2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

ගිහාන් එලූ පාවාඩ මතින් නික්ම ගිය අසේල

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:31 166

මෙරට රංගන පාසලක් හරිහැටි නොතිබුණු නිසා ජ්‍යෙෂ්ඨයන් හෝ විදේශ ශිල්පීන් විසින් පවත්වන රංගන වැඩමුළුවකින් රංගනය මූලික වශයෙන් හැදෑරීම සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබිණි. විශ්වවිද්‍යාල මට්ටමින් නාට්‍ය හා රංග කලාව ඉගැන්වීම දැන් සිදුවුණද ජ්‍යෙෂ්ඨ රංග ශිල්පීන් පවත්වන රංගන වැඩමුළුවලින් ප්‍රායෝගික රංග කලාව හැදෑරීම තවම සිදුවෙයි.

මෙරට 87-88 කෝලාහාලවලින් පසු 90 ගණන් කිට්ටුවන විට කලා කටයුතු කෙරේ යොමුවන මානසිකත්වය නැවත තරුණයන් හට ආයේය. 89-90 කාලයේ වත්තල හැඳල නායකකන්ද පල්ලියේ පැවැත්වුණු එක්තරා වැඩමුළුවකින් රංග ශිල්පීන් කිහිපදෙනෙක් එළියට ආවෝය. රාජ්‍ය නාට්‍ය උළෙල ගණනාවක හා යෞවන සම්මාන උළෙල කිහිපයකම සම්මාන ලැබූ ගිහාන් ප්‍රනාන්දු එක් අයෙකි. “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටයේ තිරනාටකය ලියූ රංග ශිල්පී ආරියවංශ ධම්මගේ තවත් අයෙකි. සම්මාන දිනූ රංග ශිල්පී උපුල් නිශාන්ත තවත් අයෙකි. ප්‍රවීණ රංග ශිල්පී රොයිස්ටස් ජූඩ් තවත් අයෙකි. රංග ශිල්පී/ වේශ නිරූපණ ශිල්පී ප්‍රියන්ත සිරිකුමාරද එම වැඩමුළුවෙන් ආවේය. මෙම වැඩමුළුව මෙහෙය වූයේ කළුබෝවිල ලාල් ප්‍රේමරත්න සහ ජයලාල් රෝහණ යන ශිල්පීන් විසිනි. මෙම වැඩමුළුවෙන් බිහිවී වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේත්, ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේත් දස්කම් පෑ එක්තරා රංග ශිල්පියෙක් 2010 අගහරියේදී හදිසි අනතුරකින් අපෙන් වෙන්වී ගියේය. ඔහු මිය ගිය පුවත කලා පත්තරවල තනි පිටුවක් පිරෙන තරම් ලොකු ඔහුගේ ඡායාරූප සහිතව පළ වූයේය. 

ටෙලිනාට්‍ය කිහිපයකම සාර්ථක ලෙස අපූර්ව චරිත නිරූපණය කිරීම නිසා ඔහු ජනප්‍රියව උන්නේය. සහෝදර ශිල්පීන් සියලුදෙනා අතර ඔහු ආදරණීය මිතුරෙක්ව උන්නේය. ඒ රංග ශිල්පියා වූ අසේල ජයකොඩි ගැන කිසිදා අමතක නොවන සිද්ධි රාශියක් අපේ සිත්වල නොමැකි සටහන්ව පවති. අසේල අප හැරගිය බව සිහිවන විට සිතට දැනෙන්නේ ශෝකයක් වුවත් අප ඇසුරේ ඔහු හා සම්බන්ධ සිද්ධි මතක් වනවිට නැවත ඔහු අප අතර සිටිනා සෙයක් දැනේ. 
නායකකන්ද පල්ලියේ වැඩමුළුවෙන් බිහිවූ අලුත රංගනය හැදෑරූ පිරිස මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවට එන්නේ රොයිස්ටන් ජූඩ්ගේ “රඟහල” නම් වේදිකා නාට්‍යයෙනි. ඒ වනවිට වීදි නාට්‍ය සහ වෙනත් වැඩමුළුවලින් හොඳහැටි ප්‍රාණවත් වූ නාට්‍යයක් බවට පත්ව තිබිණි. 1991 යෞවන සම්මාන උළෙලේදී ඊට හොඳම දෙවැනි නිෂ්පාදනයට හිමි සම්මානය ලැබුණි. ගිහාන් ප්‍රනාන්දු හොඳම නළුවා සම්මානය උපුල් නිශාන්තට හොඳම සහාය නළුවා සම්මානය එහිදී හිමිවිය. මෙම නාට්‍යයේ භාරධූර කාර්ය කොටසක් අසේල ඉටුකළේය. එකල ඔහු භාවිතා කළේ ජේ.ඩී. කුමාර අසේල යන නමයි. එම නාට්‍යයේ රංග වින්‍යාසය පසුතල නිර්මාණ මේ සියල්ල අසේලගේය.

අසේල රංගනය උදෙසා යම් චරිතයකට පිවිසුණේ ඔහුටම ආවේණික ආකාරයටයි. එය ස්ටැනිස්ලව්ස්කිගේ හෝ බ්‍රෙෂ්ට්ගේ හෝ භාරත මුණිගේ කිසිදු රංගන න්‍යයායක් විසින් විග්‍රහ කළහැකි රංගනයක් නොවේ. රඟපෑමට නියමිත චරිතයේ මූලික ලක්ෂණ එකින් එක ඔහු තර්ක බුද්ධියෙන් අවබෝධ කරගන්නා සෙයක් පිටතට නොපෙනේ. ඔහු තමන්ටම හිමි ඉවකින් එම චරිතයේ මූලික ලක්ෂණ කිහිපයකින් රළු සැකිල්ලක් සාදාගනී. චරිතයේ දෙබස් කට පාඩම් කර ගත්තා මිසක ඒවායේ අරුත පමණට වඩා හිතන බවක්ද ඔහු වෙතින් ප්‍රදර්ශනය නොවේ. කෙසේ හෝ ඔහු තුළ වූ අභ්‍යන්තර ඉවකින් ඔහු තමන් මවාගත් සැකිල්ලට මස්ලේ ඇට නහර පුරවයි. අවසානයේ තමාට දෙන දෙබස්වලින් ඔහු අපූර්ව චරිතයක්. සැබෑ මිනිස් චරිතයක් නිර්මාණය කර පෙන්වයි. එවකට සුනිල් කොස්තා (දැන් සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලිනාට්‍යයේ නිර්මාපක) 1997 නිර්මාණය කළ “ශාන්තිය උපන් රාත්‍රිය” නම් නත්තල් ටෙලිනාට්‍යයේ ඔහුගේ රංගනයේ මෙම අපූර්ව දක්ෂතා හොඳින් දැකගත හැකිය.

1990 වනවිට පාසලෙන් ඉවත් වූ විගස ඉන්නා වයසේ පසුවූ අසේලව ආම්බාම් කරගැනීම නාට්‍ය අධ්‍යක්ෂකවරුනට අපහසු වූයේය. වරෙක ඔහු වැනිම තවත් තරුණ ශිල්පියකුගේ පස්සෙන් සෙල්ලමට පන්නාගෙන යයි. වරෙක කාගේ හෝ මෝටර් බයිසිකලයක් ඉල්ලාගෙන රවුමක් යයි. 6.30 නාට්‍ය දර්ශනයට පෙර සවස 5.45ට පමණ කාගේ හෝ මෝටර් බයිසිකලයක් ඉල්ලා ගන්නා අසේල මේකප් එක පිටින්ම රංග වස්ත්‍රය පිටින්ම රවුමක් ගොස් එයි. නාට්‍ය අධ්‍යක්ෂවරයා ඔහු නැවත එනතුරු දෙලොව රත්වී බලාහිඳී. 1991 රාජ්‍ය නාට්‍ය උළෙලට මා ඉදිරිපත් කළ “මැක්බත්” නාට්‍යයේ “මැල්කම්” චරිතය රඟපෑවේ ඔහුය. 

එම නාට්‍යයේ ජයලාල් රෝහණ සමඟ එක්වී ඔහු පසුතල නිර්මාණයත්. රංග වස්ත්‍ර නිර්මාණයත් අතිදක්ෂ අයුරින් ඉටුකළේය. ඇතැම් දර්ශණ වාරවලට පෙරාතුව රංග භාණ්ඩ කිහිපයකට රන්පාට ආලේප කළ යුතුවිය. ඒ කාලයේ හැටියට මිලෙන් වැඩිවූ රන්පාට ආලේප කරන ස්ප්‍රේ එකක් මම ඔහුගේ අතට දුන්නෙමි. ප්‍රවේශමෙන් රජු ඔටුන්නටත්, රජ ඇඳුම්වල බොත්තම්වලටත් පමණක්. එම රන්පාට ස්ප්‍රේ කරන ලෙස මම ඔහුට කීවෙමි. එම අලුත්වැඩියාවන් සිදුකළේත් රංග වස්ත්‍ර පරිස්සමට තබා තිබුණේත් අපේ නිවසේමය. අතට අසුවන ඕනෑම අහකදමන දෙයක් රංග භාණ්ඩයක් හැටියට නිර්මාණය කිරීමේ අපූරු හැකියාවක් අසේලට තිබුණේය. මා ඔහුට දුන් ඒ කාලයේ හැටියට මිලෙන් වැඩි ස්ප්‍රේඑක මිදුලේ කොතැනටදෝ ඔහු විදිනවා මම දුටිමි. එය ඔහුගේ නිර්මාණත්මක වැඩකැයි සිතූ මම ඔහුගෙන් ඒ ගැන නෑසීමි.

සතියකට පසු ලෝකයේ කිසිදු පරිසර පද්ධතියක හඳුනා ගතනොහැකි අපේ මිදුලටම ආවේණික වූ රන්පාට ගොළුබෙල්ලන් අපේ මිදුලෙන් හමුවෙන්නට ගත්තේය. රන් පාට ගොළුබෙල්ලෝ අපේ මිදුලේ ගොළුබෙලි ගමනින් ගියහ. සෝමලතා සුබසිංහ ගුරුතුමිය නිර්මාණය කළ ඇන්ටගනි වේදිකා නාට්‍යයේ පණිවිඩකරුගේ චරිතය ගිහාන් ප්‍රනාන්දු අපූරුවට රඟපෑවේය. එහි වූ කාව්‍යමය දෙබස්, චරිතය තුළ අැති මෝඩ එඩිතර ගතියෙන් හාස්‍ය මුසුකොට නාට්‍යමය ගුණයෙන් පරිපූර්ණ චරිතයක් ඔහු නිර්මාණය කළේය. එම නාට්‍යයේ කී බස් මැඩියන් ලෙස රඟපාන “කෝරස්” එකේ මමද උන්නෙමි. ජෝන්ද සිල්වා රඟහලේ ඇන්ටිගනි 3.30 දර්ශනයක් පැවැත්වෙන අතරතුර එහි විවේක කාලයේදී තරුණයෙක් ලිපියක් රැගෙන ගිහාන් සහ මා හමුවන්නට ආවේය. ගිහාන්ටත් මටත් ලිපියෙන් ආමන්ත්‍රණය කොට තිබිණි.

“ගිහාන්/ සමන්,

මට පොඩි ප්‍රශ්නයක් වුණා. මම දැන් ඉන්නේ කුරුඳුවත්ත පොලිසියේ ඉක්මනින් ඇවිත් මාව බේරගන්න. මෙය විහිලුවක් කියා හිතන්න එපා.

ලිපියේ 15 පොළක පමණ අසේල, අසේල යනුවෙන් අත්සන්කොට තිබුණේ. මෙය විහිලුවක් නොවන බව ඒත්තු ගන්වන්නටයි. අසේල ගෝරිවලට හෝ පොලිසියෙන් අල්ලාගන්නා වැඩට හවුල් වන අයෙක් නොවූයේය. ඔහුට සිදුවී ඇති අකරතැබ්බය කුමක්දැයි අපි පසුව දැනගතිමු.

ටොරින්ටන් චතුරශ්‍රය පැත්තෙන් එනවිට එහි විවේක සුවවිඳින ජෝඩුවකට කරදර වෙන අයුරින් ඔවුන් දෙස බලාගෙන ඉන්නා පුද්ගලයකු අසේලගේ නෙත ගැටී තිබේ. එම පුද්ගලයා වෙතට ගිය අසේල තමා රහස් පොලිසියේ බව කියමින් එම පුද්ගලයාව බිය ගන්වන්නට උත්සාහ ගෙන ඇත. එම පුද්ගලයා පොලිසියට ගොස් අසේල රහස් පොලිසියේ අයකු ලෙස ව්‍යාජ ලෙස පෙනීසිටි බවට පැමිණිලි කර ඇත. එසැණින් පැමිණි පොලිසිය අසේලව අත්අඩංගුවට ගෙන තිබිණි. දවසක් පුරා පොලිස් කූඩුවේ ලගින්නට අසේලට සිදුවිය.

පමණ ඉක්මවා රඟපෑම බොහෝ විට නාට්‍ය නිර්මාණයන්ට උචිත නොවෙයි. එහෙත් පමණ ඉක්මවා රඟපෑම නළුවෙකුට රංග අභ්‍යාසයක් වෙයි. ඒ මගින් චරිතයක් තුළ රුඳෙමින් රංගනයේ යෙදිය හැකි උපරිම සීමාව නළුවෙකුට හඳුනාගත හැකිවේ. ප්‍රේක්ෂකයන් ඉදිරියේ මෙම අභ්‍යාසය කළ හැකි නම් එය රංග ශිල්පියකුට අත්හදා බැලීමක් කරන්නට ලැබෙන හොඳ අවස්ථාවකි. අසේල සහ ගිහාන් යන දෙදෙනාම වාණිජ රැල්ලේ නාට්‍යවලට හවුල් වී මෙම අභ්‍යාසය ලැබුවෝය. ඒවායේ අරමුණ වූයේ ප්‍රේක්ෂකයා උපරිම ලෙස සිනහා ගැන්වීමයි. දිනක් ගිහාන් සහ අසේල යන දෙදෙනාම රඟපෑ සිසිල් ගුණසේකරයන්ගේ “රැළිය” නම් නාට්‍ය බලන්නට මම ගියෙමි. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ ටෙනිසන් කුරේය. නාට්‍ය බලන්නට පැමිණි මා දුටුවිට දෙදෙනාම එක්වී “අද ඇක්ට් කරමු”යැයි කීවෝය. “ඒ කොහොමද මම මේ නාට්‍ය දැකලාවත් නෑනේ” මම කීවෙමි.

“ඒකට කමක් නෑ..” ඔවුන්ගේ පිළිතුර විය. දෙදෙනා නාට්‍යයේ සිදුවෙන දේ මට කෙටියෙන් කීවෝය. ටෙනිසන් කුරේ රඟපාන අවස්ථාවේ ප්‍රේක්ෂක සිනහව ගැන කිසිදු ප්‍රශ්නයක් නැත. අපට තිබුණේ ඔහු දර්ශනයේ නැති අතරට ප්‍රේක්ෂකයන් සිනහ ගන්වමින් කුල්මත් කිරීමයි. ජීවිතයේ ලබා තිබූ රංග අභ්‍යාස නිසා ඔවුන් දෙදෙනා සමඟ එක්වී මටද යම් තරමකට එය කළහැකි විය. ටෙනිසන් කුරේ ශිල්පියා වේදිකාවට පැමිණි විටෙක අප තිදෙනාම වේදිකාවේ පසෙක සිටියදී අසේල සැණකින් මා සමඟ ආගිය තොරතුරු කතා කරන්නට ගත්තේය.

“ඕඩියන්ස් එක ඉස්සරහ උඹලට පිස්සුද?” මම ඔවුන්ගෙන් ඇසුවෙමි.

“පිස්සුද බං ටෙනි අයියා රඟපානකොට කවුරුත් අප දිහා බලන්නේ නෑ.” ඔවුන්ගේ පිළිතුර එය විය. ඒ වනවිට ටෙනිසන් ගජරාමෙට ප්‍රේක්ෂකයන් අල්ලාගෙන තිබුණි. කලාත්මක නාට්‍යයකින් ලබාගත නොහැකි රංග අභ්‍යාසයක් වාණිජ නාට්‍යයකින් ලබාගන්නා හැටි එදා අසේලත් ගිහානුත් මට කියා දුන්නෝය.

අසේලගේ අවමංගල්‍යයට මහා සෙනගක් ආවෝය. අවමංගල්‍ය පෙරහර නිවසින් පිටත් වෙද්දී ධාරානිපාත වර්ෂාවක් කඩා හැලෙන්නට ගත්තේය. ගිහාන් මහ වැස්සේ තෙමෙමින් දේහය රැගෙන යන පෙරහර සංවිධානය කළේය. පාවහන් යුගල ගලවා පසෙක තැබූ ගිහාන් හොඳහැටි තෙමෙමින් දේහය රැගෙන යන පෙරහරට පාවාඩ එළනවා මම දුටුවෙමි. 

 සමන් පුෂ්ප ලියනගේ
  

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30