2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

මරණය බෙල්ලේ එල්ලගෙන පිදුරුතලාගල නැග්ග යාළුවා

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:31 297

අපේ මධ්‍යම කඳුකරය ලෝක උරුමයක් බව ලෝක උරුම කමිටුව හඳුනාගනු ලැබූයේ 2010 ජූලි 31 වැනිදා එම කමිටුවේ 34 වැනි සැසිය පැවැත්වූ බ්‍රසිලියා නුවරදීය. මධ්‍යම කඳුකරයට අදාළ පාරිසරික හා භූගෝලීය කරුණු අනන්ත සංඛ්‍යාවක් තිබෙන්නා සේම අපේ මධ්‍යම කඳුකරයේ සුන්දරත්වය ගැන ද සිය  දහස් මුවකින් කියා නිමකළ නොහැක්කක්මය. කඳුකරයේ සොඳුරු සිරියාව වඩාත් හොඳින් දැකගත හැක්කේ කඳු මුදුනකට නැගගත් විටය. උතුවන් කන්දට නැගගත් විට, අලගල්ල කන්ද එක පැත්තකත්, බතලේගල කන්ද (බයිබල් පර්වතය) තව පැත්තකත් දිස්වෙද්දී හිල්මන් කඳුයායත් ඈතින් ඈතට විහිදෙනු පෙනේ. බතලේගල කන්ද මුදුනට අලගල්ල කන්ද සහ උතුවන්කන්ද ඇතුළු කඳුයාය තව ආකාරයකින් දිස්වේ. අලගල්ල කන්ද මුදුනට උතුවන් කන්දත්, බතලේගල කන්දත් දිස්වෙන්නේ පහතිනි.

මා කඳු නගින්නට දක්ෂයකු නොවූවත් හති දම දමා හෝ කඳු නගින්නට සිතෙන උණක් කුඩා කාලයේ පටන් මට වැළඳී තිබුණි. මේ ආශාව මට වැළඳුණේ කුඩා කාලයේ 15 වැනි කොළඹ බාලදක්ෂ කණ්ඩායමේ මා සාමාජිකයකුව සිටි නිසා වන්නට ඇත. බේඩ්න් පවල් සාමිවරයා ලියූ බාලදක්ෂ විද්‍යාව පොතේ එක තැනක කඳු නැගීම හොඳම ව්‍යායාමය බව සටහන්ව තිබිණි. මෙරට හොඳින්ම ක්‍රියාකාරීව තිබූ බාලදක්ෂ කණ්ඩායමක සාමාජිකයන්ව සිටි කිහිපදෙනකු සරසවි දිවියේදී මට හඳුනාගත හැකිවිය. නුවරඑළිය ගාමිණී මහ විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායමේ සාමාජිකයන්ව සිටි ඔවුහු කඳු නැගීමේ අතිදක්ෂයෝ වූහ. අප තැන්නක ඇවිදින්නාක් මෙන් ඔවුහු නිතර පිදුරුතලාගල කන්ද නැග්ගෝය. මා මේ කියන්නේ 1982 කතාවකි. 1980 උසස් පෙළ විභාගයට නුවරඑළිය ගාමිණී විද්‍යාලයෙන් පෙනී සිට කොළඹ, ජ'පුර හා පේරාදෙණිය  විශ්වවිද්‍යාලවලට පැමිණි සිසුන් මට හඳුනාගත හැකිවූයේ මගේ සරසවි මිතුරු (කරු) නිසාය.

කඳු නගින්නට රිසි ආනන්දයෙන් බිහිවුණු තවත් මිතුරෙක් සරසවියේදී මට මුණගැසුණේය. ඔහු කොළඹ Ace මලල ක්‍රීඩා සමාජය නියෝජනය කළ දක්ෂ කෙටි ධාවන ශූරයෙකි. 1980 ඔලිම්පික් කණ්ඩායමට තෝරාගත් පළමු සංචිතයට ද ඔහු ඇතුළත්ව උන්නේය.

කෙටි දුර දිවීම උදෙසා නිරන්තරයෙන්ම ශරීර අභ්‍යාසවල යෙදුණු ඔහු කඳු නගිද්දී මා මෙන් හතිලන්නෙක් නොවූයේය. ඔහුගේ නමේ මුලකුරුවල JPPP යනුවෙන් P අකුරැ තුනක් තිබුණු නිසාදෝ මළල ක්‍රීඩකයන් ඔහුව හැඳින්වූයේ (ජෙප්පා) යනුවෙනි. ජසෙන්තු පටබැඳිගේ ප්‍රභාත් පුණ්‍යප්‍රේම ද සිල්වාව අප හැඳින්වූයේ (ප්‍රභාත්) යන නමිනි.

එකල (කරු)ගේ නිවස පිහිටා තිබුණේ හක්ගල උද්භිද උද්‍යානයට පිවිසෙන ගේට්ටුව සමීපයේ පාරෙන් එහා පැත්තේ තිබුණු අතුරු මාර්ගයකය. කරැගේ පියා ඒ වනවිට මෙලොව හැරගොස් අවුරුදු දෙකකට වඩා කල්ගත නොවූයේය. හක්ගල උද්භිද උද්‍යානයේ නිලධාරියකුව සිටි ඔහු ඕනෑම විශේෂ පැලෑටියක් උද්‍යානය තුළ තිබෙන ස්ථානය මතකයෙන් කියන්නට දැන සිටි බව කියවේ. තම දරුවන් තිදෙනකු ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට එවන්නට ඔහු සමත් වූයේය. (කරු) ඉන් තුන්වැන්නාය.
සරසවියේ පළමු අධ්‍යයන වසර අවසාන වී එළඹුණු නිවාඩු කාලය තුළ ගම්පොළ සිට හක්ගලට පයින් යන්නට මටත් ප්‍රභාත්ටත් සිතක් වූයේය. ඊළඟ දිනයේ පිදුරුතලාගල කන්ද නගින්නට ද යෝජනා විය. ඒ කාලයේ යමක් සිතුණු විට (රිවර්ස් ගියර්) දැමීමේ පුරුද්දක් අප දෙදෙනාටම තිබුණේ නැත. නිවාඩු කාලයේ ගෙදර සිටි (කරු)ට අප එන වග ලිපියකින් දන්වා අපි ගමනට සූදානම් වීමු. ඒ වනවිටත් කරේ එල්ලාගෙන යන (haversack bag) හැවර්සැක් බෑග පාසල් ළමුන් අතර බහුලව තිබුණේ නැත. අපි සාමාන්‍ය ට්‍රැවලින් බෑග දෙකක් හැවර්සැක් බෑග් මෙන් අනුවර්තනය කොට තනාගතිමු. අලුතෙන් විදුලි පන්දමක් ගන්නට මැලි වූ නිසා කැඩුණු පැරණි ටෝර්ච් එකක් අලුත්වැඩියා කරගතිමු. පෙට්ටි කැමරාවකට වඩා පොඩි වෙනසක් ඇති සරල කැමරාවක් ප්‍රභාත් සතුව තිබිණි. මම දිග කලිසමක් කපා කොට කලිසමක් තනාගතිමි. (එකල කොට කලිසම් භාවිතය ජනප්‍රිය නොවීය.) ප්‍රභාත් සතුව Running short එකක් තිබිණි. ඔහු මී.100, මී.200, මී. 400 සියලුම තරග දිව්වේ එය ඇඳගෙනය.

සියලුම අඩුමකුඩුම හා ඇඳුම් බෑග්වලට අසුරාගෙන අපි කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී තැපැල් දුම්රියට ගොඩවූයෙමු. හොඳ සුවපහසු අසුනක් පෙනෙන්නට තිබුණු බැවින් අපි දෙදෙනා හිඳගතිමු. අප ගොඩ වූ දුම්රිය මැදිරියේ වැඩි සෙනඟක් පෙනෙන්නට සිටියේ නැත.

ගමනට ඇති උනන්දුවත් කතා කරන්නට තිබුණු මාතෘකා රාශියත් නිසා වටපිට කිසිදෙයක් අපේ අවධානයට ලක්වූයේ නැත.

ටිකදුරක් යද්දී ටිකට් පරීක්ෂකවරු දුම්රිය මැදිරියට ආහ. අපි දෙදෙනා ටිකට් පත් ඔවුනට දුන්නෙමු.

“දෙන්නම පොඩ්ඩකට නැගිටින්නකො”

“ඇයි?” අපි දෙදෙනාම එකට ඇසුවෙමු.

“මේක සෙකන්ඩ් ක්ලාස් එක”

අප මිලදීගෙන තිබුණේ තුන්වැනි පන්තියේ ටිකට්පත්ය. නිසි දුම්රිය මැදිරිය තෝරාගෙන නගින්නට අප දෙදෙනාටම මතක් වූයේ නැත. ටිකට් පරීක්ෂකවරු අපෙන් වංහුං ඇසුවෝය. අපි පිළිතුරු දුන්නෙමු. ටික වේලාවක් කතා කරද්දී ඔවුන්ගේ දැඩි ගතිය ලිහිල් වූයේය.

“ඊළඟ ස්ටේෂන් එකෙන් බැහැලා තර්ඩ් ක්ලාස් එකට යන්න.”

ඊළඟට දුම්රිය නැවැත්වූ දුම්රියපොළේදී අපි දෙවැනි පන්තියෙන් බැස අපට හිමි පන්තියට ගියෙමු.

ගම්පොළ දුම්රිය ස්ථානයෙන් බැසගත් අපි මඳ අඳුරේ ඉඩ තිබුණු කඩපිළක ඇතිරිල්ලක් එළා හිඳගතිමු. මහ රෑ ගමන් ඇරඹූවොත් නිරපරාදේ සැකයට භාජනය වියහැකි නිසා යාන්තමින් අලුයම උදාවෙනතුරැ හිඳ අපේ ගමනට සූදානම් වූයෙමු. සියලු කඩසාප්පු වසා තිබූ ගම්පොළ ටවුමේ වීදි ලාම්පු එළියෙන් මිනිස් පුළුටක් නොපෙනෙන තුන්වැනි යාමයේ අපි ටිකෙන් ටික පුස්සැල්ලාව පැත්තට ඇදුණෙමු.

කඳු උඩින් පෙරී ආකාසයට විදාහළ අලුයම් එළිය මුලින්ම පෙනෙන්නට ගත්තේ සිනමා ප්‍රොජෙක්ටරයකින් නිකුත් වන එළිය කදම්බයක් ලෙසිනි. ඉන්පසු කඳු උඩින් ටිකෙන් ටික ලා රතු පාටට හුරු තැඹිලි පාටින් උදා හිරු එළිය විහිදෙන්නට ගත්තේය. ටිකෙන් ටික කඳු උඩින් රත් හිරු මතුවෙද්දී අපි පුස්සැල්ලාව දෙසට ඇදුණෙමු.

ප්‍රභාත් ජෑම් බෝතලයක දමාගෙන පැමිණ තිබූ සීනි සම්බල සමඟ පාන් ආහාරයට ගත් අප සතුව කෝපි පිරවූ උණුවතුර බෝතලයක් ද තිබුණි. පුස්සැල්ලාව පසුකොට එද්දී ඒවායින් පාතරාසය රස විඳ රම්බොඩ දුර්ගයේ කඳුකර සිරියාව නරඹමින් ඉදිරියට ඇදුණෙමු. වංගු හරහා කෙළින් ඉහළට යා හැකි තැන්වලින් දළ බෑවුම් නැංගමු. මගදී හමුවන පීල්ලකින් හොඳහැටි නාගෙන පාර අයිනේ කඩයකින් දිවා ආහාරය ගත්තෙමු. හවස් වනවිට ලබු කැලේ හරියේ පන්සලක් සොයාගෙන එම පන්සලේ නායක ස්වාමීන් වහන්සේගෙන් අවසර ගෙන මැට්ටෙන් තැනූ ඉතා කුඩා ධර්මශාලාවක (තනි කාමරයක් බඳු) අපි දෙදෙනා රැය ගත කළෙමු. පන්සලේ ආවතේවකම් කළේ ගොළු අයෙකි. ඔහු අපට හස්ත මුද්‍රාවෙන් බොහෝ දේ කියා දුන්නේය. පසුදා උදෑසන නායක ස්වාමීන් වහන්සේ අප දෙදෙනාට අලුත් දත් මදින බුරුසු දෙකක් තෑගි දුන්හ. උන්වහන්සේ සේවකයා ලවා අපට උදය ආහාරය ලෙස රොටි සාදා සංග්‍රහ කළහ.

නුවරඑළිය සමීප වග මුලින්ම දැනුණේ ඈතින් කොළ පාට ගොල්ෆ් පිටිය දිස්වෙද්දීය. සුන්දර රටක ඉපදීම ගැන අති මහත් ආඩම්බරයක් අප දෙදෙනාටම දැනුණි.

හක්ගල දක්වාම අපි දෙදෙනා පයින් ගමන් කළෙමු. හක්ගල නිවසේදී (කරු) ඇතුළු ඔහුගේ පවුලේ අය අපව සාදරයෙන් පිළිගත්හ. කරුගේ කරුණාභරිත මෑණියන් අතින් පිසූ බත් කටක් කන්නට අපට ද වාසනාව පෑදිණි.

පසුවදා උදේ පිදුරුතලාගල කන්ද නගින්නට (කරු) ප්‍රභාත් සහ මා සමග (චූලාත්) ඔහුගේ සහෝදරයාත් එක්වූහ. ඒ වනවිට පිදුරුතලාගල මුදුනට යන පාර සාදා නොතිබිණි. රෑපවාහිනී සම්ප්‍රේෂණ කුලුන ඉදිකොට තිබුණේ ඒ අලුතය. ඊට අවශ්‍ය භාණ්ඩ කඳු මුදුනට ගෙනගොස් තිබුණේ හෙලිකොප්ටරයෙනි. (චූලා) කරුගේ ගාමිණී මහා විද්‍යාලයේ මිතුරෙකි. එවකට ඔහු ජ'පුර විශ්ව විද්‍යාලයේ සිසුවෙකි. පිදුරුතලාගල කන්ද නැගීම මට hike එකක් වුවත් නුවරඑළියේ අපේ මිතුරන්ට එය සරල පාගමනක් විය. කන්දේ මගක් ගිය අපි (පතනය) නමින් වූ හරියේදී සුනිමල දිය පහරකින් දිගෑදී දිය බීවෙමු. එතරම් ස්වභාවික වූ නැවුම් සිසිල් දිය උගුරක් මා ජීවිතයට බී නැත. බිම මුණින් වැතිරී පළමු වරට දිය බීවේ එදාය.

පැය කිහිපයකින් අපි පිදුරුතලාගල මුදුනට පිවිසියෙමු. හිටිහැටියේම මහ වලාකුළකින් පළාතම වැසී ගියේය. සිහිලැල් පින්නකින් ගත සේදී ගියේය. යළි වටපිටාව පෙනෙන්නට ගත්විට (සසංක) තරමක් ඈතින් ඉන්නවා අපට පෙනිණි. ඔහු අපේ වසරේම සිසුවෙකි. කඳු උඩින් බොරලන්ද පැත්තෙන් ඔහු පිදුරුතලාගලට පැමිණ තිබුණේය. (මරණයේදී දන්වන්න) යනුවෙන් සඳහන් කුඩා පුවරුවක් ඔහුගේ ගෙලේ එල්ලා තිබිණි. එහි ඔහුගේ ගෙදර ලිපිනය සඳහන්ව තිබිණි. ඔහු පැමිණ තිබුණේ මරණයට ද මුහුණ දෙන්නට බලාගෙනය.

සම්ප්‍රේෂණාගාරය ඇතුළු රටේ ඉහළම තැන අපි පැයකට වැඩි වේලා රැඳී උන්නෙමු. සම්ප්‍රේෂණාගාරය තුළට ගොස් එදා පැවති ඉන්දු - ලංකා ක්‍රිකට් තරගයක කොටසක් රූපවාහිනියකින් දැකගත්තෙමු. ඒ කාලයේ ඒවාට දැඩි මුරකාවල් යොදා තිබුණේ නැත. (චූලා)ගේ සහෝදරයෙක් එවකට එතැන සේවයේ යෙදී සිටියේය.

එදා දිවා ආහාරය අපට සූදානම් කොට තිබුණේ නුවරඑළියේ පිහිටා තිබූ (නවාස්ලා)ගේ නිවසේය. එවකට පේරාදෙණිය වෛද්‍ය පීඨයේ පළමු වසර ශිෂ්‍යයකුව සිටි නවාස් නුවරඑළිය ගාමිණි මහ විද්‍යාලයේම සිසුවෙකි.

එදා අපට ආගන්තුක සත්කාරය කළ නවාස් ජිෆ්රි අද රටේ ඉන්නා ප්‍රමුඛ පෙළේ ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥවරයෙකි. ඔහුගේ මගපෙන්වීම යටතේ රජයේ රෝහල් කිහිපයක්ම නවීකරණය වූයේය.

පිදුරැතලාගලදී අහම්බෙන් මුණගැසුණේ අපේම වසරේ සරසවි ශිෂ්‍යයකු වූ සසංක පෙරේරාය. ඔහු දැන් දකුණු ආසියානු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්යවරයෙකි. එම විශ්ව විද්‍යාලයේ 2016 – 2019 කාලයේ උප සභාපතිවරයාව සිටි ඔහු එහි සමාජ විද්‍යා අංශයේ ප්‍රාරම්භකවරයාය.

තම විශ්ව විද්‍යාල දිවියේ අවසාන වසරේදී සියලු පීඨයන්ගේ ඒකාබද්ධ ක්‍රීඩා සභාපති ධූරය ඉසුලුවේ ප්‍රභාත්ය. පසුකලෙක ඔහු එක්සත් ජාතින්ගේ උපදේශකවරයෙක් ලෙසද කටයුතු කළේය. මා ජයතිලක ද සිල්වා විද්වතාණන් හඳුනාගත්තේ ප්‍රභාත් හරහාය. ඒ ඔහුගේ මවගේ බාල සහෝදරයාය. කලක් ඔබ්සවර් පුවත්පතේ කර්තෘ ධූරය ඉසුලූ එතුමා දාස් කැපිටල් ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කළේය. ප්‍රභාත් මේ වනවිට අන්තර්ජාතික පර් යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ (ICRD) අධ්‍යක්ෂකවරයාය.

අපේ මිතුරු කරු හෙවත් ඩබ්ලිව්.එච්. කරුණාරත්න දැන් ඉඩම් අමාත්‍යංශයේ ලේකම් ධූරය උසුලයි. දක්ෂ කීර්තිමත් රාජ්‍ය නිලධාරියකු ලෙස ආණ්ඩු කිහිපයකම වගකීම් ඔහු ඉසුලුවේය. හම්බන්තොට දිසාපතිවරයාව සිටියදී (ලෙනාඩ් වුල්ෆ්) පවා අතීතයේ නැවතී සිටි දිසාපති මැඳුර සංරක්ෂණය උදෙසා කටයුතු කළේ ඔහුය.

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 2019 ආසියානු අධ්‍යයනය පිළිබඳ සමුළුවට එන ලෙස ප්‍රභාත් මට ආරාධනා කර තිබේ. එය පැවැත්වීමට නියමිතව ඇත්තේ (හිමාලයා) හෝටලයේය.

මුදුනටම නොනැග්ග හිමාලය පාමුල හෝ රැඳෙන්නට එහිදී අපට අවස්ථාව ලැබෙනු ඇත. ඒ සඳහා කටයුතුවලට මම කලකට පසු මගේ විදේශ ගමන් බලපත්‍රය එළියට ගතිමි. එහි බලධරයා ලෙස අත්සන් කොට ඇත්තේ චූලානන්ද පෙරේරාය.
ආගමන විගමන පාලකවරයා ලෙස කලක් කටයුතු කළ ඔහු රාජ්‍ය ආයතන රාශියක ප්‍රධානියා ලෙස මහත් මෙහෙවරක් ඉටු කළ දක්ෂ රාජ්‍ය නිලධාරියෙකි. අප සමඟ එදා පිදුරුතලාගල කන්ද නැංග (චූලා) ඔහුය.

මේ සුන්දර මතකයන් අතර සිතට අතිශය සංවේගය දැනුණු අවස්ථා එමටය. කරැගේ බිරිඳ කුමුදුනී කුරුනේරුට (කුරු) යැයි නම තැබුවේ මාය. කුරු - කරුගෙන් 2013 වසරේදී සදහටම වෙන්වූවාය. ප්‍රභාත්ගේ මවත් කරුගේ මවත් වසර 15කට පෙර අප හැර ගියහ. ප්‍රභාත්ගේ පියා අතුරුදන් වූයේය. මේ සියලු දොම්නස් විඳ දරාගෙන දෙදෙනාම ධෛර්යයෙන් ජීවිත කන්ද නැගගත්තෝය.

 සමන් පුෂ්ප ලියනගේ

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30