2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

සෙල්ලිපියෙන් හෙළිවන කින්නියා බොදු උරුමය

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 38

පසුගියදා පැවති පුරාවිද්‍යා සමුළුවේදී නිකුත් කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක සඳහන් වුණේ කින්නියා උණුවතුර ළිං පරිශ්‍රයේ පුරාවිද්‍යාත්මක ස්මාරක සංරක්ෂණයට කඩිනම් පියවර ගන්නා බවයි.

පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු ඇරඹි මොහොතේ අන්‍යාගමික බැතිමතුන් පිරිසකගේ අනවබෝධය හේතුවෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවුවද ත්‍රිකුණාමලය ප්‍රාදේශීය මහ ලේකම්වරයා සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා කරුණු පැහැදිලි කිරීමෙන් අනතුව එය සමථයකට පත්වූ බවද එහිදී සඳහන් විය.

එහෙත් එම සමථය යළිත් බිඳවැටුණේ නැගෙනහිර පළාතේ දේශපාලනඥයන්ගේ මැදිහත් වීම නිසාය. දේශපාලනඥයන් පැමිණ එහි කටයුතුවලට බාධා කළ අතර නැවත ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය නිසා මේ වනවිට කැණීම් කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ. මේ කින්නියාවල පුරාවිද්‍යා ඉතිහාසය පිළිබඳව විමසා බැලීමකි.

කින්නියාවලට නුදුරින් පිහිටා ඇත්තේ කොටි ත්‍රස්තවාදී තර්ජනවලට ලක්වූ වෙල්ගම් වෙහෙර රජමහා විහාරයයි. වෙල්ගම් විහාරවාසී ශීලවංශ හිමියන් පවසන අන්දමට 1992 දී කොටි සංවිධානය බුල්ඩෝ්සර් යොදා කෝවිලක් තැනීමට කින්නියාහි මේ ස්ථානය හාරද්දී පැරණි දාගැබක සලකුණු මතු වී තිබේ. පසුව ශීලවංශ හිමියන් යුද හමුදාවට දැනුම් දී එම ස්ථානය වසා ආරක්ෂා කර තිබේ. කොටි පාලන සමයේදී කින්නියා උණුවතුර ළිං පරිශ්‍රයේ නරඹන්නන්ට ටිකට් කැඩුවේ කොටි සාමාජිකයෝ වෙති. යුද්ධයෙන් පසු උප්පුවේලි ප්‍රාදේශීය සභාව මගින් ටිකට් නිකුත් කෙරිණි. ඒ සමයේදීම කෝවිලක් ඉදිකිරීම ද ආරම්භ විය.

එලෙස තැනූ කෝවිල අවුරුදු 10ක්වත් පැරණි නැත. මෙහිදී හමුවූ පුරාවිද්‍යා සාධක නිසා 2011 සැප්තැම්බර් 9දා අංක 1723 දරන ගැසට් නිවේදනය මගින් පුරාවිද්‍යා රක්ෂිත භූමියක් ලෙස නම් කෙරිණි. ඊට පසු එම ස්මාරක භූමිය පිළිබඳව බල පවත්වන්නේ පුරාවිද්‍යා ආඥා පනතයි. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඍජු අධීක්ෂණයට ඒ අනුව කින්නියා පුරාවිද්‍යා භූමිය අයත් වේ.

මෙම භූමියේ පිහිටි නටබුන් දාගැබ, පිළිම ගෙය හා උණුදිය ළිං හත පුරාවිද්‍යා ස්මාරක වශයෙන් ගැසට් කර තිබේ. කැණීම් කර ඇති දාගැබ සහිත ප්‍රදේශයේ යුග දෙකකට අයත් නටබුන් මතුවිය. එම නෂ්ටාවශේෂ අනුරාධපුර යුගයේ මුල් භාගයට එනම් ක්‍රි.ව. 2-3 සියවස්වලට අයත් බවට සෙල්ලිපි සාධක ලැබී තිබේ. නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්ථාන රාශියක්ද පසුගිය කාලයේ ප්‍රසිද්ධියේ විනාශ කෙරිණි. ඒ අතර 2017 දී මුතූර්හි පැරණි දාගැබක් සම්පූර්ණයෙන් ඩෝසර් කර වනසා දැමීමක් වාර්තා විය. අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක තුනේම පුරාවිද්‍යා ස්මාරක රැසක් එලෙස විනාශ කර තිබේ.

කින්නියාවල පුරාණ කෝවිලක් පැවති බවට රාවයක් ගෙන ගියත් හමුවී ඇති නටබුන් සියල්ල බෞද්ධ ඒවාය. සිරිපතුල් ගල්, ගල්කණු ආදියද ඉන් හමුවී ඇත. කෙසේ වුවත් කොටි පාලනය පැවති සමයේ තවත් බොහෝ නටබුන් විනාශ කළ බවද පැවසේ.

කින්නියා නටබුන් ස්ථානයෙන් ලැබුණු කොටස් තුනකට කැඩුණු සෙල්ලිපියේ “මහරජ කුජවිය... මරුදවිය හා බොජියපති... බොජියපති... හ ච පල... මෙ එතක තනහි... සගයහ දිනි” යනුවෙන් සඳහන්ය. එහි අක්ෂර ක්‍රි.ව. 1-2 සියවස්වලට අයත් විය. මේ සෙල්ලිපියට අනුව යම් මහරජ කෙනකු විසින් කුරුවිය, මරුදවිය ආදී වැව් කිහිපයක දියබද්ද මෙම විහාරයට පූජා කළ බව සඳහන්ය. එවකට විහාරවලට ආදායම් ලබා ගැනීමට වැව්වල දියබද්ද පූජා කිරීම ප්‍රධාන වතාවතක් වූ බව සෙල්ලිපි රාශියකින් හෙළි වී තිබේ. එවකට කින්නියා විහාරයටද මහරජ කෙනකු මැදිහත් වී දියබද්ද පූජා කිරීමෙන් පෙනෙන්නේ එය ප්‍රදේශයේ ප්‍රකට පුදබිමක් වශයෙන් පැවති බවය. දැනට දක්නට ලැබෙන දාගැබට හා පිළිම ගෙයට අමතරව සංඝාරාමයක්ද පැවති බව සෙල්ලිපියෙන් තහවුරැ වේ. කැණීම්වලින් අනුරාධපුර යුගයට අයත් ආසන, යුප ගල්, ප්‍රතිමා ශේෂ, මැටි බඳුන් කොටස්ද හමුවී තිබේ. කැණීම්වලින් මතුකරගෙන තිබෙන ස්මාරක කඩිනමින් සංරක්ෂණයටද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සැලසුම් සකස් කර තිබුණත්, පවතින තත්ත්වය යටතේ එම කටයුතු ඇනහිට තිබේ. භූමියේ ඇති පොකුණු හා වෙනත් ගොඩනැගිලිද කැණීම් කිරීමද ඒ සමඟද නැවතී ඇත.

සමහර දේශපාලනඥයන් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් සඳහන් කර ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජාතිවාදී බෞද්ධ මූලික කැණීම් කරන බවයි. එහෙත් පොළොන්නරුවේ ශිව දේවාල රාශියක්ද සංරක්ෂණය කර තිබෙන බව ඔවුන් නොදන්නවා විය හැක.

කුසුම්සිරි විජයවර්ධන

 

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30