෙයක්. ඒ නිසා දෙන දේ බාරගන්න ඕනෑ. ජයග්‍රහණය කරන්න බැරිවුණත් වැදගත් මතයක් මේ හරහා මතුවෙනවා. එතැනදී ජනතාව මේ ක්‍රමය ප්‍රතික්ෂේප කරනවා කියන පණිවිඩය රටට යනවා.

ජනතා විමුක්ති පෙරමුණ විකල්පයක් නෙවෙයි නේ. ඇත්තටම තියෙන පක්ෂයක්. ඔවුන්ට තිබුණෙ විකල්ප එක්ක එකතුවෙන්න. ඒක නොවීමේ වැරැද්ද තමා මෙතැන ඇත්තටම දකින්න තියෙන්නේ. විකල්පයක් නම් ඔක්කොම එකතුවෙලා ඒගොල්ලෝ තෝරාගත්තු කෙනා තමා ඉදිරිපත් කරන්න ඕනෑ. ඒකට තව කල් තියෙනවා. ඒ අය සාකච්ඡා කරමින් පවතිනවා කියලා මම විශ්වාස කරනවා. අපි බලමු හොඳ විදිහක්.

ගෝඨාභය බලවේගය පරද්දනවා
- ගාමිණී වියන්ගොඩ

මම නියෝජනය කරන්නේ පුරවැසි බලය. සාධාරණ සමාජය සහ පුරවැසි බලය එදා ඉඳන්ම එකට වැඩ කරනවා. තාමත් එහෙමයි. ඉදිරි ජනාධිපතිවරණයේදී අපේ අභිප්‍රාය වෙන්නේ 2015 ඇතිකර ගත්තු දේ ආරක්ෂා කරගැනීම. අපි බලාපොරොත්තු වුණ දේවල්වලින් ඉටුනොවුණු දේවල් ඉටුකරගැනීම තමයි අපේ අරමුණ වෙන්නේ.

එමනිසා ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරන බලවේගය පරාජය කිරීම තමා අපේ මූලික අරමුණ වෙන්නේ. ජවිපෙය අපි සමඟ සාකච්ඡා කරලා තියෙනවා. නමුත් තීරණාත්මක දෙය වන්නේ රාජ්‍ය බලය ලබාගැනීම සම්බන්ධ ගැටලුව. රාජ්‍ය බලය ලබාගැනීමේදී තීරණාත්මක කඳවුරු දෙක වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ නියෝජනය කරන කඳවුරත් ඔවුන් පරාජය කළ හැකි කඳවුරුත් අතර තමා තීරණාත්මක ගනුදෙනු තියෙන්නේ.

අපි ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ පරාජය කළ හැකි කඳවුරත් එක්ක. ඒක එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ සියලුම සංවිධානය ප්‍රමුඛ කඳවුරක් වෙන්න පුළුවන්. මොකක්ද රාජ්‍ය බලය නිශ්චිතව සහ තීරණාත්මක තීන්දු කෙරෙන අවස්ථාව තමා ජනාධිපතිවරණය.


 

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30